මුහුණු පොතෙන්

ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා “ඉඳා” කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන ‘ඒකනායක සහ සමාගම’ කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම “අරක නෑ, මේක දාන්නද?” කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා “මාරගම… මාරගම” කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.

– Prof. Dammika Ganganath Dissanayake



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More