පුරවැසි කොලම

වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත් අනුව ඇමරිකානු තානාපති ජුලී චංග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉන්දියාවේ නිල සහ ඇමරිකාවේ නිල නොවන තානාපති මිලින්ද මොරගොඩගේ නිෂ්පාදන දායකත්වයෙන් රඟදැක්වූ ‘ගෝඨා ගෝ හෝම් – රනිල් කම් බැක්’ නාට්‍යායේ දෙවන කොටස තමයි දැන් අපි මේ නරඹමින් සිටින්නේ. ජනාධිපති ගෝඨාභය එලවන ගෝල්ෆේස් මෙහෙයුම පිටුපස සිට දෙමළ ඩයස්පෝරාව සහ ආගමික අන්තවාදී බලවේග ප්‍රබල භූමිකාවක් ඉටු කලේ මේ අවස්ථාව නිර්මාණය කරගැනීමට තමයි.

ජනාධිපතිවරුන් 7 දෙනෙකු නොකළ දේ කරන්න තමයි රනිල් වික්‍රමසිංහ චරිතය පස්සේ දොරෙන් ගෙනැල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒක බාර ගන්න තැනට තල්ලු කරන්න තමයි ඔවුන්ගේ ගෙවල් ගිනි තියන්නේ. කවුරුවත් අහන්නේ නැහැ ගෝඨාභය ජනාධිපති කියන දේ අහපු නැති ආරක්ෂක ප්‍රධානීන් කොහොමද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන දේ අහන්නෙ කියලා.

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න හෝ අඩු තරමින් එහෙම කරන බව ප්‍රසිද්ධියේ පිළිගන්න මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු ධෛර්යමත් වුණේ නැහැ. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියන්නේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් සහ පරිපාලන වශයෙන් ඉවත් කිරීමයි. එහෙම කලාම පූර්ණ පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඊළාම් රාජ්‍යයේ කළලය නිර්මාණය වෙනවා. මාස 9කින් කෙසේ වෙතත් අඩු තරමින් අවුරුද්දකින් ඊළාම් පැටිය හම්බවෙනවා.

එදා 1987 දී පූර්ණ පෙඩරල් රාජ්‍යයක් ලබාදෙන පොරොන්දුව අනුව තමයි ප්‍රභාකරන් ආයුධ බිම තියන්න එකඟ වෙන්නේ. එදා 13 ට විරුද්ධව එල්ල වූ ප්‍රබල මහජන විරෝධය නිසා ඊට එරෙහිව ව්‍යවස්ථාමය බාධක පනවන්න සිදුවුණා. ඒ නිසා ප්‍රභාකරන්ට ලබා දුන් පොරොන්දුව කඩ වුණා. ඒ නිසා තමයි ප්‍රභාකරන් නැවත යුද්ධය ආරම්භ කරන්නේ. වෙනත් වචනවලින් කියනවා නම් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරපියව් කියලා තමයි ප්‍රභාකරන් නැවත යුද්ධය පටන් ගන්නේ.

එහෙමනම් රණවිරුවෝ 30,000ක් ජීවිත පූජා කලේ තවත් 29,000ක් අත,පය, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන එක වලක්වන්න තමයි. දැන් මේ හදන්නේ යුද්ධයෙන් ලබාගත නොහැකි වූ දේ ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුමකින් ලබාගන්නේ නොවෙයිද? බෙදුම්වාදීන්ට යුද්ධයෙන් දිනාගත නොහැකි වූ දේ බන්දේසියක තබා පිරිනමන්නට තමයි මේ සේනාධිනායකයා හදන්නේ. ඔහු එදා අගමැතිවරයා ලෙස 2002 දී ද මේ දේම කරන්න හැදුවා. සටන් විරාම ගිවිසුමට මුවා වෙලා ව්‍යවස්ථා විරෝධීව කොටින්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දෙන්න හැදුවා. එදා ජාතික බලවේගය එක නැවැත්තුවා. ඒ ප්‍රශ්නය මුල්කරගෙන අපි එතුමාව අගමැති පුටුවෙන් බැස්සුවා. 13 අපලය නිසා තමයි එතුමා පස්ස දොරොන් පැමිණ ලබාගත් ජනාධිපති පුටුව අතහැරලා ඉස්සරහ දොරොන් එළියට බහින්න වෙන්නේ. මේ රටේ බහුතර ජනතාවට ඒ සඳහා එතුමාට උදව් කරන්න බැරි වුනොත් එහෙම රණවිරුවන් දිවි පුදා රැක ගත් රට අපට අහිමි වෙනවා. ශ්‍රි ලංකාවේ ඉතිහාසය අවසන් වෙනවා.

එදා 2002 දී අපි ඔහුව වේදිකාවෙන් බැස්සුවේ නැතිනම් සුඩානයට සිදු වූ දේම තමයි අපට සිදුවෙන්නේ. සෝල්හයිම්ලා රනිල් වික්‍රමසිංහ මහතා අතට දුන්නේ සුඩානයට හැදූ සැලැස්මේ කාබන් කොපිය. අද සුඩානය දෙකඩ වෙලා මිනිස්සු දෙපැත්ත බෙදිලා බල්ලෝ බළල්ලු වගේ මරා ගන්නවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා එදා කළ නොහැකි වූ අපරාධය නැවත වටයකින් මේ රටට කරන්න හදන්න එපා කියලා. අපි එතුමට කියනවා රණවිරුවන්ගේ සොහොන් කොත් වලට මුත්‍රා කරන්න එපා කියලා. මේ ආබාධිත රණවිරුවන්ගේ ඔවුන්ගේ භාර්යාවන්ගේ දුවා දරුවන්ගේ මුහුණට කෙළ ගහන්න එපා කියලා.

අනුප්‍රාප්තික ජනාධිපතිට ජනවරමක් නැහැ. එතුමාට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනවරම ක්‍රියාත්මක කරන්න පමණයි. ව්‍යවස්ථාව අනුව ඔබට අඩු තරමින් එම ජනවරමේ කාලය අවසන් වන තුරු නව ජනවරමක් ඉල්ලන්නත් බැහැ. අපි ඔබට අභියෝග කරනවා පුළුවන්නම් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න ජනවරමක් දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලලා හැකිනම් ජනාධිපතිවරණය පවත්වන්න කියලා. ඔබට ලැබිලා තියෙන ජනවරම අනුව කිසිසේත්ම 13 බලාත්මක කරන්න බලයක් ලැබිලා නැහැ. ඒ ජනවරම අනුව කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කරන එකයි. උතුරේ ජනතාවගේ පමණක් නොවේ සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමානාත්මතාවයෙන් සලකන සහ ඔවුන්ගේ සැබෑ අපේක්ෂා ඉටු කරන නව ව්‍යවස්ථාවකට අප විරුද්ධ නැහැ.

ඒ වගේම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ජනවරමක් ලැබිල නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බල ව්‍යාපෘතීන්ට ගොදුරුවන්න. ඔහු රට පාවා දීලා බෙදුම්වාදීන්ට කප්පම් දෙන්න හදන්නෙ.් ඊළඟ ජනාධිපතිවරනයේදී ඔවුන්ගේ ඡන්ද පොදිය ඉලක්ක කරගෙන. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ බල ගේම් එකේ ගොදුරක් වුණොත් ඔවුන් මේ රටේ ඉතිහාසය අවසන් කරලා තමන්ගේ ඉතිහාසයත් අවසන් කර ගන්නවා.

අද අප කැඳෙව්වේ මහජන විනිශ්චය සභාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ මහා ඓතිහාසික වරද කළොත් ඔවුන්ට ලබාදිය යුතු දඬුවම කුමක්ද කියලා ප්‍රකාශයට පත් කරන්න. අපි විශ්වාස කරනවා ඔවුන් මේ විනිශ්චයට කන් දෙයි, එය භාර ගනියි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ ඔහුගේ පාපය මන්ත්‍රීවරුන්ගේ හිස මත පතිත කරන්න. ඔහු හදන්නේ හිස් චෙක් පතකට මන්ත්‍රීවරුන්ගේ කණ අත්සන ගහගන්න. සර්වපාක්ෂික සමුළු කැඳවන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්න හදන්නේ මේ මහා අපරාදේ වගකීම මන්ත්‍රීවරුන් 225 දෙනා මත පටවන්න කියන එක ඔවුන් තේරුම් ගනියි කියලා අප හිතනවා.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More