ඇඟිලි කැල්ලක් එක්ක හම්බුණු කැන්ඩොස් චොක්ලට් එක ගැන කතා නැඟලා යනවා. මේක ඇත්තමයි කියලා හිතාගෙන ආයෙ ජීවිතේට කැන්ඩොස් නං කන්නෑ කියන අය ඉන්නවා. ඇඟිල්ලක් නෙවෙයි මළමිනියක් දාලා ආවත් අපි නං කන්නේ කැන්ඩොස් විතරයි කියන අය ඉන්නවා. ඔය කතා ඔක්කොම එක්ක බ්‍රෑන්ඩ් එකක් විදිහට කැන්ඩොස් අපිට කොච්චර ළං වෙලාද කියන එක දැනෙන්න ගත්තා.
ප්‍රඩක්ට් එකක් විදිහට චොක්ලට් ටාගට් කරන මේන්ම ඕඩියන්ස් දෙකක් තියෙනවා. එක තමයි පොඩි ළමයි. වැඩිම පසන්ටේජ් එකක් අයිති වෙන්නේ එතනට. දෙක තමයි ආදරවන්තයෝ. අනිවාර්යයෙන්ම ආදරය සහ චොක්ලට් කියන්නේ අනුයි කනුයි වගේ වෙන් කරලා අඳුරගන්නම බැරි තරමට සමාන ටොපික් දෙකක්. ලෝකෙ කොහේ ගත්තත් චොක්ලට් මාකට් එක රන් කරන්නේ මේ කැටගරි දෙක. ඉතිං ඒවා තෘප්ත කරන්නමයි චොක්ලට් කම්පනිවලින් වැඩි ඉඩක් දෙන්නේ.
කැන්ඩොස් ගැන මට ඉස්සෙල්ලම මතකය තියෙන්නේ අපේ ගෙදර තිබුණු කැන්ඩොස් ස්ටික’ එකක් එක්ක. ඒකේ හිටියේ හර්ෂ බුලත්සිංහල. රවුම් ෂේඩ්ස් දෙකක් දාලා, සුදු හැට් එකක් දාලා, ස’කස් එකක මැජික්කාරයෙක්ගේ රෝල් එකකින් හර්ෂ හිටියා. හර්ෂ එහෙම හිටියේ කැන්ඩොස් ඇඩ් එකකට, කැන්ඩොස් මෑන් විදිහට. ඒ ඇඩ් එක මට පොඩිම කාලේ මතක නැතත් පස්සේ කාලෙක යූටියුබ් එකෙන් බැලුවා, හර්ෂම එයාගේ චැනල් එකෙන් අප්ලෝඩ් කරලා තියෙද්දී. මැජික් කරලා චොක්ලට් සිය ගාණකින් මිනිස්සුන්ව නාවන ඇඩ් එකක්. දැනුම් තේරුම් තියෙන කාලේ වෙද්දී, ටික ටික දිව පැණිරස හොයන ළමා ළපටි කාලේ වෙද්දී කැන්ඩොස් එකට දිව හුරු වෙලා තිබුණා.
අනූ හයේ ව’ල්ඩ් කප් එක බේස් කරගෙන ලංකාවේ පටන් ගත්ත ක්‍රිකට් මේනියා එකට කැන්ඩොස් එකෙන් හොඳ උත්තරයක් තිබ්බා. ඒ තමයි ක්‍රිකට’ස්ලාගේ ස්ටික’ස් දෙන එක. ඉස්සෙල්ලාම ස්ටික’ස් දුන්නේ කැන්ඩොස් ද නැත්තං එඩ්නා ද කියන එක මට හරියට මතක නෑ, නමුත් දෙකෙන්ම තරගෙට ස්ටික’ස් ගැහුවා. ඒ ඔක්කොම අපි එකතු කළා. නිතර දෙවේලේ ගැනුණේ පොඩි චොක්ලට් නිසා ස්ටික’ස් පොඩියි. ලොකු චොක්ලට් එකක් ඉඳලා හිටලා ගැනෙනවා, නැත්තං ගෙදරට එන අමුත්තෝ අරන් එනවා. එතකොට ලැබෙන ලොකු ස්ටික’ එක ඉතිං චොක්ලට් එකට වඩා වටිනවා.
කැන්ඩොස් බ්‍රෑන්ඩ් එක ඊටපස්සේ ලොකුවටම සමීප වෙන්නේ ටිංටිං හරහා. දැන් සිරසේ පෙන්නුවාට ඉස්සෙල්ලම ලංකාවේ ටිංටිං කාටුන් එක පෙන්නුවේ ජාතික රූපවාහිනියේ. ඒ වෙද්දී මට ටිංටිං පොත් එක දෙක අම්මා අරන් දීලා තිබ්බ කාලේ. ඒත් එක්කම වගේ ටිංටිං කාටුන් එක රූපවාහිනියේ ටෙලිකාස්ට් වෙන්න ගත්තා. මං ගාව ඒ වෙද්දී තිබුණු Destination Moon, Explorers of The Moon, Land of Black Gold වගේ පොත් කිහිපයට අදාළ කාටුන් එපිසෝඩ්ස් යද්දි මං පොතත් පෙරළගෙන කාටුන් එකෙයි පොතෙයි සීන්ස් මැච් කර කර බැලුවා. ඒ අතරේ මැද්දෙන් යන කම’ෂල් බ්‍රේක්ස්වලදී ඇහෙන්න ගන්නවා අපි හැමෝම දන්න, “ඔබමයි මා හදවතේ, සතුටු සිනාවන් මතු කළේ” ජිංගල් එක. කාපෙන්ට’ස් කියන ගෲප් එක සෙවන්ටීස් තරම් ඈත කාලෙක කියන ‘Sweet Sweet Smile’ සිංදුවේ මෙලඩිය එහෙම්ම කොපි කරලා ගහපු මේ ජිංගල් එක ලංකාවේ හැදුණු අයිකොනික්ම ජිංගල්ස්වලින් එකක්. ඉස්සර ඉතිං දැන් වගේ දිගට හරහට ඇඩ් ගහන්නේ නැති නිසා, එකම ඇඩ් ටික දිගට හරහට එකම චැනල් ටිකේ ගහන නිසා, ඔක්කොම මතක හිටිනවා. ආසාවෙන් බලපු ටිංටිං එකට ස්පොන්ස කළේ කැන්ඩොස් නිසා කැන්ඩොස් එකටත් වෙනම ලව් එකක් චූටි කාලේ ඔලුව අස්සේ හැදුණා. ඒකටත් එක්ක හරියන්න කැන්ඩොස් එකෙන් ටිංටිං එකේ එක එක සීන්ස් දාපු ලේබල් එකක් එක්ක චූටි චොක්ලට් සීරීස් එකක් ගැහුවා. ඒ ලේබල් පවා මිටි ගණන්, සමහර වෙලාවට එකම රූපෙ තියෙන ලේබල් පහ හය වුණත් එකතු කරන් හිටියා ඒ කාලේ.
චන්න පෙරේරා නයින්ටීස් අග සහ දෙදාස් ගණන්වල මුල කළා ‘පුංචි වීරයෝ’ කියලා ටෙලි සීරීස් එකක්. ඒක සීසන්ස් බෙදලා ගිය, ඉනිඩ් බ්ලයිටන්ගේ ෆේමස් ෆයිව් සහ සීක්‍රට් සෙවන් වගේ වැඩවලින් ඉන්ස්පය’ වෙච්ච, ලංකාවේ හැදුණු හොඳ ටෙලියක්. පූර්ණ සම්පත් ප්‍රේමකීර්ති ද අල්විස්, තිසුරි යුවනිකා, ලක්ෂාන් වත්තුහේවා වගේ දන්න කියන අය හෙනම හෙන පොඩි කාලේ ඇක්ට් කරපු ඩිටෙක්ටිව් කතාවක්. සිහශක්ති ආනන්ද පෙරේරා ස’ගේ පුතා තාරකත් ඒකේ ඇක්ට් කළා. තාරක අයියා අපේ ඉස්කෝලේ. අපි එයාට කතා කළේ ‘පුංචි වීරයා’ කියලා. ආසාවෙන් බලපු වැඩක්. ඒකට ස්පොන්ස කළෙත් කැන්ඩොස් එකෙන්. කතාවේ ලල් එකට ඉතිං කැන්ඩොස් එකත් එකතු වෙලා, කැන්ඩොස් ආසාව ඒත් එක්කම වැඩුණා.
ලංකාවේ ඇඩ්වටයිසිං ඇතුළේ ප්‍රඩක්ට් එකක් වෙනුවෙන් කරපු මතක හිටින ඇක්ටිවේෂන් එකක් කැන්ඩොස් එකෙන් ලෝන්ච් කළා. ඒ තමයි කැන්ඩොස් පවුල. අම්මා තාත්තා දුව පුතා ආච්චි සීයා කැරැක්ට’ස් හය, එක ලේබල් එකට එක්කෙනා ගාණේ ඇතුල් පැත්තේ ප්‍රින්ට් කරලා, මාකට් එකට දැම්මා. පවුල කම්ප්ලීට් කරලා එවන අයට එක එක සුකුරුත්තං තෑගි. ස්කිපිං රෝප්, ෆ්‍රිස්බී, යෝ යෝ, අමුතු අමුතු සෙල්ලම් බඩු. කඩවල්වලින් ඒ පාර කරන්න ගත්තා චොක්ලට් ස්ලයිඩ් කරලා එළියට අරන් ඇතුළේ ඉන්න කැරැක්ට’ එක බලලා පවුල හදලා කැන්ඩොස් එකට යවන්න. ග්‍රෝසරි අයිතිකාරයන්ගේ ළමයි ඉතිං බල කරනකොට එහෙම කරන්න ඇති. පස්සේ ඕක ආරංචි වුණු කැන්ඩොස් එකෙන් ලේබල් එකයි චොක්ලට් ෆොයිල් එකයි මැද්දෙන් එකට ඇලවෙන්න පොඩි ගම් ඩොට් එකක් තියලා එව්වා, එතකොට ඒක තල්ලු කළොත් ෆොයිල් එක හෝ ලේබල් එක ඉරෙනවා.
අපි ලොකු වුණා. චොක්ලට් එක ටාගට් කරන ඊළඟ මාකට් එකට අපි සේන්දු වුණා. ඊටපස්සේ අපි චොක්ලට් එක ගන්නේ ආදරේ කරන කෙනාට දෙන්න. ඉස්සර ලව් කරන දෙන්නෙක් අතරේ ෂෙයා වෙන සුපිරිම චොක්ලට් එක තමයි ප්‍රොමිසස් චොක්ලට් එක. භාතිය සන්තුෂ් සිං කරන ‘මල් පැන් පොදක්’ සිංදුවට නිලාන් කුරේ කරපු මියුසික් වීඩියෝ එකේ ප්‍රඩක්ට් ප්ලේස්මන්ට් එකක් විදිහට රිට්ස්බරි චන්කි චොක් එක දානකංම ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අතරේ ෂෙයා වුණු පරම පිවිතුරු ආදරේ පොෂ් චොක්ලට් සංකේතය තමයි ප්‍රොමිසස්. මම කොල්ලෙක් විදිහට කෙල්ලන්ට ප්‍රොමිසස් අරන් දීලා තියෙනවා. අපි අතරේ වුණු ප්‍රොමිසස් කැඩිලා තියෙනවා. ඒ චොක්ලට් පෙට්ටියට ප්‍රොමිසස් කියලා නම දාන්න ඇත්තේම, ආදරෙන් හැමදාම ඉන්නවා කියලා ප්‍රොමිස් වෙන අයට දෙන්න පුළුවන් තෑග්ගක් විදිහටම වෙන්න ඇති. ඕඩියන්ස් එක අඳුරගත්ත මරු ප්‍රඩක්ට් එකක්.
කැන්ඩොස් එකෙන් ගහනවා ප්‍රිමියම් රේන්ජ් එකේ චොක්ලට් පෙට්ටියක්. එක එක ෆ්ලේව’ස්වලින් එන හෑන්ඩ්මේඩ් චොක්ලට්ස් එකතු කරලා එන සුදු පෙට්ටියක්. ඒ කාලෙත් ගණන්, අදටත් ගණන්. අවුරුදු කුමාරයා ගමට එනවා කියලා ලස්සන ඇඩ් එකකින් පෙන්නලා, අවුරුද්දට නෑගම් එද්දී මේ සුදු චොක්ලට් පෙට්ටිය විසික්කරන ඇඩ් එක මට පොඩි කාලේ ඉඳලාම මතකයි. ලස්සන බ්‍රිටිෂ් අශ්ව කරත්තයක චිත්‍රයක් දාලා එන මේ සුදු පෙට්ටිය කවදාහරි සල්ලි තියෙන කාලෙක මගේම සල්ලිවලින් ගන්න ඕනේ කියලා මං පොඩි කාලේ හිතාගෙන හිටියා. සල්ලි ගැවසෙන කාලේ වෙනකොට මට ඒ තිබ්බ ආසාව හීන වෙලා තිබ්බා. ඔය කතාව කිව්වට පස්සෙ මගේ අතිජාත මිත්‍ර හර්ෂ කුමාර, මම ඉස්සෙල්ලම ජොබ් එකකට ගිය දවස්වල තෑග්ගක් විදිහට ඒ චොක්ලට් පෙට්ටියක් අරන් දුන්නා.
පසුකාලීනව ගොඩක් චොක්ලට් ජාති මාකට් එකට ආවා. ලංකාවේ දැන් කැන්ඩොස් එකට හොඳ කම්පෙටිෂන් එකක් දෙනවා මන්චි එකෙන් ගහන රිට්ස්බරි චොක්ලට්ස්වලින්. ඒ වගේම පිටරට චොක්ලට්ස්, ඒ කියන්නේ කැඩ්බරි, ලින්ඩ්ට්, ෆෙරේරෝ රොෂ’, මාස්, ස්නික’ස්, ටොබ්ලරෝන් වගේ මෙහේ සුපමාකට්ස්වල ගන්න තියෙන රට චොක්ලට්ස් සහ රට ගියාම හෝ රට ගිය අය ආවම අපේ අතට එන වෙනත් සියලු චොක්ලට්ස්, මේ හැම එකකින්ම දැන් අපේ දිව පදම් වෙලා තියෙන්නේ. රට චොක්ලට්ස් එක්ක බලනකොට කැන්ඩොස් ඉන්නේ ගොඩක් පිටිපස්සෙන් වෙන්න පුළුවන්, නමුත් කැන්ඩොස් එකත් එක්ක අපිට බැඳුණු නොස්ටැල්ජික් වැලියු එක තාමත් හොඳට වැඩ කරනවා. කැන්ඩොස් හෑන්ඩ්මේඩ් චොක්ලට් ස්ටෝල්ස් දැන් කොළඹ අවට ඕපන් වෙනවා. පිත්තල හන්දියේ දාපු අවුට්ලට් එකට අපේ ඔෆිස් එකේ අය ගිහින් කැන්විටා ඩ්‍රින්ක් එක බීලා, චොක්ලට් පෙට්ටි පුරවගෙන හංගගෙන ඇවිත් බෑග් අස්සේ ගහගන්නවා, අනිත් අයට බෙදන්න වෙයි කියලා බයට.
අද වෙද්දී කැන්ඩොස් චොක්ලට් රේන්ජ් එක ඉතාම දැවැන්තයි. ඒත් ඒ හැම එකකින්ම ප’සනලි මම ආසම කැන්ඩොස් චොක්ලට් එක තමයි කැෂූනට් චොක්ලට් එක. සුදුයි තද රෝසයි ලේබල් එක යටින් තව පරිස්සමට සුදු සව් කොළේකුත් ඔතලා එන කැෂූනට් චොක්ලට් කෑල්ලක් මං කනවා නෙවෙයි කටේ කෑල්ලක් දාගෙන ඔහේ දියවෙන්න ඇරලා ඉන්නවා. එකින් එක කජු කෑලි මතු වෙනකොට තමයි ආතල්. අනිත් එක තමයි දුඹුරු පෙට්ටියේ එන චොකොනට්ස්. ඒක නං එක වෙලාවකට හරි කේන්ති හිතෙන ප්‍රඩක්ට් එකක් මොකද පෙට්ටියෙන් භාගයයි චොකෝනට්ස් තියෙන්නේ. මොකට එච්චර ලොකු පෙට්ටියක් ගහනවද මන්දා. එක්කෝ පෙට්ටියේ ගාණට චොකෝනට්ස් වැඩි කරලා ප්‍රයිස් එක වැඩි කරන්න ඕනේ, නැත්තං ඇතුළේ තියෙන චොකෝනට්ස් ගාණට පෙට්ටියේ සයිස් එක අඩු කරන්න ඕනේ. හෙන අවුල් ඒක අතට ගත්තම. නමුත් ඒකත් අර කලින් කිව්වා වගේ හපන්නැතුව කටේ දියවෙන්න ඇරලා තියන් ඉන්න ආස චොක්ලට් එකක්.
කඩලා ටිකක් කාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා පස්සේ ආපහු අරගෙන කෑව කැන්ඩොස් චොක්ලට් එකක් අස්සේ හමයි නියපොත්තයි පිටින් මහතට මහතේ ඇඟිල්ලක කෑල්ලක් තිබ්බා කියලා, මෝචරියක් තියෙන ඉස්පිරිතාලෙකින් කැන්ඩොස් එකට ඇඟිල්ල දික් වෙනවා. ප්‍රශ්නය කොහොම විසඳෙයි ද කියලා මේ වෙලාවේ කියන්න තේරෙන්නේ නෑ, නමුත් ඇවිත් තියෙන විස්තර ටික කනෙක්ට් කරලා හරියට කල්පනා කරලා බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා එහෙම තේරුම් ගන්න බැරිකමකුත් නෑ.
අනේ අපිටත් ඉලෝන් මස්ක් ලෙවල් එකේ මිනිහෙක්ව හදන්න තිබ්බ චාන්ස් එක මිස් වුණා කියලා උපාලි විජේවර්ධන ගැන කාලෙන් කාලෙට උඩ එන කන්ස්පිරසි කයිවාරු රහ කර කර කතා කරද්දී සහ මේ වුණු සිද්ධිය එක්ක මිනිස්සු දෙන කමෙන්ට්ස් එක්ක මට නං හිතෙන්නේ, උපාලි හදපු කැන්ඩොස් බ්‍රෑන්ඩ් එක උපාලි වගේ අතුරුදහන් වෙන්නේ නෑ කියන එක.
– ෂෙනාල් ගුණසේකර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...