පුරවැසි කොලම

දේවානම් පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ පිරිස අත ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළපටුනට රැගෙන පැමිණි පසු අනුරාධපුරයට වැඩම කරන ලද ගමනේ දී තැන්පත් කළ එක් ස්ථානයක් වශයෙන් ප්‍රකට තිස්ස විහාරය එ සමයේ ඉඳි කරන ලද්දකි.යාපනයේ බහුලව තිබූ හිරිගල් යොදා නිර්මාණය වූ තිස්ස විහාර බිමේ ශ්‍රී මහා බෝධි ශාඛා රාශියක් රෝපණය කරන ලදහ.සිංහල රාජ්‍යය අනුරාධපුරයේ සිට බස්නාහිර පෙදෙසට පසුබැස ගිය පසු පරංගීන් විසින් යාපන අර්ධ ද්වීපය ආක්‍රමණය කරන ලදහ.එහි රාජ්‍යත්වය ඉසිලූ ආර්ය චක්‍රවර්තී පරපුර පරාජයට පත් කර ඉතිරිව සිටි සිංහල මුදලි වරු සමග නල්ලූර් වලදී ගිවිසුමක් අත්සන් කළ පරංගීන් යාපන පාලන බලතල අතට ගත්හ.පරංගි ආක්‍රමණ වලින් පසුව විවිධ හේතුන් මත යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහල ජනතාව පරංගීන් ගෙන් පීඩාවට පත් වූහ. යාපනයේ සිටි රජපරපුරේ කුමාරවරු සහ ජනතාව උඩරට රාජධානියට සංක්‍රමණය වූයේ යාපන රාජධානිය ආරක්ෂිත ස්ථානයක් නොවූ බැවිනි.. යාපනයේ ඉතිරි වූ සිංහල ජනතාව ලන්දේසී සමයේ ගෙන්වා පදිංචි කරවන ලද වෙල්ලාලර් පිරිස අතින් ද්‍රඩිඩීකරණයට බඳුන් වූහ. ඉංග්‍රීසි සමයේ දී යාපනයේ ඇති වූ මිෂනාරි පාසල් පද්ධතිය මගින් ද මෙම තත්වය තවත් වර්ධනය විය. යාපන අර්ධද්වීපයේ තිබූ වෙහෙර විහාරස්ථාන රාශියක් පල්ලි බවට පත් වූයේ ලන්දේසි සමයේ දීය. බල්දෙයස් පූජක තැන ඒ බැව් මැනවින් වාර්තා කරයි.
.
කන්කසන්තුරේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොටසේ තිබෙන තිස්ස විහාරය පරංගි සමයේ දී අභාවයට පත් විය. එම පූජණිය ස්ථානය නැවත සංවර්ධනයට බඳුන් වන්නේ නවසිය හතළිහ දශකයේ දීය. සේරුවිල නාගදීපය වැනි වෙහෙර විහාර සොයා දකුණේ සිට පැමිණි යතිවරයන් වහන්සේලා යළිත් මේ රටේ බෞද්ධ උරුමය ගොඩ නැගීමේ උත්සුක වූහ.මේ කියන තිස්ස විහාරයද සොයා පැමිණ උතුරු කළුතර සුමිත්‍රාරාමයේ ශීලාධාර හිමියන් සහ කලුතර පඤ්ඤානන්ද හිමියන් බෝධීන් වහන්සේලා පිහිටා සිටි මේ පුදබිම අනාවරණය කර ගත්හ.. පැරණී තිස්ස විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිදිමින් නැවත තිස්ස විහාරය ගොඩ නැන්වීමට උන්වහන්සේලා ක්‍රියාකළහ. 1954 දී මුල් වරට තිස්ස වෙහෙර භූමියේ දී වෙසක් උත්සවයක් පවත්වමින් සිංහලයන් ගේ ශක්තිය ගෙන හැර පෑහ.මේ කාලයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරයට සමීප ඉඩමක සින්නක්කර අයිතිය නුගේගොඩ පදිංචි ඒබ්‍රහම් පෙරේරා නම් වූ සැදැහැවතෙකු විසින් ශිලාධාර හිමියන්ට පූජා කොට පවරා දී ඇත. 1946 දී ලියන ලද එම ඔප්පුවේ පැහැදිලිව තිස්ස විහාරය යන නාමය සටහන්ව තිබේ.තිස්ස විහාරය 1956 වර්ෂයේ මිනුම්දෝරු සිතියම් වලට එක් වන්නේ මේ අන්දමටයි. මේ සිතියම් වල අක්කර 20 ක පමණ වපසරියක් පුරා ඉඩ කඩම් මේ පුදබිමට අයත් ව තිබූ සැටි හෙළි වෙයි. එහි ස්ථූප සළකුණ දක්වා මිනුම්දෝරු අංශ වලින් ලකුණු කර තිබෙන්නේ මේ බෞද්ධ උරුමයයි. තවද බෝධීන් වහන්සේල සතර නමක් පමණ ඉතා සරුවට මෙහි වැඩ සිට ඇත.

මේ තත්ත්වය මෙසේ වුවද පණස් ගණන් වල අග භාගයේදී ඇතිවූ දෙමළ කෝලාහලය නිසා සිංහලයන්ට උතුරේ විසීම කළ නොහැකි විය. තයිඩ්ඩි දකුණ යනුවෙන් හඳුන්වන වලිකාමම් උතුරේ දිසාපති කොට්ඨාශයේ සිංහල කලඩ්ඩි( කයිඩ්ඩි විය හැකිය ) නොහොත් උලුතන් කලඩ්ඩි යනුවෙන් වෙන් කොට ගත් තිස්ස විහාර භූමිය අවට සිටි සිංහලයන්ද යාපනයේ බේකරි කරමින් වෙලෙඳ ව්‍යාපාර කරමින් සිටි බොහෝ දෙනෙකුට එහි විසීම අන්තරාදායක විය. මේ නිසා තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේද නැවත සිය මුල් විහාරය වන කලුතර සුමිත්‍රා රාමයට වැඩම කළහ. 1959 සිට ඇරඹුණු කාල වකවානුවේදී නැවත මේ විහාරස්ථානයට ආලෝකයක් ඇති නොවීය. එහෙත් 1971 වර්ෂයේ ඇඳි මිනුම්දෝරු සිතියම් වලද මේ විහාරය තිබූ බවට පැහැදිලිව සළකුණු වී තිබේ.එම සිතියම් වල විහාරස්ථානය ඇරුණු කොට සිංහල කලඩ්ඩි නම් ඉඩමේ වෙනත් ඉදි කිරීමක් නොවිණ. එහෙත් 1983 න් පසු යලි දෙමළ කොටි ව්‍යාපාරය ඇරඹීම නිසා යාපනයේ විසූ හය දහසකට ආසන්න සිංහලයන්ට කිසිසේතම් හිතකර නොවීය. 1971 වන විට කන්කසන්තුරේ වලිකාමම් උතුර පෙදෙස් පමණක් සිංහලයන් 453 දෙනෙකු ජීවත්ව සිට ඇත.දෙමළ කෝලාහල සමයේ දී තිස්ස විහාරය ද කඩා බිඳ දමා ගිනිතබා විනාශ කරන ලදහ. එහි ළිඳ පමණක් ඉතුරු විය.කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසු එහි සිංහලයන් දහසකට අධික ප්‍රමාණයක් එහි සේවය කළහ. එසේම යාපනයේ ඉස්පිරිතාල පාර කස්තූරියා පාර ස්ටැන්ලි පාර ආදී නම් වලින් හදුන්වන ස්ථාන වල දකුණෙන් ගිය සිංහලයන්ගේ වාසස්ථාන එමට විය. මේ සියලු සෙනග 1987 න් පසු යලි දකුණට අවතැන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීම නිසාවෙනි.

2009 වරෂයේ යුද්ධය අවසන් වීමත් සමගම යළි නැවත පදිංචි කිරීම ඇරඹිණ. දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් යළි පදිංචි කිරීම ඉක්මන් වුවද සිංහලයන් පදිංචි කිරීමේ කිසිම බලාපොරෙත්තුවක් තිබූ බවත් නොපෙණුනි. එම නිසා යාපනයේ විසූ සිංහල පවුල් 150 ක් පමණ යාපනයේ දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන කළ අරගලය නිසා ඔවුන්ට නාවකුක්ලියෙන් පසුකාලයෙකදී ඉඩම් හිමි විය. එයටද දෙමළ ජාතික සන්ධානයෙන් අපමණ හිරිහැර වූ බව අප දනිමු.එසේම කන්කසන්තුරේ තිස්ස විහාරය අවට සිටි සිංහලයන්හටද කිසිම ලෙසකින් යලි ඉඩම් නොලැබිණ. තිස්ස විහාරය පෙදෙස යාපනයේ ආඥා පති යටතේ හමුදා කඳවුරක් ලෙසට පැවති අතර 1987 න් පසු තිස්ස විහාරයට අයත් සිංහල කලඩ්ඩි නම් ඉඩමේ දෙමළ ජනතාවට පදිංචි කරවීමට උප දිසාපති වරුන්ගේ මැදිහත් වීම මත ඔප්පු හදා දී තිබුණි. 1956 සිට පැහැදිලිව විහාරස්ථානය සතු ඉඩමක් ලෙස පැවති භූමිය බලෙන් අද අත්පත් කරගන්නට ඇතැම් දෙමළ පිරිස් උත්සාහ කරනුයේ මේ හොර ඔප්පු බලපත්‍ර පෙන්වමිනි.මේවා සියල්ල අසූව දශකයෙන් පසු සකස් කරන ලද ප්‍රකාශණ ඔප්පු බව පැහැදිලිය.

කලුතර පඤ්ඤානන්ද හිමියන් ගේ ශිෂ්‍ය පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් තම ගුරු හිමියන් වැඩ වාසය කළ තිස්ස විහාරය සොයා යුද්ධයෙන් පසු යාපනයට වැඩම කළහ. නමුත් තොරතුරක් සොයා ගැනීම දැඩි ලෙස දුෂ්කර විය. නමුත් මේ කාලයේ දී යාපනයේ රෝහලේ සේවය කළ හෙද නිළධාරිණියක වූ ලක්මාලි මැතිණිය මෙම තිස්ස විහාර භූමය පීළිබඳ සොයා බලමින් පැරණි ඔප්පුව සහ පැරණි ලේඛන සොයා දැනගෙන තිබුණි. ඒ තත්වය දැන ගන්නට ලැබුණු පාතකඩ විමලඤණ හිමියන් ඇයගේ මග පෙන්වීම යටතේ කන්කසන්තුරේට ගොස් පළමුව විහාරයේ තිබූ ළිඳ හඳුනාගෙන භූමිය නිශ්චිත කොට ගෙන අනතුරුව තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් වරයා හමු වී සිතියම් වල සඳහන් සිංහල කලඩ්ඩි භූමිය ඉල්ලා සිටියද ඔප්පු ඉදිරිපත් කළ අයට පමණක් ඉඩම් දෙන බව පවසා තිබුණි. නමුත් දෙමළ පිරිස් සිංහලයන් සිටි භූමි වල පදිංචි කරවන්නේ ඔප්පු හදා දීමෙනි.පසුව උතුරේ ආඥාධිපතිව සිටි දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සමයේ කර්නල් රසික පණ්ඩිතරත්න මහතාගේ කැපවීම මත පූජ්‍ය පාතකඩ විමලඤණා හිමියන් තිස්ස විහාරයේ පිහිටි හමුදා නිවස්නයක වස් සිටවූහ. පසුව විමලඤාණ හිමියන් විදේශ ගත වීමේ දී උන්වහන්සේගේ ශිස්‍ය චන්ද විමල හිමියන් හට එම විහාරයේ උරුමය ලිඛිතව ලබා දී තිබුණි. නමුත් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වල යෙදී සිටි උන්වහන්සේට යාපනයට වැඩම කිරීමට අපහසු බැවින් පූජ්‍ය ගිංතොට නන්දාරාම ස්වාමීන් වහන්සේ තිස්ස විහාරයේ වස් සිටුවා නැවත තිස්ස විහාරයේ ඉඳි කිරීම් අරඹනු ලැබිණ. අද වන විට මහාචාර්ය නිමල් ද සිල්වා සහ සමිත මානවඩු මහත්වරුන්ගේ මැදිහත් වීම මත ‌චෛත්‍ය සංවර්ධන සමිතියක් පිහිටුවා ප්‍රධාන ස්ථූපයත් සංඝාවාසයත් අවසන්කර ඇත. දෙමළ අන්තවාදීන් ගේ තර්ජන එල්ල වන්නේ ‌ ඉතිහාසගත උරුමයක් ඇති මෙවැනි විහාරයකටය.

මෑතක සිට පලාලි ගුවන් තොටේ සිට සෘජු ගුවන් ගමන් ඉන්දියාවට පිටත් වෙයි. එසේම එම ගුවන් කඳවුරට යාබද ඉඩම් වල කර්මාන්ත පුරයක් ඇරඹීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරයි. බොහෝ විට ඒවා ඉන්දියාව හෝ ඇමරිකාව සම්බන්ධ ස්ථාන බවට පත් වෙනු ඇත. මෑතකදී ඇමරිකානු නියෝජිතයන් දෙදෛනෙකු මේ ස්ථාන පරීක්ෂාවට පැමිණි බවට මාධ්‍ය වර්තා පළ විය. ඒ තත්වය තුළ තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් කොටසේ සිංහලයන් පදිංචි කරවීම ඔවුන් රුස්සන්නේ නැති බවට සැකයක් නැත.දෙමළ ජාතික සන්ධානයේ බල කිරීම මත කන්කසන්තුරේ නාවික කඳවුරද ඉවත් කිරීමට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ 2018 දී පොරොන්දු ව තිබුණි. ඇමරිකානු න්‍යාය පත්‍රයට සහ ඉන්දියානු න්‍යාය පත්‍රය ඔස්සේ දුවන දෙමළ සහ සිංහල දේශපාලඥයන් නිසා උතුරේ සහ දකුණේ සංහිඳියාව බිද වැටෙන ආකාරයට මෙය හොඳ නිදසුනකි. දෙමළ කොටි ව්‍යාපාරයට (පුලිය පාදෙයි) කලින් යාපනයේ සහ නැගෙනහිර පෙදෙස් වල සිංහලයන් සමග දෙමළ ජනතාව සතුටින් ජීවත් වූහ. ලංකා භූමිය සිංහලයන් ගේ බව මේ ඉන්දියානු දෙමළ වැසියන් දනී. ඉංග්‍රීසී නීතිය යටතේ ඉඩම් ඔප්පු ලැබී යාපනයේ සින්නක්කර ඉඩම් අයිතිය හිමිව ජීවත් වන බවත් ඔවුන් දනී. එසේ තිබියදීත් කෝවිලට පන්සලට ගිය දෙමල ජනතාවත් සිංහල ජනතාවත් බිඳුවන්ට කටයුතු සලස්වන්නේ ලංකාවේ ඇමරිකානු නියෝජිතයන් සහ ඉන්දියානු නියෝජිතයන් ලෙසට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ සම්බන්ධන් සුමන්තිරන් මිලින්ද මෙරගොඩ වැන්නවුන්ය. යාපනයේ තිස්ස විහාරයේ ඉඩකඩම් පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත් ඒවා වරින් වර ඔහුට ඉදිරිපත් කර යුක්තිය ඉෂ්ඨ කර දෙන්න යැයි දන්වා සිටියදී තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් වරයා මේ ප්‍රශ්ණය දිගින් දිගටම ඇද ගෙන යන්නේ ඒ නිසාය.තිස්ස විහාරය සතුව තිබූ ඉඩ කඩම් පිළිබඳ පැහැදිලි සිතියම් මිනුම්දෝරු දෙපාර්තමෙන්තුව සතුය.දැනට මෙම විහාරය පිළිබඳ අයිතිය බුද්ධ ශාසන අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති අතර පූජා ඔප්පුවක් සකස් කිරීමට අවශ්‍ය සියලු විස්තර ප්‍රමාණවත්ව තිබෙන බවද ඒත්තු ගන්වා තිබේ. නමුත් ජනාධිපත් රනිල් වික්‍රමසිංහ ගේ බලය බෙදීමේ න්‍යාය පත්‍රයට අනුව උතුරේ හෝ නැගෙනහිර ඉඩම් විහාරස්ථාන වලට දීම තහනම්ය.පුරාවිද්‍යා රක්ෂිත වලට දීම තහනම්ය. නමුත් කිසිම අයිතිවාසිකමක් නොමැති දෙමළ අන්තවාදීන්ට එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හරහා ලබා දීම ට අවසරය තිබේ.13ට එහා ගිය බලය බෙදීමකදී මෙලෙස රජය සතු භූමය දෙමළ මුස්ලිම් අයට පමණක් ලබා දීමේ එකඟතාවයක ඇත. ඒ ඉන්දියාව සතුටු කරලීම පිණිසය.මේ හිතුවක්කාරී පියවරයන් වහා නවතා නොදැමුවහොත් උතුරේ දැනට පවතින සංහිඳියාවද බිඳ වැටී රට නැවත අධිරාජ්‍යවාදීන්ගේ දඩබිමක් වනවා නිසැකය.

– මතුගම සෙනෙවිරුවන් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More