මුහුණු පොතෙන්

ජාතික ගීය Posh කරමු

August 3, 2023 7:48 am | Lanka Lead News

උතුරු මැද පළාතේ සමන්ති නමැති කාන්තාවක් ගෘහ සේවය සඳහා මැද පෙරදිග රැකියාවකට ගියා ය. ඇය නැවත මෙරටට පැමිණියේ වසර තුනකට පසුව ය. ඇය පැමිණෙන විට සියල්ල වෙනස් වී තිබුණේ ය. ඇයගේ සමන්තී යන නම “සෑම්” ලෙස කොට වී තිබුණි. දිගු කොණ්ඩය බෙල්ල තෙක් කොට වී තිබුණි. අඳින ඇඳුම ද කොට වී තිබුණි. දිනක් ඇයට පොළොස් කෑමේ ආශාවක් පහල විය. ඇය ගමේ පොළට ගොස් ” අර කටු කටු තියෙන Jack වල පොඩි එක තියෙනවද” යැයි ඇසුවා ය. ඇය වසර තුනකින් පොෂ් වී තිබුණි. පොළොස් අමතක වී තිබුණි. ඒ ඇයගේ Posh වීම ය.

එක්තරා ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක අසන්නන්ගේ ගීත ඉල්ලීම් ප්‍රචාරණය කරන වැඩසටහනක නිවේදිකාව බස හැසිර වූයේ මෙසේය ” දැන් අපිත් එක්ක Caller කෙනෙක් Line එකේ ඉන්නවා නාරම්මලින්…Hi අසංක Good Morning…ඉතිං කොහොමද Life එක? අද ඔයා Work කරන්න ගියේ නැද්ද? Ok right…ඔයා දැන් අපෙන් Request කරන්නේ මොන Song එක ද? Right.. Song එක Play කරන්න කලින් මේ Song එක Dedicate කරන්නේ කාටද කියලා කියන්න ඕන Ok? Right එහෙනම් Thank you call කරාට…එහෙනම් Programme එක අහන Friends ලා ඔක්කොම Fun එකේ Set වෙලා අපිත් එක්ක රැඳී ඉන්න..” ඒ ඇය Posh වු හැටි ය.
මෙවැනි සංවාද හෝ මීට සමාන සංවාද ඔබටත් ඇසී ඇත් ද ? ” ඔයා දන් නෑ අනේ අපි Marry කරද්දී මගේ Hubby යට ගෙදරින් හරියට Problems තිබුණා. මගේ Daddy කැමති උනෙත් නෑ අපේ Affair එකට.ඒත් Mommy අපට හොරෙන් Support කරා. Marry කරලා ටිකක් කල් යද්දී මම Pregnant උනහම ඔක්කොම Problems solve වුණා. දැන් අපිට ලොකු Kids ලා දෙන්නෙක්ම ඉන්නවා. ඒත් තාම Naughty යි. Hubby office එකේ වැඩ ඉවර වෙලා Car එකේ ගෙදර එනකම් අපි ඉන්නේ ඉන්නේ හරිම Worry එකේ. ඒත් අපි Weekend’s වල හොඳට Trips ගිහිල්ලා Enjoy කරනවා. ඔයත් ඉක්මනට Marry කරන්න” මේ ලාංකේය මධ්‍යම පාන්තික කාන්තාවන් Posh වෙන හැටි ය.

මාගේ මුල් නිවස පිහිටා තිබුණේ ජාත්‍යන්තර පාසලක් අසලය. ඔවුන් විවේකයට එලියට පැමිණි විට කතා කළේ ඉංග්‍රීසියෙන් ය. බොහෝ අවස්ථාවල වාක්‍යයක් අවසානයට ඔවුන් “Noh” යන වචනය යොදයි. එය මොන ඉංග්‍රීසියක් දැයි මා දැන සිටියේ නැත. මා වඩාත්ම ප්‍රිය කළේ වෙසක් කාලයේ ඔවුන් භක්ති ගීත පුරුදු වනවා ඇසීමට ය. විශේෂයෙන්ම “දන්නෝ බුදුන්ගේ” ගීතය ගායනා කරනවා ඇසීමට ය. ඔවුන් එය ගායනා කළේ ” ඩන්නෞ බු..ඩූ..න් ගේයි” ලෙසය. හරියට ගුද මාර්ගයේ කොණ්ඩ කැවුම් සිරවී ඇති පිරිසක් වාගේ ය. ඒ ඔවුන් Posh වූ හැටි ය.

එය ජංගම දුරකථන මෙරටට පැමිණි මුල් අවධියයි. ගඩොලක් තරම් විශාල වූ එම ජංගම දුරකථන අත රැඳුනේ කීප දෙනෙක් අත පමණි. අප නිවස අසල සිටි අයෙකු ඔහුට ඇමතුමක් ලැබෙන උඩු මහලේ සඳලුතලයට පැමිණ ගමටම පේන ලෙස ඇමතුමට පිළිතුරු දුන්නේ තමන් දෙස කවුරුන් හෝ බලන්නේ දැයි වටපිට බලමිණි. මෑතකදී Iphone එකක් තෑගි ලෙස ලැබුණ මාගේ මිතුරෙකු ඔහු කතා කරන සෑම වචන දහයකටම වරක් තම දුරකථනයේ ඇති විශේෂත්වයන් පැවසීමට තරම් නොමසුරු විය. ඒ ඔවුන් Posh වූ හැටි ය.

මාගේ මිතුරෙකු වැඩි දුර අධ්‍යාපනය උදෙසා ඔස්ට්‍රේලියාවට ගොස් වසර දෙකකින් මෙරටට පැමිණි පසු සිංහල කතා කළේ අසීරුවෙන් ය. ඉංග්‍රීසී කතා කරන විට මුල් විනාඩි කීපය ඔස්ට්‍රේලියානුවෙක් මෙන් විය. විනාඩි කීපයකට පසු ඔහුට ඔහුගේ මුල් උච්චාරණය ඔහුටම අමතකව යන බවක් ඔහුට නොවැටහුණි. වසර දෙකකින් ඔහුට සිංහල අසීරු වී තිබුණි. ඒ ඔහුගේ Posh වීම ය.

මා දන්නා එක්තරා ප්‍රසිද්ධ හිමිනමක් කතා කරද්දී මැදින් නොගැලපෙන ඉංග්‍රීසි වචන දමයි. දුප්පත් දායකයන් ගේ නිවෙස්වල බණ ට වැඩීම ප්‍රතික්ෂේප කරයි. හොඳ පෙනුමක් නැතිනම් මුහුණ බලා කතා නොකරයි. දේශපාලනඥයින්, නළු නිළියන් උන් වහන්සේගේ සමීප මිතුරන් බව පෙන්වීමට උත්සාහ දරයි. වාහන මාරු කරයි. රුපියල් 30,000 පමණ වටිනා සිවුරු පමණක් පරිහරණය කරයි. ලොව ඕනෑම රටකින් ඕනෑම දෙයක් පහසුවෙන් කරගත හැකි බව පෙන්වයි. ඒ එම හිමියන් Posh බව පෙන් වූ අයුරු ය.

මා වැඩ කළ එක්තරා ආයතනයක ඉහල කළමනාකරුවන් සෑම විටම ආහාර ගත්තේ හැඳි ගෑරුප්පු වලිනි. මා ආහාර ගත්තේ අතිනි. ඒ වන විට රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමට සියලු සුදුසුකම් හා අත්දැකීම් තිබුණද එයට බාලගිරි දෝෂය වැළඳී තිබුණි…මා අතින් කෑම ගැනීම නවතා හැඳි ගෑරුප්පු වලට බැස්සෙමි. වැඩි කල් නොගොස් මාගේ උසස් වීම මට ලැබුණි. ඒ මා Posh වූ හැටි ය.

මාර්ටින් වික්‍රමසිංහයන් ලියු යුගාන්තය නවකතාවේ එන වත්තුහාමි මුදලාලි ද Posh වීමට උත්සාහ දැරූවෙකි. ටී.ජී ඩබ්ලිව් සිල්වා ලියූ නම්බු පිස්සුව කෙටි කතාවේ ද Posh වීමට උත්සාහ දරන ඇමති පුතෙකු ගැන ඇත. 1976 දී තිරගත වූ කොළඹ සන්නිය විකට චිත්‍රපටයට පාදක වී ඇත්තේ ද ගමෙන් කොළඹට පැමිණ Posh වීමට උත්සාහ දරන පවුලකට වෙන අකරතැබ්බයන් ය.

Posh යන්නට විවිධ තේරුම් ඇතත් අප එය භාවිත කරන්නේ අනෙකාට වඩා අප උසස් බව පෙන්වීමට පමණි. සියල්නටම අවශ්‍ය වී ඇත්තේ එසේ Posh බව පෙන්වීමට ය. මේ අතර සැබැවින්ම Posh මිනිසුන් එක විට කතා කරන්නේ එක භාෂාවක් පමණි. ඉංග්‍රීසි කතා කරන විට සිංහලත්, සිංහල කතා කරන විට ඉංග්‍රීසිත් පටලවා නොගනියි. නැති දේ හුවා දක්වන්නට උත්සාහ දරන්නේ ද නැත. බොරු මාන්නයක් ද නැත. රඟපෑම් නැතිව තම සමාජ තත්ත්වයන්ට ගැලපෙන ආකාරයන් සරලව ජීවත් වේ. ඔවුන්ට අන් අය සමග තරගයක් ද නැත. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Posh ය. මිනිසුන් කාලානුරූපීව වෙනස් වීමේ වරදක් නැත. අත්‍යවශ්‍ය තැනදී වෙනස්වීමේ ද වරදක් නැත.නමුත් රැල්ලට Posh වීම හාස්‍යජනක ය.

  • මෙය 2017 වසරේ ලියූ ලිපියක් නිසා උමාරා ගැන සඳහන් කර නැති බව කරුණාවෙන් සලකන්න.

– සොනාල ගුණවර්ධන –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More