රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන වැව් සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි.
නියඟ තත්වය තවදුරටත් පැවතුණුහොත් ප්‍රමාණවත් පරිදි විදුලිය බලය නිපදවීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යෙන්ම සිදුවන බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසූ අමාත්‍යවරයා නියගය හේතුවෙන් බෝග වගාවන්ට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 87.9ක් දක්වා පහත බැස ඇති බවත් තවත් දින දහයක් ජලය නොලැබුණහොත් එම මට්ටම ඝන මීටර් මිලියන 60 ක් දක්වා පහත බසිනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ.
මේ හේතුවෙන් දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා විදුලි කප්පාදුවක් ඉදිරියේදී කිරීමට සිදුවනු ඇතැයිද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ අතර නියගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන මධ්‍ය පරිමාණයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බවත් මධ්‍යම රජය යටතේ නඩත්තු කෙරෙන මහා පරිමාණයේ වැව් රැසක ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බවත් වාරි ඉංජිනේරුවෝ පවසති.
උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් සංඛ්‍යාව 3000කට අධිකය. අධික නියගය හේතුවෙන් මෙම වැව් විශාල වශයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත හේරත් මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලින් සියයට අසූවක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇති බවත්, ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවත් ය.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නියඟය හේතුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ අම්පාර හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට බවත් සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...