පුරවැසි කොලම
හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු අධිපතිවරයෙකු ලෙස බරපතල චෝදනා වලට ලක්වූ පුද්ගලයෙක්. ඔහු විසින් මහ බැංකු අධිපති තනතුර දෙවරක් දරා ඇති අතර ඔහුගේ එම දූර කාල දෙක තුලදීම ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල හානි සිදු කළ බවට එල්ල වන චෝදනා තවමත් අවසන් නැහැ. කෙසේ වුවද අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා 2022 වර්ෂයේදී ‘ආර්ථික ඝාතකයන් මැද’ නමින් ග්‍රන්ථයක් ලියා තමා වෙත එල්ල වන චෝදනා වලට පිළිතුරු දීමට උත්සහා කරනු ලැබුවා. කෙසේ වුවද තමා වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෑත කාලයේදී ජන මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡා ලබා දීමට කබ්‍රාල් මහතා කටයුතු නොකළේය.

————————————————————————————————————————————–

ප්‍රශ්නය:ඔබ විසින් 2010 වර්ෂයේදි ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට දැවැන්ත මුල්‍යමය පාඩුවක් සිදු කළා යන චෝදනාවෙන් ඔබට ගැලවීයා හැකිද ?

අජිත් නිවාඩ් කබ්‍රාල්: 2010 දී ග්‍රීක බැඳුම්කරවල මහ බැංකුව ආයෝජනය කිරීම මගේ පෞද්ගලික තීරණයක් මත සිදු වූවක් නොවෙයි. එය මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ තීරණයක්.නමුත් එම ආයෝජනයේදි කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නොමැති බව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

Writ Against Ajith Nivard Cabral Finalized

ප්‍රශ්නය: 2009 සහ 2010 කාලය අතරතුරදී සිදුවූ කුප්‍රකට හෙජින් ගනු දෙනුවේදී ජාත්‍යන්තර බැංකු වලට ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදූ වූ මුදල ඩොලර් මිලියන 460 ක් බවයි වාර්තා වන්නේ. මෙම පාඩුවත් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔබ ගත් අදූරදර්ශී ක්‍රියා හේතු නිසා සිදුවූවක්ය යන්න ඔබට බැහැර කළ හැකිද ?

අජිත් නිවාඩ් කබ්‍රාල්: 2009/10 “හෙජින්” ගණුදෙණු සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ජාත්‍යන්තර බැංකුවලට සිදු කර ඇති පියවීම් ඩොලර් මිලියන 89 ක් පමණයි. නමුත් ඇතැම් පුද්ගලයන් විසින් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර බැංකු වලට ගෙවූ මුදල ඩොලර් මිලියන 460 ක්ය යන්න සත්‍යක් නොවෙයි. ඒවගේම ඛනිජ තෙල් මිලදී ගැනීම් “හෙජින්” ක්‍රමයට ගත් තීරණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ලද කැබිනට් තීරණයක් මිස මගේ පුද්ගලික තීරණයක් හෝ මහ බැංකුව ගත් තීරණයක් නොවෙයි.

ප්‍රශ්නය : ඔබට ඇති තවත් චෝදනාවක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සන්නිවේදන වැඩසටහනක් සඳහා Zuberi ආයතනය වෙත ඇ.ඩො. මිලියන 6.5ක් ගෙවීම නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් කළ එකක් නොවන බව යන්නයි.

අජිත් නිවාඩ් කබ්‍රාල් : එය සම්පූර්ණයෙන්ම වැරදියි ඇමරිකා එක්සත් ජනපදයේ සන්නිවේදන වැඩසටහනක් වන Zuberi වෙත ඇ.ඩො. මිලියන 6.5ක් ගෙවීම, නිසි ගෙවීම් නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින්, රජයේ නිශ්චිත ලිඛිත උපදෙස් මත මහ බැංකුව විසින් කරන ලද ගෙවීමක් මිස මගේ පෞද්ගලික තීරණයක් මත හෝ මහ බැංකුවේ තීරණයක් මත සිදු කළ එකක් නොවෙයි. එපමණක් නොවෙයි මෙම සම්බන්ධව මුදල් මණ්ඩලයේ තීරණයක් මත මගේ අධීක්ෂණය යටතේ විශේෂඥ වාර්තා 7ක් පිළියෙල කිරීමට මම සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලැබුවා.

ප්‍රශ්නය: 2015 වර්ෂයේදී ඔබ මහ බැංකුවේ අධිපති ධූරයෙන් සමු ගන්නා විට විදේශ විනිමය සංචිත අඩියටම හින්දවා තිබුනා. ඔබ එයට සෘජුව වගකිව යුතුයි නේද?

අජිත් නිවාඩ් කබ්‍රාල් :ඔබගේ ප්‍රශ්නය වැරදි තොරතුරු මත පදනම් වූවක්. 2015 ජනවාරි මාසයේදී මම මහබැංකුවේ අධිපති ධුරයෙන් සමුගන්නා විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 8.2 ක් වූවා. එලෙසම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලට ගෙවීමට තිබූ හිඟ මුදල ඩොලර් බිලියන 5.0 යි. ඒ කියන්නේ ශුද්ධ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක ධන අගයක තිබුණා. එහෙත්, 2019 අවසානය වන එනම් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන විට, විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.6 ක් පමණ වන අගයක තිබූ අතර, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල හිඟය ඩොලර් බිලියන 15 ක් තරම් ඉහළ අගයක තිබීම කැපී පෙනෙන සිද්ධියක් වූවා. එනම් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ අධිපතිවරයාගේ කාලයේ මහභාන්ඩාගාරයේ ශුද්ධ සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.4ක සෘන අගයකට කැපී පෙනෙන ලෙස පහත ගොස් තිබුණා.

ප්‍රශ්නය : ඔබ විසින් පෞද්ගලිකවම මාර්තු 31 වන දින “අරගලය” නමින් හැඳින් වූ ප්‍රචන්ඩ සිද්ධි දාමය ආරම්භ වීමට සති තුනකට පමණ පෙර එනම් 2022 මාර්තු 7 දින රුපියල පා කිරීමේ තීන්දුව ගනු ලැබුවා. එලෙසම 2022 ජනවාරි මාසයේදී කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලට ඩොලර් මිලියන 500ක් ගෙවීමටත් ඔබ පෞද්ගලිකවම තීන්දු කරනු ලැබුවා.

අජිත් නිවාඩ් කබ්‍රාල් : 2022 මාර්තු 7 වැනි දින රුපියල “පා කිරීමේ” තීරණය මුදල් මණ්ඩලය විසින් ගනු ලැබුවේ මහ බැංකුවේ ඉහළ කාර්ය මණ්ඩලයේ ලබා දුන් නිර්දේශය මතයි. එය මගේ පෞද්ගලික තීරණයක් නොවේ. රටේ මුදලේ අගය අවප්‍රමාණය වීමේ අවදානම සහ ප්‍රතිවිපාක පිළිබඳව මම බොහෝ අවස්ථාවල රට දැනුවත් කළා.
2022 ජනවාරි මාසයේදී කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් පියවීමට ගත් තීරණය රජය විසින් සිය ප්‍රතිපත්ති සහ බැඳීම්වලට අනුකූලව සිදුකරන ලද සාමාන්‍ය ණය ආපසු ගෙවීමක් බව මම අවධාරණය කරනවා. එසේ ගෙවීමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුව විසින් අයවැය මගින් වෙන්කර තිබුණා. ඇතැම් ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල ණය පැහැර හැරීමක් ඉල්ලා කෑගසමින් සිටියද, එවැනි ගෙවීමක් මහ බැංකුවට හෝ මහ බැංකු අධිපතිවරයා ලෙස මට නතර කළ හැකි වූවේ නැහැ. හාස්‍යට කාරණය නම් , ගෝලීය ආයෝජකයෙකු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පැහැර හැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් උසාවියකදි නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන නමුත්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පැහැර හැරීම වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මේවන විට බිහිරන් ලෙස නිහඬව සිටීමයි.

ප්‍රශ්නය : 2018 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ලංසු තබමින් මහ බැංකුවේ මුදල් වියදම් කිරීමට පවා ඔබ කටයුතු කළා නේද ?

අජිත් නිවාඩ් කබ්‍රාල් : නැහැ එසේ වූවේ නැහැ. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ලංසුව ඉදිරිපත් කරන ලද්දේ කැබිනට් තීරණයකට අනුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ලංසු කමිටුවක් විසිනුයි. එය මගේ තනි තීරණයක් මත පදනම් වූවක් නොවේ. ඒවගේම ලංසු තැබීමට මහ බැංකුවේ මුදල් වියදම් කළේත් නැහැ. ලංසුව සම්බන්ධයෙන් අදාළ මුල්‍ය ප්‍රකාශන විගණනය කර තිබූ අතර එකදු මූල්‍ය අක්‍රමිකතාවක් හෝ වාර්තා වී නොතිබුණු බව මම අවධාරණාත්මක පවසනවා.

ප්‍රශ්නය : මේ වන විට තිනියාවල පාලිත හිමියන් මෙන්ම සමාජ ක්‍රියාකරුවෙකු වන කීර්ති තෙන්නකෝන් ඔබට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. නඩු නිමිත්තක් නොමැතිව ඔවුන් අධිකරණය වෙත යා හැකියි කියා විශ්වාශ කළ හැකිද ?

අජිත් නිවාඩ් කබ්‍රාල් : දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරික කීර්ති තෙන්නකෝන් විසින් මට එරෙහිව මෑතකදී ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග මහේස්ත්‍රාත් අධිකරණයේ කළ පුද්ගලික පැමිණිලි මිස නීතිපතිවරයාගේ අධිචෝදනා නොවේ. මම, මෙම පැමිණිලි වලට නිශ්චිතවම උසාවියේදී පිළිතුරු දෙනවා.

ප්‍රශ්නය : වෝහාරික විගණනයට අනුව ඔබ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදි රුපියල් බිලියන 10ක අලාභයක් කර ඇති බව වෝහාරික විගණනයකට අනුව ඔප්පු වී තිබෙනවා. ඒ අනුව ඔබත් මහ බැංකුවට පාඩු කළ පුද්ගලයෙක් නේද ?.

අජිත් නිවාඩ් කබ්‍රාල් : මම මිට පෙර මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කළ වෝහාරික විගණනයකට අනුව රුපියල් බිලියන 10 ක උපකල්පිත අලාභයක් සිදු වූ බවට කරන ලද චෝදනාව සාවද්‍ය චෝදනාවක්. එම උපකල්පන පදනම මත රුපියල් බිලියන 28 ක උපකල්පිත ලාභයක් සිදුවූවාය යන්න උවමනාවෙන්ම නොසලකා හැර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සියලු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනවලට අනුව සිදුකළ ඒවා මිස එවකට මහ බැංකුවේ අධිපතිවරයා වූ මගේ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් මට එරෙහිව 2021 සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන කීර්ති තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. එම පැමිණිල්ලට අදාලව ගත් අධිකරණ ක්‍රියාමාර්ග වලට අනුව 2021 නොවැම්බර් 3 වන දින අභියාචනාධිකරණය විසින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කර තිබෙනවා.

scfr_application_457_2012_230717_150410

ප්‍රශ්නය : ඔබ විසින් අසාමාන්‍ය ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවටත් විශාල චෝදනාවක් ඔබට එල්ල වෙනවා. එම චෝදනාවෙන් ඔබට ගැලවී යාමට නොහැකි තරම් ප්‍රභලයි. මේ සම්බන්ධයෙන් ඔබගේ පැහැදිලි කිරීම කෙසේ වන්නේද?

අජිත් නිවාඩ් කබ්‍රාල් : ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල ආයෝජනයේදී ම’විසින් වංචා කළායැයි කරන චෝදනා මෙන්ම මෙම චෝදනාද සාවද්‍යයයි. මම මහ බැංකුවේ අධිපති ධූරය දරණ සමයේදී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම් සියල්ල නීත්‍යානුකූලව සිදුවූ බව මම නැවත අවධාරණය කරනවා. එලෙසම මගේ තනි කැමැත්තට දැවැන්ත “මුදල් ප්‍රමානය මුද්‍රණයක්” සිදු කළා යනුවෙන් කරන චෝදනාවද අසත්‍යයක්. ඇත්ත වශයෙන්ම සිදු වී තිබෙන්නේ වත්මන් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2022 ජූනි 20 දක්වා ධුර කාලය තුළ දිනකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 4.5 ක් “මුද්‍රණය කර” තිබීමයි. එය මගේ පාලන සමයේ මුද්‍රණය කළ මුදල මෙන් දෙගුණයක ප්‍රමාණයක්.

ඉහත කරුණු අනුව මට එරෙහිව සමාජ මාධ්‍ය තුළ පළවන සහ හුවමාරු වන චෝදනා අමූලික අසත්‍ය චෝදනා බවත්, ඒවායින් බොහොමයක් වසර 10 ඉක්මවූ චෝදනා බවත් මනාව පැහැදිලි වෙනවා. ඇත්ත වශයෙන්ම, පසුගිය රජය ද එම චෝදනාවලින් සමහරක් මගේ කර මත පැටවීමට උත්සාහ ගත් නමුත් කිසිදු වරදක් සිදු වූ බවට සාක්ෂි නොමැති නිසා ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට නොහැකි වූවා.

එසේ වුවද දිගින් දිගටම අසත්‍ය චෝදනා කරමින් ඒවා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරමින් මාව අපකීර්තියට පත් කිරීමට උත්සහා කරන සංවිධානාත්මක කණ්ඩායම් තවමත් සිටිනවා. එවැනි වෛරයෙන් පිරුණු, වල්මත් වූ සහ බොරු චෝදනා ද නිසැකවම අසාර්ථක වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අපි හිටියා නම් සේරම ණය ගෙවනවා – අජිත් නිවාඩ් කබ්රාල් – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති

සංවාද සටහන: ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More