පුරවැසි කොලම

අරුන් සිද්ධාර්ථන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කළ දේශනයක සඳහන් කළ කරුණු ගැන බොහෝ දේ කියන්න තියෙනවා. එහෙත් පළමුව ඔහුට මහින්දවාදියකු ලෙස දෙමළ ජනකොට්ඨාසයේ ඇතැමුන් කරන චෝදනාව ගැන ඇසූ විට මට හිතුනේ මහින්ද මා හිතුවාටත් වඩාත් ජාතිකත්වයට වැඩ කර තියෙන බවයි. සිංහල බෞද්ධ විරෝධීන් එසේ නොවන්නන් මහින්දවාදීන් ලෙස හැඳින්වීමට පෙළඹී ඇති බවක් පේන්න තියෙනවා. මහින්ද බටහිරට හරි ඉන්දියාවට හරි නමස්කාර් කියා නැති බව පැහැදිලියි.

මා අරුන් සමග කතාකර ඇත්තේ එක් වරක් පමණයි. එයත් දුරකථනයෙන්. ඔහු සිංහල බෞද්ධ විරෝධීයකු නොවනවා පමණක් නොව සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති පුද්ගලයකු බවත් වැටහුණා. සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධයකු වීම අවශ්‍ය නැහැ. සිංහල කතෝලික දෙමළ හින්දු මුස්ලිම් ආදීන්ටත් සිංහල බෞද්ධ ජාතිකත්වයක ඉන්න පුළුවන්. එයට අවශ්‍ය මූලික කරුණ වන්නේ සිංහල බෞද්ධ උරුමය පිළිගැනීමයි. අරුන් ඒ උරුමය පිළිගන්නවා. මා හිතනවා අපට ව සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති නායකයකු දෙමළ ජන කොට්ඨාසයෙන් ලැබී ඇති බව.

සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති අය දෙමළ මෙන් ම මුස්ලිම් ජනකොටස්වල ද ඉන්නවා. එහෙත් ඔවුන්ට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. වරක් දඹුල්ලේ දී මට දෙමළ සිසුන් කණ්ඩායමක් හමු වුණා. ඒ සමග පැමිණි ගුරුවරයකු සමග කතා කිරීමේ දී මට හැඟී ගියේ ඔහුට සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති බවයි. ඔහු සිසුන් සමග පැමිණ තිබුණේ තම උරුමය දැක ගැනීමට. මා ඉතා සරල ව කියා ඇති කරුණක් නම් යමකුට රුවන්වැලි සෑය තම උරුමය ලෙස සලකන්න පුළුවන් නම් ඒ අයට සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇති බවයි.

අරුන් සමග කතා කිරීමේදීත් දේශනයට සවන් දීමේදීත් මා ගොතා ඇති කතා යම් ප්‍රමාණයකට වැඩ කරන බව පෙනී ගියා. මා නිතර කියන්නේ මට තොරතුරු දැන ගැනීමේ ගවේෂණය කිරීමේ පරීක්‍ෂණ කිරීමේ දක්‍ෂතාවක් නැති බවත් මා කතන්දර ගොතන අයකු පමණක් බවත්. දෙමළ ජාතිවාදය වෙල්ලාලයන්ගේ ජාතිවාදයක් බවත් එය පිටුපස ඇත්තේ ලන්දේසීන් හා ඉංගිරිසින් බවත් දැන් ඉන්දියාවත් එයට හවුල් වී ඇති බවත්. ඔවුන් වෙල්ලාලයන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව යොදා ගන්නා බවත්. එමෙන් ම යාපනයේ අද ඉන්න දෙමළ ජන කොටසින් යම් පිරිසක් වෙල්ලාලයන් විසින් දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කරනු ලැබූ සිංහලයන් බවත්.

දෙමළ ජාතිවාදය ගැන මා දන්නවාට වඩා තොරතුරු සුමේධ වීරවර්ධන, පියසිරි අමරකෝන් සහ තවත් අය දන්නවා. මා එතරම් තොරතුරු දන්නේ නැහැ. මා පුරුදු වී ඇත්තේ තොරතුරූ කිහිපයකින් කතාවක් හදා අනෙක් අය එකතු කරන තොරතුරු ඒ කතාවලින් කියවෙනවා ද කියා බැලීමයි. අරුන් කියන තොරතුරු මගේ කතාව සමග බොහෝ දුරට ගසංගතයි.

දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇති කරන ලද්දක්. ඒ වෙල්ලාලයන් මෙරටට ආනයනය කිරීමෙන්. ඒ වන විටත් මෙරට මලබාරයන් ටික දෙනකු හිටියා. එමෙන් ම වේලක්කාර හමුදා භටයන්ගෙන් පැවත එන අයත් හිටියා. එහෙත් යාපා පටුනේ බහුතරය සිංහල බෞද්ධ. මලබාරය කියන්නේ වත්මන් ඉන්දියාවේ බටහිර වෙරළ ආශ්‍රීිත ප්‍රදේශය. ඒ ප්‍රදේශයෙන් පැමිණි අය කතා කෙළේ මළයාලම් මිස දෙමළ නො වෙයි. ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ වැඩිම වුවහොත් දහතුන්වැනි සියවසෙන් පසුව. එසේ වුණත් පෘතුගීසීන් පැමිණෙන විටත් යාපනේ බහුතරය සිංහල.

අර මලයාලම් කතා කරන පිරිස් වත්මන් බස්නාහිර පළාතටත් ඇවිත් තියෙනවා. ඔවුන් කල් යෑමේ දී සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වෙලා. යාපනයට පැමිණි අයත් එසේ වීමට තිබුණා. එහෙත් වෙල්ලාලයන් හා ලන්දේසීන් එය වෙනස් කළා. අරුන් කීවාක් මෙන් වෙල්ලාලයන් භාරතයේ අයත් වුණේ ශුද්‍ර වර්ණයට. මෙරට ඔවුන් වංශවත් බවට පත්කෙරුණා. එසේ වුණත් දුම්කොළ අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ඔවුන් කෝරමණ්ඩළයට (ඉන්දියාවේ ගිණිකොණ දිග) ආපසු ගියා. එය නැවැත්වීමට ලන්දේසීන් තේසවලාමෙයි නීතිය පැනවූවා. ඒ සමග ඉඩම් අයිතිය ඔවුන්ට හිමිවුණා. එ සමග යාපනයේ සිටි සිංහලයන් දෙමළ හින්දු සංස්කෘතියේ අඩු කුල ජනයා ලෙස අවශෝෂණය කෙරුණා. වෙල්ලාලයන් ද මෙරට දී හැඳින්වුණේ මලබාරයන් ලෙස. ඉංගිරිසින් ද ඔවුන්ට කිවුවේ මලබාරයන් කියා. යාපනයේ කතා කරන දෙමළ චෙන්නායිහි කතා කරන දෙමළෙන් වෙනස්. යාපනේ දෙමළ බසෙහි මලයාලම් වචන තියෙනවා. පසුගිය දා මගේ පාසල් මිතුරකු පැවසුවේ ඔවුන් ලංකාවට පැමිණ අවුරුදු හාරසීයක් පමණක් වන බවත් ඔහු තම භාර්යාව සමග දෙමළෙන් කළ කතා චෙන්නායි දෙමළ ජනයාට තේරුම් ගැනීම අපහසු වූ බවත්.

අරුන්ගේ දේශනයේ තිබුණා මගේ කතාවේ නොමැති දෙයක්. එය ඉතා වැදගත්. අරුන් මා මෙන් නොව මහන්සි වී කරුණු එකතු කළ අයෙක්. අවුරුදු තිහකටත් පෙර චම්පකලා මට කිවුවේ වැඩක් නොකරන හාන්සිපුටුවාදියෙක් කියා. ඔවුන් කුමක් කීවත් මා රටේ බොහෝ පළාත්වල සංචාරය කර තියෙනවා. ඒ වැඩි වශයෙන් ම පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සමග. එහෙත් අපට දීප ව්‍යාප්ත සංවිධානයක් ගොඩනගා ගන්න බැරි වුණා. මා සංවිධායකයෙක් නො වෙයි. මා මුල සිට ම වැඩියෙන් කෙළේ කතන්දර ගෙතීම. දැනුත් කරන්නේ එයයි.

අරුන්ගේ දේශනයෙන් පසු මා මගේ කතාව සුළු වශයෙන් සංශෝධනය කළා. එහෙම තමයි කතාවල කතාව. කතා තොරතුරුත් සමග සංශෝධනය වෙනවා. සමහර විට ප්‍රතික්‍ෂෙප වෙනවා. මා දැන් දන්නවා වෙල්ලාලයන් සිංහලයන් දෙමළ සංස්කෘතියට අවශෝෂණය කර වහල් භාවයට පත් කර තියෙන බව. මා ඒ බව දැන සිටියේ නැහැ. මා දැන සිටි තේසවලාමෙයි නීතියේ ඒ බවක් තිබුණේ නැහැ. අරුන් ඉතා මහන්සි වී තේසවලමෙයි නීතියේ ඒ වහල් කතාව අඩංගු කොටස හොයා ගෙන. මා තොරතුරු හඹා යන්නකු නො වෙයි. ලැබෙන තොරතුරු අනුව කතා ගොතන්නකු පමණයි. ඉතා පැහැදිලි ව වෙල්ලාලයන් වහල් බවට පත් කර ඇත්තේ සිංහලයන් පමණයි. මලබාරයෙන් පැමිණි අය අඩු කුලයකට අවශෝෂණය කර ඇති නමුත් වහලුන් කර නැහැ.

අරුන්ට කියන්න දෙයක් තියෙනවා. ඔබට නො සැලකූ ඔය මහාචාර්යවරුන් කියන අය ගැන මා හොඳින් දන්නවා. ඔවුන් උසස්වීම් සඳහා ලකුණු එකතු කරන්නන් පමණයි. ඔවුන් දැන් නම් ඔබ තරම් මහන්සි වී තොරතුරු හොයන අය නොවෙයි. ඔවුන් වැඩිපුර තොරතුරු හොයන්නේ ලකුණු දීමේ පටිපාටිය පිළිබඳ ව. ඊළඟට තම ස්වාමිවරුන්ගේ කතා අනුව දන්න තොරතුරක් කපා කෙටීමට. ඔවුන් කතන්දර ගොතන අයත් නොවෙයි. ඔවුන්ට ඒ හැකියාව ගෑවිලාවත් නැහැ.

(මතු සම්බන්ධයි)

– මහාචාර්ය නලින් ද සිල්වා –

(උපුටා ගැනීමකි)



One thought on “මහින්දවාදියකු ලෙස නම් කෙරුණු අරුන් සිද්ධාර්ථන්”

  1. අරූන් කී කතාවෙන් අවබෝධ කරගැනීමට බොහෝ දේ තිබෙනවා.විශේෂයෙන් උතුරේ පැවති හා පවතින කුල භේදය ගැන මෙන්න්ම එහි දෙශපාලන රටාව පිළිබඳව.වර්තමාන උතුරේ දෙශපාලකයන් සාමන්‍ය ජනතාවගෙන් විතැන්කර අරුන් සිශ්ධාර්ථන් වැනි මතධාරීන් හා එක්වීමට දකුනේන් ඔහුටට උත්ප්‍රේයක් ලබා දිය යුතුයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More