පුරවැසි කොලම

මුලතිව් කුරුන්දි විහාරයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමන් විසින් ජූලි මස 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අධිකරණයට බලපෑම් කිරීමක් බව පවසමින් නිතිඥ සංගමයේ සභාපතිවරයා කර ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා එම සංගමයට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපිය පහළින්…

සභාපති
ශ්‍රීලංකා නීතීඥ සංගමය

හිතවත් සභාපති තුමනි,

මා විසින් ගරු අධිකරණයට තර්ජනය කළා යයි ඔබ නගන චෝදනාව මා තරයේ ප්‍රතික්ෂේප කරමි. ජූලි 7 වන දින මා පාර්ලිමේන්තුවේදී කල කතාව හොඳින් ශ්‍රවණය කරන මෙන් දන්වමි.

මා සලකන්නේ ඔබගේ මෙම පුවත්පත් නිවේදනය, මට එරෙහිව මුලතිව් නීතිඥවරුන් විසින් කරන්නා වූ උද්ගෝෂණයට කිසිදු සෙවිල්ලක් නොමැතිව කරන ලද සහාය දීමක් වශයෙනි.

අපේ අධිකරණය ස්වාධීන විය යුතු බවත්, බාහිර පීඩනයන්ගෙන් තොර විය යුතු බවත්, රටේ සෑම පුරවැසියෙක්ම හොඳින් දන්නා කරුණකි. නීතිඥ සංගමය එය අමුතුවෙන් පහදා දිය යුතුව නැත.

නමුත් මීට මාස කිහිපයකට පෙර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේ දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කරන ලද කතාවට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඔහු කියා සිටියේ “රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔරලෝසු බට්ටෙක් මෙන් දෙපැත්තට වැනෙන බවත්, ඔවුන්ට කියවා අවබෝධ කිරීමට තරම් මොලයක් නැත්නම් ඔවුන් වහාම ගෙදර යායුතු” බවත්ය. නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළ නොකළේ ඇයි? එය අධිකරණයට එල්ල කළ බරපතල තර්ජනයක් නොවේද? නීතිඥ සංගමය සුමන්තිරන්ට බයද?

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ප්‍රවෘත්ති කාරක මොනිකා පින්ටෝ නමැත්තිය විසින් අපේ රටේ අධිකරණය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඔබට මතක් කර දීමට කැමැත්තෙමි. ඇය විසින් අපගේ අධිකරණය සම්බන්ධයෙන් එල්ල කර ඇති අභූත චෝදනා වලින් සමහරක් මෙසේය.

1. අපේ විනිසුරු කරුවන් විශ්‍රාම යාමෙන් පසුව රජයේ සහ දේශපාලන පත්වීම් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් ඉදිරි රැකියාවන් සඳහා නඩුවලදී රජයට පාක්ෂිකව තීන්දු දීමේ ප්‍රවණතාවක් තිබේ.

2. සමස්තයක් වශයෙන් රටේ අධිකරණයේ ස්වාධීනත්වය ක්‍රම ක්‍රමයෙන් සෝදාපාලුවට ලක්වෙමින් පවතී.

3. නීතිඥ සංගමය දේශපාලනික වශයෙන් බෙදී වෙන් වී ඇති අතර සංගමය දේශපාලනීකරණය වීම බරපතළ ප්‍රශ්නයකි.

4. බොහෝවිට විනිසුරු කරුවන් චූදිතයන්ට වැරදිකරු ලෙස ප්‍රකාශ කරන මෙන් බල කරන අතර එසේ කරන්නේ ඔවුන් අවසන් කළ නඩු සංඛ්‍යාව වැඩි කිරීම සඳහාය.

5. සාමාන්‍යයෙන් අධිකරණ පරිපාලනයේ විනිවිදභාවය, බලය බෙදා හැරීම, සහ ප්‍රජාතන්ත්‍ර භාවය සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.

අධිකරණයේ ස්වාධීනත්වය සහ අභිමානය ගැන කතා කරන නීතිඥ සංගමය මොනිකා පින්ටෝ විසින් අපේ අධිකරණය පිළිබඳව ඉදිරිපත් කළ එම අතිශය නින්දිත වාර්තාව ගැන කිසිදු විරුද්ධත්වයක් පෑවේ නැත.

නමුත් මා ස්වේච්ඡාවෙන් ජිනීවා ගොස් ( 2014 ජුනි 18 දින) එම සැසිවාරයේ දී වසර දෙසීයක අභිමානවත් ඉතිහාසයක් ඇති අපගේ අධිකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම අපහාසාත්මක සහ පිළිකුල් සහගත වාර්තාව දැඩි ලෙස හෙලා දුටුවෙමි.

දින අටක පමණ ලංකාවේ සංචාරයකින් පසුව අපේ අධිකරණය අදක්ෂ, නොහැකියාවෙන් යුත්, වැරදි ලෙස තෝරා ගත්, දූෂිත සහ පාක්ෂික විනිසුරුවන්ගෙන් සමන්විත යැයි පැවසීමට තරම් මොනිකා පින්ටෝට තිබෙන හැකියාව සහ සුදුසුකම් කුමක්දැයි මා ජිනීවාහිදී ප්‍රශ්න සිටියෙමි. මෙය පෙර සැලසුම් කළ, පෙර තීරණය කරගත් ලෙස සැකසූ වාර්තාවක් බව කියා සිටි මා අවශ්‍ය නම් විදේශීය අධිකරණ වලට පවා තෝරාගත් අපගේ විනිසුරු කරුවන්ගේ වෘත්තීය සුදුසුකම් සහ ප්‍රගතිය සොයා බලන මෙන් ද ඉල්ලා සිටියෙමි.

මා අපගේ අධිකරණයේ අභිමානය එදා රැක ගත්තේ එසේය. ඒ, ඔබ සහ දැනට මට විරුද්ධව උද්ඝෝෂණය කරන මුලතිව් හි නීතිඥයන් මේ සම්බන්ධයෙන් මුණිවත රකිද්දී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ දී හැසිරිය යුත්තේ කෙසේදැයි මා හොදින් දනිමි. නීතිඥ සංගමයට උතුරට ගොස් අපගේ බෞද්ධ උරුමයන් නටබුන් මැරයින් විසින් විනාශ කරන අන්දම දැක බලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඉපැරණි බෞද්ධ චෛත්‍යයන් කඩා බිඳ දමා ඒ මත ශිව ලිංග තබා පුද පූජා කරන අන්දම නිරීක්ෂණය කරන මෙන් ද දන්වා සිටිමි. නටබුන් ප්‍රතිසංස්කරණය කරන පුරාවිද්‍යා නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරන අතර මුලතිව් නීතිඥවරු ලබා බොරුවට නඩු පවරා ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවා, පසුව එතෙක් ගොඩනගන ලද දේ කඩා දමන තත්වයක් එහි තිබේ. රටේ නීතිය ස්ථාපිත කිරීම ඔබ සංගමයේ මුඛ්‍ය පරමාර්ථය නම්, ඉදිරියේ ජනවාර්ගික ගැටුමක් ඇතිවිය හැකි මෙවන් දේ ගැනත් ඔබගේ අවධානය යොමු විය යුතු යයි මා අවධාරණය කරමි.

අපි සැවොම අධිකරණයට ගරු කරමු. නමුත් අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයින් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන මෙන්ද මා නීතිඥයන්ගෙන් ඉල්ලා සිටිමි. නීතිඥ සංගමය දේශ හිතෛෂී නම් මේ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය.

රියර් අද්මිරාල් ( ආචාර්ය) සරත් වීරසේකර VSV RWP USP
පාර්ලිමේන්තු මන්ත්‍රී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More