දේශීය පුවත්

උදරයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (ජූලි 11) ඇතුළත් කළ තරුණියක එන්නත් දෙකක් ලබා දී සුළු වේලාවකට පසු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පේරාදෙණිය රෝහල සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.

උදාරාබාධයක් හේතුවෙන් ජූලි 10 වන දින යටිනුවර, කැටපිටිය ප්‍රාථමික රෝහලට ඇතුළත් කළ තරුණිය පසු දින ගිලන් රථයකින් ඇගේ මව සමග පේරාදෙණිය රෝහලට මාරු කර එවා තිබේ.

හදිසි ප්‍රතිකාර ඒකකයට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කර ඇති එම තරුණිය දහවල් 12.30ට පමණ වාට්ටු අංක 7 වෙත යොමු කළ බව මරණයට පත්වූ තරුණියගේ මව සඳහන් කළා ය.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එදින පස්වරුවේ හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දෙනු ලැබීමෙන් පසු තම දරුවා එක් වර ම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවා ය.

මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ පියා වන වයි. ජී ජයරත්න මෙසේ පැවසීය.

“දුව බඩ රිදෙනවා කිව්වා. බඩ එළිය සහ වමනය තමයි තිබුණේ. සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණ නිසා අඟහරුවාදා එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරු කර එව්වා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00ට විතර දුවව හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සේලයින් එක්ක දීලා 12.00ට විතර 7 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එක්ක දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. ඊට පස්සේ තමයි දුව නැති උණේ කියලා එයා ළඟ හිටපු මගේ බිරිඳ කිව්වා. වනේ වන හතුරෙකුටවත් මෙහෙම අපරාධයක් වෙන්න එපා. මගේ දුව උසස් පෙළ කරලා තවත් ඉහළට ඉගෙන ගන්න තමයි හිටියේ.”

මියගිය තරුණියගේ මව මෙසේ පැවසුවා ය.

“වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්ව ම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොට ම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්ක ම ටොයිලට් එකට දිව්වා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය, අතේ ඇඟිලි පවා නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි. මට හිටපු එක ම ගැහැනු ළමයත් නැතිවුණා. මේකට පේරාදෙණිය රෝහල සම්පූර්ණ වග කියන්න ඕන.”

සිද්ධිය පිළිබඳව විමසූ අවස්ථාවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පාලානාධිකාරියේ ප්‍රධානියෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ය.

මෙම තරුණියගෙන් මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව ද රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

– මව්බිම –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More