පුරවැසි කොලම

අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෑත කාලීන කයිරෝ සංචාරයේ ආලෝක රශ්මිය උපයෝග කර ගනිමින් ඉන්දියාව මැදපෙරදිග කළාපයේ ඉටුකරන භූමිකාව ඉහළ නංවන විට, ඊජිප්තුව සමඟ සබඳතා පුළුල් කරන විට, ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ අරාබි රටවල් මෙන්ම තුර්කිය සහ ඉරානය සමඟ සහයෝගීතාව තීව්‍ර කරන කරන විට, සාම්ප්‍රදායිකව කලාපයේ ප්‍රමුඛ බලවතා වන එක්සත් ජනපදය ඉන්දියාවේ උපායමාර්ගය සමීපව නිරීක්ෂණය කිරීම පුදුමයට කාරණයක් නොවේ.

RT වෙබ් අඩවිය ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත ළඟා වූයේ මැද පෙරදිග කලාපය සමඟ ඉන්දියාවේ සම්බන්ධය ගැන කිරා බැලීම සඳහා ය.

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති සඟරාවේ මෑතකදී පල වූ ලිපියක් මගින්  මැද පෙරදිග “ප්‍රධාන භූමිකාවක් රඟදක්වන්නෙකු ” ලෙස ඉන්දියාවේ මතුවීම විස්තර කළේය. තීරු රචක ස්ටීවන් ඒ කුක්, “විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ” මැදපෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එනි එන්රිකෝ මැටේ වැන්නවුන් තර්ක කළේ, ඉන්දියාව හුදකලා ප්‍රවේශයක් අනුගමනය කරන බවත්, එය කළාපයේ රටවලට සුබදායක වන අතර බහුපාර්ශ්විකත්වයේ වාසිය ලබා ගැනීමට එම රටවලට උපකාරී වන බවත්ය.

1930 ගණන්වල අගභාගයේදී සෞදි අරාබියේ තෙල් සංචිත සොයාගැනීමත් සමඟ එක්සත් ජනපදය මැද පෙරදිග කළාපය තුළ  තම මැදිහත්වීම අවශ්‍ය පරිදි හැඩගස්වා ගත් අතර පසුව අරාබි රාජ්‍යයන්ට ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු බවට එක්සත් ජනපදය පත්විය. වඩාත් මෑතක දී, චීනය,එක්සත් ජනපදයේ රාජ්‍යතාන්ත්‍රික මාංශ පේශිවලට තියුනු පීඩනයක් එල්ල කිරීමත් සමඟ ඒවා දුර්වල වීමට පටන් ගෙන තිබේ. ඒ  ෂී ජින්පින්ග් 2013 දී කළාපය තුළ සිය අභිලාෂකාමී තීරය සහ මාර්ග මුලපිරීම (Belt and Road Initiatives-BRI) එළිදැක්වීමට සමාන්තරව වීම විශේෂත්වයකි. රුසියාව ද, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනය යටතේ හයිඩ්‍රොකාබන් වලින්  පොහොසත් මැද පෙරදිග කළාපය කෙරෙහි සිය උනන්දුව යළි තහවුරු කර ඇත.

ඉන්දියාව බටහිර ආසියාව ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වන මැද පෙරදිග කළාපය සමඟ ඓතිහාසික සබඳතා ගොඩ නංවා ගත්තද, ඔවුන්ගේ අතීත භාවිතය යුරෝපය කේන්ද්‍රීය ලෙස සලකන බැවින් – නව දිල්ලිය දිගු කලක් තිස්සේ කළාපය වෙත යොමු වී ඇත්තේ ප්‍රේෂණ මත පදනම් වූ ආර්ථික ඉදිරි දර්ශනය තුළ හිඳිමින් පමණි.

එක්සත් ජනපදයේ දර්ශනය කුමක්ද?

කුක්ට අනුව එක්සත් ජනපදයේ මැද පෙරදිග කළාපය කෙරෙහි වන දර්ශනය දැන් වෙනස් වී ඇත. ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කළාපයේ ප්‍රධාන රටවල් සමඟ ඉන්දියාවේ වර්ධනය වන සබඳතා උපුටා දක්වමින් කුක් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදයේ භූමිකාව හීන වෙමින් පවතින පසුබිම තුළ එම තත්වයට එරෙහිව යාමට එක්සත් ජනපදය නව දිල්ලිය විකල්ප හවුල්කරුවෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි.

“එක්සත් ජනපදයට තවදුරටත් කළාපයේ අවිවාදිත දැවැන්ත මුර බල්ලාගේ භූමිකාව රඟ දැක්විය නොහැකි තත්වයට පත්වී ඇත. නමුත් ඉන්දියාව මැද පෙරදිග කළාපයේ ඇයගේ පැවැත්ම පුළුල් කරන තාක් රුසියාවට හෝ චීනයට එම භූමිකාව භාර ගත නොහැක.” කුක් අවධාරණය කරයි. දශකයකට පෙර සිය ඉන්දීය සංචාරය සිහිපත් කරමින් කුක් එතැන් සිට නවදිල්ලියේ ගෝලීය අභිලාෂයන්  විශාල ප්‍රතිසංස්කරණයකට ලක්ව ඇති බව පෙන්වා දෙයි. “එක්සත් ජනපද නිලධාරීන් සහ ඔවුන්ගේ විශ්ලේෂකයින් බීජිනය විසින් ගනු ලබන සෑම රාජ්‍ය තාන්ත්‍රික පියවරක්  සම්බන්ධයෙන්ම උමතු වී සිටින අතර මැද පෙරදිග කළාපයේ චීන ආයෝජන දෙස සැකයෙන් බලන අතර, වොෂින්ටනය වසර ගණනාවක් පුරා  මැද පෙරදිග කළාපය තුළ ඉන්දියාව ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන්නෙකු ලෙස මතුවීම හෙවත් වඩාත් සිත්ගන්නා භූ දේශපාලන වර්ධනයන්ගෙන් එකක් නොසලකා හරියි.” කුක් අවධාරණය කරයි.

එක්සත් ජනපද දේශපාලන විශාරදයා ඔහුගේ එක් තර්කයක් තුළ පෙන්වා දුන්නේ ඉන්දියාවේ සතුරු අසල්වැසි පාකිස්තානයට සම්ප්‍රදායිකව සමීප වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  නව දිල්ලිය සමඟද ඔවුන්ගේ සබඳතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. කුක්ගේ එම විශ්ලේෂණයට පාදක වන්නේ ඉන්දියාව රියාද් සහ අබුඩාබි පාලනය ලෝකයේ විශාලතම සහ බොහෝ ප්‍රදේශවල තවමත් ප්‍රයෝජනයට නොගත් පාරිභෝගික වෙළඳපොලක් ලෙස ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීමය. මෙම විශාලතම කලාපීය ආර්ථිකයන් ද්විත්වය ගෝලීය දේශපාලන වේදිකාවේ ඔවුන්ගේ කීර්ති නාමයට හානි කරන ඉස්ලාමීය අන්තවාදය තුරන් කිරීමට ද අපේක්ෂා කරයි.

නව දිල්ලිය පලස්තීනුවන්ට සහය දැක්වීමේදී නොසැලී සිටින බවත් ඛනිජ තෙල් සඳහා වැදගත් මූලාශ්‍රයක් වූ ඉරානය සමඟ මිත්‍රශීලී සබඳතා ඇති බවත් සඳහන් කරමින් කුක් ඉන්දීය-ඊශ්‍රායල් සබඳතා ඉන්දියාවේ යටත් විජිත අත්දැකීම් ප්‍රිස්මය තුළ වන “සංකීර්ණ” ස්වභාවයද  සිය ලිපිය මගින්  පිළිගනියි.”

තීරු රචකයා ඉරානය කෙරෙහි ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්තිය වෙනස් බව පෙන්වා දුන් අතර, වොෂින්ටනය ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීන ව්‍යාප්තිය පිළිගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. අවසානයේදී, ඔහු යෝජනා කළේ, බීජිං සහ මොස්කව්හි සිදුවීම්වල දී දකින්නට ලැබෙන පරිදි ඉන්දියාව එක්සත් ජනපදය සමඟ සම්පුර්ණයෙන්ම පෙලගැසෙන්නේ නැති නමුදු වොෂින්ටනයේ අභිලාශයන් වලට අකුල් හෙළීමටද කටයුතු නොකරන බවයි.

ඉන්දීය විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින්ගේ සිතුවිලි මොනවාද?

සමහර ඉන්දියානු විද්වතුන් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් සිතන පරිදි කුක්ගේ විශ්ලේෂණය බොහෝ දුරට පදනම් වී ඇත්තේ බිමෙහි ඇති කරුණු වලට වඩා සංජානන මතය. විශ්‍රාමික ඉන්දීය විදේශ ලේකම්වරයෙකු සහ RT වෙබ් අඩවිය සඳහා තීරු ලිපි රචකයෙකු වන කන්වාල් සිබල්ට ඒ සම්බන්ධයෙන් ඇත්තේ වෙනස්ම ආකල්පයකි. ඔහු මැද පෙරදිග කළාපයට ඉන්දියාව ගන්නා තනි ප්‍රවේශයකට වඩා ඉන්දියාව ගන්නා සහයෝගී රාජ්‍ය තාන්ත්‍රිකභාවය සම්බන්ධයෙන් ගණන් බලයි.කන්වාල් සිබල්ට අනුව කළාපය තුළ මතුවන නව ‘ක්වාඩ්’ දෙකක් හරහා ඉන්දියාව “බටහිර දෙසට බහුපාර්ශ්වික පාලම්” ඉදිකරමින් සිටී. ඉන් එකක් ඉන්දියාව, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලත් I2U2 සමූහය වන අතර අනෙක – සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළත් කණ්ඩායමයි.

එවැනි ප්‍රවේශයක් නව දිල්ලියට ප්‍රතිලාභ ලබා දෙන ආකාරය විශ්ලේෂණයට යොමු කරමින්, එය බටහිර ආසියාවේ ඉන්දියාවේ ප්‍රතිපත්තිවලට වැඩි භූ දේශපාලනික හා ආර්ථික ගැඹුරක් සහ පළලක් ලබා දෙන බව සිබාල් පැහැදිලි කළේය. “මෙය නව දිල්ලියට ප්‍රධාන වශයෙන් වෙළඳ, බලශක්ති, මූල්‍ය සහ මිනිස්බල අවශ්‍යතා ඇති ඉන්දියාවේ විශාල අසල්වැසි ප්‍රදේශයේ කොටසක් වන කලාපයේ රටවල් සමඟ ඉන්දියාවේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවලින් ඔබ්බට යාමක්” යනුවෙන් ඔහු පැවසීය.

“සැලකිය යුතු කරුණක් නම්, ඉන්දියාව එකිනෙකාට එරෙහිව ඓතිහාසිකව එදිරිවාදීකම් [ඊශ්‍රායලය සහ සෞදි අරාබිය සහ කලාපයේ අනෙකුත් අරාබි රාජ්‍යයන් සමඟ ඉරානය පවත්වන රාජ්‍යතාන්ත්‍රික සබඳතා අධ්‍යනය කරන්න] පවත්වන රටවල් අතර අවරෝධකයක් ලෙස ක්‍රියා කිරීමයි. “ගල්ෆ් රටවල් බොහොමයකට ආර්ථික පුනර්ජීවනය සහ නවීකරණය පිළිබඳ ප්‍රධාන සැලසුම් ඇති අතර එහිදී ඉන්දියාවට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකියි. ”සිබල් වැඩිදුරටත් පැවසීය.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවල් හයක ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල් තුනක තානාපතිවරයා වූ සහ කලාපයේ වසර 25 ක් සේවය කළ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන තල්මිස් අහමඩ් පැවසුවේ ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය  මූලධර්ම දෙකක් වන  “ද්විපාර්ශ්වික සහ ගනුදෙනු” මත පදනම් වී ඇති බවයි. “මේ අනුව, එක් එක් රටවල් සමඟ සබඳතා කලාපයේ අනෙකුත් රටවල් සමඟ පවතින සබඳතාවලින් වෙන්ව පවතී. සබඳතා පදනම් වී ඇත්තේ බලශක්ති සුරක්ෂිතභාවය, මිනිස් බල සැපයුම සහ වෙළඳාම සහ ආයෝජන වැනි ආර්ථික සලකා බැලීම් වැනි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත ය. මිලියන 8.5 කට අධික ඉන්දියානුවන් මෙම කලාපයේ සේවය කරන අතර, ඔවුන්ගේ වාර්ෂික අභ්‍යන්තර ප්‍රේෂණ ඩොලර් බිලියන 35 ක් වන අතර ඉන්දියානු විදේශ සංචිතවලට ඒවා තීරණාත්මක මට්ටමේ පවත්වා ගැනීමට උපකාරී වෙනවා.” ඔහු පැවසීය.

චීනය මෙන් නොව, මැද පෙරදිග සමඟ ඉන්දියාවේ සබඳතාවල මූලෝපායික අන්තර්ගතයක් නොමැති බව අහමඩ් කියා සිටියේය. හිටපු තානාපතිවරයාට අනුව, චීනය කළාපය තුළ සිය භූමිකාව ක්‍රමයෙන් පුළුල් කරමින් සිටී. 1990 ගණන්වල මුල් භාගයේ සිට, කළාපය බීජිං වෙත බලශක්ති සැපයුම්වල ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත් වූ අතර එය වෙළඳ සබඳතාවල සැලකිය යුතු ප්‍රසාරණයකට හේතු විය. චීනය ද 2000 ගණන්වල සිට ඩොලර් බිලියන 100 කට අධික යැයි ඇස්තමේන්තු කර ඇති ගල්ෆ් කළාපය හරහා ඉහළ වටිනාකමකින් යුත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පටන් ගත් අතර, කලින් සැලසුම් කළ පරිදි ඉරානය හැර කළාපයේ අනෙකුත් රටවල් ඇතුළත් කිරීම සඳහා වඩාත් මෑතකදී එහි තීර්යක් සහ මාවතක්( BRI ) ව්‍යාපෘතිය පුළුල් කළේය.

2020 සිට, චීනය එකිනෙකා අතර දුක්ගැනවිලි ඇති ප්‍රධාන රටවල් අතර මැදිහත්වීම දිරිමත් කිරීම සඳහා මැද පෙරදිගට “අර්ධ-මැදිහත්කාර රාජ්‍ය තාන්ත්‍රික” ප්‍රවේශයක් සලකා බැලීමට පටන් ගත්තේය. 2022 දෙසැම්බරයේ රියාද් වෙත චීන  ජනාධිපති ෂී කළ  සංචාරය අතරතුර, සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් බීජිං හිදි සෞදි-ඉරාන සංවාදයකට සහාය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කළේය. පසුව බීජිංහිදි දෙරට අතර ගිවිසුම සාර්ථක වූවේය. ඒ යටතේ සෞදි අරාබිය සහ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට සහ වැඩිදියුණු කිරීමට ජාතීන් දෙකම එකඟ විය.අහමඩ්ට අනුව, මෙය මැද පෙරදිග කළාපයේ මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින චීනය  සියලු ක්ෂේත්‍රවල සබඳතාවලදී සීරු මාරු වීමේ ප්‍රවේශය සනිටුහන් කරයි. ඉන්දියාව, එවැනි භූමිකාවක් රඟ දැක්වීමට කිසි විටෙකත් උනන්දුවක් නොදැක්වූ බව ඔහු අවධාරණය කළේය.

නව දිල්ලිය පදනම් කරගත් ” Asia Society Policy” නම් සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන සී. රාජා මෝහන්, ඉන්දියාව ප්‍රධාන ගෝලීය බලවතෙකු ලෙස ඉස්මතු වීමට යම් කාලයක් ගතවනු ඇතැයි කියා සිටියේය. මැද පෙරදිග සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාවට “හැකි තරම් පුළුල් හවුල්කාරිත්ව ජාලයක් ගොඩනගා ගත යුතු අතර මැද පෙරදිග වැඩෙන චීන බලය සමඟ ගනුදෙනු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය” යනුවෙන් රාජා මෝහන් “උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය” පල කල “පොඩ්කාස්ට්” සාකච්ඡාවකදී පැවසීය. නව දිල්ලිය “දැනට සියලුම ප්‍රධාන බලවතුන් කරන්නාක් මෙන්” විරුද්ධ ජාතීන් සමඟ සම්බන්ධ වෙමින්  ඉන්දියාවේ ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන්ද ඔහු අවධාරණය කළේය. “ඔවුන් සියල්ලෝම සෑම කෙනෙකු සමඟම සම්බන්ධ වී මැද පෙරදිග බහුවිධ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කරනවා. මම හිතන්නේ අගමැති මෝදි යටතේ අපි එය ප්‍රායෝගික ආකාරයකින් කිරීමට ඉගෙන ගන්නවා” ඔහු තවදුරටත් පැවසීය.

RT වෙබ් අඩවියේ ආසියානු කළාපයේ කර්තෘවරයෙකු වන Joydeep Sen Gupta, විසින් රචිත India’s Middle East strategy: Is the view from the US misleading?  ලිපියේ සිංහල පරිවර්තනයයි.

පරිවර්තනය: ජීවන්ත ජයතිස්ස 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More