දේශීය පුවත්

80 දශකයේදී මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තම අමාත්‍යාංශය යටතේ පැවති බියගම යූරියා පොහොර කර්මාන්ත ශාලාව යන්ත්‍රසූත්‍ර සමඟ විකුණා දමා, එය කම්බස් කළ රනිල් වික්‍රමසිංහ අද රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සියල්ල විකුණා දමා රටම කම්බස් කිරීමට සූදානම් වන බවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

පෙරේදා (01) දිනයේ හංවැල්ල පහත්ගම ‘ඉසුරු ඉන්’ උත්සව ශාලාවේදී ‘රනිල් උත්තරය ද? ප්‍රශ්න ද?’ යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ ජාතික විධායක කමිටු සාමාජික, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහතා ද අදහස් දැක්වීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නීල් ජයසිංහ යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල සෙසු ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ ද කීය.

ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව

“අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදය කුමක්දැයි නිවැරදිව වටහා ගතහොත් තමයි එයට නිවැරැදි විසඳුම් ලබාදිය හැක්කේ. 1977න් පසුව රට තුළ සිද්ධ වුණේ ‘ණයට අරන් – සැපට කාලා – ජොලියේ ඉඳපු එක’. එමගින් අද මේ රටේ අනාගත පරපුරට ජීවත් වීමේ අයිතිය අහිමි ව තිබෙනවා. 1977දී ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික මොඩලය තමයි වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව. ශ්‍රී ලංකාව නිදහසින් පසුව 2015 දක්වා කාලය තුළ ලබාගෙන තිබුණු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15කට ආසන්න මුදලක්. නමුත් 2015දී බලයට ආපු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව බලයේ හිටපු අවුරුදු හතරහමාර තුළ අධික පොලියට, සහන කාල නැති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ISB) ණය ලෙස ලබා ගත්තා, ඩොලර් බිලියන 10ක්. ඒ ඩොලර් බිලියන 10ක ණය ප්‍රමාණය ලබා ගත් පසුව එතෙක් වාර්ෂිකව ගෙවීමට තිබූ විදේශීය ණය වාරිකය ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගියා. දැන් බලන්න, ගෙවීමට ඇති විදේශ ණය පොලී වාරිකයෙන් 76%ක්ම ලබාගත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය සඳහා ගෙවීමටයි සිදුව ඇත්තේ. ඉහත කී ඩොලර් බිලියන 10ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය තොගය නොගත්තානම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැමැති ‘බස් රථය’ හැප්පෙන්නේ නැතිව පදවා ගෙන යන්න තිබුණා. ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව මෙම ඩොලර් බිලියන 10ක ණය තොගය බව ද පෙනෙනවා.

රජ පුටුවට ගැටුම්

මේ ආර්ථික අර්බුදය නමැති දරුවා පිළිසිඳ ගත්තේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ ඩොලර් බිලියන 10ක ණයක් ගත්තු නිසයි. නමුත් ඒ දරුවා ප්‍රසූත වූයේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අඩු වීම, කොවිඩ් වසංගතය හා අපනයන ආදායම රට තුළට නිසි පරිදි රැගෙන නොඒම ද මේ ආර්ථික අර්බුදය කල්තියා පැමිණීමට දායක වුණා. හැබැයි එදා ගෝඨාභය රාජපක්ෂ දන්නේ නැහැ මෙහෙම දරුවකු පිළිසිඳ ගෙන තිබෙන බව. බැසිල් රාජපක්ෂ අදහන කෙනෙක් වූ පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් කිරීම එදා සිදු වූ ලොකුම වැරැද්දක්. ඔහු මෙවැනි අර්බුදයක් නොමැති බව පෙන්වමින්, අර්බුදය පුපුරා යන තෙක් ඇදගෙන ආවා. අපි මේ බව දිගින් දිගටම පෙන්වා දුන්නා. නමුත් බැසිල් රාජපක්ෂ කිව්වේ, ‘මේක උන්ඩියල්කාරයන් දෙතුන්දෙනෙක් ඇති කළ ප්‍රශ්නයක්, ඩොලර් හිඟයේ ප්‍රශ්නය මම සතියෙන් විසඳනවා’ කියලයි. මේ සියලු කතා කැබිනට් මණ්ඩලයේ හිටපු පොහොට්ටු ඇමතිවරු පිළිගත්තා. අන්තිමේදී අපිව කැබිනට් මණ්ඩලයෙන් එළියට දැමීමත් බැසිල් රාජපක්ෂට උවමනා ලෙසම සිදු වුණා. රජ කාලයේත් එක පවුලේ වුවත් රජ පුටුවට ගැටුම් තිබුණානේ. බැසිල් රාජපක්ෂට උවමනා වූයේ අර්බුදය උත්සන්න කර ‘ගෝඨා ගෝ හෝම්’ වුණාම රජ පුටුවට පැන ගන්නයි.

මුදල් ඇමැතිවරයාට ලැබුණු බලය…

ණය වාරිකය ඩොලර් බිලියන 2 සිට 6 දක්වා වැඩි වුණාම ‘ණය ගෙව්වොත් තෙල් ගෙනඒමට බැහැ; තෙල් ගෙනාවොත් ණය ගෙවීමට බැහැ’ කියන තත්ත්වයට රට ඇද වැටුනා. එහෙම තත්වයකදී ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් මහ බැංකු අධිපති පුටුවේ වාඩි වුණු නන්දලාල් ප්‍රනාන්දු මහතා, පුටුවේ වාඩිවෙලා දින තුනකින් කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවේ අනුමැතිය යන කිසිවක් නොමැතිව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් දැනුම් දී ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක්’ කියා ප්‍රකාශයට පත් කළා. අපේ රට ‘IMF වළට’ ඇද දැමුවා. බලන්න එදා ‘විදේශ ණය ගෙවීමට බැහැ’ කියන්න තීරණය පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ගත්තු අය, අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළා. මෙතැනදී වුවත් කර ඇත්තේ ‘කොලේ වහලා ගැහීමක්’. එම යෝජනාව අවසානයේ තිබෙනවා, මුදල් ඇමැතිවරයාට ඉදිරියේදී මේ පිළිබඳව අභිමත තීරණයක් ගත හැකියි කියා. ඒ අනුව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැංකුවලටත් අත තියාවි.

‘එල් සැල්වදෝර් ආදර්ශය’

දැන් බලන්න, පාකිස්තානය අද අපි වගේම බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා තිබෙනවා. IMF එක ඔවුන්ට කියනවා, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් ණය ගෙවීම නොහැකියි, කියා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. නමුත් පාකිස්තානය එහෙම ‘IMF වළට’ වැටෙන්න සූදානම් නැහැ. ඔවුන් කියන්නේ, ‘චීනය දෙසට හැරීම හැර අපට වෙනත් උත්තරයක් නැහැ’ කියලයි. මේ රටේ ආර්ථික ඔස්තාර්ලා කියන්නේ, ‘මෙවැනි ගෙවුම් ශේෂ හිඟයකදී IMF යෑම හැර වෙනත් උත්තරයක් නැහැ’ කියලයි. නමුත් අද එල් සැල්වදෝරයේ සිදු වන දෙය දෙස බලන්න. චීනය, එල් සැල්වදෝරය වෙනුවෙන් ඔවුන්ගේ විදේශ ණය වාරිකය ණයහිමියන්ට ගෙවනවා. එල් සැල්වදෝරය සහ චීනය අතර ගිවිසුමක් එනවා, එල් සැල්වදෝරයට දරාගත හැකි ආකාරයටත් චීනයට පාඩුවක් නොවන ආකාරයටත් තම ප්‍රතිව්‍යුහගතකරණය කළ ණය වාරිකය චීනයට යළි ගෙවීමට. මේ උත්තරේ අපි ශ්‍රී ලංකාවට අදාළව පෙන්වා දුන්නාම ඇතැම් ‘බක පණ්ඩිතයන්’ එය හාස්‍යයට ලක් කළා. ශ්‍රී ලංකාව, චීනයෙන් මෙවැනි ඉල්ලීමක් කළොත් චීනය ඊට එකඟ නොවී ඉඳියි ද? එල් සැල්වදෝරයට වඩා චීනයට ශ්‍රී ලංකාව වටිනවා. ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම විදේශ ආයෝජනය වන ‘පෝට් සිටියට’ මුදල් ආයෝජනය කර ඇත්තේ චීනයයි. ශ්‍රී ලංකාව බංකලොත් රටක් වුණාම කිසිවකු එයිද පෝට් සිටියේ ආයෝජනය කිරීමට? පෝට් සිටියට ඉක්මනින් ආයෝජකයන් ආවොත් චීනයට පමණක් නෙවෙයි ප්‍රතිලාභ අත් වෙන්නේ, අපට විදේශ විනිමය උපයා දෙන ඊළඟ උල්පත වන්නේ පෝට් සිටියයි. පෝට් සිටියට ආයෝජන ආවොත් අපේ අම්මලා පිටරට යැවීම නතර වෙලා, විදේශ රටවල හොඳ රැකියා කරන පිරිස්වලටත් පෝට් සිටියේ රැකියා අවස්ථා ලැබෙන තත්ත්වයක් උදා වෙනවා.

‘වැරදුනේ කොතැන ද?’

රටක් ආර්ථිකමය වශයෙන් වළකට වැටුණාම පළමුව කළ යුත්තේ මොළයට වාසියක් කර ගැනීම. ඒ සඳහා සිදු වූ දෙය පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් කර ගත යුතුයි. ‘වැරදුනේ කොතැන ද?’ කියන සංවාදය ජනතාව සමඟ සිදු කළ යුතුයි. දැන් එහෙම සංවාදයක් තිබෙනවා ද? දැන් කියනවා, රජය සම්පූර්ණයෙන් ආර්ථික කටයුතුවලින් ඉවත් විය යුතුයි, කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එංගලන්තයට ගිහින් කියන්නේ, ‘මට මෙතෙක් කරගන්න බැරි වුණු නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සියල්ලම කරනවා’ කියලයි. ‘උතුරු නැගෙනහිර’ ගැන ඇහුවාම ‘ඔව්! මම ඒකත් විසඳනවා’ කියලයි කියන්නේ. මෙයා ඡන්දයෙන් පැරදිලා, ජාතික ලැයිස්තුවෙන් ආපු පිං මන්ත්‍රී වුණාට දැන් කතාව මෙතෙක් කරන්න බැරි වුණු සියලු නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නයි.

අලිරාජාට ලැබෙන ‘සුරබිදෙන’

මේ යටතේ ‘රජය ව්‍යාපාර නොකළ යුතුයි’ කියලා, පාඩු ලබන ඒවා පමණක් නොවෙයි ලාභ ලබන රාජ්‍ය සමාගම් සියල්ලත් විකුණන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ. ලංකාවේ ඉපදුනු, එංගලන්තයේ වෙසෙන, එදා එල්ටීටීඊයට විශාල වශයෙන් මුදල් පොම්ප කරපු, ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු සුබාස්කරන් අලිරාජාට දැන් ටෙලිකොම් සමාගම දෙන්නයි සූදානම. මේ ගනුදෙනුව කතා කරගෙන තිබියදී ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට එංගලන්තයට ගියපු රනිල් වික්‍රමසිංහ, සුබාස්කරන් අලිරාජාවත් මුණගැහිලා. ඒක මොන තරම් ලැජ්ජා නැති, දහදුරා වැඩක් ද? මේ කතා කරන්නේ ඒ ‘ඩීල් එක’ ගැන නොවෙයි ද? ‘ටෙලිකොම් එක ඔයාට දුන්නාම ඔයා අපට කීයක් දෙනවා ද?’ කියලා නොවෙයි ද? දැන් ටෙලිකොම් සමාගම 5G තාක්ෂණයෙන් සන්නද්ධ කරලා ඉවරයි. මේක ගන්න මිනිහාට හරියට සුරබිදෙනක් ලැබුණා හා සමානයි. ඒ වගේම තමයි ටෙලිකොම් සමාගම සතුව ඉතා විශාල දත්ත ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඇතැම් දත්ත ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හා බැඳුණු දත්ත. ඒ සියලු දත්ත සුබාස්කරන් අලිරාජා සතු වෙනවා. මේ කිසිවක් හිතන්නේ නැතිවයි අද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකුණන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ. එදා කර්මාන්ත ඇමැති හැටියට සිටියදී ලංකාවේ ගොවියාගේ යූරියා පොහොර අවශ්‍යතාව සපුරපු ඇතැම් විට අතිරික්තය පාකිස්තානයටත් අලෙවි කරපු පොහොර සංස්ථාව සතුව තිබූ බියගම පොහොර කම්හල කම්බස් කළෙත් මේ රනිල් වික්‍රමසිංහම බව අපි අමතක කළ යුතු නැහැ.

පැපුවා නිව් ගිනියා ආදර්ශය

රට තුළ කර්මාන්ත පුනරුදයක් සිදු නොකොට නැඟී සිටින්න බැහැ. සෑම ග්‍රාම සේවා වසමක්ම යම් කර්මාන්තයකට යොමු කරවීමට පුළුවන්. ආධාර මුදල් වෙනුවට යම් කර්මාන්තයක් සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණතාව, අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍රයි ලබාදිය යුත්තේ. කුඩා කර්මාන්තවල සිට මහා පරිමාණයේ කර්මාන්ත දක්වා යම් ප්‍රබෝධයක් ඇති වන්නේ එවිටයි. ඒක පළමු කටයුත්ත. දෙවැන්න, ජනතාව තුළ ‘මේ තත්ත්වය වෙනස් කළ යුතුයි’ කියන ආකල්ප වෙනස ඇති කිරීමයි. තුන්වැන්න සමාජ ආකල්ප පමණක් නොවෙයි දේශපාලනතන්ත්‍රයේ ද ප්‍රබල ආකල්ප වෙනසක් සිදු කළ යුතුයි. නිදසුනක් ලෙස බලන්න, පැපුවා නිව් ගිනියාවේ සිදුව ඇති වෙනස. එම රටට පසුගිය කාලයේ හඳුන්වා දී තිබෙනවා, ‘වගකීමෙන් බැඳී සිටීමේ පනත’ නම් වූ නීතියක්. එමගින් ඇමතිවරු, රාජ්‍ය සමාගම්වල සභාපතිවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් තම වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් විශේෂ උසාවියකින් නඩු අහලා හිරේ දමනවා. ඒ නිසා හොරකම් කරන්න බලාගෙන ඉන්න අය, ඉහත කී ඉහළ වගකීම් ගන්න බයයි. ඒ රටේ ගුවන් සමාගමකට සභාපතිවරයකු අවශ්‍ය වූ මොහොතක කිසිදු පැපුවා නිව් ගිනියා ජාතිකයකු ඒ සඳහා ඉදිරිපත් වී නැහැ. එම වගකීම භාර ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක්. ඔහු එම වගකීම භාර ගත්තා පමණක් නොවෙයි එම ගුවන් සමාගම දියුණු කිරීමට ද සමත්ව තිබෙනවා. දැන්වත් අපේ රටේ දේශපාලන සංස්කෘතියේ එවැනි වෙනසක් සිදු වෙනවා ද? නැහැ. දැන් රෝසි සේනානායකට නගරාධිපති ධුරය අහිමි වුණාම, එම ධුරයට අදාළ නිල රථය සහ නිල නිවාසය එලෙසම තබා ගන්න දීලා ජනාධිපති උපදේශක ධුරයක් ලබා දෙනවා. අපි දන්නේ නැහැ, ‘ඒ උපදේශක ධුරය රූපලාවණ්‍ය කටයුතු සඳහා ද?’ කියා.(සභාවේ සිනා)

ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු වන මොඩලයකට…

මේ අනුගමනය කරන ආර්ථික මොඩලය අනුව ඩොලරය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් බලන්න පසුගිය වසරේ ඉන්දියාවේ රාජ්‍ය සමාගමක් වන IOC සමාගම රුපියල් බිලියන 13ක පමණ ලාභයක් ලබා තිබෙනවා. ඒ රුපියල් බිලියන 13 ඩොලර් බවට පත් කරලා තමයි ඉන්දියාවට රැගෙන යන්නේ. ඒ වගේම චීනයේ SINOPEC සමාගමටත් ඉන්ධන පිරවුම්හල් 150ක් ලබා දෙනවා. ඔවුන් ද රුපියල්වලින් හොයන ලාභය ඩොලර් හෝ යුවාන් බවට පත් කරලයි චීනයට රැගෙන යන්නේ. දැන් සුබාස්කරන් අලිරාජාට ටෙලිකොම් එක දුන්නාමත් රුපියල්වලින් හොයන ලාභය ඩොලර් බවට පත් කරලා තමයි ලන්ඩනයට රැගෙන යන්නේ. මේ විදියට රුපියල් ඩොලර් වෙලා පිටරට යනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළත් වාර්ෂික විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 5ක්වත් වේවි. ආනයනය සඳහා ද ඩොලර් අවශ්‍ය වෙනවා. දැන් කර්මාන්ත බිඳවැටෙන තත්ත්වයක් තුළ අපනයන ආදායම ද අඩු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු වන ආර්ථික මොඩලයකට මාරු වීමයි.

නිෂ්පාදන ආර්ථිකයක කොටස්කරුවන් බවට…

පවතින ආර්ථික මොඩලයට අපි ‘රනිල් මොඩලය’ යැයි පැවසුවොත් දැන් මේ අපේ දේශපාලන කරළියේ ඉන්න අනෙක් පිරිසත් කර තබාගෙන යන්නේ එම ආර්ථික මොඩලයම තමයි. දැන් සජිත් ප්‍රේමදාස පමණක් නොවෙයි ජවිපෙ විජිත හේරත්ලා, සුනිල් හඳුන්නෙත්තිලා කියන්නෙත් IMF යාම වරදක් නොවන බවයි. ‘රනිල්’ කියන්නේ වැරදි ආර්ථික මොඩලයක්. ‘සජිත්’, ‘අනුර’ යන කවර නමින් හැඳින්වූවත් ඒක වැරදි ආර්ථික මොඩලයක්. කවුරු කිව්වත් මේ වැරදි ආර්ථික මොඩලයෙන් මේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න බැහැ. මේ වළෙන් ගොඩඒමට නම් දේශීය නිෂ්පාදනය බලගන්වන සංස්කෘතියක් අපි ගොඩනඟන්න ඕනේ. අපේ තරුණ පරම්පරාව සේවා ආර්ථිකයකට හිර කරලා තබා ගන්නේ නැතුව, ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක කොටස්කරුවන් බවට පත්කර ගන්න ඕනේ. අපේ අධ්‍යාපන ක්‍රමය පවා නිෂ්පාදන සංස්කෘතිය බලගැන්වීමට හැකි පරිදි පරිවර්තනය විය යුතුයි. එහෙම මූලෝපායික මැදිහත්වීමකින් පමණයි අපිට මේ වැටී තිබෙන වළෙන් ගොඩඒමට හැකි වන්නේ.

ලෙල්ලටම වැට්ටවීම…

මේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ උපාංගයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි උපායමාර්ගය වී ඇත්තේ අප වැනි රටවල් මෙවැනි අවස්ථාවල ලෙල්ලටම වැට්ටවීම. එවිට තමයි අප වැනි රටවල මිනිස්සු විෂම මනසකට ඇද වැටෙන්නේ; සාමාන්‍ය තත්ත්වයකදී එරෙහි වන දෙයකට පවා එරෙහි නොවන්නේ. දැන් IMF එක බලනවා, අපි සාමාන්‍ය අවස්ථාවකදී නොබොන බෙහෙත් වට්ටෝරුවක් දීලා අපි ලෙල්ලටම වට්ටවන්න.

මාර්තුවේ එන ජනපතිවරණය…

දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ‘අපායේ ඉන්ටවල්’ වගේ පොඩි පොඩි සහන දෙන ආකාරයක් ද පෙනෙනවා. විදුලි බිල සියයට 60-70කින් වැඩි කරලා දැන් සියයට 14කින් පමණ අඩු කිරීමට සැරසෙනවා. ඒ සහනවලට කවුරුත් රැවටිය යුතු නැහැ. මට ආරංචි විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා 2024 වසරේ මාර්තුවේදී පමණ ජනාධිපතිවරණයකට යන්න හදනවා. එතෙක් එයා ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද විදේශ ණය වාරිකය ගෙවන්න යන්නෙත් නැහැ. ඒ නිසා බොහෝ විට රටේ තිබෙන ඩොලර් ටිකෙන් පරිභෝජන අවශ්‍යතා සපුරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි. මෙවැනි උපක්‍රමයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තෙක් අනුගමනය කරන නිසා අපි කවුරු සිතිය යුතු නැහැ ‘මේ වළෙන් අපි ගොඩ ඒවි’ කියා. අපි කවුරුත් රනිල්ගේ මැජික්වලට නොරැවටී ඔහුගේ ආර්ථික මොඩලයේ වැරැද්ද දෙසයි බැලිය යුත්තේ.

‘මහහොරා’ සමග එකට ලැගගෙන…

රනිල් වික්‍රමසිංහ හදන්නේ රට ලෙල්ලටම වට්ටලා එයා අතේ තිබෙන ‘රිගේනින් ශ්‍රී ලංකා’ සැලැස්ම සහ බෙදුම්වාදීන් පිනවන සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි. රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුව ජනවරම ලබා ගත්තේ ‘මහදවල් මහබැංකුව හොරා කාපු මහහොරා’ ලෙස රනිල් වික්‍රමසිංහව අර්ථ දක්වමින්. බන්දුල ගුණවර්ධන වත්මන් අමාත්‍යවරයා මේ පිළිබඳව ඒ දවසවල පොතකුත් ලිව්වා. මේ හැමෝම අද ‘මහැංකුව මහදවල් හොරා කාපු මහහොරා’ සමග එකට ලැගගෙන ඉන්නවා. තවමත් තිබෙන්නේ 69 ලක්ෂයේ ජනවරමයි. අද ඒ ජන වරමට පටහැනි, රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන ‘රිගේනින් ශ්‍රී ලංකා’ සැලැස්ම දිනවන්නයි පොහොට්ටුකාරයෝ කටයුතු කරන්නේ. රාජපක්ෂලා අද කරන්නේ රනිල් වික්‍රමසිංහට කුඩය ඇල්ලීමයි.

නව ලෝක බල කේන්ද්‍රය:BRICS

රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන නව ලිබරල්වාදී ආර්ථික මොඩලය අද ලෝකයේ යල්පැන ගොස් ඇති ආර්ථික මොඩලයක්. මේ වන විට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් කියනවා, ‘අපිත් BRICS හවුල සමඟ එකතු වෙන්න සූදානම්’ කියලා. BRICS කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන ලෝකයේ විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවලින් සැදුම්ලත් සංවිධානයක්. ප්‍රංශ ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ ඇයි? ‘ලෝකයේ නව බල කේන්ද්‍රයක් නිර්මාණය වෙමින් තිබෙනවා. පැරණි බල කේන්ද්‍රයේ බලය වියැකෙමින් තිබෙනවා’ කියා ඔහුට පෙනෙන නිසයි. ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග මිතුරකු වූ සෞදි අරාබියත් දැන් පවසන්නේ, ‘අපිත් BRICS සමග එකතු වෙනවා’ කියලයි. අද ඉරානය, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් BRICS සමග එකතු වීමට සූදානමින් ඉන්නවා. ඒ නව බල කේන්ද්‍රයට තමයි ලෝකයේ අනාගතය තීරණ කිරීමට පුළුවන් වෙන්නේ.

රටට උවමනා නායකත්වය

ඒ අනුව අද අපේ රටටත් අවශ්‍යව ඇත්තේ ඒ නව බල කේන්ද්‍රය සමග බය නැතුව සිටගත හැකි නායකත්වයක්. මෙතැනදී අසල්වැසියා කලබල වෙන්නෙත් නැහැනේ. BRICS හවුලේ ඔහුත් ඉන්නවානේ. එහෙම නැතුව හිඟන්නාට පාන් කෑලි දෙනවා වගේ, වරින් වර දෙන IMF ණය වාරිකවලින් මේ රට ගොඩගැනීමට බැහැ ජාත්‍යන්තරව, ඉහත කී බල කේන්ද්‍රය සමග කෙලින් හිටගන්න පුළුවන්, ජාතිකව, අපි කලින් පැවසූ පරිදි දේශීය නිෂ්පාදන සංස්කෘතියකට පණ දෙන්න පුළුවන්, දේශපාලනතන්ත්‍රය තුළත් ඊට සරිලන ගැඹුරු පරිවර්තනයක් සිදු කරන්න පුළුවන් නායකත්වයක් යටතේ තමයි අපට මේ වළෙන් ගොඩඒමට පුළුවන් වෙන්නේ.

ලක් අම්මාව බේරාගත්තු හැටි’

දැන් බලන්න, ‘ලක් අම්මාව බේරාගන්න’ කියලා අරගල කරපු කට්ටිය අන්තිමේදී ලක් අම්මාව බාර දීලා ගියෙ රනිල් වික්‍රමසිංහට. නිසි නායකත්වයකින් තොරව අරගල කළම සිදු වෙන දේ මේකයි. අර බිමල් රත්නායක කියනවා වගේ, ‘මැච් එක අපි ගැහුවා. රනිල් කප් එක ගත්තා’ කියන එකයි අන්තිමේදී වෙලා තියෙන්නේ. රනිල්ට කප් එක ලැබෙන විදිහට මැච් එක ගහන්නේ මොන ගොන් බූරුවො ද?

‘නව ලිබරල්වාදී මැච් එක’

දැන් රනිල් වික්‍රමසිංහ ඒ ‘කප් එක’ අරගෙන ‘නව ලිබරල්වාදී මැච් එක’ හරි අපූරුවට ගහනවා. දැන් ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ජුලී චන් නිහඬයි. එයා දැන් දමන්නේ රූපලාවණ්‍ය ආයතනයකට ගිහින් නියපොතු පාට කරන ජාතියේ ට්විටර් පණිවිඩ. ඒ විතරක් ද ටිල්වින්ලාත් නිහඬයි. එයාලාගේ ලොක්කා දැන් රැස්වීම් තියන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවේ රැස්වීම් තිබ්බත් තියෙන්නෙ අගනුවරින් පිට. ඒ වගේම පෙරටුගාමීන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙනදා තරම් ශබ්දයක් නැහැ. මොකක්ද මේ වෙනස? රනිල් වික්‍රමසිංහ කප් එක අරගෙන ගහන්නේ ඇමරිකාවට අවශ්‍ය මැච් එක නම් ජුලී චන් කලබල වෙන්න ඕනේ නැහැනේ. ඒ නිසා දැන් එයා ඉන්නවා ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ. දැන් බලන්නකෝ එක් භික්ෂූන්වහන්සේ නමකට ‘ලක් අම්මාව බේරගන්න’ කියලා ගෝතමාලාවෙන් එයාගේ ගිණුමට මුදල් වැටිලා තියෙනවානේ. හරි විදියට විමර්ශනයක් කළොත් ලක් අම්මාව බේරාගන්න, මොන තරම් සල්ලි පොම්ප කරලා තියෙනවා ද? කියා බලා ගන්න පුළුවන්.

‘Top Secret Mission’

පසුගිය පෙබරවාරි 14, වැලන්ටයින් දිනයේදී ඉතිහාසයේ පළමු වතාවට සීඅයිඒ ප්‍රධානියකු ලංකාවට ආවා. ඔහු ඇතුළු ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයෝ විස්සක් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා හමු වුණා. ඇමරිකානු නියෝජිත පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් හතරක් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් තුනකටම ඒ මොහොතේදීම අනුමැතිය දුන්නා. පළමුවැන්න, අපේ මුහුදු මාර්ගය ඔස්සේ එන ප්‍රධාන දුරකථන කේබල් ටැප් කිරීමට ඉඩ දීම; දෙවැන්න, අපේ ගුවන්තොටුපලේ පරිගණක මෘදුකාංගයක් සවිකරලා එමගින් යන එන අයගේ සියලු ජීව දත්ත ලබා ගැනීමට ඉඩකඩ සලසා දීම; තුන්වැනි ඉල්ලීම තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ඉහළින් සීඅයිඒ නියෝජිතයෙක් තැබීම. සෝෆා ගිවිසුමට තව කොටසක් එකතු කරලා, ඇමරිකා ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරීක්ෂා කිරීමකින් තොරව පැමිණිලා, ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාව තුළ නිදහසේ සැරිසැරීමට ඉඩකඩ ලබා දීම, කියන ඉල්ලීමට පමණයි ‘පසුව සලකා බලමු’ කියා ජනාධිපතිවරයා පසෙක තබා ඇත්තේ. ජනාධිපතිවරණ කප් එක ගත්තු ගමන් ඒකත් කරන්න තමයි රනිල් වික්‍රමසිංහ සූදානම්ව ඉන්නේ.

ජන වරමට පටහැනි ගමන නවතමු!

මේ ‘Top Secret Mission’ එක ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පමණයි. ජවිපෙ විජිත හේරත්ට කතාවක් තිබුණත් ඔහු එම අවස්ථාව මඟ ඇරලා ගියා. මේ ගැන ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමීන් එක වචනයක්වත් කතා කරලා නැහැ. මෙන්න වාමාංශිකයෝ. අධිරාජ්‍ය විරෝධී අරගලයේ මුලින්ම ඉන්නේ වාමාංශිකයෝ නොවෙයි ද? මේවා තමයි මේ අයව නිවැරදිව මනින තැන්. 69 ලක්ෂයේ ජනවරම ගොඩනඟපු අපට වගකීමක් තිබෙනවා ඊට රැහැනිව යන මේ ගමන නවත්තන්න. ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්. උත්තර ලංකා සභාගය ගොඩනැගුවේ ඒකට. අපි මේ පරගැති ගමන නවත්තන්න අත්වැල් බැඳගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලනවා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-07-02



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More