පුරවැසි කොලම

ඔබ අපේ ජ්‍යේෂ්ඨතම සාහිත්‍යවේදියා. ඔබේ අලුත් නිර්මාණයක් මෑතකදී අපට රස විඳින්න ලැබුනෙ නෑ. ඔබ දැන් ලිවීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලාද?

නෑ… පසුගියදවස්වල මම පොඩි නවකතාවක් ලිව්ව. ඒ ‘මහගෙදර කතන්දරය’ කියල. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්. අපේ මහගෙදර තිබුණෙ අයියගෙ නමට. පසුකාලයෙදි අයියගෙ බාල පුතා ගෙයයි, ඉඩමයි සුද්දෙක්ට විකිණුව. ඒක තමයි කතාවෙ වස්තුබීජය. මමමේ කතාවෙදි ව්‍යංගයෙන් කියන්නෙ අපේ මහගෙදරට වෙච්ච දේ තමයි මේ රටටත් වෙලා තියෙන්නෙ කියල. ඒ පොත විසිදුනු ප්‍රකාශකයො බාරගත්ත. මම හිතන්නෙ ඒක ඔබට මේ මාසයෙදි කියවන්න ලැබෙයි.

ඒ කියන්නෙ ගමනක මුල කතාමාලාව අවසන්…

ඔව්… ඒක අවසානයි.

අපේ මහා කවියා ලෙස හදුන්වන්නෙත් ඔබවයි. හැබැයි මතක වතෙන් පස්සෙ අපි ඔබේ කවි පොතක් කියෙව්වෙත් නෑ. ඔබ කවිය අත්හැරල ද?

නෑ.. අත්හැරල නෑ. සාමාන්‍යයෙන් නවකතාවක්, කෙටිකතාවක් හෝ කවියක් ලියන්නෙ ඊට අවශ්‍ය උත්තේජනයක් තියෙනව නම් විතරයි. එහෙම නැතුව හිතල ලියන්නෙ නෑ. ඇත්තටම කවියකට වස්තු බීජයක් මගේ ඔළුවෙ තාම නෑ.

වෙනද වගේ දැන් එකදිගට ලියාගෙන යන්න පුළුවන් ද?

දැන් ටිකක් අමාරුයි එහෙම ලියන්න. ටික ටික තමයි ලියන්නෙ. වෙනද තිබුණ ජවය නෑ. ඒක බලාපොරොත්තු වෙන්නත් බෑනෙ. මොකද ඉන්ද්‍රිය ක්ෂය වෙනව. සමහර දේවල් මතක් කරන්න බොහෝ වෙලා යනව.

ඔබේ දීර්ඝ ලේඛන නාමාවලිය ඇතුළෙ ගුණදාස අමරසේකර කියන නිර්මාණකරුවා හොයාගන්න ඕන කොතැනින්ද?

මම හිතන්නෙ ජීවන සුවඳෙන් කියල. ඒකෙ ‘ආපසු ගමන’ වගේ සාර්ථක කතා තියෙනව.

ඇයි ඔබ එතනදි ඔබගෙ මුල්කාලීන නවකතා මගහරින්නේ…?

මුල් කාලයෙ ලියැවුණු ‘කරුමක්කාරයො’ වගේ නවකතා ගැන මට ලොකු අප්‍රසාදයක් නෑ. අප්‍රසාදයක් තියෙන්නෙ ‘යළි උපන්නෙමි’, ‘දෙපා නොලද්දෝ’ වගේ නවකතා ගැන තමයි.

එතකොට ‘ගන්ධබ්බ ආපදානය’…?

ඒකට මම කැමැතියි. මම ‘කරුමක්කාරයෝ’ ලියද්දි මාර්ටින් වික්‍රමසිංහ ගෙ මහා සම්ප්‍රදාය අනුගමනය කළා. ඒ කියන්නෙ තෝල්තෝයි, දෙස්තොයොක්සි වගේ අය ගෙන ආපු ශ්‍රේෂ්ඨ නවකතා සම්ප්‍රදාය. මම හිතන හැටියට ‘කරුමක්කාරයො’ තමයි ඒ සම්ප්‍රදායේ අවසානය. මහා නවකතාවේ තිබුණු ලක්ෂණය තමයි පුද්ගලයා විතරක් නෙමෙයි ඔහු වෙසෙන සමාජය ගැනත් පුළුල් චිත්‍රයක් මැවීම. ඒක 19 වැනි ශත වර්ෂයෙන් පස්සෙ බටහිරත් පිරිහුණා. ඒ ධනවාදය බටහිර බිහිවීමත් සමග. ධනවාදයේ මූලික ලක්ෂණයක් තමයි පුද්ගලයා කේන්ද්‍ර කිරීම. පුද්ගලයා සමාජයෙන් එළියට අරගෙන පුද්ගලයාගේ ප්‍රශ්න කතා කිරීම. ඒක නවකතාවේ පිරිහීමක්. නවකතාවෙන් කරන්න ඕන පුද්ගලයයි, සමාජයයි දෙකම ඒකාබද්ධ කරල, පුද්ගලයා සමාජයේ නිර්මාණයක් කියල, පුද්ගලයත්, සමාජයත් අතර පුළුල් විවරණයක් කිරීම. බටහිර ඒක නැතිවුණා. බටහිර ඒක නැතිවෙද්දි අපිත් පණස් ගණන්වල බටහිර ඇන්ග්ලෝ ඇමරිකන් සංස්කෘතියට යටවුණා. එතකොට තමයි පේරාදෙණි සාහිත්‍යය බිහිවුණෙ.

කොහොම වුණත් බොහෝ විචාරකයෝ අමරසේකර නම් නවකතාකරුවා හොයාගන්නෙ ඔබේ මුල්කාලීන නවකතා එක්ක. ඔබ ජීවන සුවඳෙන් පස්සෙ ලියපු මැද පන්තියේ කතාව ඇතුළත් ‘ගමනක මුල’ නවකතා මාලාවට ඔවුන් එතරම් කැමැති නෑ. මේ විචාරක පිළිවෙත ගැන ඔබ මොකද හිතන්නේ…?

ඒකට හේතුව අපි තාම ඇන්ග්ලෝ ඇමරිකන් සභ්‍යත්වයෙන් මිදිල නැති එක. ඩී. එස්. ලෝරන්ලා, ජීන් වගේ බටහිර නවකතාකාරයො දිහා තමයි තාම බලන්නෙ. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විචාරකයෙක් වන ජෝර්ජ් ලුකාෂ් කියනව බටහිර බිහිවුණු අවසන් ශ්‍රේෂ්ඨ නවකතාකාරයාතෝමස්මාන්නේ කියල. ඔහුගෙන් පස්සෙ බටහිර නවකතාව පිරිහුණා. ඒකට හේතුවුණේ බටහිර ඇතිවුණු ආර්ථික ධනවාදයේ සංස්කෘතිය. ධනවාදයේ මූලික කේන්ද්‍රය තමයි පුද්ගලයා. පුද්ගලවාදය තමයි ධනවාදය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වුණේ. ඒකෙ පිළිබිඹුව තමයි බටහිර සාහිත්‍යය. ඒක තමයි මෙහෙත් අනුකරණය කළේ.

‘ගමනක මුල’ කතා මාලාවෙදි ඔබ මතු කරන දේශපාලනය එම කතා මාලාව විචාරක කතිකාවෙන් මගහැරෙන්නත් හේතුවුණා ද?

ඔව්… එහෙමත් වෙන්න පුළුවන්. දේශපාලන හේතු තියෙනව. මම ගමනක මුල කතා මාලාවේ මේ රටට ගැළපෙන සමාජයක් ගොඩනැගීම ගැන තමයි සාකච්ඡා කරන්නෙ. ඒක මගේ හිතේ ඔය විචාරකයන්ට අල්ලන්නෙ නෑ. ඒ අයගෙ ඔළුවෙ තියෙන්නෙ ධනවාදී ආකල්ප.

ඔබේ එම කතා මාලාවේ දුර්වලතාවක් ලෙසින් පෙන්වන්නේ මධ්‍යම පන්තික උගතා තනිකරල ගැනීම. ඒ අනුව ජාතික ද? විජාතික ද? කියල ගවේෂණය කිරීම. අනෙක ඔබ එහි මතුකරන මධ්‍යම පන්තිකයා රටේ ප්‍රධාන ජනගහණයෙන් ඉතා සුලු කොටසක් නිසා ඒ වගේ පිරිසකගෙන් ප්‍රධාන සමාජයක විකාශනය අල්ලන්න බෑ කියන එක. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය මොකක් ද?

මම දකින හැටියට මධ්‍යම පන්තික බොහෝ උගත්තු තාම බටහිර චින්තනයේ වහල්ලු. ඒකෙන් සාහිත්‍යයත් මිදිල නෑ. මගේ පරණ ඒවා හොඳයි කියන කට්ටියට ඒවා අල්ලල යන්නෙ ඒවායෙ තිබුණෙ ඒ චින්තනය නිසා. මධ්‍යම පන්තියෙ උගතා වල්මත් වුණාට මේ රටේ චින්තනය හසුරුවන්නෙමධ්‍යම පන්තික උගතා. 56ට ඉස්සරවෙලා නම් හිටිය ධනය හිමි ගැමි පන්තියක්. 56න් පස්සෙ මධ්‍යම පන්තිය තමයි හැම ප්‍රශ්නයක්ම විසඳල තියෙන්නෙ. අනෙක මෙහෙ තියෙනවද කම්කරු පන්තියක්? එකම දේ අවාසනාවකට මධ්‍යම පන්තිය ප්‍රබුද්ධ පන්තියක් වෙලා නෑ. ඔවුන් තාම බටහිර අනුකාරක පන්තියක්. ඒක අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක්. අපේ දේශපාලනයෙදිත් වෙලා තියෙන අභාග්‍ය ප්‍රබුද්ධ මධ්‍යම පන්තියක් නැති වීම. ඕනම රටක සමාජය වෙනස් කරන ප්‍රබුද්ධ මධ්‍යම පන්තියක් හිටිය. ‘මහගෙදර කතන්දරය’ නවකතාවෙ ඉන්න කතා නායකය සිංහල බෞද්ධ මධ්‍යම පන්තියෙන් ආපු කෙනෙක්. එයා හදවතින් බෞද්ධ සභ්‍යත්වයේ නිෂ්පාදනයක් වුණත් පේරාදෙණිය සාහිත්‍යයට අහුවෙලා වල්මත්වෙනව. හැබැයි අවසානයෙදි ඒ වල්මත්කමින් අයින් වෙනව.

පේරාදෙණියෙ අය අහනව නේද ඇත්තටම බෞද්ධ සභ්‍යත්වයක් තියෙනවද කියල…?

ඔව්… ඔවුන් කියනව තමයි ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් නෑ කියල. ඒක අමූලික බොරුවක්. අවුරුදු 2500ක් තිස්සෙ ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් මේ රටේ හැරෙන්න වෙනත් රටක ආවෙ නෑ. මහායානය තිබුණ රටවල මහායාන සභ්‍යත්වය තිබුණ. ඒ ජපානය, චීනය වගේ රටවල. ථේරවාදී බෞද්ධ සභ්‍යත්වයක් අශෝක අධිරාජ්‍යයාගෙ කාලයෙ ඉන්දියාවෙ තිබුණ. ඒක තමයි අපිට ආවෙ. මහින්ද හාමුදුරුවො බුද්ධාගම විතරක් මෙහාට අරගෙන ආවෙ නෑ. බෞද්ධ සභ්‍යත්වය, බෞද්ධ සංස්කෘතිය මෙහාට ගෙනාව. ට්‍රෙවෝ ලින්ග් (Trevor Ling) කියන ලේඛකයා The Buddha – Buddhist Civilizations in India and Ceylon පොත ලියමින් කියනව ඉංග්‍රීසිකාරයන් මේ රට අල්ලගන්නකම් බෞද්ධ සභ්‍යත්වයමෙහෙ තිබුණ කියල. ඊට පස්සෙ තමයි නැති වුණෙ කියල. අප මතුපිටින් බලන්නෙ නැතිව බැලුවොත් මේ රටේ නිදහසින් පස්සෙ ඇතිවුණු 56 ඇතුඵ සියලු ජාතික ප්‍රබෝධවලට මුල් වුණෙ බෞද්ධ සභ්‍යත්වය. ඒ චින්තනය තමයි බලපෑවෙ. හැබැයි අවාසනාවකට ඒකෙන් ආපු නායකයො මේක විනාශ කළා. ඔවුන් බෞද්ධ සංස්කෘතිය කිව්වෙරෙද්දටයි බැනියමටයි. ගෝඨාභය දිනුවෙත් ඒක උඩනෙ. ඒත් බලයට ඇවිත් කළේ ඒකෙ අනෙක් පැත්තනෙ. මේ නායකයො කියන අය හිතන්නෙබෞද්ධ සංස්කෘතිය කියන්නෙවෙළඳ බඩුවක් කියල. ඒක ඡන්දය දිනන්න විතරයි. මේ රටේ ලෝකයෙ වෙන කොහෙවත් නැති විදිහට බෞද්ධ ආර්ථික දර්ශනය ගොඩනගන්න පුළුවන්. මේ ධනවාදී සමාජයට විරුද්ධමානව හිතවාදී සමාජයක් බෞද්ධ දර්ශනයෙ තියෙනව. බෞද්ධ සභ්‍යත්වයේ තියෙනව.

බෞද්ධ සභ්‍යත්වය ඒ විදිහට වෙළඳ භාණ්ඩයක් කරගත්ත රටක, සාහිත්‍යයේ අද දවස ගැන ඔබට මොනවද හිතෙන්නේ…?

ඒ ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ 1978 පැවැති සාහිත්‍ය උලෙළේදී ජේ. ආර්. ජයවර්ධන කළ ප්‍රකාශයක්. එදා ජේ. ආර්. ඉතා නිර්භයව කිව්ව සාහිත්‍යය ප්‍රගුණ කිරීමෙන් කිසි වැඩක් නෑ කියල. ඒ වෙලාවෙ අපේ බොහෝ දෙනා ජේ. ආර්. ට දොස් කිව්ව. සාහිත්‍යය ගැන නොදන්නා අප්‍රබුද්ධයෙක් විදිහට තමයි ජේ. ආර්. ව හැඳින්වුවෙ. ඇත්තවශයෙන් ජේ. ආර්. ඒ ප්‍රකාශය කළේ සාහිත්‍යය ගැන හැමෝටම වැඩිය අවබෝධයක් ඔහුට තිබුණු නිසයි. ජේ. ආර්. දැන ගත්ත සාහිත්‍යය කියන්නෙ ඔහු දියත් කළ නව ලිබරල් ධනවාදයට එරෙහිව නැගී සිටිය හැකි ප්‍රධාන බලවේගවලින් එකක් බව. ඒ නිසා ඒ බලවේගය නිෂේධ කිරීම ඔහුට අවශ්‍යව තිබුණා. අද වෙද්දි අපේ සාහිත්‍යය සමාජයෙන් වියෝවූ මළගිය ප්‍රාණකාරයකුගේ තත්ත්වයට පත් වෙලා. සමාජ චින්තනයවෙනස් කිරීමේ සාහිත්‍යය සතු බලය අද වන විට එයින් සහමුලින්ම ගිලිහිලානේද? කොටින්ම කියනව නම් අද සාහිත්‍යය ගැන කතා කිරීම පවා මරණ තුනක් මැද පැණි බීමක් විදිහටයි මම ද කි න්නේ .

අද ලියැවෙන කවකතා ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?

අද ලියැවෙන්නේ නවකතා නෙවෙයි ටෙලි නාටක කතා. කොටින්ම කියනව නම් අද නවකතාව අප්‍රබුද්ධයන් විසින් අප්‍රබුද්ධයන් පිනවීමට ලියැවෙන නිසරු ලේඛනයක්. එදා මාර්ටින් වික්‍රමසිංහ දියත් කළ ප්‍රබුද්ධ නවකතා පවා අද වනවිට සම්පූර්ණයෙන් අතුරුදන් වෙලා. සිංහල නාට්‍ය දෙස බලමු. අද කිසිදු හරවත් ගැඹුරු ආස්වාදයක්, ගැඹුරු වින්දනයක් ගෙන දෙන නාට්‍ය පහළ වෙනවද? වේදිකාව අද අප්‍රබුද්ධ උද්ඝෝෂකයන්ගේ හිස් සටන් පාඨවලට කැපවුණු තැනක් වෙලා. අද සිංහල කවිය කියා දෙයක් තියෙනවද? සති අග පත්තරවල පළවෙන නිසඳැස් පම්පෝරි කෑලි තමයි අද කවිය හැටියට තියෙන්නේ. අපේ සාහිත්‍යය වශයෙන් තියෙන්නේ රූපවාහිනී නාළිකාවල පෙන්වන ‘ඇටෑක් ෂෝ’. කොටින්ම කියතොත් අද ඇති සාහිත්‍ය කලා ව්‍යාපාරයෙන් කරන්නේ ජනතාව යථාර්ථයෙන් ඈත් කරල ඔවුන්ගේ දෑස් අඳ කොට අද ඇති අධම ආර්ථිකයට හරියන විදිහට ඔවුන්ගේ මනස සකස් කිරීම. ජේ. ආර්. ජයවර්ධන ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනව. ප්‍රබුද්ධ සාහිත්‍යකරුවා බිහි වෙන්නේ සමාජයක් තුළ තිබෙන ප්‍රබුද්ධදේශපාලන සංවාදය තුළින්. සාහිත්‍යකරුවා කරන්නේ ඒ ප්‍රබුද්ධ දේශපාලන සංවාදය ඇසුරෙන් උත්තර සංවාදයක් නිර්මාණය කිරීමයි. පසුගිය අර්බුද කාලය තුළ මේ රට තුළ එවැනි ප්‍රබල ප්‍රබුද්ධ දේශපාලන සංවාදයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ උසස් සාහිත්‍යයක් අපේක්ෂා කිරීම පළ නොදෙන නිසරු පැතුමක් පමණයි.

ඔබේ ලේඛන දිවියේ ලියාගන්න බැරිවූ යම් දෙයක් තියෙනව ද?

මට ඕනකම තිබුණ බෞද්ධ ආර්ථික දර්ශනය පදනම් කරගෙන අපිට ගැළපෙන ආර්ථික දර්ශනය ගැන පොතක් ලියන්න. මට නම් ඒක කරන්න දැන් කාලයක් නෑ. හැබැයි ඒක කවුරුන් හෝ කළ යුතු දෙයක්.

ආපසු හැරිල බැලුවොත් ජීවිතය දිහා…ඔබ තෘප්තිමත් ද?

මම ගැන මගේ හැඟීම නම් මගේ යුතුකම ඉෂ්ට කළා කියන එක. මම ලියල තියෙන හැම දෙයක්ම හෘද සාක්ෂියට එකඟව ලියපුවා. කොටින්ම කියනව නම් ලිවීමෙන් මම ආර්ථික වශයෙන් කිසිම දෙයක් ලබාගෙන නෑ. මගේ පොත්පත්වලින් කිසිම ආදායමක් මට එන්නෙ නෑ. ඒක ඔබ විශ්වාස කරන එකක් නෑ. විකුණන්න බලාගෙන මම ලියලත් නෑ. මගෙ ලියල තියෙන්නෙ මගේ හදවතට එකඟව මට දැනුණු ප්‍රශ්නවලට පිළිතුරු. ඒ අතින් බැලුවාම මම තෘප්තිමත්. ඒත් එක අසතුටක් තාම මට තියෙනව. 1948 නිදහස ලබද්දි මම ටොරින්ටන් එකේ හිටිය. ඒ ගැටවරයෙක් හැටියට. එදා ඉඳල අපිට විශාල බලාපොරොත්තුවක් තිබුණ මේ රට හරි යයි කියල. ඒත් දැන් මේ රට විනාශ වෙලා. ඉතින් අපිට මැරෙන්න වෙන්නෙ මේක දැක දැක. ඒක තමයි මට තියෙන එකම කළකිරීම. මගේ හිතේ තියෙන ලොකුම කණගාටුව තමයි මට දැනෙනවා සිංහල ජාතියේ අවසානය මේකයි කියල. මගේ අලුත්ම නවකතාව ඉවර වෙන්නෙත් එහෙමයි. පැරැණි ගෙදර සම්පූර්ණයෙන් ‘බෝන් අගේන්’ පල්ලියක් වෙලා.

සංවාදය – ලක්මාල් බෝගහවත්ත (අරුණ පුවත්පත)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More