පුරවැසි කොලම

ඒ සාමාන්‍ය පෙළ විභාගයට පසු දිනයයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියූ සේරුවිල දූපුතුන් පිරිසක් මා හමුවීමට විහාරස්ථානයට පැමිණ තිබුණි. අනාගතය පිළිබඳ නැවුම් සිහින රැසක් ඒ නෙත් තුල පොපියනු දුටිමි.

“කොහොමද විභාගය හොඳට ලිව්වා ද?”
“ඔව්.. හොඳින් ලිව්වා”
ඒ දෑස් සතුටින් පිරී ගොස් ය. ජීවිතයේ එක් කඩයිමක් සාර්ථකව අවසන් වූ විට දැනෙනා සතුට ඒ දරුවන් තුල හොඳින් පෙනේ..
“ඉතින් පුතාලා දැන් මොනවද ඊලඟට කරන්නේ..”
“මම බයෝ කරන්න කැමතියි..”
“මම මේ පාර කොහොමහරි A9ක් ගන්න විදිහට විභාගේ ලිව්වා.” ඒ කාවතිස්සපුර දුවකි.
“මම නම් මැත්ස් කරන්න කැමතියි.” ඒ සේරුවිල ගමේ පුතෙකි.
“අපි දෙන්නා tec කරන්නයි කැමති ස්වාමීන් වහන්ස..” ඒ තවත් දරුවන් දෙදෙනෙකි..
නමුත් ඒ සෑම පිළිතුරක් ම එක් වදනකින් අවසන් විය.. “ඒත් අපි කොහොමද අපි කැමති විෂයයන් ඉගෙන ගන්නේ.. අපේ පාසල් වල ඒ විෂයයන් උගන්වන්නේ නැහැනේ.. අපිට තියෙන්නේ කලා වාණිජ විතරයි..”

ඔවුන්ගේ සතුටින් පිරි මුහුණු සැණෙකින් අඳුරු වී යනු දුටු මා සිතට මහා බරක් දැනුණි. ඒ අඳුරු වී යන්නේ ඔවුන්ගේ අනාගතය පමණක් නොවේ. රටේ ම අනාගතය නොවේ ද?

නිදහස් අධ්‍යාපනය ගැන පාරම්බානා අප රටේ අධ්‍යාපන අයිතිය ඒ අයුරින්ම නොලැබෙන දරු පිරිසක් සිටිනා බව ඔබ දන්නවා ද? ඒ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල දරුවන්ය. සේරුවිලට ඉහලින් මුස්ලිම් ජනයා බහුතරයක් වසනා මූතූර් අධ්‍යාපන කලාපයත් දකුණින් දමිළ ජනයා බහුතරයක් වසනා ඊච්චලන්පත්තු ප්‍රදේශයත් පිහිටා තිබේ. කන්තලේ පසුවූ විට තිබෙනා එකම සිංහල මාධ්‍ය අධ්‍යාපන කොට්ඨාසය මෙයයි. මේ අධ්‍යාපන කොට්ඨාසයට ම උසස් පෙළ විද්‍යා, ගණිත හෝ තාක්ෂණවේදය උගන්වන එකදු පාසලක් හෝ නැත. ඒ සඳහා මේ දරුවන් බොහෝ දුර ගෙවා කන්තලේට යා යුතුය. උපකාරක පන්ති සඳහා කුරුණෑගල හෝ නුවර යා යුතුය. එදා වේල සරිකර ගන්නා ගොවි පවුල් වල උපන් දරුවනට මෙය සිහිනයකි.

පසුගිය වසරේ නීලපොල විදුහලේ ඉහළින් සාමාන්‍යපෙළ සමත් වූ දියණියකට අප අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දුන් අවස්ථාවකදී ඒ දියණිය පැවසූ වදන් මා සිත රැව් පිලිරැව් දෙන්නට විය. “අනේ නායක හාමුදුරුවනේ.. මම ජීව විද්‍යාවට ගොඩාක් ආසයි. මගේ හීනය වුණේ කොහොමහරි හොඳට පාඩම් කරලා වෛද්‍යවරියක් වෙන්න. සාමාන්‍ය පෙළෙන් පස්සේ තමයි මම දැනගත්තේ අපිට මේ පැත්තේ ඉස්කෝලවල ඒ අවස්ථාව නෑ කියලා. මට ඉන්නේ අම්මා විතරයි. අපේ අම්මා කොහොමද කුලී වැඩ කරලා මට උගන්වන්න වියදම් කරන්නේ… ඉතින් මම දැන් වාණිජ විෂයයන් ඉගෙනගන්නවා. නමුත් ඒක මතක් වෙන වාරයක් වාරයක් ගානේ මට හරි වේදනාවක් දැනෙනවා.” මෙවන් සිහින බොඳ වූ දරුවන් කොතරම් නම් මේ ප්‍රදේශයේ සිටිනවා ද.. මේ සංවේදී කරුණට නැවතීමේ තිත තැබිය යුතුය. මේ දරුවන්ටත් කෙසේ හෝ ඒ අවස්ථා හිමි කොට දිය යුතු ය. ඔවුන් ද මේ රටේ ම උපන් දරුවෝ ය.

ඊට දින කිහිපයකට පසු මා වෙත පැමිණියේ ඒ දරුවන්ගේ දෙමාපියන් ය. සේරුවිල, කාවන්තිස්සපුර, නීලපොල, සේරුනුවර, දෙහිවත්ත ඒ සෑම පෙදෙසක ම දෙමාපියන් ඒ අතර විය.

“අනේ නායක හාමුදුරුවනේ.. කොහොමහරි අපේ දරුවන්ට ඉගෙනගන්න මගක් පාදා දෙන්න..”
ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ කෙසේ හෝ තම දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි කොට දෙන ලෙස යි. එය විශාල අභියෝගකි. නමුත් කෙසේ හෝ එය ඉටු කිරීමට අදිටන් කළෙමි. උසස් පෙළ ජීවවිද්‍යාව, ගණිතය සහ තාක්ෂණවේදය විෂයයන් සඳහා වන පාසලක් අපගේ මැදිහත් වීම මත “ශ්‍රී සුමේධංකර විද්‍යාලය” නමින් සේරුවිල ප්‍රදේශයේ ඇරඹීමට සැළසුම් කළෙමි. ඒ සඳහා පන්ති කාමර කිහිපයක ගොඩනැගිල්ලක් ඉදි කළ යුතු ය. අදාළ විෂයයන් සඳහා වැටුප් ගෙවා ගුරුභවතුන් යෙදවිය යුතු ය.

උපකාරක පන්ති සඳහා මේ දරුවන් බොහෝ දුර යැවීම ප්‍රායෝගික නැති නිසා ඒ උදෙසා ද වැඩ පිළිවෙලක් සැකසීමි. විහාරස්ථානයේ කුඩා ගොඩනැගිල්ලක් මේ දරුවන් සඳහා වෙන් කොට 75” ප්‍රමාණයේ විශාල ඩිජිටල් තිරයක් (ස්මාර්ට් බෝර්ඩ් එකක්) එහි ස්ථාපනය කොට දුරස්ථ අධ්‍යාපනය (distanse learning) ලබාදිය හැකි පන්ති කාමරයක් සැකසීමට සැළසුම් කළෙමි. එය අප හට ලබාදීමට මෙල්බර්න් නුවර වැඩ සිටින අප සහෝදර පූජ්‍ය කැකිරාවේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වීම මහත් අස්වැසිල්ලක් විය.

ප්‍රවීණ ජීව විද්‍යා දේශක අප හිතවත් දිනේෂ් මුතුගල ගුරුතුමන් හා මේ පිළිබඳ කතා කළෙමි. එතුමා මේ දරුවන් වෙනුවෙන් අපගේ ඉල්ලීම පිළිගත් අතර එතුමාගේ මාර්ගගත (online) පන්ති සඳහා අප සකසන සුහුරු පංති කාමරය (smart class room) නොමිලයේ ම සම්බන්ධ කිරීමටත් ඊට අදාළ මුද්‍රිත පාඩම් සටහන් (tutes) ආදිය මේ දරුවන්ගේ ප්‍රමාණයට සේරුවිලට එවීමටත් එතුමා එකඟ විය. එසේම එතුමාගේ මැදිහත් වීම මත ප්‍රවීණ සංයුත්ත ගණිත දේශක අනිල් කේ. සේනාධීර ගුරුතුමන්, ප්‍රවීණ භෞතික විද්‍යා දේශක දර්ශන උකුවෙල ගුරුතුමන් සහ ප්‍රවීණ රසායන විද්‍යා දේශක නිරන්දික ජයවර්ධන ගුරුතුමන් මේ දරුවන් හට ඒ ඒ විෂයයන් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම කෘතවේදීව සිහිකරමි. එසේම තාක්ෂණවේදය හදාරන දරුවනට ඒ අයුරින්ම ඉගැන්වීමට සිය මිතුරු ගුරු පිරිසත් සමඟින් ප්‍රවීණ ‘ජෛවපද්ධති තාක්ෂණවේදය’ (BST) දේශක රංග රුවන්පුර ගුරුතුමන් ඉදිරිපත් විය. එමෙන්ම අප හිතවත් චරක ධනංජය ගුරුතුමන් ද (ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයනය දේශක) කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මතිලක මහතා ද නිරතුරුව අප දිරිමත් කළ බව සටහන් කළ යුතු ම ය. ඒ කාරුණික ගුරු උතුමන් සියලුදෙනාට මෙත් සිතින් පින් දෙමි. ඒ අනුව විශාල තිරයක් අභියස කුරුණෑගල සහ නුවර පැවැත්වෙන උපකාරක පංති සඳහා ඒ අයුරින්ම සහභාගී වීමට මේ දරුවන් හට අවකාශ ලැබෙනු ඇත. තවත් සතියක් පමණ ඇතුළත එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අදහස් කරමි.

සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් උසස්පෙළ ජීවවිද්‍යා, ගණිත සහ තාක්ෂණවේදය විෂයයන් හදාරනු කැමති දුවා දරුවනට දැන් සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට පැමිණ මේ වැඩපිළිවෙල හා එක්වීමට දැන් ලියාපදිංචි විය හැකිය. විද්‍යා, ගණිත, තාක්ෂණ අංශයෙන් ඉහළට යනු කැමති සේරුවිල දරුවන් හට දැන් එය තවදුරත් සිහිනයක් නොවනු ඇත.

– අළුදෙණියේ සුබෝධි ස්ථවිර
2023ක් වූ ජූනි මස 20 වන දින දී ය.

• සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට මුහුණදුන් ඔබ හඳුනන දරුවන් වෙත මේ පණිවිඩය ලබා දෙන්න.

• ඉදිරියේදී අරඹන පාසල සඳහා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය සහ තාක්ෂණවේදයට අදාළ විෂයයන් ඉගැන්විය හැකි උපාධිධාරී ගුරුවරුන් වේ නම්, ජීව දත්ත පත්‍රිකාව ඉක්මණින් info@seruwilatemple.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. (ඔබ හඳුනන ගුරු වෘත්තියට කැමති උපාධිධාරීන් වෙත මේ පණිවිඩය යොමු කරන්න. බඳවාගැනීම් ප්‍රවීණ අධ්‍යාපනඥයින්ගෙන් යුතු කමිටුවක් මගින් ස්වාධීනව සිදු කරනු ලැබේ.)

• මේ වැඩපිළිවෙලට සවියක් වීමට කැමති අයෙක් වෙතොත් 071 746 5409 whatsapp දුරකථන අංකයට පණිවිඩයක් තැබීමෙන් හෝ info@seruwilatemple.lk විද්‍යුත් ලිපිනයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More