පුරවැසි කොලම

අපගේ වීරෝධාර රණවිරුවන්ගේ අප්‍රතිහත දහිර්‍යයෙන්, ඒකායන අධිෂ්ඨාණයෙන් හා නිවැරදි නායකත්වයෙන්; තිස් වසරක සාපලත් ත්‍රස්ථවාදී යුද්ධය මානුශික මෙහෙයුමකින් 2009 දී අවසන් කිරීමට හැකිවිය. ත්‍රස්ථවාදය අවසන්කළ මෙම මානුශික මෙහෙයුම ජාතිකවාදීන්ට ආශ්වාදයක් වුවද පජාතිකවාදීන්ට ඇසේ ඇණුන විශ කටුවකටත් වැඩිය දරුණු වේදනාවක් ගෙනදෙන්නක්ම විය. එම පජාතිකයින්ට අනුව සිලාවතුර යනු හුදු වතුර වලකි, කිලිනොච්චිය කියා මැදවච්චියට යෑමකි, ඕනැම ගොනෙකුට කළ හැකි ක්‍රියාවකි, තොප්පිගල යනු නිකම්ම නිකං කැලයකි, අයවැය පරදවා රජය පෙරලා දමා නැවැත්විය යුතු ක්‍රියාවකි.

මෙම පජාතිකයින්ගේ මනදොල සියල්ල සපුරාලන කූඨප්‍රාප්තිය සිදුවූයේ එදා 2009දී මානුශික මෙහෙයුමකින් රට ගලවාගත් අපේ රණවිරුවන් සහ දේශපාලන නායකත්වය යුද අපරාධකරුවන් වේය යන ලියවිල්ලට 2015 දී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අත්සන් තැබීමෙනි. එහිදී සිරිසේන, රනිල්, මංගල, පාඨලී, අනුර ප්‍රධාන යහපාලන රජයේ සමානුග්‍රහය ඇතිව විමර්ශණයකින් හෝ විවාදයකින් තොරව අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් බවද ඒ සඳහා නියෝගදීම මානුශීය සහ මානව හිමිකම් කඩකිරීමක් බවද ඒ සඳහා අණදුන් අධිකාරිය වගවිය යුතු බවද ඒක පාර්ශවිකව, චූදිතයින්ට ස්වභාවික යුක්තිය ඉටුකිරීමට ඉඩදීමකින් තොරව, පිළිගන්නා ලදී. ප්‍රාථමික ගෝත්‍රයක වුවද ඉටුකරනු ලබන නෛතික චාරිත්‍රයක්වන ස්වභාවික යුක්තිය සඳහා ඉඩලබා නොදීමට තරම් යහපාලක යමයින් සැහැසිවූහ.

රාජපක්ෂ වරුන්ට එරෙහිව යහපාලකයින් තුල පැසවුනු සතුරුකම කෙතරම්ද යත් මහත් පරිශ්‍රමයක් දරා එවකට ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ නිත්‍ය නියෝජිතව සිටි රවිනාත් ආරියසිංහ මහතා “සළකා බැලීම සඳහා බාරගන්නා ලදී” වශයෙන් සඳන්කර බාරගත් එම චෝදනා සහ ඳඬුවම් ප්‍රඥප්තියේ අකුරක් නෑර ක්‍රියාවේ යෙදවීමට තරම් යහපාලකයින් මුග්ධ විය. වත්මන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ එකලද අධිකරණ ඇමති ලෙස සිටිමින් පැවති සාක්ෂි පනත හකුලා යුද අපරාධ චෝදනා විභාග කිරීමට හැකිවන ලෙස පාර්ලිමේන්තුවේ නීති සම්මත කරගැනීමට සමත්විය.

අනතුර වටහාගත් ජාතිකවාදීන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වටා ගොනු වෙමින් රණවිරුවන්ට අහිමිවූ ස්වභාවික යුක්තිය ඉල්ලීමේ කර්ත්‍රව්‍යයට අතගසන ලදී. අති පූජ්‍ය අනුනායක බෙංගමුවේ නාලක හිමි විසින් පනවන ලද බල අධිකාරිය අනුව විද්වත් මණ්ඩලයක් විසින් මෙම කාර්‍යභාරයට උරදෙන ලදී. රණවිරුවන් උදෙසාවූ ස්වභාවික යුක්තිය ඉල්ලීම හෙවත් රණවිරුවන්ගේ විත්තිවාචකය එසේ 2017 වසරේදී එවකට ඊළඟ ජනාධිපති ලෙස පත්කළ යුතුයැයි වටහාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට රණවිරුවන් විසින්ම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අත පැන් පෙවීමට ආසන්න ලෙසින් උත්සව පවත්වා මහත් උත්කර්ෂයෙන් හා බලාපොරොත්තුවෙන් යුක්තව බාරදෙන ලදී. එහි ඒකායන පරමාර්ථය වූයේ යහපාලන රජය පවතින තාක් රණවිරුවන් යුද අපරාධ සඳහාවන ඳඬුවම් විඳීමෙන් වළකා ගැනීම, රණවිරුවන් නිර්දෝශී බව පැහැදිලි කරදීම සහ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස්කර ගලවා ගන්නා මාර්ගය හෙළිකර දීම යන ත්‍රිවිධ කාරණාවේ. නම් වශයෙන් සඳහන් නොකළද ජිනීවා සමුළුවට සහභාගී වීම හේතුවෙන් ජනප්‍රිය භාවය ලද දුසිම් කාලක් පමණ මැති ඇමතිවරු වත්මන් පාර්ලිමේන්තුවේ සිටියද අඩුම තරමින් එම විත්තිවාචිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් හට බලතල නිලතල හෙබවූ කාලයේ නොහැකි විය. විරුවන්ගේ විත්තිවාචකය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතකළ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී මොහොමඩ් මුසම්මිල් මැතිතුමාට නැවතත් ස්තුතිවන්ත වන්නෙමු.

මෙම විත්තිවාචිකයම පමණක් අදාල ආයතන වලට නියමිත ආකාරයට ඉදිරිපත් කරන ලද්දේනම් රණවිරුවන් හට ගෞරවණිය ආකාරයට යුද අපරාධ වලින් නිදොස් වීමටද ඒ ලබන්නාවූ නිදොස් භාවය හේතුවෙන් ඳඬුවම් වලින් නිදහස් වීමටද හැකියාව තිබුනි. රටේ අභාග්‍යයට රණවිරුවන් ආරක්ෂා කිරීම සඳහා කැපවෙන්නේ යැයි ශපත කර පත්වූ ගෝඨාභය ජනාධිපතිතුමා එම වගකීම ඉටුකලේ නැත. ඒ වෙනුවට චෝදනා එලෙස තිබියදීම ඳඬුවම් වලින් පමණක් ගැලවීමේ මාවතක් තෝරා ගන්නා ලදී. එය හඳුන්වනු ලැබුවේ “මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව එන්ගේජ් කරගැනීම” යනුවෙනි. එයට පාදකවූයේ ස්ව්භාවික යුක්තිය ඉල්ලීම එම චෝදනා ඉදිරිපත්කළ ආයතන පිළිගැනීමක් සේ සැළකීම වන්නේ යැයි අලුත් මාදිලියේ තර්කයක් නීතිය පිළිබඳව මහාචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කිරීමයි. මෙම මානසික බන්ධනයේ බලවත්වීම කෙසේදයත් පිටු 133 ක යුද අපරාධ චෝදනා තිබූ ආරක්ෂක ප්‍රධානියෙක් එම ආශ්චර්‍යමත් යෝජනාව එකසිතින්ම එකත්පසව පිළිගන්නා ලදී.

අප කෙතෙක් උත්සාහ කළද චෝදනාවලින් නිදොස්වීම චෝදනා පවතිද්දී නියමිත ඳඬුවම් වලින් ගැලවීමට වැඩිය වටින්නේ යැයි පිළිගැනීමට අභාග්‍යසම්පන්නව ඒ ප්‍රභල රණවිරුවන් අසමත්විය. අපේ මූලික තර්කය වූයේ “එන්ගේජ් කරගැනීම” සඳහා බෙදුම්වාදීන්ගේ මනදොල සපුරාලීමට සිදුවන බවත්, එය බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා සැපිරීමක් වෙන බවත්, “එන්ගේජ්” එකඟතා සැපිරුවද චෝදනා එසේම පවතින බැවින් කෙදිනක හෝ නැවත එම අවිය භාවිතා කරනු ඇති බවත්‍ ය. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ඒ සඳහා පත්කළ ජනාධිපති අසමත්විය. ඔහුට යළි ඉපදෙනු, මග සොයාදෙමි කල්ලිවල ග්‍රහණයට පමණක් නොව කේවට්ටාචාරීන්ගේ උපදෙස් වලටද බොළඳ ලෙස හසුවෙන්නට සිදුවුණි.

මෙම “එන්ගේජ්” ක්‍රමවේදය කෙතරම් බලවත්ද යත් “කරන්නාගොඩ කොමිසමෙන්” පෙන්වා දී ඇති කරුණු අනුව ජීවිතය බේරා ගැනීම සඳහා ජනාධිපතිවරයාට රටින් පළා යෑමට පවා හේතුවුණි. එතුමාට සපයා තිබූ ආසන්නම ආරක්ෂකයින්ද “එන්ගේජ්” ක්‍රියාවේ යෙදෙමින්දෝ ‘සියල්ල පාලනය කර ඇති බවත් තත්ත්වය සංසුන්’ බවත් පැවසුවද අහම්බෙන් මෙන් ජනපතිවරයාම රූපවාහිණිය නැරඹීමෙන් සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන වීමට යන ව්‍යවසනය වැටහී වටලා තිබූ මන්දිරයෙන් පලා ගිය බව වෙනත් ආරංචි මාර්ග පවසන බව ජනමාධ්‍යයේ පසුව සඳහන්වුනි. “එන්ගේජ්” ක්‍රීඩාව කෙසේ කවුරු විසින් කුමක් අරභයා හසුරුවන්නේද යන්න පලායන මොහොතේවත් ඔහුට වැටහෙන්නට ඇති කියා සිතීමට තරම් සාධක මෙතෙක් හමුවී නොමැත.

ආරක්ෂක සේවා දමනය සඳහා යොදාගෙන තිබුනේ “මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට අසුනොවනු” යන තර්ජනයයි. මාස කිහිපයකට පෙර මහාමාර්ග, අතුරුමාර්ග, ගාළුමුවදොර, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අගමැති නිල නිවස ආදී සියල්ලම යටකරමින් සුනාමියක් සේ අරගලකරුවන් රැස්වුනිද දේපොළ හා ජිවිත බේරා ගැනීමටවත් අධිකරණ නියෝගයක් ගැනීමටවත් ඉදිරිපත්වීමක් හෝ ලබාදීමක් නොවුන නමුදු අද වනවිට තත්ත්වය මාර්ගයේ වාහන ධාවනයට බාධාවේ යැයි පවසා අධිකරණයෙන් වාරණ ලබා ගැනීමටත්, ඒ වාරණ බළල් පැටියෙකුටත් අන්තලෙස පිළිපැදීමට තරම් උද්ඝෝෂණ කැඳවූ නායකයින් සුමට වීම දක්වාත් වර්ධනය වී ඇත. එසේනම් මේ අරගල පසුපස පැවතුනේද කාගේ අවශ්‍යතාදැයි යන පැනය හා එයද එක්තරා “එන්ගේජ්” දම්වැලේ පුරුකක් වේය යන තර්කය බැහැර කළ නොහැක.

මෙම තර්ජනයේ බලවත් කම අප ආරම්භයේ සිටම දැන හිටිය බැවින් මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලින් නිදොස් වීමේ අවශ්‍යතාවය මත අපගේ දැඩි අවධානය යොමුකර තිබුනෙමු. ඒ පිළිබඳව දැනුවත් කළ යුතු ඉහළම ස්ථර ඉහළම මට්ටමින් දැනුවත් කළෙමු. මහා සංඝරත්නයද ඒ සඳහා බොහෝ කැපවීමෙන් සහ උනන්දුවෙන් ක්‍රියාකළේය. රටේ අභාග්‍යයට එහි ඇති බලවත් කම හා ප්‍රමුඛතාවය ඊනියා නීති විශාරදයාගේ සිට රණවිරුවන්ගේ ඉහල සාමාජිකයින්ට හා පලාගිය ජනාධිපතිතුමාට පළායන තෙක්ම වැටහුනේ හෝ අවබෝධ උනේ නැත.

එසේනම් අප තවදුරටත් රණවිරුවන් හට ස්වභාවික යුක්තිය ඉටුකරනු යන ඉල්ලීමේ පමණක් රැඳී සිටීමේ තේරුමක් නැත. ඒ සඳහා යුද අපරාධ චෝදනාලාභී රණවිරුවන්ගේද අභිලාෂයක් හා අවශ්‍යතාවයක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ වගකිවයුතු තනතුරු දරන ඉහළම ස්ථරයේ අභිලාෂය වන්නේ චෝදනාවලින් නොව දඬුවමින් පමණක් “එන්ගේජ්” කර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කර ගැලවීමටනම් එය ඉතා භයානක ගනුදෙනුවකි. ගනුව ලෙස ලැබෙන්නේ ඔවුන්ට පුද්ගලිකව ලැබෙන්නාවූ නිදහස පමණකි. ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන්නේ රටේ ඒකීයභාවයෙන් හා ජාතික ආරක්ෂාවෙන් නම් එවන් “එන්ගේජ්” ක්‍රමවේදයන් අප වහා ප්‍රතික්ෂේප කළ යුතුවේ. ඒ සඳහා ගත හැකි පළමු පියවර වන්නේ රට පාලනයේ ඉහල තලයේ ඉන්නා යුද අපරාධ චෝදනාලද සියල්ලන්වම වහා ආරක්ෂක සහ රාජ්‍ය සේවයෙන් ගෞරවණීය ලෙස මුදාහැර විශ්‍රාම ගැන්වීමවේ. එවිට හසුරුවන්නන් වෙනුවෙන් රාජ්‍ය පාලනය අණතුරේ දමන රට බෙදුම්වාදීන්ට බිලිදෙන ක්‍රියාවල බළල් අත්සේ පාවිචිචි වීමට ඔවුන් හට සිදු නොවනු ඇත. එසේම ව්‍යවස්ථාදායකයේ ඉන්නාවූ යුද අපරාධ චෝදනාලාභීන්ද “එන්ගේජ්” අල්ලස් ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් “ස්වභාවික යුක්තිය” මාර්ගයෙන් තම නිර්දෝශී භාවය ප්‍රතිශ්ඨාඵනය කිරීමට අවශ්‍ය පියවර ගතයුතුවේ. ඒ සඳහා අවශ්‍යනම් ඉහත සඳහන්කළ විත්තිවාචකය ඒ සඳහා පාදක කර ගත හැක. නෛතික කටයුතු සිදුකිරීමට මානසික බාධාවලින් තොර විශේෂඥ කමිටුවක් පත්කරගැනීමටද රජය වහා කටයුතු කළ යුතුවේ. අයන්නේ සිට කියා දියයුතු නමට පමණක් විශේෂඥවූ කමිටු වලින් ඵලක් නොවන බව දැනටමත් සනාථවී ඇත. ස්වභාවික යුක්තිය ඉටුකර ගැනීම සඳහා කටයුතු කිරීම, යුද අපරාධ යැයි සඳහන් චෝදනා විභාග කරලීම සඳහාම විශේෂයෙන් පනවා හා අත්සන් කර ඇති නීති සහ ප්‍රඥප්ති වලින් ඉවත්වීම, ඇමරිකාව එංගලන්තය ආදී රටවල ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇති පරිදි රණවිරුවන් ආරක්ෂා කරන අනපණත් පැනවීමද මෙම විශේෂඥ කමිටුවේ බල අධිකාරියට පැවරිය යුතුය. මේ සඳහා රට යුද අපරාධ උගුලේ දැමූ නායකයෙක් නායකත්වයේ සිටීම මානසික බාධාවක් කරගත යුතු නැත්තේ ව්‍යවස්ථාදායක බලය තවමත් හිමිව තිබෙන්නේ ඒ සඳහා 69 ලක්ෂයක ජනවරමින් පත්වුන ජනතා නියෝජිතයින් ව්‍යවස්ථාදායක සභාව හොබවන බැවිනි. අවශ්‍යවන්නේ ඒ සඳහා නිවැරදි නායකත්වයකි.

– යසස් ධර්මදාස, ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, විධායක කමිටුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More