පුරවැසි කොලම

රාජගිරිය ප්‍රධාන මාර්ගය අසළ පිහිටි දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වර්තමානයේ කොළඹ සරසවියේ පීඨයකි. එය ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය ලෙස ආරම්භ කළේ 1929දී රාජගිරියේ ඔබේසේකර පරපුරේ ඉඩමකය. සර් ඩී.බී. ජයතිලක ඇතුළු විද්වතුන් පිරිසක් එහි සමාරම්භකයින් විය. පෞද්ගලික හේතූන් නිසා ඉන් සති කිහිපයකට පසු පණ්ඩිත වික්‍රමාරච්චි විසින්ද ගම්පහ යක්කල සිය පෞද්ගලික ඉඩමක ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය නමින් විද්‍යාලයක්ද පිහිටුවන ලදී.(1994දී එය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධවී ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ලෙස හැදින්වේ).

පනස් හයේ බිහිවූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ එක් යෝජනාවක් වූයේ ස්වදේශිය වෛද්‍යවරුන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කලයුතු බවය. ඒ අනුව 1961 අංක 31 දරණ පනත යටතේ ආණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය රජයේ දේශීය වෛද්‍ය විද්‍යාලය බවට පත්විය. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව මගින් 1977 පෙබරවාරි මස විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය කොළඹ සරසවියට අනුබද්ධ කරන ලදී. ඒ සඳහා පළමු උපාධිධාරි ශිෂ්‍ය කණ්ඩායම 1983 ජනවාරි මස බදවාගත් අතර එයට ශිෂ්‍යාවන් 48 දෙනෙකු ඇතුළු සිසුන් 60 දෙනෙකු බදවා ගන්නා ලදී. සරසවියකට ඇතුළත්වීමේ අවම ලකුණු සීමාවවූ ලකුණු 180 ඉක්මවා ඇති ජීව විද්‍යා අංශයේ සිසුන්ට එයට ඉල්ලුම් කල හැකි විය.

ඉතාම අඩු පහසුකම් යටතේ පාඨමාලා ආරම්භකල කොළඹ සරසවියට අනුයුක්ත රාජගිරිය ආයුර්වේද පීඨයේ නිත්‍ය කාර්ය මණ්ඩලය 14ක් විය. අන්තරේ මග පෙන්වීමෙන් 1983දී එහි ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවක් ස්ථාපිතවූ අතර 1984 සභාපති ලෙස එස්. වික්‍රමරත්නද ලේකම් ලෙස නිමල් කරුණාසිරිද පත්විය. අන්තරේ වෙනුවෙන් එයට මැදිහත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහින්ද පුෂ්පකුමාර සහ කොළඹ සරසවියේ ශ්‍රිලනිප ශිෂ්‍ය සංගමයේ සභාපති කීර්ති මාවැල්ලගේය(වර්තමානයේ මහින්ද පුෂ්පකුමාර කුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රීවරයෙක් වන අතර කීර්ති කලක් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය). දේශීය වෛද්‍ය සිසුන් අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිවද පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක සරසවි සිසුන් 1984 ජුනි මස ඝාතනයට ලක්වු අවස්ථාවේදී එයට ‍එරෙහිවද අන්තරේ සමඟ එක්වී කටයුතු කළහ. තංගල්ලේ පැවති පද්මසිරි අබේසේකරගේ අවමංගල උත්සවයේදී කොළඹ දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව වෙනුවෙන් නිමල් කරුණාසිරිද සභාව ඇමතීය.

ආයුර්වේද සටනේ නායකයා වූයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ 1985 සිට 1990 සභාපති වූ නිමල් කරුණාසිරිය(බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ලෙසද 2014දී කටයුතු කරන ලදී). මාතර හක්මන 1960 අගෝස්තු 29 උපන් නිමල්ට සොයුරු සොයුරියන් 5 දෙනෙකි. වර්තමානය දක්වාම වෛද්‍ය නිමල් කරුණාසිරි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහ ‍ප්‍රගතිශීලි සටන්වල මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි.

ආයුර්වේද පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් ලෙස නිමල් සමඟ එකල අන්තරේ නියෝජනය කළේ සුදත් අලහකෝන්, ධර්මසිරි සහ චන්දන පෙරේරාය. ජවිපෙට එරෙහිව වාමවාදී බලවේග සමඟ සමාන්තරව කටයුතු කල චන්දන පෙරේරා විප්ලවාදී කොමියුනිස් සංගමයේ කම්කරු මාවත කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

දේශීය වෛද්‍ය පීඨයට අවශ්‍ය පහසුකම් පිළිබද වාර්තාවක් ඒ පිළිබද සොයා බැලීමට පත්කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහාචාර්ය කුරුප් විසින් නිර්දේශ කර තිබිණි. එහෙත් ඒ කිසිදු පහසුකමක් හෝ සරසවි අධ්‍යාපනයට සරිලන විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් එහි නොතිබිණි. සිසුන් කල ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස මහවත්තේ 20 දෙනෙකුට නේවාසිකාගාරයක්ද සිසුවියන් සඳහා මොරගස්මුල්ලේ නේවාසිකාගාරයේද පහසුකම් සලසා තිබිණි.

තවත් කණ්ඩායම් දෙකක් ඒ වන විට උපාධි පාඨමාලාව සඳහා බදවාගෙන තිබිණි. තෙවන වසරේ විභාගය ඇරඹීමට තිබුණේ 1985 ඔක්තෝබර් මස 2වැනිදාය. ලිඛිත, වාචික, ප්‍රායෝගික පරික්ෂණ තුනෙන් දෙකක් සමත්වීම අවශ්‍ය විය. පීඨයේ අධ්‍යක්ෂකවරයා වූයේ ඩබ්ලිව්.ඩී.සී.ඩී. මහතන්තිල වන අතර කොළඹ සරසවි‍ උපකුලපති වූයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ විය. විධිමත් අධ්‍යාපන පහසුකම් යටතේ පිඨයේ කටයුතු කරගෙන යන ලෙසට සිසූහු වසර 3ක් තිස්සේ ඉල්ලීම් කලද ඒවා ඉටු නොවූ බැවින් විභාග වර්ජන තීරණයක් ගැනීමට ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව තීරණය කළේය. දේශීය වෛද්‍ය පීඨයේ සිසුන් 287 දෙනාගෙන් සිසුවියන් 5 දෙනෙකු හැර අන් සියළු දෙනා එය අනුමත ක‍ළහ.

සරසවි සිසුන්ගේ විභාග වර්ජන තීරණය දෙමාපියන්ට දැන්වීම සඳහා ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් ලෙනෝරා ශාලාවේදී රැස්වීමක්ද කැඳවන ලදී. එහිදී දෙමාපිය කමිටුවක්ද පත්කරගත් අතර එයට අලහකෝන්, සමරතුංග, ප්‍රියාන් යන සිසුන්ගේ පවුල්වල අය නම් කෙ‍රිණි. එහෙත් විසදුමක් නොවීය. පොලිස් ආරක්ෂාව යටතේ විභාග පැවැත්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කෙරිණි. තෙවන වසරේ විභාගය පැවැත්වූයේ 1985 දෙසැම්බර් 13වැනිදාය. සිසුන් 287 දෙනාගෙන් 38දෙනෙකු ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ තීරණය නොසලකා විභාගයට පෙනී සිටියෝය. පද්මසිරි දිසානායක, ජනකාන්ති කුමාරි, පද්මශාන්ති වීරතුංග, රෝහිණී, සන්ධ්‍යා මුණසිංහ, පුෂ්පා, තිස්ස ඇතුළු සිසුවියන් 32දෙදෙනෙකු සහ සිසුන් 6 දෙනෙකු එයට අයත් විය.

අන්තරේ එකල කැඳවුම්කරු වූයේ රංජිතම් ගුණරත්නය. අන්තරේ තීරණය අනුව ආයුර්වේද පීඨයේ විභාග ආරම්භ කිරීමේදී එයට එක්වූ සියළුම සිසුන් පසුව විරෝධය දක්වා පිටතට පැමිණියේය. එවකට අංශ ප්‍රධානි වූ ජාගොඩආරච්චි රඳවාගත් සිසූහු සිය ඉල්ලීම් ඉදිරිපත් කළෝය. වැලිකඩ පොලිසිය මගින් පැමිණ සිසුන් 25ක් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවූහු අධිකරණයෙන් ඇප මත මුදා හැරියේය. අධිකරණ නියෝගය අනුව පීඨය ආසන්නයට කිලෝමීටර් 2ක් තෙක් පැමිණිම තහනම් විය. සිසුහු මොරගස්මුල්ලේ නිවසක් මූලස්ථානය කර ගනිමින් සිය අරගලය ඉදිරියට ගෙන ගියහ. උද්ඝෝෂණ, පිකටින්, මාධ්‍ය සාකච්ඡා, පෙත්සම් අත්සන් කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය. එහෙත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ආයුර්වේද පීඨයේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක භටයින් යෙදවිණි. පන්ති වර්ජනය කරන සිසුන් 249දෙනාට සරසවි භූමියට ඇතුල්වීම වසරක් දක්වා තහනම් කරන ලදී.

සිසුන් 249ක් එලියේ සිටිද්දී 38 දෙනෙකු විරෝධතාවට එක් නොවී පාලනාධිකාරයේ ඉල්ලීමට අවනත වෙමින් දේශනවලට එක්වී තිබිණි. යාපනයද ඇතුළු රටපුරා සියළු සරසවි සිසුහු දේශීය වෛද්‍ය විද්‍යාලයේ අරගලය විසදන්නැයි කියමින් එක්දින පන්ති වර්ජනයක්ද කරන ලදී. සිසුන් අතිබහුතරය ආයුර්වේද පීඨයේ පන්ති වර්ජනයක් සිදුකර තිබියදී ඉතා සුළුතරයක් අධ්‍යාපන කටයුතු වලට සහභාගිවීම පාවාදීමක් යැයි තීරණය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) වෙනත් සරසවියන්හි සරසවි සිසුන් 50 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා ගනිමින් ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමකින් එය පරාජය කිරීමට ඒකමතිකව තීන්දුවක් ගත්තේය. ඒ සදහා ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටු සරසවියේ සිසුන් 45 දෙනෙකු පෞද්ගලික බස් රථ දෙකකින් රැගෙන පැමිණ සැලසුම දැනුම්දී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

රාජගිරියේ දේශීය වෛද්‍ය පීඨයට විනාඩි 25ක ගරිල්ලා ක්‍රමයේ ක්ෂණික මෙහෙයුමකින් සටන ජයගැනීමට ඉවහල්වූ 50හේ කණ්ඩායමේ නායකයින් වූයේ ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, සුනිල් මාරසිංහ සහ උපුල් නානායක්කාර නොහොත් ලෙනෝරාය. සහභාගිවූ 50 කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් අතර ආනන්ද, රාජපුර, කෝදා‍ගොඩ, පොඩි ඇලෙක්ස්, ලොකු ඇලෙක්ස්, පාඨලී චම්පික රණවක, සුනිල් ශාන්ත, වීරරත්න, ගෙවිඳු කුමාරතුංග, බාලසූරිය ඇතුළු පිරිසක් විය. ඒ අතර කිහිප දෙනෙක්ම රුවන් ගුරුගේ, ගිනිගත්හේනේ බණ්ඩාර ඇතුළු කටුබැද්ද ජාතික තාක්ෂණික විද්‍යා පාඨමාලාව හදාරණ එන්.ඩි.ටී. සිසුන් වූහ. මෙම දේශීය වෛද්‍ය පීඨ අරගලය 1985 සිට 1990 දක්වාම මාධ්‍යයට ආවරණය කළේ ලියුම්කරුය.

අන්තරේ නියෝජනය කල ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයින් ආයුර්වේද පීඨයට ඇතුල්වූයේ පෙරවරු 9.30ටය. ඉදිරිපස යකඩ උල් සහිත ගේට්ටුවෙන් ඇතුලට පැනගත් ජපුර සරසවියේ කරාටේ ආනන්ද ඇතුළු සිසුන් තිදෙනෙක් ආරක්ෂක අංශය යටත් කරගත් අතර තවත් සිසුන් කණ්ඩායමක් එලියෙන්ම ස්ථාවර දුරකථන මාර්ග කපා අවහිර කල අතර විදුලියද විසන්ධි කළේය. ඉන්පසු සිසු කණ්ඩායම් කලින් දුන් නියෝග අනුව තමන්ට දුන් පැවරුම් සිදු කළේය. පිරිසක් ලේඛාධිකාරි බණ්ඩාර ප්‍රාණ ඇපයට ගත්තේය. අධ්‍යයන කාර්ය මණ්ඩලය කාමරයකට ගෙනගිය අතර ඔවුනට ලොකු ඇලෙක්ස් විසින් සිය අරමුණ පහදන ලදී.

පාඨමාලාවට සහභාගිවන සිසුන් 38දෙනා කාමරයට ගොස් දොර වසාගෙන ඩෙස් පුටු අතර බිම වැතිරී සැඟවී සිටියහ. දොරකඩා ඔවුන් එළියට ගෙන විනාඩි 5ක විප්ලවීය දේශනයක් දුන්නේ ජපුරේ කමල් ප්‍රනාන්දුය. ඉන් පසුව ආයුර්වේද සටන පාවා නොදෙන බවත් පොදු සිසුන්ගේ තීරණ අනුව ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ගන්නා තීන්දුවලට එකඟවන බවටත් අන්තරේ මගින් සකස් කරන ලද ප්‍රතිඥාවක් සිසුන් 38 දෙනාම එක්වරම උස් හඬින් කියවා සපථ කළහ. පොදු සිසුන් සමඟ පමණක් සටන ජයග්‍රහණයකින් අනතුරුව යළි පීඨයට පැමිණෙන බවටත් ඔවුහු අවධාරණය කළහ. ආයුර්වේද පීඨයේ බලය විනාඩි 25කට සියතට ගෙන සටන්කාමී සිසු බලය ස්ථාපිත කර විනාඩි 25කින් ‍ක්ෂණික මැදිහත්වීම නිමාකරමින් සිසුන් 38දෙනාද රැගෙන පැමිණි රෝසා බස් 2ක නැගී පෙරවරු 9.55ට ඔවුහු පළා ගියහ. ඉතාම ආසන්නයේ පිහිටි වැලිකඩ පොලිසියේ නිළධාරින් ආයුර්වේද පීඨයට ලඟාවන විටද පෙරවරු 10.05 විය. බසයෙන් රැගෙන ගිය සිසුන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී බසයෙන් බස්සවා නිදහස්කල අතර මෙහෙයුමට පැමිණි ‍සිසු කණ්ඩායම් අතර මගදී බසයෙන් බැසගොස් තිබිණි. අවසානයේ සිසුන් කිසිවෙකු දේශන වලට සහභාගි නොවූ අතර දේශීය වෛද්‍ය සටන ඉල්ලීම් ලබා ගනිමින් ජයග්‍රාහීව නිමාවිය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු වසර 1990දී නැවත ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ කරන විට සම්පූර්ණයෙන් විශ්ව විද්‍යාල පිරී පැවතුනේ ඔත්තුකරුවන් ගෙනි. අවමගුල් දැන්වීමක් ඇලවීමට පවා පරිපාලනයෙන් අවසර ගතයුතු තත්ත්වයක් නිර්මාණයවී තිබිණි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසු අතුල සේනාරත්න සහ සරත් විජේවර්ධනගේ මැදිහත්වීමෙන් 1990 අගෝස්තු මාසය වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැවත පණ ගන්වනු ලැබීය. අධ්‍යාපනික ගැටලු පිළිබදව දේශීය වෛද්‍ය පීඨ අරගලය 1991දී ජයග්‍රහණය වීමෙන් සහ යක්කල ආයුර්වේද විද්‍යායතනය විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමේ 1993දී ඇරඹූ සටන ජයග්‍රාහීව කෙලවර වීමෙන් පසු අළු දූවිලි මතින් ශිෂ්‍ය ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්විය.

ආයුර්වේද උපාධිය හැදැරිමේ පාඨමාලා කාලය වසර 6ක් වූවද පළමු කණ්ඩායම ලෙස 1983දී එක්වූ සිසුන්ගේ පාඨමාලා කාලය නිමාවූයේ 1992දීය. දේශීය වෛද්‍ය සටන සහ ජවිපෙ 2වැනි කැරළි සමයේදී සරසවි කඩින්කඩ වසා දැමිම නිසා ප්‍රථම කණ්ඩායමට උපාධිය ලබාගැනීම සඳහා වසර 9ක කාලයක් ගතවූවද ආයුර්වේද පීඨයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා පසු කලෙක ඉවහල් වූයේද වර්තමානයේ රාජගිරියේ සහ ගම්පහ යක්කල ආයුර්වේද උපාධි අපේක්ෂකයින්ට විධිමත් පහසුකම් හිමිවූයේද එම ඓතිහාසික සටනේ ජයග්‍රාහී ප්‍රතිඵලයන් වශයෙනි.

@ By http://Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More