පුරවැසි කොලම

ඇබෝජිනල් නොවූ හෙළයින්

June 16, 2023 5:36 pm | Lanka Lead News

ඕස්ට්‍රේලියාවේ ඇබොජිනල් ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා යුරෝපීයනට ගතවූයේ වසර 50 ක් පමණක් බව ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ‘බව් බව්‘ ගුහාව ආශ්‍රිතව පවත්වාගෙන යන කෞතුකාගාර ප්‍රදර්ශණ ශාලාවේ එක්තරා කොනක සටහන්ව ඇත. එසේම ක්‍රිස්තු වර්ෂ 1136 න් පසු මැලේසියාවද ක්‍රිස්තු වර්ෂ 1141 න් පසු මාලදිවයිනද බෞද්ධාගම අතහරින ලදී.

එහෙත් ලංකාව සහමුලින් යුරෝපියන් පාලනයට නතුකර ගැනීම සඳහාම වසර 310 ක කාලයක් ගතකල අතර ඉන් පසුව තවත් වසර 150 ක් ගියද ලාංකික ශිෂ්ඨාචාරය විනාශ කිරීමට යුරෝපියනට නොහැකිවිය. එයට හේතුවනම් ඕස්ට්‍රේලියානු ඇබොජිනල් ශිෂ්ඨාචාරයට වඩා එසේම මැලේසියාවේ හා මාලදිවයිනේ පැවති ශිෂ්ඨාචාරයන්ට වඩා බොහෝ දියුනු ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව තුල පැවතීමයි. ඒ අන් කිසිවක් නොව දුටු ගැමුනු රජතුමා සොලීන්ගේ ග්‍රහනයෙන් ලංකාව මුදවාගැනීමට යොමුකලාවූ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයයි. දන්ත ධාතූන් වහන්සේ මස්තකයේ තබා රාජ්‍යය කලාවූ නිරිඳුන් පමණක් නොව හෙළ රාජ්‍යය යටත්කර ගැනීමට අවශ්‍යනම් දන්ත ධාතූන් වහන්සේද අයත්කරගතයුතු බව ආක්‍රමණික යුරෝපියන් පවා විශ්වාස කලේය. එදා පරයන්ට ගැති නොවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිටි බැවින් ගැමුනු රෙජිමයට රට එක්සේසත් කොට පවත්වාගෙන යෑමට හැකිවිය.

එදා මෙදා මෙන් සිවුරු වැට ඉන්නේ අමුණා පලායන ජරාජීර්ණ දේශපාලනයෙන් ඔද්දල්වුන ශ්‍රමණයින් පංසල් ආරාම පිරිවෙන් ආශ්‍රිතව අධ්‍යාපනය ලබන්නෝ නොවූහ. එදා අද මෙන් ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන මුල්තැන පවා එපා කියන වර්ගයේ අලජ්ජි කෙස් රැවුල්ධාරී මහණවුන් ශාසනයේ නොසිටියේය. එසේම බුදුන් වැඩියානොව සූර්‍ය ග්‍රහණයක් පමණක් සිදුවූවායැයි කියන බුරියානි බුදින නිකායේ අර්බූදචිත්තධාරී සිවුරු දරන්නන්ද ශාසනයේ නොවීය. කෙටියෙන් සඳහන් කරන්නේනම් එදා ගැමුනු රෙජිමය නොහිටියානම් මෙදා සිංහල බෞද්ධ ජනසමාජයක් නැත. යුරෝපියයන් එන කාලය වනවිට ගැමුනු රෙජිමය හරහා බිහිවූ විශිෂ්ඨ සංස්කෘතියක් අප සතුවූ බැවින් අපව ඇබොජිනල් වරුමෙන් වසර 50 ක් තුළ නොව වසර 460 ක් ගියද වනසා දැමිමට යුරෝපියනට නොහැකිවිය. දුටු ගැමුනු ගැහුවා, සද්ධාතිස්ස වැව්වා යනුවෙන් සරත් වීරසේකරයන්ගේ නූතන පරෙවි සංදේශයේ අලංකාරව එම විශිෂ්ඨ සංස්කෘතියේ ඉතිහාසය සටහන් කොට ඇත.

නමුත් මේවනවිට විදේශ බලවේගවල සහ විප්‍රකාර රූපී භික්ෂූන්ගේ සහයෙන් සම්ප්‍රදාය විරෝධී ලිංගිකයන්ගෙත් පහස ලැදි පාලක පංතියක් සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීම වෙනත් වටයකින් ආරම්භකර ඇත. ඓතිහාසික කුරින්දි විහාර ආරාමයේ මායිම් පවා උගුල්වා දැමීමටත් පුරාවිද්‍යාව පිළිබඳව කොමසාරිස්ටත් උගැන්වීම දක්වා පස්දුන් කෝරළයට අර්ථ දැක්වූ පිනායකයින් සමත්වීම දක්වා තත්ත්වය ඔඩුදුවා ඇති බවත් පෙළගැසෙන කරුණු අනුව පෙනී යයි. පරගලකයින් නිර්භයව ගාලු මුවදොරදී හෙළ බොදු සිරිත පරිභාවට පත්කරමින් කාළය ගතකලේ ඉතා මෑතකදීය.

වසර 1505 දී පෘතුගීසීන් අපරටට ගොඩබසින විටදීට වඩා සංකීර්ණවූ සමාජයක් අපරටතුල 1948 දී යුරෝපියයන් රටෙන් තුරන්වන විට රට තුල තිබුනි. නමුත් මිශනාරීන් මේ වසර 460 තුල රටේ ස්ථාපිත වුවද ඔවුන්ට ගැතිකම් කල බෞද්ධ භික්ෂූන් ලංකාවතුල නොසිටියහ. ඒ එදා මිශනාරීන් සම්ප්‍රදායික කතෝලික දහමක් රටතුල ව්‍යප්ත කරමින් පමනක් සිටි බැවිනි. අද අප රටට පමනක් නොව අසල්වැසි ඉන්දියාවට පවා තර්ජනයක්ව පවතින්නේ මේ නව ආගමික සංවිධානයි. මේ තර්ජනය කොතරම් බලවත්දැයි කිවහොත් සම්ප්‍රදායික කතෝලිකයින් පවා මේ නව ආගමික සංවිධාන වලට විරෝධය පලකරයි. යාපනයේ කුලවාදය සහ අන්‍යාගම්කරණය ඉතා තදින් ඇතිබව රවි කුමාර් විසින් මෑතකදී ප්‍රකාශ කරන්නට යෙදුනි. මේ ආගමික සංවිධාන නම් මූලික ආයතනයෙන් වෙන්වූ ස්ව අනන්‍යතාවයක් ගොඩ නගාගනිමින් ක්‍රියා කරනු ලබන චූල සංවිධාන වේ. මේවා sect නමින් හඳුන්වනු ලැබේ. මේ සංවිධාන වල මූලික ලක්ෂණයක් වන්නේ අසීමිත මුදල් ප්‍රමානයක් ඔවුන් අත සංසරණය වීමයි. ඔවුන් අත ඇති මේ අසීමිත මුදල් නොයෙකුත් ආකාරයට ජනයා පොලඹවා ගැනීම සඳහා යොදවයි. යොදවාගන්නා මුදල සහ ක්‍රියා පිළිවෙත ඉලක්ක කරන ජන සමාජය අනුව මෙම sect මගින් තීරණය කරනුලබයි. දරිද්‍රතාවයෙන් පෙලෙන ජන සමාජයකට මුදලකින් හා ද්‍රව්‍යමයවද, අසීමිත මුදල් සම්භාරයක් අවශ්‍ය පුද්ගලයින්ට හෝ ආයතනවලට ඒ අසීමිත මුදල් සපයමින්ද, ඉහල පංතියේ පිලිගැනීමට ලක්වීමට ආශාකරන අයහට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසමින්ද, එසේ නොමැතිනම් කාන්තා පහස සැපයීම වැනි ප්‍ර්‍රාථමික ක්‍රමවලින්ද ඔවුන් තම අභිලාශයන් ඉටුකරගනී. මෙවන් චූල සංවිධාන වල ක්‍රියාකාරීත්වයට නොදැනීම බිලිවීමට පුලුවන.

මෑත එක්තරා කාල වකවානුවකදී රට ජාතිය ගැන මහත් වාත්සල්‍යයෙන් පසුවූ හිමිනමක් එවන් චූල සංවිධානයක ප්‍රාථමික ගැටයකට හසුව තම ස්ථාවරය වෙනස්කරගත් බව ප්‍රසිද්ධ රහසක් විය. එසේම ක්‍රීඩකයින් පන්දු රැක්කවීම පිතිකරණය කරවීම එවන් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු අතරමැදියන් ලෙස යොදාගෙන සිදුකලේ යැයි ප්‍රසිද්ධියේ පැවසීම දක්වා මෙම රූපාන්තරණය ප්‍රභලවිය. මෑතකදී සිදුවූ ජේරමානිස්කරණය, කඳුළුකරණය පමණක් නොව කූඨාභිමෝහිණියගේ කතාද ඔවුන් අනුගමනය කරන්නවුන්ද දකිනවිට තව කොපමණ කාළයක් ඇබෝජිනිල් නොවී ඉඳීවිද යන පැනය ඇතිවීම වැළක්විය නොහැක.

1505 න් පසුවද සිංහල බෞද්ධයන් ඇබොජිනල්කරණය නොවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ ගමයි පංසලයි අතරවූ ඒ සම්ප්‍රදායිකවූද සංසාරගතවූද බැඳීමයි. අවසාන සිංහලයේ රජුගේ හිරකරුවෙකුවූ රොබට් නොක්ස් පවා මේ පිලිබඳව ඔහුගේ එදා හෙලදිව ග්‍රන්ථයේ දක්වා ඇත. ඒසා විශාල මෙහෙයක් කරන ලද්දේ මිහිඳු හිමි සහ බුද්ධගෝශ හිමි පරම්පරාවෙන් පැවති යක්කඩුවේ පඤ්ඤාරාම හිමි, හික්කඩුවේ සුමංගල හිමි, පානදුරේ වාදීභසිංහ ගුනානන්ද හිමි වැනි යතිවරුන් විසින් මෙහෙයවන ලද සංඝ සමාජය මෙවන්වූ චූල සංවිධාන වල ගැට වලට අසුනොවී සිටිය බැවිනි.

මේනයින් බලනකල අපරටේ භික්ෂු සාසනය පිරිහුනිද එතැන්සිට රට අගාදය කරා පහසුවෙන් ගමන්කරන බවද ඒ තුලින් ඇබොජිනල්කරණය වීම අනිවාර්යයෙන් සිදුවනබව දෙස් විදෙස් කුමන්ත්‍රණ කරුවන් දන්නාසේ අපද වටහා ගත යුතුය. අද ශ්‍රී ලංකාව තුල සංස්කෘතිකවමය වශයෙන් මහත් ව්‍යවසනයක් සිදුවෙමින් පවතින රටේ ඉතිහාසයට ගරහන, ජාතික වීරයන්ට පමනක් නොව මෑතදී කොටි ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට තම  ජීවිතය පිදුවාවූ, අංගවිකල භාවයට පත් උනාවූ රණවිරුවන්ට ගරහන ඒ සමගම සමලිංගිකයන් අදහන නව පරපුරක් බිහිවී ඇත. ඔවුන්ටද අසීමිතව මුදල් සැපයෙන අතර ඔවුන්ගේ තරුනකම සහ ජනප්‍රියත්වය යොදාගනිමින් තවත් විශාල තරුන පෙලක් ඔවුන් වටා ගොනුකර ගනිමින් ඇත.

පරගලයෙන් පසුව ආදර්ශවත් භික්ෂූ සමාජය ගැරහීමට ලක්කිරීම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ ක්ෂණික ආදායම් උපයන මාර්ගයක් බවට පත්වුන බව පෙනෙන්නට ඇත. ඊටම අනුබලදෙන චීවරධාරීන්ගේද වැඩිවීමක් දක්නට ඇත. වසර 460 ක් පරයින් පාලනය කළද වෙනස් නොවුනාවූ සංස්කෘතිය වහා වෙනසකට භාජනය වෙමින් ඇත. එකඟවිය හෝ ඉඩ දිය නොහැකි නමුදු වර්ගය පවා උප්පැන්න සහතිකයෙන් ඉවත් කිරීමට කැසකවන යුගයේ බාගෙට තැම්බුන ඉස්සන්සේ පෙනෙන සහ පෙන්වන්න කැමති වර්ණ ධජ ධාරීන් ක්‍රීඩා පිටිය පවා අරක්ගෙන ඇත.

එසේනම් රට ගලවා ගැනීම සිවුර ඉනිවැටේ දමා දුවන, පැවැත්මට නොව දැකීමට පමණක් සීමාවූ, භික්ෂූනාමධාරීන් දමනයෙන්ම ආරම්භ කළ යුතුවේ. ඒ සඳහා වැඩිහිටි ගිහි පැවිදි දෙපාර්ශවයම කඩිනමින් අත්වැල් බැඳගත යුතුවේ.

– යසස් ධර්මදාස –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More