පුරවැසි කොලම

ලෝකයේ විවිධ නිදහස් පර්යේෂණ ආයතනවල වාර්තා අනුව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය පද්ධතිය ආශ‍්‍රිත තීන්දු ගැනීමේ සමස්ත බලාධිකාරිය තම සංවිධානය යටතට ගැනීමට ක‍්‍රියාකරමින් ඇත. ඒ සඳහා ප‍්‍රධාන උපාංග දෙකක් යොදා ගැනීමට සැලසුම් කෙරෙන බවද වාර්තා වේ. ඒ අතරින් පළමුවැන්න ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පද්ධතිය (IHR) සංශෝධනය කිරීම ය. දෙවැන්න ලෝකයේ සියලූම රටවල් එම සංවිධානයේ මග පෙන්වීම් වලට බැඳ තබා ගැනීම සඳහා නව ගෝලීය වසංගත සම්මුතියකට අත්සන් කිරීම ය.

එක් සෞඛ්‍ය න්‍යාය පත‍්‍රයක් (One Health Agenda)  යනුවෙන් හඳුන්වන එම ක‍්‍රියාන්විතය අනුව මහජන සෞඛ්‍යය මත බලපෑම් ඇති කරන සියලූම ක්ෂේත‍්‍රවලට අදාළව තීන්දු ගැනීමේ බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලාධිකාරිය ට යටත් වනු ඇත. ඒ අනුව ආහාර, කෘෂිකාර්මික නිෂ්පාදන රටාව, සත්ව නිෂ්පාදන ක‍්‍රියාවලිය, පරිසරදූෂණය, ජනගහන විචල්‍යයන් ආදී ක්ෂේත‍්‍ර රාශියකට අදාළව ගෝලීය මට්ටමෙන් බලපෑම් කිරීමේ බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධිපත්‍යයට නතු වනු ඇත. මෙම තත්ත්වය ඉතා බරපතළ වන්නේ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයන මහා සමාගම් වලට එම අරමුදල් යෙදවීමේ ක‍්‍රියාවලිය සහ ක්ෂේත‍්‍ර පිළිබඳව තීරක බලයක් ලබාදී තිබීම නිසාය. උදාහරණයක් ලෙස අරමුදල් සපයා ඇත්තේ යම්කිසි නිශ්චිත ව්‍යාපෘතියකට නම් කෙතරම් ඊට ඉහළ ප‍්‍රමුඛතාවයන් තිබුණද අදාල අරමුදල් ප‍්‍රමුඛතාවය අනුව යෙදවීමේ බලයක් හෝ හැකියාවක් සංවිධානයට නැත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට තාක්ෂණික තීරණ සහ ප‍්‍රමුඛතා නිර්ණය කරනු ලබන්නේ අරමුදල් සපයන්නන්ගේ වුවමනාවට අනුව බව සැඟවිය නොහැක.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය තම පිරිවැය සඳහා සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගලික අරමුදල් මත යැපෙන තත්ත්වයක් ඇති වී ඇති බවද බොහෝ පර්යේෂකයින් විසින් හෙළිදරව් කර ඇත. ආචාර්ය ඩේවිඩ් බෙල් මහතාගේ පර්යේෂණ වාර්තා අනුව එම සංවිධානයේ විශාලතම අරමුදල් සපයන්නා බිල් ගේට්ස් සහ ඔහු විසින් ආධිපත්‍ය දරන සංවිධාන ජාලයක් ය. කොවිඩ් වසංගත සමයේදී තම අරමුදල් ලීවරයක් ලෙස භාවිතා කරමින් සමස්ථ ලෝකයම වසා දැමීමට සහ එන්නත් කරන වැඩසටහන් අනිවාර්ය කිරීමට බිල්ගේට්ස් සමත් වූ බවට ආචාර්ය ඩේවිඩ් බෙල් චෝදනා කරයි. ඒ අනුව මහා එන්නත් වෙළඳපොළක් නිර්මාණය වූ අතර මහා සමාගම්වල ගිණුම් තරවූ බව රහසක් නොවේ. වසංගතයට පෙර සිටම ඒ සඳහා බිල් ගෙට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කළ බවද දැන් එළිදරව් වී ඇත. එසේ වුවත් වසංගත පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන නියෝග අනුව ලෝකයේ සෑම රටකම වැඩසටහන් දියත් කළ යුත්තේ එම රටවල බදු ගෙවන්නන්ගේ අරමුදල් වලිනි.

ඒ අනුව කොවිඞ් වසංගතය අවසන් වන විට ලෝකයේ නව බිලියනපතියන් 40ක් නිර්මාණය වන අතර කුඩා ව්‍යාපාර 200,000ක් විනාශ වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල වේ. එම සමස්ත ක‍්‍රියාවලිය විවිධ පර්යේෂකයින් විසින් ‘‘වසංගත කර්මාන්තය’’ ලෙස හඳුන්වා ඇත. ඒ නිසා අනාගතයේ දී නව වසංගත සහ සමූහ එන්නත්කරන වැඩසටහන් මෙන්ම ආර්ථික සහ සමාජයීය කටයුතු පිළිබඳ තහංචි පැනවීම සහ සමස්ත රට වසා දැමීම ආදී ක‍්‍රියාමාර්ග සහිත ‘‘වසංගත පැකේජයක්’’ ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. එහිදී පිරිවැය ඒ ඒ රටවල බදු ගෙවන්නන් විසින් දැරිය යුතු අතර ලාභය බිලියනපතියන් ගේ ගිණුම්වලට පමණක් බැර වෙනු ඇත.

එම ක‍්‍රියාවලිය ඒ ආකාරයට සිදු කෙරෙන බව බිලියනපතියන් ට සහතික කළ හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයට ‘‘ගෝලීය පොලිස් බලතල’’ ලබාදෙන ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සහ නව වසංගත සම්මුතිය මඟිනි. දැනට කෙටුම්පත් කර ඇති බවට එළිදරව් වී ඇති නව රෙගුලාසි අනුව ගෝලීය වසංගත තත්ත්වයක් සහ සෞඛ්‍ය හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා නව නිර්ණායක හඳුන්වා දෙනු ඇත. ඒ අනුව සිදුවිය හැකි හෙවත් සිදුවීමට ඉඩඇති වසංගත හෝ  හදිසි තත්වයක් නිර්මාණය කිරීම මගින් සැබෑ ලෙසම පවතින තත්ත්වයකදී ගත යුතු ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණ ලෙස රටක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට මෙන්ම සමූහ එන්නත්කරණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීම සඳහා සූදානම් කිරීම ආදිය මගින් ගෝලීය මහා වෙළඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ.

ඊට අමතරව නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන නියෝග අනිවාර්ය වන අතර 2005දී පාර්ශ්වකාරයින් වූ සියලූ රටවල් එම නියෝග ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටියි. එසේම ඒ නව රෙගුලාසි මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තනි පුද්ගලයෙකු ලෙස ස්වාධීනව සෞඛ්‍ය හදිසි තත්ත්වයන් හෝ ගෝලීය වසංගත තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට බලය ලැබේ. ඒ අනුව විශේෂඥ කමිටු මගින් අරමුදල් සපයන්නන්ගේ අරමුණු අවුල් කිරීමට තිබෙන ඉඩකඩ අවම වේ. තවද ඉතා පුළුල් මධ්‍යගත ආවේක්ෂණ ක‍්‍රියාවලියක් ස්ථාපිත කිරීම මගින් අදාළ නියෝග තදින් ක‍්‍රියාත්මක කෙරෙන බව සහතික කිරීමට ද යාන්ත‍්‍රණයක් සකස් කෙරෙනු ඇත. ඒ අනුව සාමාජික රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගවලට යටත් වීම හැර වෙනත් විකල්පයක් සෙවීමේ ඉඩකඩ සීමා වේ. එහිම දිගුවක් ලෙස  ඕනෑම රටක දත්ත එම රටේ අවසරයක් නොමැතිව ප‍්‍රකාශයට පත් කිරීමට මෙන්ම ඒවා ඉල්ලා සිටින පාර්ශවයට ලබා දීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලැබෙනු ඇත.

ඒ සියල්ලටම වඩා සාමාජික රටවල සම්පත් යෙදවීම පමණක් නොව බුද්ධිමය දේපල අයිතිය පිළිබඳ තීරණ ගැනීමේ බලය ද අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබෙනු ඇත. එහිම දිගුවක් ලෙස තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම වාරණය කිරීමට ද හැකියාව ලැබෙනු ඇත. එහිදී ඉතාම නරක තත්ත්වයක් ලෙස සැලකෙන්නේ රෙගුලාසි පිළිබඳව පුද්ගලයින්ද බැඳීමට යටත් කිරීමය. ඒ අනුව දේශසීමා වසා දැමීම, සංචාර සීමා පැනවීම, නිරෝධායන ක‍්‍රියාවලිය අනුගමනය කිරීම, වෛද්‍ය පර්යේෂණ වලට යටත් කිරීම, වෛද්‍ය ප‍්‍රතිකාර සහ එන්නත් කරන අනිවාර්ය කිරීම ආදියට යටත්වීමට පුද්ගලයින් ලෙස බැඳී සිටීමට මහජනයාට සිදුවේ.

ඒ ආකාරයට නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි මගින් රටවල් සහ පුද්ගලයින් බැඳ තැබීමට අමතරව නව වසංගත සම්මුතිය මගින් තවත් බොහෝ බැඳීම් ඇති කරන බව ඉතා පැහැදිලිය. දැනට සාකච්ඡුාවට ලක් වන කෙටුම්පත අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලය වසංගත පාලනය ඉක්මවා පැතිරී යන තත්ත්වයක් ඇතිවේ. උදාහරණ ලෙස සෞඛ්‍ය සැපයුම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණයට යටත් කෙරෙන ගෝලීය සැපයුම් ජාලයක් නිර්මාණය කරනු ඇත. ඊට අමතරව සෑම රටක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව කළමනාකරණ ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා ජාතික සෞඛ්‍ය අයවැයෙන් 5% ක් වෙන් කළ යුතුය. එහිම දිගුවක් ලෙස සෑම රටක්ම සෞඛ්‍ය හදිසි තත්ත්ව කළමනාකරණ ක‍්‍රියාවලිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණයට යටත් කෙරෙන විශේෂිත පාලන ව්‍යුහයක් නිර්මාණය කළ යුතුය.

මෙම නව ගෝලීය වසංගත සම්මුතිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලාධිකාරිය ‘‘එක් සෞඛ්‍ය න්‍යාය පත‍්‍රයක්’’(One Health Agenda)යන ආවරණය යටතේ අසීමිතව පුළුල් කෙරෙනු ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට දේශගුණික විපර්යාස පාලනය කිරීමද සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට අදාලව සීමා පැනවීම සහ නියෝග දීමේ බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ බල අධිකාරියට හෙවත් අරමුදල් සපයන්ගේ බලාධිකාරිය ට යටත් කෙරෙණු ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට යම් රටක දේශීය නීති අභිබවා නියෝග පැනවීමේ බලයක් ලැබෙනු ඇත. එවැනි තත්ත්වයක් තුළ දේශගුණික විපර්යාස පාලනය කිරීමේ නාමයෙන් හෙවත් ඊට අදාළ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් පාලනය කිරීමේ නාමයෙන් සමස්ත ලෝකයේ ආහාර නිෂ්පාදන පද්ධතිය පාලනය කිරීමේ බලය අධ්‍යක්ෂ ජනරාල්වරයා අතට ගැනීමේ හැකියාව ලැබේ.

මෙම ඊනියා එක් සෞඛ්‍ය න්‍යාය පත‍්‍රයක අවශ්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොවේ. ඒ සඳහා මුදල් වැය කිරීමට සහ එම සංකල්පය ප‍්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පමණක් නොව ගෝලීය ආර්ථික සංසදය මෙන්ම බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඉදිරිපත් වී ඇත. මෙම සංවිධානය ඒ ආකාරයට වසංගත කර්මාන්තය සඳහා ආයෝජනය කළද ඒ සඳහා මෙහෙයුම් පිරිවැය දැරිය යුත්තේ අදාළ රටවල බදු ගෙවන්නන් ය. ඒ අනුව ආචාර්ය බෙල් සඳහන් කරන්නේ මහජනයා තමා සූරාකෑම සහ අවසානයේ දී විනාශය සඳහා මුදල් ආයෝජනය කළ යුතු බවය.  මෙම දුෂ්ඨ ක‍්‍රියාවලියට ආවරණය සැපයීම සඳහා ලෝක ආර්ථික සංසදය විසින් නව න්‍යායක් හඳුන්වා දී ඇත. එය හදුන්වන්නේ පුද්ගලික රාජ්‍ය සහයෝගීතාවය ලෙසය. ඊට තවදුරටත් සුජාත භාවය ලබාදීම සඳහා එම ක‍්‍රියාවලිය කොටස් හිමියන්ගේ ආධිපත්‍ය පාර්ශවකරුවන්ගේ ආධිපත්‍ය බවට පරිවර්තනය කිරීම දෙසද හුවා දැක්වේ.

මෙම පුද්ගලික – රාජ්‍යය හෙවත් පුද්ගලික පොදු මහජන සහයෝගීතාවයේ අවසන් ප‍්‍රතිඵලය සමස්ත ක‍්‍රියාවලියේ ලාභය මහා සමාගම් අතලොස්සකළොස්සක් අතට එකතුවීම බව ඉතා පැහැදිලිය. ඒ ආකාරයට මහා සමාගම්වල ව්‍යාපාරික උවමනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ජාත්‍යන්තර බහුපාර්ශවීය සංවිධාන ජාලය හරහා රටවල් මත පැටවීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ 2019දීය. ඉන්පසුව 2020දී ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර දී රැස් වූ ලෝක ආර්ථික සංසදය ලෝකය යළි පිහිටුවීම (The Great Reset) නමින් නව න්‍යායක් ඉදිරිපත් කිරීම ද විශේෂ තත්වයකි. එම න්‍යාය තුළ ප‍්‍රධාන උපාංගයක් වන්නේ ගිවිසුම්ගත පුද්ගලික රාජ්‍ය සහයෝගීතාවයයි. එනම් ලෝක ආර්ථික සංසදය විසින් මෙහෙයවනු ලබන ගෝලීය බිලියනපතියන් ගේ සංසදයට වුවමනා ආකාරයට ලෝකය යලි පිහිටුවීම සඳහා ගෝලීය බහුපාර්ශ්වීය ආයතන පද්ධතිය යොදා ගනු ලබන්නේ එම උපාංගය යොදාගනිමිනි. එම ක‍්‍රියාවලිය තුළ ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතියක් නිර්මාණය කෙරෙනු ඇත (Global Decision Making System).

අවසානයේදී එම තීන්දු ගැනීමේ පද්ධතිය ගෝලීය පාලන පද්ධතියක් හෙවත් බිලියනපතියන්ගේ ගෝලීය ආණ්ඩුවක් බවට පත්වේ. එසේ නිර්මාණය වන ගෝලීය ආණ්ඩුව තාක්ෂණිකව ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතියක් ලෙස නම් කිරීම මගින් එම ක‍්‍රියාවලියේ බරපතලකම සඟවනු ලැබේ. නමුත් සත්‍ය තත්වය වන්නේ ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් ට ඉහළින් ගෝලීය ආණ්ඩුවක් නිර්මාණය වීමය. එම ගෝලීය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට රාජ්‍යයන් හැසිරවීමේ හෙවත් පාලනය කිරීම සඳහා යොදාගනු ලබන ප‍්‍රබලතම උපාංගය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පත්වනු ඇත. ඒ අනුව නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සහ නව ගෝලීය වසංගත සම්මුතියේ අවසන් අරමුණ තේරුම් ගත යුත්තේ මේ මහා මෙම මහා සංදර්භය තුළ ය.

ලෝකයම මහා ආර්ථික අවපාතයකට ලක් වෙමින් පවතින වත්මන් මොහොත ඒ  ආකාරයට ලෝකය නැවත පිහිටුවීමේ ක‍්‍රියාන්විතයට අදාළ තීරණාත්මක සංධිස්ථානයක් පසු කිරීම සඳහා යොදා ගන්නා බව දැන් පැහැදිලි ව දැකගත හැක. එය එක්තරා ආකාරයක අපදා අධිරාජ්‍යවාදී මොහයුමකි. ඒ අනුව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා මීළඟ ලෝක සෞඛ්‍ය සම්මේලනය යොදාගනු ඇත. එම මෙහෙයුම සාර්ථක වුවහොත් 2024 මැයි මාසයේදී අදාළ සංශෝධන ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ඇත. එහිදී එම යෝජනා සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ සාමාන්‍ය බහුතරය පමණි. නමුත් සම්මේලනයේ පටිපාටිය අනුව සාමාජික රටවලට අදාළ සංශෝධන ප‍්‍රතික්ෂේප කිරීම සඳහා මාස 10ක කාලයක් ලැබෙනු ඇත. ඒ අනුව 2025 මාර්තු මාසේදී නව ලෝකයක් බිහිවීමේ ක‍්‍රියාවලිය ආරම්භ වනු ඇත. යම් රටකට ඊට එරෙහිවීමට ධෛර්යය තිබේ නම් එම රාජ්‍යයට පමණක් 2005 සිට ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව කටයුතු කිරීමේ කිරීමේ සීමිත අවකාශයක් ලැබෙනු ඇත.

ඒ අතර තුර ලෝක වසංගත සම්මුතිය ද 2024 මැයි මාසයේදී ඡුන්දය සඳහා ඉදිරිපත් වන නමුත් එය සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය වනු ඇත. එහිදී සම්මුතිය සම්මත කිරීමෙන් පසුව රටවල් 30ක් විසින් අනුමත කළහොත්  අත්සන් කළ සියලූ රටවල් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා බැඳී සටියි. නමුත් ගෝලීය මහා සමාගම් එතෙක් බලා නොසිට 2023 සැප්තැම්බර් මාසයේදී ගෝලීය වසංගත සඳහා වූ ප‍්‍රතික‍්‍රියාමාර්ග වේදිකාව නම් වූ ක‍්‍රියාන්විතයක් මගින් පෙරහුරුවක් ආරම්භ කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරනු ඇත. එය 2024 න්‍යායපත‍්‍රයට රටවල් යොමු කිරීම සඳහා වන පෙරහුරුවක් බවට සැකයක් නැත.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

ලේකම්,

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More