පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයන් ඇතුළු අමරපුර රාමඤ්ඤ නිකාය සහ කෝට්‌ටේ පාර්ශවය ඇතුළු සමස්‌ථ සංඝයා වහන්සේලා දැඩි අවධානයකින් පසුවන්නේ, මේ හරහා බෞද්ධාගමට රටෙහි ඒකීයත්වයට මෙන්ම සිංහල ජනතාවට කිසියම් අකටයුත්තක්‌ සිදුවේය යන කුකුස පැන නැඟී ඇති නිසාය. නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට බලාපොරොත්තුවන්නේ කුමක්‌ද යන වග, අස්‌ගිරි පාර්ශවයේත් මල්වතු පාර්ශවයේත් මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවේ ස්‌වාමින් වහන්සේලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසා සිටියේ, දෙදහස්‌ දහහතේ මැයි මස සිටය.

විවිධ මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සභා රැස්‌වීම් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය විවිධ අදහස්‌ දැක්‌වීම් සහ නන් අයුරින් ප්‍රචාරය වන දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් , උභය මහා විහාරයීය ලේඛකාධිකාරි හිමිවරු ඇතුළු සංඝ සභාවේ සංඝයා වහන්සේලා ජුනි මස විසිපස්‌ වැනි දින අස්‌ගිරි විහාරයේදී රැස්‌ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට, ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නැයි දැනුම් දුන්හ. ඒ අනුව, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කර නොමැති බවට පැහැදිලි ප්‍රකාශයක්‌ දිය හැකි බැවින්, ඒ පිළිබඳ අනියත බියක්‌ ඇතිකර නොගන්නා ලෙසත්, ව්‍යවස්‌ථාව කෙටුම්පත් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා මෙන්ම සෙසු ආගමික නායකයන්ට ද මහ ජනතාවට ඉදිරිපත් කර අදහස්‌ හා යෝජනා ගෙන යළි වෙනස්‌කම් කිරීමට රජය ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ෙත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු හමුවෙහි මහනුවරදී ප්‍රකාශ කොට සිටියේ, ඉකුත් ජුලි මස හයවැනි දිනය. රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ රජය කිසි විටකත් ගෙන නොඑන බව එදින සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැඳුරේදී ෙත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක්‌ පුරා සාකච්ඡාවක නිරත විය.

අනතුරුව, පාර්ලිමේන්තු සභානායකවරයා සැප්තැම්බර් මස හය වැනි දින මහනුවරට පැමිණ අස්‌ගිරි මල්වතු මහානායක හිමිවරු බැහැදැක නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවේ පිටපත් පිළිගැන්වූහ. එම වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ෙත්‍රෙයිනිකායික මහා නාහිමිවරු ප්‍රමුඛ සංඝ සභාව සාකච්ඡා කළ යුතු බවත්, එහි කරුණු එකිනෙක වෙන් වෙන්ව ගත් කල, රටට ජාතියට ආගමට සිදුවන්නේ කුමක්‌ද යන්න වග යථානුරූපිව සොයා බැලිය යුතු බවටත් සංඝයාවහන්සේලා මතයකට පැමිණ සිටියහ. මේ අතර, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගලාභිධාන නායක ස්‌වාමින් වහන්සේ විදේශ ගතවීමට නියමිතව තිබූ බැවින් උන්වහන්සේ මල්වතු පාර්ශවයේ අනු නායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝද, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල හිමියෝ ද, වෙන් වෙන් වශයෙන් ගෙන්වා, උපදෙස්‌ අනුශාසනා ලබා දී කළ යුතු දෑ දන්වා විදෙස්‌ගතව වැඩම කළ බව සැලය.

මේ වන විට මහනුවර ශ්‍රී දළදා මැඳුරේ වැඩහිඳින දන්ත ධාතුන් වහන්සේගේ තේවා කටයුතු භාරව ඇත්තේ, මල්වතු මහා විහාර පාර්ශවය වෙතය. තේවාව භාරව සියලු පූජා කටයුතු සිදුකරනුයේ, මල්වතු මහා නායක ස්‌වාමින් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ස්‌වාමින්වහන්සේ වන තිබ්බොටුවාවේ මේධංකර ස්‌වාමින් වහන්සේ විසිනි. උන්වහන්සේ වැඩ හිඳින, දළදා මැඳුර පරිශ්‍රයේ පිහිටා ඇති ඵෙතිහාසික රන්ආයුධ මණ්‌ඩපයේ, දී ඉකුත් දහඅටවැනි දින රැස්‌වූ උභය මහා විහාරයිය සංඝ සභාව සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පහළොස්‌ දෙනකුට අධික විද්වත් මණ්‌ඩලය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන්, දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබේ. එදින පස්‌වරු 2.30 පමණ සිට පස්‌වරු 4.30 පමණ දක්‌වා පැවැති විද්වත් හමුව නිල වශයෙන් මාධ්‍යවේදීන්ට විවෘත නොවීය.

මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන්ගේ උපදෙස්‌ මත රැස්‌ව සිදුකළ එම සාකච්ඡාවේදී අතුරු ව්‍යවස්‌ථාවේ ඇතැම් කරුණුවල බරපතළකම පිළිබඳ ගැඹුරින් විග්‍රහ කළ අතර, ඒ හේතු මත නව ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය නොවන බවත්, මේ නව ව්‍යවස්‌ථාව එක එක පළාත්වලට බලය ලබා දීම සඳහා කළ උපක්‍රමයක්‌ බවත් මේ සම්බන්ධයෙන් ලක්‌වාසී සමස්‌ත සංඝයාවහන්සේලා දැනුවත් කළ යුතු බවත් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ ද අස්‌ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝද වෙන් වෙන්ව කරුණු දක්‌වමින් කියා සිටියහ. ඒ මෙසේය. මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ – අලුත් ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ රට ගැන කැක්‌කුමක්‌ තියෙන දේශපාලන වාසි සලකන්නේ නැති විශේෂඥ වෛද්‍යවරු ඇතුළු විද්වත් මණ්‌ඩලයක්‌ පැමිණ, මේ ව්‍යවස්‌ථාවේ තිබෙන භයානක කම, තිබෙන බල තල බෙදීම, පාර්ලිමේන්තුවට නැති බලයක්‌ පළාත් සභාවලටත් ප්‍රාදේශීය සභාවලටත් බෙදෙන අන්දම පිළිබඳව ගැඹුරින් විග්‍රහ කළා. ඒ අවස්‌ථාවෙදී අපි කියා සිටියා නෑ… මේ ව්‍යවස්‌ථාව අපට අනවශ්‍යයි, අපට එපා. ඒකීය කීවත් එය පැහැදිලිව සඳහන් වී නැහැ. බුද්ධාගමට මුල් තැන ලබා දෙන බව කිව්වත් ඊට නිසි සඳහනක්‌ ඇතුළත් කර නැති බවත් පෙනෙන්න තිබෙනවා. පළාත් සභාවලට අනවශ්‍ය ලෙස බලයක්‌ මේ හරහා ලබා දී තිබෙනවා. ඒ නිසා අපට අලුත් ව්‍යවස්‌ථාවක්‌ එපා. තියෙන ව්‍යවස්‌ථාව හොඳයි. උභය මහා විහාරයීයවත් රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහනායක හිමිවරුත් දැනුවත් කරලා ලංකාවේම සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය අපි එකතු වෙලා ප්‍රකාශ කරනවා. ආණ්‌ඩුවට කියනවා මේ ව්‍යවස්‌ථාව අකුලා ගන්න. ඒක ගේන්න එපා. පරණ ව්‍යවස්‌ථාව හොඳයි. නමුත් කොට්‌ඨාස ක්‍රමයට මන්ත්‍රීවරු අපට ඕනෑ ඒක විතරක්‌ සම්මත කරලා අපට දෙන්න. ජනාධිපතිතුමන්ගේ බලතළ එලෙසම තිබිය යුතුය කියන මතයේ අපි ඉන්නවා. මුළු ලංකාවාසී සංඝයාවහන්සේලාම එක්‌සත්ව එකමුතුව එක හඬක්‌ මතුකරලා මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි තීරණය කළා.

මේ නව ව්‍යවස්‌ථාව එක එක පළාත්වලට බලය ලබා දීම සඳහා කළ උපක්‍රමයක්‌ මිස රටට ලැබෙන වාසියක්‌ ප්‍රයෝජනයක්‌ මෙහි නැහැ. මම කියනවා එදා ඡේ.ආර්. කළ දෙයින් අද මේ රට හිඟන තත්ත්වයට පත්වුණා. පළාත් සභා ඇති කරලා ආණ්‌ඩුකාරවරු මහ ඇමැතිවරු පත්කරලා, ඒ අයට වෙන වෙනම කාර්යාල දීලා ලේකම්ලා කාර්ය මණ්‌ඩල ඇති කරලා වාහන වැටුප් දීලා නිරපරාදේ මහා ධනස්‌කන්ධයක්‌ වැය කරලා. එයම මහා අපරාධයක්‌. මේ රට ඉන්දියාව වගේ මහා විශාල භුමියක්‌ තියෙන රටක්‌ නෙවෙයි. බොහොම පුංචි රටක්‌. ඉන්නේ කෝටි දෙකක්‌ තරම් සුළු මිනිස්‌ සංඛ්‍යාවක්‌. ඒවා පාලනය කරන්න මේ තරම් පිරිසක්‌ අවශ්‍ය නැහැ. අතීතයේ මේවා පාලනය කළේ දිසාපතිවරු. නමුත් ඒ කාලේ ඡේ. ආර්. ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ගෙන් බලෙන් අත්සන් අරගෙන ඒ ලියුම් සාක්‌කුවේ දාගෙන තමයි 77 ඒවා සම්මත කරගත්තේ. එය දැන දැන දැන් යළිත් මේවා සිද්ධ වෙන්න ඉඩක්‌ තැබුවොත් රටට වෙන්නේ මහා විනාශයක්‌.

malwathu1අනික මේ අතුරු වාර්තාවල සඳහන් වන ඇතැම් කරුණුවල දැක්‌වෙනවා, යම් තීරණයකට එළැඹි විට යළි ශේෂ්ඨාධිකරණයේ හෝ පිහිට පැතිය නොහැකිය කියලා. මේවා මහා බැරෑරුම් කාරණා. සාමාන්‍ය ජනතාව මේවා දන්නේ නැහැ. අපිට කිසිදු දේශපාලන ගැති බවක්‌ හෝ කිසිදු වාසියක්‌ ඇත්තේ නැහැ. අතීතයේ අපේ රජ දරුවෝ මේ රට අපට ආරක්‌ෂා කරලා දීලා තියෙනවා. අපි ඒවාට ගරු කරන්න ඕනෑ. මේ රට ආරක්‌ෂා කරගන්න එක අපේ යුතුකමක්‌ වගකීමක්‌. සිංහල ජාතිය බෞද්ධ ආගම එක්‌සේසත් රටක්‌ තුළ පවත්වාගෙන යන්න අවශ්‍ය තීරණවලට එකඟ වනවා මිස, ඉන් බැහැර කිසිදු අකටයුත්තක්‌ සිදුවෙනවා ට අපි කැමති නැහැ.

අස්‌ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ – අස්‌ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්‌වාමින් වහන්සේ මට දැනුම් දුන්නා, මල්වතු පාර්ශවයේ සංඝ සභාවත් අස්‌ගිරි පාර්ශවයේ සංඝ සභාවත් එක්‌ව රැස්‌වෙලා සාකච්ඡාවක්‌ පැවැත්විය යුතුයි. ඒ සඳහා දළදා මාළිගයේ රන් ආයුධ මණ්‌ඩපයේ එක්‌ රැස්‌විය හැකියි. අසුවල් දිනයේ පස්‌වරුවේ රැස්‌ව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබද ඳවන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විද්වත් කමිටුවක්‌ සමග සාකච්ඡා කරන ලෙස. මල්වතු මහනායක ස්‌වාමින් වහන්සේ නොපැමිණෙන බැවින් තමන් වහන්සේ මෙම සාකච්ඡාවට නොපැමිණෙන බවද මහනායක හිමියෝ මාවෙත ප්‍රකාශ කළා.

උභය මහාවිහාර දෙපාර්ශවය රැස්‌ව සාකච්ඡා කරන්නේ මාළිගා පරිශ්‍රයේයි. එහෙයින් අනුනායක ස්‌වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් කාරක සංඝ සභාවේ සංඝයා වහන්සේලා එක්‌ව එතැන රැස්‌වුණා. උභය මහාවිහාරයිය මහනායක ස්‌වාමින් වහන්සේලාගේ අනුදැනුම පරිදි මේ සාකච්ඡාව සිදු කළ අතර, අතුරු වාර්තාවෙහි ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අප කිසිසේත් එකඟ වන්නේ නැහැ. මොකද යෝජිත ව්‍යවස්‌ථාව තුළින් රටේ ඒකීයභාවයටත් ජාතික සමඟියටත් බාධා ඇතිවෙලා තිබෙනවා. දැනටමත් රට බෙදීමකට ලක්‌ව ඇති බව පෙනෙන්නට තිබෙනවා. ජාතීන් අතර බෙදීමක්‌ ඇති වීමෙන් රට පරිහානියට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මීට අවස්‌ථා දෙකකට පෙරත් අපි තීරණය කළා මේ වාර්තා පාදක කරගනිමින් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හෝ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම මේ අවස්‌ථාවේ ජනවාර්ගික ගැටලුවකට හේතුවක්‌ බව ප්‍රකාශ කළා. රටේ බලය විභේදනය කිරීමටත් රටට හානියක්‌ ගෙන දෙන්නත් මෙය බලපානවා. දැනට අදහස්‌ කළේ වත්මන් ව්‍යවස්‌ථාව මෙපරිද්දෙන්ම තබා ගනිමු. මෙම නව යෝජනා පසෙක තබමු.

මූලික වශයෙන්ම අප තීරණය කළේ ව්‍යවස්‌ථා සම්පාදන ව්‍යාපෘතිය වහාම නතර කළ යුතුයි. මොක ද මෙයින් ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි.

මේ සම්බන්ධව ඉදිරියේදී ප්‍රදේශීය මහ සංඝරත්නය සමඟද සාකච්ඡා කිරීමට අපි අපේක්‌ෂා කරනවා. මේ අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කර අර්බුද ඇතිකර ගැනීමට වඩා වැදගත් වන්නේ සියලු දෙනා එක්‌ව රට සංවර්ධනය කිරීමයි. ඉදිරියේදී නොබෝ දිනකදීම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දෙදෙනාම එක්‌ව මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය අපේක්‌ෂා කරනවා.

මෙම සාකච්ඡාව සඳහා මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල හිමියෝ සහභාගි නොවූහ. එනමුත් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අතිශය භාරදූර වගකීම් සම්භාරයක්‌ දරන්නාහ. උන්වහන්සේ “ඉරිදා දිවයින” සමඟ අදහස්‌ දක්‌වමින් මෙසේ ප්‍රකාශ කළහ.

“අති ගෞරවාර්හ මල්වතු මහානායක ස්‌වාමින් වහන්සේ දිනක්‌ මාව කැඳෙව්වා. මහනායක ස්‌වාමින් වහන්සේ, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු කියවා අවබෝධ කොට ගෙන තිබුණා. විදේශගත වීමට පෙර උන්වහන්සේ මා වෙත දැනුම් දුන්නා, අවශ්‍ය යමක්‌ තිබෙනවා නම් සාකච්ඡා කරලා සංශෝධනය කළ යුතුය කියන කාරණාවට පැමිණීම වැදගත්. මෙම ව්‍යවස්‌ථාවේ අතුරු වාර්තාවේ ඇතැම් කාරණා ගැන එකඟ වීමට නොහැකියි. මෙයට කැමති විය හැකි තත්ත්වයක්‌ නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කරමින්, අස්‌ගිරි මල්වතු දෙපාර්ශවය එක්‌ව මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහා විද්වත් කමිටුවක අදහස්‌ ගන්න, රටට ජනතාවට අහිතකර කරුණු සොයා බලන්න යෑයි මහානායක ස්‌වාමීන් වහන්සේ පැවසුවා.

එදින සෝමාවති රජ මහා විහාරයේ කටයුත්තකට ගොස්‌ ආපසු පැමිණීමට ප්‍රමාද වීම මත මට මෙම සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි වුණා.”

නොසිතූ නොවිරූ අවස්‌ථාවක මහා උෙද්‍යාaගයක්‌ රට තුළ ඇති කරමින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදාළ අතුරු වාර්තාවට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයන්හි ප්‍රකාශ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වූයේය. ඊට අදාළ තොරතුරු එසේ දැක්‌වීම මත සත්‍යය කුමක්‌දැයි වටහා ගත හැකිවනු ඇත..

දිවයින
සමන්තී වීරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More