පුරවැසි කොලම

(රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාගේ විග්‍රහයක්)

එක්තරා ස්ත්‍රියක විසින් සිදුහත් කුමරුවන් සුද්ධෝදනගේ කොලු පැටියා උපන් හැටියේ කවි කියමින් ඇවිද්ද බව පවසමින් මතු කිරීමට උතසාහ ගත් ග්‍රාම්‍ය උපහාසය ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශිෂ්ට සම්පන්න ජනතාවගේ පිළිකුළට භාජනය වීම පුදුමයට කරුණක් නොවේ.

මා වඩාත් මවිතයට හා සෝකයට පත් වූයේ මේ තරුණ ස්ත්‍රිය සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව සමාව ඉල්ලූ දියාරු විලාසය යි. ඇයවත් ඇය සමඟ එහි පෙනී සිටි එම පුරුෂයාත් තම වරදෙහි බරපතළ කම පිළිබඳ ව මේ වනතුරුතුත් මඳ වශයෙන් හෝ අවබෝධ කරගෙ ඇතැ යි නො සිතමි.

ඇය කියූ දේ වලින් යම් පිරිසකට හෝ පුද්ගලයෙකුට හෝ සිත් රිදීමක් ඇති වී නම් නිහතමානී ව සමාව ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළා ය. ඇයගේ වදන් සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය විසින් මෙහෙයවනු ලබන අති විශාල බහුතරයක් සිටින රටක සමස්ත ජනතාවකගේ අධ්‍යාත්මයට එරෙහි ව කරණ ලද කරන ලද බියගුලු වූ ද නින්දිත වූ ද අපහාසයක් මිස ඇය කී පරිදි යම් පිරිසකට හෝ පුද්ගලයෙකුට සිදු වූ සිත් රිදවීමක් පිළිබඳ ප්‍රශ්නයක්නොවේ.

ඇතැම් බෞද්ධයින් විසින් පවා සිදුහත් කුමරුගේ උප්පත්තිය බුදු සමයේ හරය නොවන බවත් එය බෞද්ධ සාහිත්‍ය තුළ ගෙඩ නැගුනු අතිශෝක්තියක් බව ප්‍රකාශ කරමින් ඇයගේ ප්‍රකාශය සාධාරණීය කිරීමට තැත් කරනු ඇත.

තවකෙක් බුදු දහම ආගමක් නොවන බවත් එය තවත් හුදු දර්ශනයක් බවත් ප්‍රකාශ කරමින් මෙවැනි දේ ගැන අප කලබල නො විය යුතු බව ද පවසනු ඇත. එසේ පවසන අය බුදු දහම (බුදු වදන) ගැනවත්, පොදුවේ දර්ශනය යන්න පිළිබඳ වත්, ථේරවාද, මහායාන මෙන් ම ඊට පසු කාලින බෞද්ධ සම්ප්‍රදායන් හා එ හා බැඳුන් සාහිත්‍ය පිළිබඳ වත් අවබෝධයක් නැති හිස් පිරිසක් ලෙස ය මා දකින්නේ.

ථේරවාදී සම්ප්‍රදායට අයත් වන සූත්‍ර පිටකය මුල් බුදු සමය ලෙස මුලු ලෝකයේ ම ගෞරයවයට භාජනය වන්නේත්, පිළිගනු ලබන්නේත් එය විශාල වශයෙන් වෙනස්වීම් වලට භාජනය නොවූ බැවිනි.

සූත්‍ර පිටකයේ මජ්ඡිම නිකායේ එන අචාරියා අද්භුත සූත්‍රය (123) බෞද්ධයින්ගේ අප්‍රමාණ ගෞරවයට බඳුන් වන ආනන්ද හිමියන් විසින් බුදුන් වහන්සේ ඉදිරි පිටදීම දේශනා කරන ලද්දකි. සෙසු සංඝයා වහන්සේට බුදුන්ගේ ආශ්චර්ය ගුණයන් විස්තර කරමින සිදුහත් කුමරු තවුතිසා දෙව් ලොව සිට සිහියෙන් චුත ව සිහියෙන් මහාමායා කුස පිළිසිඳ ගත් අයුරුත් කුමරු ඇවිද ගිය අයුරුත් උදාන වාක්‍ය කියූ අයුරුත් ආනන්ද තෙරණුවෝ පවසත්.

එපමණක් නොව බුදුන් වහන්සේ ද එම දේසනාව එඅයුරින් ම අනුමත කරති. මෙම සූත්‍රය තුල තවත් බොහෝ ආශ්චර්යයන් විස්තර කර ඇත.( සූත්‍ර පිටකයේ එන ‘එවං මෙ සුතං’ යනුවෙන් ඇරඹෙන දේශනා සියල්ලම ආනන්ද මහ රහතන් විසින් ම වදාරා ඇති බව ද මෙහි ලා සිහිපත් කිරීම වටී)

මෙම විස්තරය බොරු උගත් කමින් දූෂණය නොවූ බෞද්ධයන්ගේ සිත් සතන් පහන් කරන්නේ සිදුහත් කුමරුන් ගේ උපත සාමාන්‍ය දරු උපතක් නොව, සාර අසංක කල්ප ලක්ෂයක් දස පෙරුම් සපුරා මවු කුසක පිළිසිඳගත් පින්වත් කුමරෙකු ගේ උපතක් වූ බව ඔවුන් දන්නා බැවිනි.

එවන් වූ පින්වත් දරු උපතක් අනුවණ ස්ත්‍රියක විසින් සුද්ධෝදන ගේ කොලු පැටියා ලෙස ගරුසරු නැතිව හඳුන්වනු අසන විට රිදුම් දෙන හදවතක් මට ද හිමි ව තිබීම පිළිබඳ ව මම මා ගැන ම සතුටු වෙමි. එසේ රිදුම් දෙන්නේ මා හට මෙන් ම මෙරට අති බහුතරයකට උරුම වී ඇති බෞද්ධ අධ්‍යාත්ම යි.

ඇතමුන් බුදු දහම දර්ශනයක් ලෙස හඳුනවතත් එය එසේ ගිණිය නොහැක්කේ, දර්ශනයක් අර්ථ දැක්වීමේ දී ඉදිරිපත් කරනු ලබන එහි මූලික අංගයන් තුන අතරින් metaphysics මෙන් ම epistemology ද මුල් බුදු සමය තුළ එතරම් සැලකිල්ලට ලක් නොවන බැවිනි.

කෙසේ වෙතත් නූතන දර්ශනවාදයේ ඉතිරි අංගය ලෙස ගැනෙන ethics මුල් බුදු සමයේ ද ප්‍රධාන අංගය වේ. සුත්ත නිපාතයේ එන ඉතාමත් ප්‍රචලිත සූත්‍ර දේශනාවන් වන කරණීය මෙත්ත සූත්‍රය හා මහා මංගල සූත්‍රය යන සුත්‍ර දේශනා දෙක තරම් පැහැදිලි ව බෞද්ධ සදාචාරය (Buddhist Ethics) ඉදිරිපත් කර ඇති තවත් තැනක් සූත්‍ර පිටිකය තුලින් මෙතෙක් මට හමු වී නැත.

අප කුඩා කල සිට ම කට පාඩමින් දන්නා මෙම සූත්‍ර දේශනා දෙක තුලින් බෞද්ධයන්ට අනුබල දෙන්නේ විහිළුවට හෝ උද්ධච්ඡ අමන කතා කීමට නොවේ. මෙත්ත සූත්‍රයේ ‘සුවචෝ චස්ස මුදු අනතිමානී’ මෙන් මංගල සූත්‍රයේ ‘ගරාවෝච නිවාතෝ ච’ යන පද බොහෝ බෞද්ධයන්ගේ හදට සමීප ය.

බුදුන් වහන්සේ දේසනා කළ මඟ සද්ධාව මත ගොඩ නැඟුනෙකි. සද්ධාව තුලින් ආරම්භ වන්නෙකි. නිවන් දකින තෙක් ම සද්ධාව හා බැඳී පවතින්නකි. මේ මුග්ධ ස්ත්‍රිය පහර දෙන්නේ බුදු දහමේ මූලික පදනම වන සද්ධාවට ය.

ඇයගේ නොදන්නා කම හා බැඳුනු නොපනත් හැසිරීම දෙස කරුණාවෙන් බලන අතර, ඇතැමුන් යෝජනා කරණ අයුරින් ඇයට විරුද්ධව නීත්‍යානුකූල ව පියවර ගත හැකි නමි එය සමාජයේ යහපත පිණිස වන බව මම ද විස්වාස කරමි. ඒ ඇයගේ ‘නිහතමානී’ සමාව ගැනීම තුල දක්නට ලැබුනු උද්ධච්ඡ බාවය හා මුග්ධ භාවය නිසා ය.

උද්ධච්ඡකම හා මුග්ධ භාවය එකිනෙක හා වෙන් කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් ම එකිනෙක හා බැඳී ඇත. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඇය පුනුරුත්ථාපනය කළ යුතු ස්ත්‍රියක නිසා ය . පුනුරුත්තාපනය තුලින් ඇයට යම් පිහිටක් අවශ්‍ය ය. ඒ ඈ තුල සහජයෙන් පිහිටා ඇති ‘ගරවෝච (ගරු කළ යුත්තනට ගරු කිරීම), නිවාතෝ (නිහතමානී) බව යළි මතු කර ගැනීම ඇයට උදවු වීම සඳහා මිස ඇයට දඬුවම් කිරීමට නොවේ.

2023 වෙසක් මස 28 වැනි දින
(උපුටා ගැනීමකි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More