පුරවැසි කොලම

මේ මොහොතේ එළිපිට ම බුදු දහමට අපහාස කරනා කල්ලියටත් වඩා භයානක පිරිසක් ඉන්නවා.

ඒ තමයි සැබෑ බෞද්ධයන් යනු මෙවැනි අපහාස ඉතාම මෛත්‍රි සිතින් විඳ දරාගෙන, දැක්කේ නෑ වගේ ඉන්න පිරිසක් ය කියලා සමාජගත කරන්න හදන තක්කඩියන් පිරිස.

මේ ලෝකයේ කිසිම රටක, කිසිම පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ ඇදහිල්ලකට, විශ්වාසයකට අපහාස කරන්න බැහැ.

ඒක ඕනෑම රටක දඬුවම් හිමිවෙන වරදක්. ඒ වගේ ම ඉතාම අශිෂ්ට ක්‍රියාවක් යැයි සම්මත වැඩක්.

ශිෂ්ට මිනිස්සු, වෙනත් මිනිස්සුන්ගේ ඇදහිලි විශ්වාස වලට ගරු කරනවා. තමන් ඒවා නොපිළිගත්තත් අපහාස කරන්න යන්නෙ නැහැ. ලෝකයේ හැම රටක් ම වැඩ කරන්නේ එහෙමයි.

හැබැයි ශ්‍රී ලංකාවේ මෑතක ඉඳලා, විශේෂයෙන් ම බුදු දහම ඉලක්ක කරලා ඉතාම නින්දිත අපහාසයන් එල්ල වෙමින් තියෙනවා.

ආගම් ගැන සිදු කරන දාර්ශනික සංවාද අපිට පිළිගන්න පුළුවන්. ඒ දාර්ශනික සංවාද ඔස්සේ කතිකාවතක් නිර්මාණය කරන්න පුලුවන්.

හැබැයි අපි මේ දකින්නේ ඉතා ම අවර ගනයේ පහත් අපහාස. බුදු දහම ඉලක්ක කරමින් මේ මොහොතේ එල්ල වෙමින් පවතින්නේ කිසිදු ශිෂ්ට සමාජයක් නොඉවසන පහත් අපහාස පමණයි.

මේ අපහාස සිදු කරන පිරිස්වලට විවිධ න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. මුදල් වෙනුවෙන් හෝ වෙනත් විශ්වාසයක් ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් ආදී විවිධ අරමුණු උදෙසා මේ වැඩ කරනවා වෙන්න පුළුවන්.

හැබැයි මේ සියලූම දෙනාට එක් පොදු න්‍යාය පත්‍රයක්, අරමුණක් තියෙනවා. ඒ තමයි බුදු දහම කෙරෙහි මේ රටේ මිනිස්සුන්ට තිබෙන භක්තිය, ගෞරවය විනාශ කිරීම.

ඒ භක්තිය සහ ගෞරවය විනාශ වූ විට ඔවුන්ගේ අරමුණට ළඟා වීම ඉතා පහසු බව ඔවුන් දන්නවා.

මෙවැනි ඉතාම පහත්, දරුණු අපහාසවලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එවැනි අපහාස සාමාන්‍යකරණීය කරලා, ඒවා සමාජය ඉවසන, සාමාන්‍ය දේවල් බවට පත් කිරීමක්.

ඕනෑම දෙයක් සමාජයට අමුත්තක්, ආන්දෝලනයක් වෙන්නේ ඒ දේ මුල් වරට සමාජයට ඉදිරිපත් වෙද් දී. එකම දෙය නැවත නැවත ඉදිරිපත් වෙද් දී සාමාන්‍යකරණය වෙනවා.

මොවුන් බුදු දහම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අන්න ඒ ප්‍රචාරණ උපක්‍රමය.

ක්‍රමක්‍රමයෙන් අපහාස සාමාන්‍යකරණය කරමින් සිටිනවා.

බුදු දහමට අපහාස කරන පිරිස් ඒ විදියට තමන්ගේ වැඩේ කරද් දී, ඔවුන්ට මතවාදී ආවරණය ලබා දෙන්නේ, මේ ක්‍රියා තනුක කරලා බෞද්ධයන්ට මෙත් වඩන්න යෝජනා කරවන තක්කඩි.

එවැනි පුද්ගලයෙක් බුදු දහමට අපහාස කරලා ආන්දෝලනාත්මක කතාවක් කියලා, සමාජය කැළඹුණු ගමන් ඔවුන් කරළියට එනවා.

බෞද්ධයන් මේවා එතරම් ගණන් ගත යුතු නැති ය, ඉවසිය යුතු ය, සැබෑ බෞද්ධයන් යනු මේවාට නොසැලෙන පිරිස් ය කියලා මතයක් හදන්න උත්සාහ කරනවා.

අන්න ඒ මතයට මුවා වෙලා කුමන්ත්‍රණකාරීන්ට පහසුවෙන් ම තමන්ගේ වැඩේ කරගෙන යන්න පුලුවන්.

ඒ අර්ථයෙන් බැලුවම බුදු දහමට අපහාස කරන පිරිසටත් වඩා, මේ අපහාස සහ නොපනත්කම් ඉදිරියේ බෞද්ධයන්ට බෞද්ධ වීමට උගන්වන පිරිස භයානකයි.

අනිත් අතට මොවුන් මේ පතුරන්න හදන මතය සම්පූර්ණයෙන් ම අසත්‍යයක්.

බුදු දහම කිසිසේත් ම දරුණු අපවාද ඉදිරියේ නිවටව සිටි දහමක් නෙවෙයි.

බෞද්ධයන්ගේ ශාස්තෘන් වහන්සේ වන බුදු රජාණන්වහන්සේ පවා වෙනත් මතයන් දරන, දෘෂ්ටීන් දරන පුද්ගලයන්ගේ තැන්වලට ගියා.

ඔවුන් සමඟ වාද කරලා ඔවුන් බුදු දහමට හරවා ගත්තා.

බුදු දහම පැතිරවීමට භික්ෂූන් වහන්සේලා ගම් නියම්ගම් සිසාරා පිටත් කර හැරියා.

එකළ සිටි සච්චක නම් නිගණ්ඨයෙක් සමඟ වාදයක දී ඔහු බුදුන්වහන්සේට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා.

ඒ මොහොතේ බුදුන් වහන්සේ ශක්‍ර දිව්‍ය රාජයා ගෙන්වා, යක්ෂ රූපයක් මවා ඔහුගෙන් පිළිතුරු ගත්‍තා.

එය යම්කිසි ආකාරයකට බලහත්කාරය යෙදවීමක්. නමුත් ඔහුගේ ම හිතසුව පිණිස බුදුන් වහන්සේ එය සිදු කළා.

බුදු දහම එහෙමයි.

නයා වුනත් පෙනය පුප්පා සිටිය යුතු තැන්වල පෙනය පුප්පා සිටිය යුතු බවත්, එසේ නොමැතිනම් දරමිට බැදීමට පවා නයා භාවිතා කළ හැකි බව බුදුන් වහන්සේ දේශනා කළා.

ඕනෑම අපහාසයක්, අපවාදයක් ඉදිරියේ නිහඩව සිටීම බුදු දහම නෙවෙයි.

ඒ වගේ ම මේ පිරිස තවත් මතයක් පැතිරවීමට උත්සාහ කරනවා.

ඔවුන් කියනවා බුදු දහම යනු ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ කියලා.

ඔවුන්ට අනුව බුදු දහම ආරක්ෂා කිරීමට නම් පන්සිල් රකිමින් බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව ජීවත් වීම ප්‍රමාණවත්.

මෙයත් ඉතාම තක්කඩි, වැරදි ප්‍රකාශයක්.

මෙවැනි මත ප්‍රචාරය කිරීම මඟින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට නිදහසේ බුදු දහමට අපහාස කළ හැකි පරිසරයක්.

නමුත් වසර 2500ක් තිස්සේ ශ්‍රී ලංකාවේ නිර්මල බුදු දහම ආරක්ෂා වෙලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ සිට අතීත රජවරු, මුතුන්මිත්තො, භික්ෂූන් වහන්සේලා පණ දෙවැනි කොට බුදු දහම ආරක්ෂා කළ නිසා.

ආක්‍රමණිකයන්ගෙන්, සතුරු ප්‍රහාරවලින් බුදු දහම රැකගත් නිසා.

ඔවුන් එසේ නොකළා නම් අද වනවිට බුදු දහම මේ පොළවේ සජීවිව නොතිබෙන්නට තිබුණා.

ලෝකයේ විශාලතම විශ්ව විද්‍යාලය වූ බෞද්ධ නාලන්දාව සතුරු ප්‍රහාරවලින් විනාශ වී ගියා. අද ඒ භූමියේ බුදු දහමක් ඉතිරි වී නැහැ.

බුදු දහමත් වෙනත් ඕනෑම දර්ශනයක්, විශ්වාසයක් වගේ ම ආරක්ෂා කර ගත යුතු දෙයක්.

එය එසේ නොවන බවට සමාජගත කිරීමට උත්සාහ කරන්නේ එය විනාශ කිරීම එකම අරමුණ කර ගත් පිරිස් පමණයි.

– ඉරේෂාන් සිරිවර්ධන –
2023.05.27



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More