පුරවැසි කොලම

කොවිඩ් සමයේ එංගලන්තයේ හිටපු සෞඛ්‍ය ඇමැති මැට් හැන්කොක්ට තම ඇමැති කම නැති වූයේ ඔහුගේ දිගුකාලීන මිතුරියක මෙන්ම ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වරියක වූ ගිනා කොලඩැන්ජලෝ (Gina Coladangelo) හට කිස් එකක් දීම නිසාය. මෙම අවස්ථාව කාර්යාල CCTV කැමරාවේ සටහන් වී තිබී එංගලන්තයේ සන් පුවත් පත හෙළිදරව් කිරීමත් සමග මැට් හැන්කොක්ට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. චෝදනාව වූයේ කිස් කිරීම නොව කොවිඩ් සමාජ දුරස්ථ නීතිය කඩකිරීම ය. (Breaching Social Distancing Rules)

එංගලන්තයේ හිටපු අගමැති වරයකු වූ බොරිස් ජොන්සන්ට සිය තනතුර අහිමි වන්නේ කොවිඩ් සමයේ ඔහුගේ නිල නිවසේ පාටියක් දැමීමය. ඔහුට තිබූ චෝදනාව වූයේද ලොක් ඩවුන් (Lockdown) නීති උල්ලංඝනය කිරීමයි.

රජයේ නිළධාරීන්ට බලපෑම් කලොත් කොයි ලොක්කත් ගෙදර

මේ දිනවල එංගලන්තයේ තිබෙන තවත් ප්‍රසිද්ධ සාකච්ඡාවක් තමයි වර්තමාන ස්වදේශ කටයුතු ඇමැතිනි සුවෙලා බ්‍රවමන් (Suella Braverman) විසින් පසුගිය වසරේ පැ. සැ. 50 වේග සීමා උල්ලංඝනය කරමින් රිය පැදවීමේ චෝදනාව සහ ඒ සම්බන්ධව රජයේ නිළධාරීන්ගේ රාජකාරියට මැදිහත් වීම.

එංගලන්තයේ නීතිය අනුව එවැනි වරදක් කල විට අදාළ දඩය ගෙවීමට අමතරව අදාළ වරදකරු පුහුණු සැසියකට සහභාගි විය යුතුයි. එසේ නොවෙයි නම් දඩය ගෙවා මෙවැනි වරදකට රියදුරු බලපත්‍රයෙන් ලකුණු 3 ක් කපා ගත හැකියි. බොහෝ අය රියදුරු බලපත්‍රයේ ලකුණු අඩු කරගැනීමට පෙළඹෙන්නේ නැහැ. මොකද රියදුරු බලපත්‍රය ගැනීම තරම් අමාරු කටයුත්තක් එංගලන්තයේ නැහැ.

මෙම පුහුණු සැසිය පොදුවේ එවැනි වරදවල් කල රියදුරන් සඳහා පවත්වන්නක්. එයට බස්, කාර්, ට්‍රක් වැනි සියළු රියදුරන් සහභාගි වනවා. සුවෙලා ඇමැති වරිය අදාළ සැසිය පවත්වන රජයේ නිළධාරීන්ට (Civil Servants) කතා කොට විමසා ඇත්තේ ඇයට පෞද්ගලිකව එම සැසිය පැවැත්විය හැකිද යන්නයි. කිහිප විට විමසුවද, ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ මෙය මාධ්‍යයේ ප්‍රචාරය වෙනවා. ඇයට එල්ල වෙන චෝදනාව රජයේ නිළධාරීන්ට බලපෑම් කිරීම සහ අමාත්‍ය ආචාර ධර්ම උල්ලංඝනය. මේ වන විට ඇයට තනතුරෙන් ඉවත් වන ලෙසට සිය පක්ෂය තුලින්ම බලපෑම් එල්ල වී ඇති අතර, අගමැති රිශ්වි සුනක් ඇයව ආරක්ෂා කිරීමට යම් මැදිහත් වීමක් කිරීමත් සමග ඔහුගේ තනතුරටද යම් පීඩනයක් මේ වන විට ඇති වෙමින් තිබෙනවා. ඉදිරි සතිය වන විට මෙය එංගලන්ත රජයට හිසරදයක් වීමට ඉඩ තිබෙනවා.

එංගලන්තයේ එහෙම වුනත් ලංකාවේ නීතිය නැවෙන්නේ මෙහෙමයි

පෙරෙයිදා පාර්ලිමේන්තුවේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රී රහීම් රත්තරන් කිලෝග්‍රෑම් 31/2 ක් සහ, ස්මාට් ජංගම දුරකථන 91 ක් අනවසරයෙන් ප්‍රභූ පර්යන්තය හරහා ගෙන ඒමේදි ගුවන් තොටුපළ රේගුව අත් අඩංගුවට ගන්නවා. අවසානයේ ඔහු ලක්ෂ 75 ක දඩයක් ගෙවා නිදහස් වෙනවා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවට පැමිණ සිය ඡන්දයත් ප්‍රකාශ කරනවා. අලි සබ්‍රී පාර්ලිමේන්තු ආචාර ධර්ම කමිටුවේ සාමාජිකයෙකුත් වෙනවා. ඔහු ආචාර ධර්ම උල්ලංඝනය කලත් කතානායක ඔහු මන්ත්‍රී වරයකු හැටියට පිළිගන්නවා. ඒ අතර මොහු විසින් ගෙවූ දඩය භාණ්ඩ වටිනාකමට අදාළ දඩය නොවන බවද ප්‍රකාශ වෙනවා. සාමාන්‍යයෙන් රේගු දඩය උපරිම වටිනාකමෙන් 300% බවත් ප්‍රකාශ වෙනවා. මෙම හොරබඩු වල වටිනාකම මිලියන 78.2. එහෙත් දඩය , ලක්ෂ 75 ක් ගෙවා ඔහු නිදහස් වෙනවා. මෙය. පසුදින පාර්ලිමේන්තුවට පැමිණ රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලේ ඔහු බේරා ගැනීමට ඉදිරිපත් නොවූ නිසා බවත් කියනවා. දඩය අඩුකර දීමත් බේරා ගැනීමේ එක් ක්‍රමයක් නොවේද ?

ඊට පෙර දිනයක චීන ජාතිකයෙක් ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් රටට ඇතුළු වීමට තැත් කිරීමේ දී ආගමන විගමන නිළධාරීන් රඳවා ගෙන ඔහුව නැවත පැමිණි ගුවන් යානයෙන්ම පිටුවහල් කිරීමට සූදානම් වීමේදී අරුන්දික ෆනෑන්ඩු රාජ්‍ය අමාත්‍ය වරයා ආගමන විගමන පාලක වරයාට ලිපියක් යොමු කරමින් බලපෑම් කොට චීන ජාතිකයා නිදහස් කරගන්නවා. මෙය මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර ඇමැති ටිරාන් අලස් මාධ්‍යට මෙසේ කියනවා. ” මේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදුවෙනවා හැබැයි රාජ්‍ය ඇමැති වරයාට විරුද්ධව නොව, තම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වරදක් කර තිබෙනවා නම් ඔවුන්ට අදාළ දඬුවම් ලබා දීම සඳහා ” කියලා. මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ තිබෙන විශේෂත්වය නම් ආගමන විගමන පාලක ජනරාල් සහ අමාත්‍යංශ ලේකම් වරයා ටිරාන් අලස් ඇමැති වරයාගේ දෙපැත්තේ සිටගෙන සිටීමයි. කෙතරම් හාශ්‍යජනක ද? බලපෑම් කල ඇමැති වරයා වරදක් කර නැහැ?

ලෝකයට ආදර්ශ සපයන ලංකාවේ පාර්ලිමේන්තුව

ලංකාවේ පාර්ලිමේන්තුවේ මිනීමැරුම් චෝදනා ලැබූවන්, කප්පම් කරුවන්, කසිප්පු වෙළෙන්දන් , බාර් අයිතිකරුවන් , පස්, ගල්, වැලි ජාවාරම් කරුවන්, රජයේ ගොඩනැගිලි , ඉඩම්, සහ දේපළ කොල්ල කරුවන් කොපමණ සිටීද? මෙවැනි මාදිලියේ පාර්ලිමේන්තුවක් ලෝකයේ කිසිම රටක තිබෙනවා ද? ලංකාවේ අපරාධ නඩු වලට අදාළ බර අපරාධ චෝදනා ලත් , වැරදි කරුවන් වූ, දැනට ඇසෙමින් පවතින නඩු චූදිතයන් කොපමණ මේ පාර්ලිමේන්තුවේ සිටිනවා ද ? මේ අශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු .

ඒ හා සමානවම කෙතරම් දේශපාලන පත්වීම් ලබා රාජ්‍ය සංස්ථා, මණ්ඩල , අධිකාරී , කොමිෂන් සභා වල සභාපති , අධ්‍යක්ෂ , කොමසාරිස් තනතුරු ලැබුවන් සිටීද? දේශපාලකයින් පසුපස ගොස් තනතුරු, උසස් වීම්, සේවා දිගු ලබා ගෙන සිටින පිරිස් ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරන්නේ ද? මේ සියලෝම දූෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කිරීමට නියමෙන් සහ අනියමෙන් පෙනී සිටී.

ලංකාවේ දේශපාලකයින් සහ අනෙකුත් වරප්‍රසාද ලත් පිරිස් නඩත්තුව සඳහා නිල රථ, නිවාස, දීමනා, ආරක්ෂාව සහ අනෙකුත් නඩත්තු සඳහා කෙතරම් නම් රටේ බදු මුදල් වියදම් කරනවා ද ?

නිළධාරීන් ලක්ෂ 5 යි. වාහන 90 යි. ලෝකයේ ධනවත්ම රටවල් 7 න් එකක්

එංගලන්තයේ අගමැති, අමාත්‍ය වරුන් සහ රාජ්‍ය සේවයේ ජේෂ්ඨ නිලධාරීන්ගේ ගමන් බිමන් සඳහා රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රජයේ ආයතන සඳහා ප්‍රයෝජනයට තිබෙන්නේ උපරිම රථ 90 ක් පමණයි. මේවා සියල්ලම බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත රථ වීමත් විශේෂ යි. ඉන් 48% වාහන විදුලියෙන් ධාවනය වන වාහන වන අතර ඉදිරි වර්ෂය වන විට සියළු වාහන විදුලියෙන් ධාවනය වන බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

https://www.gov.uk>publications>government-car-service

රිශී සුනක් අගමැති වරයාට 2015 නිෂ්පාදිත රේන්ජ් රෝවර් ජීප් රථයක් (Abio Sentinel) ලබා දී තිබෙනවා. එම රථය මීට පෙර අගමැති වරුන් වන බොරිස් ජොන්සන් සහ ලිස් ට්‍රස් පාවිච්චි කල රථය. වෙනත් කිසිදු ඇමැති වරයකුට, මන්ත්‍රී වරයකුට හෝ නිළධාරියෙකුට වෙන්වූ නිල රථ නැහැ. යම් රාජකාරි ගමනක් සඳහා රථයක් අවශ්‍ය වූ විට රජයේ කාර් සේවයට (Government Car Service) කතා කොට රථයක් ගෙන්වා ගත යුතු වෙනවා. රාජකාරි ගමන අවසානයේ නැවත රථය අදාළ නැවතුම් පලට යා යුතු වෙනවා. නිල නිවාස, ආරක්ෂකයන්, හෝ වෙනත් වරප්‍රසාද ලබා දෙන්නේ නැහැ. එංගලන්තයේ සමස්ත රාජ්‍ය සේවයේ 2022 වසරේ හිටියේ නිළධාරීන් 483,450 යි.

ලංකාවේ රාජ්‍ය සේවයේ භාවිතය සඳහා නිල රථ 82,194 ක් වෙන් කොට තිබෙනවා. ඒ වගේම තවත් රථ 8,500 ක් පමණ නිළධාරීන්ට ඔවුන්ගේ පෞද්ගලික රථ පාවිච්චි කිරීමට ඉඩදී ඒ සඳහා මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවනවා. https://www.dailynews.lk>number-vehicles-government-belong
මේ අනුව රජය සෘජුව නඩත්තු කරන වාහන 90,000 කට වැඩ් ප්‍රමාණයක් තිබෙනවා. මීට අමතරව රජය විවිධ ක්‍රමයන්ට කුලියට ගත් තවත් වාහන ලක්ෂයක් පමණ ත්‍රිවිධ හමුදා සහ වෙනත් ව්‍යාපෘති කටයුතු සඳහා ලබා ගෙන තිබෙනවා. මේ සියල්ල නඩත්තුව බදු ගෙවන්නාගේ කරපිට පැටවී තිබෙනවා.

මේ ජරා ජීර්ණ, ගඳ ගහන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ අනෙකුත් ක්ෂෙත්‍ර වල අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරගැනීම පුරවැසියන් වන අප සියළු දෙනාගේම වගකීමක්. ඒ සඳහා පෙළගැසෙමු

ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක්, ජනයාට වගවෙන රාජ්‍ය සේවයක්, මහ ජනයාගේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට නීතියෙන් බැඳී සිටින පාලන ක්‍රමයක් නිර්මාණය කරගනිමු. මෙය අපිට කල හැකියි . එසේ කල යුතුයි. ඒ සඳහා සූදානම් වෙමු.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
26.05.2023



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More