දේශීය පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ එහි සභාපතිනිය අතර ගැටුම උග්‍රවී ඇති බව වාර්තා වේ.

‘මව්බිම’ පුවත්පතට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ කොමිසමේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කිරීම සඳහා තමා ඇතුළු කොමසාරිස්වරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා සමග හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බවය.

මානව හිමිකම් කොමිසමේ වත්මන් ක්‍රියාවලිය එම පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝණය කිරීමක් වන බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියේ යැයි ආචාර්ය විජිත නානායක්කාර මෙහිදී පවසා තිබේ.

කොමිසමේ සභාපතිනිය හා කොමසාරිස්වරුන් අතර ගැටුම ආරම්භ වූයේ සභාපතිනිය තම අවශ්‍යතාවට අනුව පරීක්ෂණ කිහිපයක් කිරීම සහ දේශපාලන උත්තේජනයෙන් ක්‍රියාකිරීම නිසා යැයි ආචාර්ය විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි සහ කළුපහනේ පියරතන හිමි යන කොමසාරිස්වරුන් තිදෙනා සාකච්ඡාවක් ඉල්ලමින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ අයැදුම ගැන කරුණු පැහැදිලි කරමින් ආචාර්ය නානායක්කාර මෙසේ පවසයි.

“ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය ප්‍රධාන කාරණය වන්නේ කොමසාරිස්වරුන්ගේ අදහස් නොතකා සභාපතිනිය අත්තනෝමතික තීරණ ගැනීමයි. තීරණ ගැනීමේදී ඇය කොමසාරිස්වරුන් සම්පූර්ණයෙන් ම නොසලකා හැරීම ගැන කොමසාරිස්වරුන්ගෙන් බහුතරයක් සිටින්නේ නොසතුටින්. ඇත්තට ම මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. එතුමිය සභාපතිනිය ලෙස පත් වූ දා සිටම මේක වුණා. දැන් කොමිසමේ වැඩ කරන්න බැරි තැනකට ඇවිත් තියෙනවා.

අපි අමාත්‍යාංශයක් යටතට එන්නේ නැහැ. අපි කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන්නේ. අපි හොයන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක්. මේක වැඩි කලක් යන්න බෑ. එක්කෝ අපිව අයින් කරලා සභාපතිනිය තියාගන්න ඕනෑ. නැත්නම් එතුමිය අයින් කරලා අපිව තියාගන්න ඕනෑ. නැත්නම් අපි ඔක්කොම අයින් කරන්න මේක ඩෙඩ්ලොක් එකක්. නීතියට පටහැනිව සිදුවෙමින් පවතින මේ ක්‍රියාවලිය මුළුමනින් ම මානව හිමිකම් පනත උල්ලංඝණයක්.

මානව හිමිකම් කොමිසමේ පනතට අනුව කොමිසම සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි. එහි බලය ඇත්තේ කොමිෂන් සභාවට. කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සභාපතිනියට පරිපාලනමය තීරණ කිහිපයක් ගත හැකියි. ඒත් එය යමෙකු පත් කිරීම, මාරු කිරීම හෝ මුදල් සම්බන්ධ කාරණා නෙවෙයි. මේවා කොමිසම යටතට එනවා. එහෙත් ඇය කොමිසමෙන් නියෝග නොවිමසා ඇතැම් තීරණ ගෙන තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපට තිබෙන එකම විකල්පය ජනාධිපතිතුමාට ලිඛිතව ලිවීමයි. අවාසනාවට මේ ගැන සාකච්ඡා කරන්න අපිට තවම ජනාධිපතිතුමා එක්ක වෙලාවක් ලැබිලා නැහැ.”

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතාද මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ කොමසාරිස්වරුන් තිදෙනා ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන්නේ කොමිෂන් සභාව තුළ පවතින ගැටුමෙන් ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බැවින් එයට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවය.

“පනතට අනුව බලතල පැවරී තිබෙන්නේ කොමිෂන් සභාවට. ඒත් සභාපතිනිය තම පෞද්ගලික මතය අනුව කොමිසම ගත් තීරණ නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරනවා. කොමසාරිස්වරුන් මෙම ප්‍රශ්නය සුහදව විසඳා ගැනීමට උත්සාහ කළත් සභාපතිනිය තදින් ම කියා සිටින්නේ තමන්ට තනි බලයක් හිමියි කියලා. විශේෂයෙන් ම මේ වසරේ මාර්තු මාසයේ සිට කොමිෂන් සභාව ගත් බොහෝ තීන්දු තීරණවලට එළැඹුණේ කොමසාරිස්වරුන්ගේ එකඟතාවකින් තොරව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නව කොමිෂන් සභා පත් කරන්න කියලා අයැදුම්පත් කැඳවලා දැන් මාස දෙක තුනක් වෙනවා. ඒත් මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයන් පත්කිරීමේ ප්‍රමාදයක් පවතින බවක් අපට පේනවා. මෙහෙ ම පරිසරයක අභ්‍යන්තර ගැටුම් වගේ දේවල් මහජන අවධානයට ලක්වන විට ඒක ජනතාවට විශාල අසාධාරණයක්. කොමසාරිස්වරුන් පත් කරන බලධාරියා ජනාධිපතිවරයා නම් කොමසාරිස්වරුන් මේ අවස්ථාවේ පැමිණිලි කළ යුතු පුද්ගලයා ත් ජනාධිපතිවරයායි. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරුන් කඩිනමින් පත් කරන ලෙසයි. අපි නැවත පත්කළ යුතු යි කියලා අපි බල කරන්නේ නැහැ. අපි කවුරුත් හොඳ මදි නම් අලුත් කොමසාරිස්වරු පත් කරලා මේ අවුල ඉවරයක් කරන්න. මේක තමයි අපි ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම.

මේ වගේ ප්‍රශ්න අවුල් වෙන්න ඉඩ දුන්න ම ඒක අපිට පෞද්ගලිකව බලපාන්නේ නැහැ. මේවා බලපාන්නේ මේ රටේ ජනතාවට පමණයි. ඇය සභාපතිනිය ලෙස නම් කළ ත් ඇය කොමසාරිස්වරියක්. ඇයට අත්තනෝමතික ලෙස තීරණ ගන්න බෑ. බහුතර සාමාජික එකඟතාවයෙන් තමයි ඒවා ගන්න ඕනෑ.”

කොමසාරිස් මණ්ඩල රැස්වීම් නිතිපතා පැවැත්වීමේ වැදගත්කම සභාපතිනිය නොසලකා හරිමින් මානව හිමිකම් කොමිසමේ පනත උල්ලංඝණය කරන බවට ද චෝදනා කරන කොමසාරිස්වරුන් කොමිසමේ ඇති සියලු ම ගැටලු නිශ්චිතව පැහැදිලි කිරීමට මෙම සාකච්ඡාව ඉල්ලා තිබේ.

සෙසු කොමසාරිස්වරුන් හතර දෙනාගෙන් විමසීමක් නොකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැඳවීමට අත්තනෝමතික ලෙස තීරණය කිරීමට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මේ වසරේ මාර්තු මාසයේදී ගත් තීරණය ආන්‍ෙදෝලනයට තුඩු දුන් අතර තමන් එවැනි තීරණයක් නොගත් බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් සිවුදෙනා එම අවස්ථාවේදී අවධාරණය කළහ. සෙසු කොමසාරිස්වරුන්ගේ ප්‍රකාශ හමුවේ සභාපතිනියට සිතාසිය ඉල්ලා අස්කර ගැනීමටත් පැහැදිලි කිරීමක් නිකුත් කිරීමටත් සිදු විය.

(තොරතුරු – මව්බිම)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More