2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කරන්නාගොඩ කමිටුවේ සොයාගැනීම් හිටපු යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රතික්ෂේප කර ඇත. හිටපු හමුදාපති ජෙනරාල් සිල්වාගේ නීතිඥවරයා කරන්නාගොඩ කමිටුව ඉදිරිපත් කරන කරුණු වල සත්‍යතාවය සහ එම කමිටුව පිහිටුවීමේ නීතිමය පදනම සම්බන්ධයෙන් තම සේවාදායකයා දක්වන විරෝධය පිළිබඳව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා තර්ක කළේ කරන්නාගොඩ කමිටුව කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් යටතේ ස්ථාපිත කර නොමැති බවත් මැයි 09 වෙනිදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා පමණක් හිටපු ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලද කොමිසමක් පමණක් වන බවත්ය. එම පරීක්ෂණයේ වලංගුභාවය තමන් පිළිනොගන්නා බව අවධාරණය කළ ඔහු කමිටුවේ සොයාගැනීම් මත පදනම්ව නැවත පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කළේය.
කරන්නාගොඩ කමිටු වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කිරීම පදනම් විරහිත චෝදනා මගින් තම සේවාදායකයාගේ කීර්ති නාමය කෙලෙසීමේ උවමනාව මත සිදුවූවක් බව මුස්තාපා චෝදනා කළේය. කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අයදුම්පත ඉල්ලා අස්කර ගැනීම පිළිබඳවද ඔහු තවදුරටත් විරෝධය පළ කළේය.
මැති ඇමැතිවරුන් ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නීතිඥ මුස්තාපා මහතාගේ තර්කවලට ප්‍රති තර්ක ඉදිරිපත් කළේය. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා ප්‍රධානීන්ගේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව අභියෝගයට ලක් නොකළ බව අධිකරණයට පෙන්වා දුන්නේය. නීතියට අනුකූලව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යවරයා කැපවී සිටින බැවින් එය අවසන් සහ අවසාන පරීක්ෂණය නොවන බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට එල්ල වූ තර්ජනය ඇතුළු රාජ්‍ය ආයතනවලට සහ ඒවායෙහි දේපලවලට එල්ල වූ ප්‍රහාර පිටුපස ඇති කුමන්ත්‍රණය විමර්ශනය කිරීමේ වැදගත්කම ජයවර්ධන මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සහ තවත් පිරිසක් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණි.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා, කුවේර ද සොයිසා, නීතීඥ ෆයිසා මුස්තාපා මාර්කා සහ ෂරෆි මොහිදීන් යන මහත්වරු පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතාගේ සහය ඇතිව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...