දේශීය පුවත්

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු ඊයේ (19) දින අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගැනීමට යාමේදී අදාළ චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධාකර ඇති බව වාර්තා වේ.

ව්‍යාපාරිකයන් බව පවසමින් මෙලෙස චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු 18 දින රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 648 දරන ගුවන් යානයෙන් ව්‍යාපාරික පංතියේ මගීන් ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ තවත් පැය දෙකකට පමණ පසුව බවත්, මෙහිදී මෙම කණ්ඩායමේ නායකයා බවට විශ්වාස කරන චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත්කර ඇති අතර, එහිදී එම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර, කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට හෙළිවී තිබේ.

අදාළ චීන ගුවන් මගියාගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසා සිටිය දී , ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන, ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බව එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු වීමෙන් පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත රැගෙන යාම සදහා එමිරේට්ස් ගුවන් සේවය වෙත භාර දීම සදහා කටයුතු කිරීමේ දී , එසේ නොකරන ලෙස බල කරමින්, බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබූ බවද හෙළිවේ.

එහෙත් ඒවා නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමඟ සිය කණ්ඩායමේ සෙසු දෙදෙනා ද සමඟ මෙම පුද්ගලයා ගුවන් තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිර ඇති අතර, එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිටීමට ද ක්‍රියා කර තිබූ බව වාර්තා වේ.

එමෙන්ම මෙම තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබා දීමට ද කීප වරක්ම උත්සාහ කර ඇති බවත් පැවසේ.

කෙසේ වෙතත් මොවුන් තිදෙනා අත් අඩංගුවට ගැනීම සහ ආපසු ඩුබායි වෙත හරවා යැවීම ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය සහ ආගමන විගමන නියෝජ්‍ය පාලක (තොටුපළ) ජයන්ත රත්නායකගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඒ.එස්.ජී. සුසිල් සහ කේ.ඩී. ශ්‍රියාරත්නගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී සී.ඒ.බී. කුළතුංග පියවරගත් බව සඳහන්ය.

මේ අතර, නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටියට මෙම පුද්ගලයන් තිදෙනා රට තුළට ගැනීම සදහා බලපෑම් කරමින් සිටින බවත්, රාජ්‍ය ඇමතිවරයා සිය රාජ්‍ය අමාත්‍යංශයේ නිල ලිපි ශීර්ෂයකින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය වෙත තම අත්සනින්ම ලිපියක් යොමු කරමින් ඒ සඳහා සහාය ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

එම ලිපියෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ චීන ගුවන් ගමන් බලපත්‍ර අංක EA 9528151 හිමිකරු වන Li Pan නම් අය තම අමාත්‍යංශය යටතේ වන නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා වන ආයෝජකයෙක් බවය. එසේ හෙයින් ඔහුට රට තුළට පිවිසීමට ඉඩ ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ආගමන විගමන පාලකවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත්, ගුවන් තොටුපල ඇතැම් බලධාරීන් පවසන්නේ මේ චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතික ගුවන් මගියා බොහෝ විට මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අය විය හැකි බවයි. නීත්‍යනුකූල ආයෝජකයන් නම් කිසිවිටෙකත් ගුවන්තොටුපල බලධාරීන්ට මුදල් ලබාදී රටතුළට පිවිසීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවයි ඔවුන් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More