දේශීය පුවත්

මෙරට විජයග්‍රහණයේ සැමරුම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පෙරේදා(18) ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

වසර 14 කට පෙර මුල්ලිවයික්කාල් හි සමූල ඝාතනයක් සිදුවී ඇති බවත්, සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් එහිදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

මැයි 18 යනු දෙමළ ජන සංහාරය සිදුවූ දිනය සිහිගන්වන්නක් බවට සිය පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව යෝජනාවක් ද සම්මත කළ බව ඔහු පවසයි.

සිවිල් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සහ දිවිගලවා ගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කැනඩාව කිසිදා අත්නොහරින බව ද ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර තිබේ.

මීට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශ සිදුකිරීම නිසා සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රියාව, “ලොව පුරා මානව හිමිකම් සුරකිමු” යනුවෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති අරමුණට පටහැනි වේ.

කැනඩාව තුළ තම පැවැත්ම තහවුරු කරගැනීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් ව්‍යාජ වෛරයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන, දේශපාලනීකරණයට ලක් වූ ශ්‍රී ලංකා විරෝධී කොට්ඨාස ‘ජන සංහාරය’ පිළිබඳව හිතාමතා නිර්මාණය කර ඇති මෙම පදනම් විරහිත ප්‍රකාශය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. සමාජ මාධ්‍ය වේදිකා ඇතුළුව විවිධාකාරයෙන් පළ වන දුෂ්ට තොරතුරු හරහා ඉස්මතු වන අන්තරායන්ට එරෙහිව මුළු ලොවම සටන් කරන මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිමු.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවූ කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සෑම ප්‍රදේශයකම විසූ දමිළ, මුස්ලිම්, සිංහල යන සියලුම ජන කොටස් පීඩාවට ලක්විය. මෙකී සියලුම ජන කොට්ඨාසවල ජීවනාලිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ සහ විදේශීය නායකයන් මෙන්ම මධ්‍යස්ථ දමිළ නායකයන් ද එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී. මෙම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම හේතුවෙන් මෙරට ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව උදාවිය. කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් කර ඇත. මෙරට ස්වෛරීභාවය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික රණවිරුවන් රැසක් ඝාතනයට ලක්වූ අතර තවත් බොහෝ දෙනකු ආබාධිත තත්ත්වයට පත් විය.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර හරවත් සහ අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ප්‍රජාව හරහා දෙරටේ සබඳතා ශක්තිමත් වී ඇත. කැනඩාවේ සහ විදේශ රටවල ප්‍රජාවන් ධ්‍රැවීකරණයට ලක් නොවන පරිදි මෙම වේදිකාව භාවිතා කරන ලෙසත්, මිනිසුන් අතර මිත්‍රත්වයේ සහ සහජීවනයේ බැඳීම් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් අපි කැනේඩියානු රජයෙන් සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More