ව්‍යාපාරික පුවත්

ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කල ජාතික විගණන පනත අංගවිකල පනතක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසිය,ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“පහුගිය ජුලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික විගනන පනත සම්මත කලා.මේ පනත අංගවිකලයි.2015 ජනවාරි 08 හටගත්ත විගනන පනත කියන කලලය අවුරුදු 03 යි මාස 07 ක් විලි ලාලා විලි ලාලා 2018 ජූලී 05 ප්‍රසූත කලේ අත් පා නැති අංගවිකල එකක් විදියට.2015 ජනවාරි 08 බලයට පත්වුන ආණ්ඩුවේ තේමාව වුනේම යහපාලනය. ප්‍රධාන මාතෘකාවම දූෂණයට වංචාවට එරෙහි වීම. ඒ ආණ්ඩුවේ සමහර ඇමතිවරු තවමත් හිතන් ඉන්නේ තමන් ඉන්නෙ විපක්ෂයේ කියලා. හොරකම වංචාව නතර කරන්න කතා කරනවා. ඒ වුනාට ඔවුන් ඉන්න ආණ්ඩුව තුළයි මේ දේ වෙන්නේ කියලා ඔවුන්ට තේරෙන්නේ නෑ”

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි සර්ව අසුභවාදි නෑ. මේ ආන්ඩුව තුළින් ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඉතාම හොද දෙයක්. මැතිවරණ කොමිසම ස්වාධීන කලා , ඒක හොදයි. නමුත් ඇතැම් කොමිෂන් සභා පිහිටුවලා , නිළධාරින් පත්කරලා, ඔවුන්ට කටයුතු කරන්න තියෙන නීතී රාමුව හදන්නේ පණ නැති එකක් , වැඩක් කරන්න බැරි එකක්, අරමුණට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබෙන එකක් විදියට නම් ඒක විශාල වරදක්. විගනණ කොමිසම පිහිටුවලා, විගනන පනත දුර්වල ලෙස ඉදිරිපත් කල නිසා අපි මේ පනත අංගවිකල එකක් ලෙසයි දකින්නේ”

අපේ රටේ විදේශ ණය ප්‍රමාණය රුපියල් ලක්ෂයේ මිටි වලට පරිවර්තනය කලොත් ඒ වගේ මිටි කෝටී අටකුත් තවත් දහසය ලක්ෂයකුත් තරම් ලොකු කන්දක්. මේක රුපියල් දාහේ කොලවලින් තිබ්බොත් බ්ලූ මැන්ඩල් කුනු කන්දට වඩා උසවෙයි.

මේ ඉලක්කම් මිනිස්සුන්ට කියන්නේ ඩොලර් බිලියන වලින්. එතකොට ඩොලර් වලින් කියද්දි කෙලින්ම 160 ගුණයකින් අඩු වෙනවා, මොකද ඩොලරයක් රුපියල් 160 ක් නිසා. ඊට පස්සේ කියන්නේ බිලියන වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට ඔය බිලියන තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට තේරෙන් ලක්ෂය කියන ගාන. බිලියන වලින් කියනකොට මිනිස්සු කතාකරන ලක්ෂයේ ගොඩවල් දස දහස් ගුණයකින් ඉලක්කම පුංචිවෙනවා. මේක තමයි රටේ ණයබර මිනිස්සුන්ට නොතේරෙන්න පාලකයන් කියන විදිය.

මේ තරම් ණය කන්දක් අරන් අපි මොනවද රටක් විදියට කරලා තියෙන්නේ. යන්න වැසිකිලියක් නැති මිනිස්සු තවමත් අපේ රටේ ඉන්නවා. ටකරන් සෙවිලි කරපු වහලවල් තියෙන පාසල් තවම අපේ රටේ තියෙනවා.බොන්න පිරිසිදු වතුර ටික නැති මිනිස්සු ලක්ෂ ගනනක් අපේ රටේ ඉන්නවා. අද දවස ඉවරවෙනකම් රටේ තියෙන මුලික අඩුපාඩු කියන්න පුළුවන්. අපේ රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 10% දූෂණයට ලක්වෙනවා කියලා අපි නෙවෙයි කිව්වේ, හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වුනු නෙවිල් කරුනාතිලක මහත්තයා. ඒ 2002 අවුරුද්දේ පමණ කිව්වේ. දැන් මේක 20 % ත් පැනලා. අපේ රටේ මේ ණය කන්දෙන් හතරෙන් එකක්ම මහජන මුදල් හොරකම් කිරීම නැවැත්වුවානම් අඩුවෙනවා. ශක්තිමත් විගණන පනතක් තිබුනානම් මහජන මුදල් හොරකමට සියයට සියයකින්ම වැට බැදෙනවා.

හැම ආණ්ඩුවම මහජන මුදල් දූෂණයට ලක්කලා. අරයට මෙයාට හොරා හොරා කිය කිය දෙපැත්ත බොරුවට ගහගන්නවා. දෙපැත්තේ මිනිස්සු එකිනෙකා මරාගන්නවා. මිනිස්සු හිතනවා ඔවුන්ගේ පක්ෂය මාර අවංකයි කියලා. ඔවුන් ආණ්ඩු කරද්දි මේ ආණ්ඩුවේ අද දූෂණ චෝදනා තියෙන අය තමයි හයියෙන්, සද්දෙටම ඔවුන්ට හොරු කිව්වේ. අද මේ අය හොරු කියලා කලින් චෝදනාව ලබපු අය සද්දෙට කියනවා. මේ දෙතුන්ගොල්ලම පාර්ලිමේන්තුවෙ ඉන්නවා. මේ විගනන පනත පාර්ලිමේන්තුවට ආපු වෙලේ මේ දෙපිරිසම පාර්ලිමේන්තුවේ හිටියා. බොරුවට අරයාට මෙයාට හොරා කියනවා වෙනුවට මේ විගණන පනත ශක්තිමත් කරන්න කටයුතු කලේ නෑ. කවුරුවත් පාර්ලිමේන්තුවේ කතා නායකතුමා ලගට ගිහින් මේ පනත පන නෑ, විගණකාධිපතිට අධිභාර පනවන්න බලය දෙන්න කියලා දැගලුවේ නෑ. ජුලි මාසේ පස්වැනිදායින් පස්සේ තවත් පක්ෂයක කෙනෙක්ට හොරා කියන චෝදනාව කරන්න ප්‍රධාන පක්ෂ විපක්ෂ වල කිසිම කෙනෙක්ට සදාචාර සම්පන්න අයිතියක් නෑ. ඒ කිසිවෙක් මහජන මුදල් හොරකම නවත්වන්න අවංකව අවශ්‍ය අවස්ථාවේ කැපවුනේ නැති නිසා.

ඇත්තටම රටට ආදරෙයිනම් මේ විගනන පනත ශක්තිමත් කරන්න තිබුනා. ප්‍රධාන පක්ෂ කිසිවක් ඒක කලේ නෑ. මොනවද මේකේ තියෙන ලොකුම හිල්. අපි මේ පනත සම්බන්ධව මුල ඉදන්ම කිව්වේ විගණකාධිපතිවරයාට අධිභාර පැනවීමේ බලය දෙන්න කියලා. ඒක මේ පනතේ මුල්ම කෙටුම්පතේ තිබුනා. ඒක ඉවත් කලා. ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරු මේ කියන විදියට අපිට අධිභාර දාන්න ආවොත් මම අස්වෙලා යනවා කියලා ඇමතිවරයා ඉස්සරහා කියනවා මගේ කනට ඇහිලා තියෙනවා. ගතවුනු අවුරුදු 3 දී ඒ අමාත්‍යාංශ ලේකම්වරයා රටට රුපියල් බිලියන 10 කට වැඩිය අහිමි කල කෙනෙක්. ඒවගේ අයට ශක්තිමත් විගණන පනත නයාට අදුකොල වගේ. කවුරු හරි නිළධාරියෙක් තමන්ගේ වාසියට එහෙම නැත්නම් කාගේ හරි බලපෑමකට මහජන මුදල් නාස්තිවන, පාඩුවක් වන , වංචාවක් වන කටයුත්තක් කරලා තිබුනානම් ඒ පාඩුවුන, වංචා වුන, නාස්තිවුන මුදල අයකරගන්න විගනකාධිපතිට බලය දීම තමයි අදිභාර පැනවීමේ බලයෙ කියන්නේ. මේ අංගවිකල පනතේ මේ බලය දිලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාටමයි. මේකට තමයි කියන්නේ හොරාගෙන්ම පේන අහනව කියලා.

මේ මහාපරිමාණ වංචාවල් සිදුවන්නේ මහාපරිමාණ ටෙන්ඩර් ක්‍රියාවලි, කොන්ත්‍රාත් වලදි. රජයේ ප්‍රසම්පාදන නීතීරීති අනුව රුපියල් කෝටි 50 ට වැඩි සියළුම කොන්ත්‍රාත්, ටෙන්ඩර් අමාත්‍යාංශලේකම්වරුන් මුලික වී කටයුතු කරන මණ්ඩල මගින් තමයි කෙරෙන්නේ. මේතැන තමයිවැඩේ වෙන්නේ. අමාත්‍යාංශ ලේකම්වරු සහ දේශපාලකයෝ එකතුවෙලා හොරකම් කරනවා. ජනාධිපතිවරයාත් හොරෙක් වුනොත් කොහොමද තත්වය. අන්තිමේදි දංගෙඩියට යන්නේ පැත්තක හිටපු මධ්‍යම මට්ටමේ නිළධාරින් ටිකක්. ඔවුන් දේශපාලකයන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පන්දම් කාරයන් වෙනවා. එසේ නොවුනොත් අනුන්ගේ පාප කර්මවලට මොවුන්ට දඩුවම් විදින්න වනවා. ඇත්තටම මේකෙන් කලේ අවංක රාජ්‍ය නිළධාරින්ගේ කොදු නාරටිය කඩා දාපු එකයි. මේ විගනන පනත නිසා මහජන මුදල් හොරකම අඩුවෙන්නේ නෑ. අනාගතයේදී මීටත් වඩා මහජන මුදල් හොරාකෑම සිදුවෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පහුගිය කාලේ නිකුත් කරපු විගණන වාර්තාවල තිබුනා, සෞඛ්‍ය අමාත්‍යාංශය ශත 64 බෙහෙත් පෙත්ත රුපියල් 64 ට මිලදී ගෙන තිබුනු බව. විගණකාධිපතිවරයාට අධිභාරය පැනවීමේ බලය තිබුනානම් මේ මිලදී ගැනිම කරපු නිළධාරියා හෝ කණ්ඩායම මේ වරද කරන්නේ නෑ. වසරක් තුළ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත්කල වාර්තා 50 ක් අරගෙන බැලුවොත් මහජනමුදල් දූෂණයට ලක්කරපුවා රුපියල් බිලියන සීයයක් ඒ කියන්නේ ලක්ෂයේ මිටි ලක්ෂ 10 ක් පෙන්නන්න පුළුවන්. ඔය ණය කන්දෙක් හතරෙන් එකක් පමණ ඒ විදියට හොරකමට,වංචාවට,දූෂණයට ලක් වුනු මුදල්.

මේ විගනන පනත දුර්වල කිරීම පිටිපස්සෙ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේත්, දූෂිත රාජ්‍ය නිළධාරීන්ගෙත්,දූෂිත දේශපාලඥයන්ගෙත් අශුද්ධ සන්ධානයක් තිබුණා. මේ පනත සම්බන්ධව මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න ඇතැම් පුරවැසි සංවිධාන කසාය බීපු ගොලුවෝ වගෙයි හැසිරෙන්නේ. ඔවුන්ට මේ ගැන කතාකරන්න බෑ. හේතුව ඔවුන්ට මුදල් ලැබෙන්නේ නෑ,මේවා ගැන කතා කලොත්. අනෙක් අතට ලංකාවේ වෘත්තිය සමිති සම්බන්ධව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේරටේ මහජනතාවගේ මුදල් ආරක්ෂා කරන්න තිබුනු විගනන පනත සම්මත කරපියව් කියලා මොන වෘත්තිය සමිතියද වෘත්තිමය ක්‍රියාමාර්ග ගත්තේ. අඩුම ගානේ ඒ සම්බන්ධව පුංචිහරි බලපෑමක් කලාද? මහ බැංකු බැදුම්කර වංචාවේ මුදල් ගත්ත මන්ත්‍රීවරු 113ට වැඩිය ඉන්න පාර්ලිමේන්තුවකින් දූෂණයට තිත තබන විගනන පනතක් සම්මත වෙයිද . අපි අභියෝග කරනවා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම වැඩි දේවල් එපා පුළුවන්නම් සම්මත කරපු විගණන පනතට සංශෝධනයක් ගේන්න විගණකාධිපතිට අධිභාර බැනවීමේ බලය දීලා. ඕනම ඔට්ටුවක් තියන්නම් ඒ සංශෝධනය ගේන්නේ නෑ.

අපි මේ විගණන පනතට එරෙහි අශුද්ධ සන්ධානයට ලේසියෙන් මේක මග ඇරලා යන්න දෙන්නේ නෑ. ශක්තිමත් විගණන පනතක් අවශ්‍යයි කියලා විශ්වාස කරන දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තිය සමිති,පුරවැසියන් ආදි සියළු දෙනා එක්ක මොන දේශපාලන ප්‍රතිවිරෝධතා තිබුණත් ඒකාබද්ධ වැඩපිලිවෙළකට ගිහින් මහජන මුදල් ආරක්ෂා කරදෙන්න අවශ්‍ය කඩිනම් පියවර ගැනිම ගැන කල්පනා කරනවා. ඒවා මැතිවරණ ඉලක්ක කරගෙන , කාගේවත් ජන්ද ගොඩ වැඩිකරන ඒවා නොවිය යුතුයි,අද හෙටම සිදුකල යුතුයි කියලා අපි තරයේ විශ්වාස කරනවා.

මාධ්‍ය අංශය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More