දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩුපැවරීමේ හැකියාව තව දින 10ක් වැනි කෙටි කාලයකින් අහෝසි වන බවත්, ශ්‍රී ලංකාව තුළම මේ පිළිබඳව නඩු පවරනවා වෙනුවට සිංගප්පූරුවේ නඩු පැවරීමට අත්තනෝමතිකව තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි හෙළිදරව් කරන ලෙසත් දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කොට තිබේ.

අදාළ ලිපිය පහළින්…

විජයදාස රාජපක්ෂ මැතිතුමා,
අධිකරණ අමාත්‍ය,
අධිකරණ අමාත්‍යාංශය
අංක 19, සංඝරාජ මාවත,
කොළඹ 10.

ගරු අමාත්‍යතුමනි,

එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීම සඳහා ඇති හැකියාව තව දින 10ක් වැනි ඉතා සුළු කාලයක් ඇතුළත කාලාවරෝධී වේ. 2021 මැයි 20 දින ගිනිගෙන, දින 12ක් පුරා ගිනි ඇවිලී, ජූනි 02 දින සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මුහුදේදී මුහුදුබත් වුණු මෙම නැව හේතුවෙන් සිදුවූ පරිසර විනාශය මෑත ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම සමුද්‍ර දූෂණය ලෙස සැලකේ. මෙම ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පාරිසරික හානිය පමණක් ඩොලර් බිලියන 6.4ක් ලෙස ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය සම්බන්ධ වගකිව යුතු කේන්ද්‍රීය ආයතනය වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය(MEPA) විසින් පත් කළ විශේෂඥ කමිටුව ගණන් බලා ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනියගේ නිර්දේශය වූයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදු වූ මෙම විනාශය සම්බන්ධයෙන් නඩු පැවරීම ශ්‍රී ලංකාවේදී සිදු කළ යුතු බව ය. එසේම එහි වත්මන් සභාපතිවරයා විසින් පත් කළ විශේෂඥ කමිටුවේ මතය වන්නේ ද මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම වඩාත් සුදුසු බව ය. පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද “පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව” විසින් ද නිර්දේශ කර ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම සුදුසු බව ය. මෙම අනතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ ව්‍යවස්ථාපිත වගකීම දරන සියලුම ආයතන සහ ඒ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් සියල්ලන්ගේ ඒකමතික තීරණය එසේ වී තිබියදී අදාළ නඩු පැවරීම සිංගප්පූරුවේදී සිදු කිරීමට අත්තනෝමතිකව තීරණය කරනු ලැබූයේ කුමන සාධාරණ හේතුවක් මත ද යන්න රජය විසින් පළමුව ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනතාවගේ පරමාධිපත්‍යය, අධිකරණ මගින් ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එසේම බලධාරී ආයතන සහ අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශයට පටහැනි තීරණ රජය විසින් ගනු ලැබූ අවස්ථාවක එසේ සිදු කළේ මන්දැයි යන්න දැනගැනීමේ ජනතාවගේ අයිතිය මෙන්ම අදාළ තීරණය සාධාරණ බව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමේ රජයේ වගකීම ද එකිනෙක හා බැඳී පවතී.

එබැවින්,
1. “අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔබතුමන් සහ රජයේ නියෝජිතයන් විසින් ජනතාවට අඟවන පරිදි මේ සම්බන්ධයෙන් නඩුවක් සිංගප්පූරුවේ පවරා ඇත්ද?” යන්න නිශ්චිතව තහවුරු කරන ලෙසත්

2. එසේ නඩු පවරා ඇත්නම් එහි නඩු අංකය සහ එම නඩුවේ (පෙත්සමේ) පිටපතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්

3. “අදාළ නඩුව ශ්‍රී ලංකාවේ පවරන ලෙස සිදු කර ඇති ආයතනික හා විශේෂඥ නිර්දේශ අතික්‍රමණය කරමින් එම තීරණය ගනු ලැබුවේ කුමන විද්‍යාත්මක කරුණු, නිර්දේශයන් හා පූර්වාදර්ශයන් මතද? යන්න ජනතාවට සහ පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙසත්
ඉල්ලා සිටිමි.

“මෙම සමාගම් සිංගප්පූරුවේ ලියාපදිංචි වී ඇති සමාගම් බැවින් එම රටේ නඩු පැවරීම වඩාත් සුදුසු ය” යන්න මේ වනවිටත් නිෂේධනය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් වෙනත් සංවිධාන විසින් මෙරටදී පවරා ඇති නඩුවලට එම විදේශීය සමාගම්වල නියෝජිතයන් දැනටමත් පෙනී සිටින බැවිනි.

එසේම කිසියම් හේතුවක් මත මෙම නඩුවේ වන්දිය නොලැබී ගියහොත් හෝ ඉතාමත් අවම නාමික වන්දියක් ශ්‍රී ලංකාවට ලැබුණහොත් අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවරෙක් ද? යන්න ජනතාවට වහාම හෙළිදරව් කිරීම මගින් එක්ස්ප්‍රස් පර්ල් හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට රජය බැඳී සිටින බව ද අවධාරණයෙන් සිහිපත් කරමි.

මෙයට ව්ශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2023-05-09

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More