පුරවැසි කොලම

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු ලේකම් වික්ටෝරියා නූලන්ඩ් පසුගියදා දෙවන වරටත් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඇයගේ සංචාරයෙන් පසුව ‘ද ගාඩියන්’ පුවත් සේවය වාර්තා කළේ ත්‍රිකුණාමලයේ ඉන්දු – ඇමරිකානු ඒකාබද්ධ හමුදාසැපයුම් මූලස්ථානයක් පිහිටුවීමේ වැදගත්කම ඇය විසින් අවධාරණය කළ බව ය. ලෝක පරිමාණයෙන් ඇය පළමුවෙන්ම ප්‍රසිද්ධියට පත් වන්නේ 2013 දී එවකට යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීම සඳහා දියත් වූ ඊනියා රෙජිම් චේන්ජ් මෙහෙයුමේ “මහ මොළකරු” ලෙසය. ශ්‍රී ලංකාවේ ඊනියා “ගෝල්ෆෙස් අරගලය” මෙන් කිව් අගනුවර මයිඩාන් උද්‍යානයෙන් ආරම්භ වූ අරගලයට අදාළ ක්‍රියාවලිය හැදින්වූයේ මයිඩාන් කුමන්ත්‍රණය ලෙසය. ඊට මුල් වූයේ යුරෝපා සංගමය සහ යුක්රේනය අතර සන්ධානයක් බිහිකිරීම සඳහා ඉදිරිපත් වූ ගිවිසුම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම බව ඉතා පැහැදිලිය. නමුත් මයිඩාන් අරගලයේ සටන් පාඨ වූයේ මහා පරිමාණ දූෂණය, වංචාව, බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ මානව හිමිකම් කඩ කිරීම ය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ජනාධිපති යනුකොවිච් යනු ලෝකයේ අංක එකේ හොරෙකු බවට ප්‍රකාශ නිකුත් කළ නමුත් ඊට අදාළව නිශ්චිත චෝදනා හෝ සාක්ෂි ඉදිරිපත් වූයේ නැත. අද යුක්රේනය ලේ විලක් බවට පත්කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව වලින් වික්ටොරියා නූලන්ඩ්ට චෝදනා එක්ක වේ.

කෙසේවෙතත් මයිඩාන් නාට්‍යය රඟදැක්වූයේ වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපතකට අනුව බව ලෝකයේ දේශපාලන විචාරකයන් අතර පවතින ප්‍රකට මතයකි. එසේම ශ්‍රී ලංකාවේ 2023 “රෙජීම් චේන්ජ්” මෙහෙයුමට අදාළ පිටපත රචනා කරනු ලබන්නේ වික්ටෝරියා නූලන්ඩ් විසින් බවට අපට ද සැකයක් නැත. ඊට අමතරව ඇයගේ පිටපත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තානාපති ජූලි චැන්ග් බව සහ ඇය එම වගකීම ඉතා හොඳින් ඉටු කළ බව පසුගිය දිනවල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය. ආලෝක සහ ශබ්ද කළමනාකරණය මෙන්ම පසුබිම් සංගීතය සැපයීම සඳහා යොදා ගත් පිරිස අතර නීතිඥ සංගමය, මානව හිමිකම් කොමිසම යූ.එස්.ඒඩ් සංවිධානය (USAID) සමග ගණුදෙනු කරන යම් නීතිඥයන් මෙන්ම ඔවුන් විසින් හසුරුවන යම් කල්ලි කණ්ඩායම් නායකයින් ආදී බහුවිධ පාර්ශව හඳුනාගත හැකිවිය. එම නාට්‍යයේ ප්‍රධාන චරිත හෙවත් භූමිකා රඟ දක්වන්නෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව නාට්‍ය නරඹන මහජනයාට ඉතා හොඳින් අවබෝධ කරගත හැක. නමුත් විහිලු කාරයාගේ චරිතය සහ දුෂ්ඨයාගේ චරිතය බාරදී ඇති සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර දිසානායක මහතා වරින් වර තම භූමිකාවන් හුවමාරුකර ගැනීම නිසා මහජනයා අන්ද මන්ද වූ බව රහසක් නොවේ. බොහෝ විට නූලන්ඩ්ගේ නාට්‍යයේ නිෂ්පාදන සහයක භූමිකාව බැසිල් රාජපක්ෂ මහතාට බාරදී ඇති බව විශ්වාස කළ හැක.

දැන් ගෝඨාභය භූමිකාව අවසන් වී ඇති අතර යුක්රේනයේ මයිඩාන් අරගලයෙන් බලයට පත් වූ ජනාධිපති වැල්ඩ්මීර් සෙලෙන්ස්කි ගේ භූමිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී ඇති බව පැහැදිලිව දැක ගත හැක. එතුමා තම භූමිකාවට සෙලෙන්ස්කිට වඩා හොඳින් ආරූඪ වන බව ද පෙනේ. වික්ටෝරියා නූලනඩ් දෙවනවර පැමිනෙන්නේ තම පිටපත හොඳින් රග දැක්වෙන්නේ ද යන්න පරික්ෂා කිරීම සහ අධ්‍යක්ෂක ප්‍රමුඛ නළු නිළි කැලට උපදෙස් දීම සඳහා බව ඇයගේ හැසිරීම් වලින් පැහැදිලි විය. නාට්‍යයේ දෙවන කොටස හෙවත් තිරය පිටුපස ජවනිකා ආරම්භ වන්නේ ඊට පසුවය. තිරය පිටුපස ඡායා මාත්‍රයෙන් පමණක් පෙනෙන එම ජවනිකාවල රූප සහ දෙබස් පෙනෙන්නේ බොහෝවිට වේදිකාවේ දීර්ඝතම භූමිකාව රඟ දක්වන ජනාධිපතිවරයාට පමණක් විය හැක. එම නිසා හදිසියේම C-17  ග්ලේබ් මාස්ටර් නම් වූ යුධ සැපයුම් ගුවන් යානා දෙකකින් 20 දෙනෙකුගෙන් සමන්විත පිරිවර සේනාව සමග ශ්‍රී ලංකාවට සැපත් වූ ජෙඩ් රෝයල් නම් පෙන්ටගනයේ බලවතාගේ සැබෑ භූමිකාව කුමක්දැයි තවමත් ප්‍රේක්ෂකයාට රහසකි.

ජෙඩ්ඩියා පී රෝයල් හෙවත් ජෙඩ් රෝයල් යනු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රබලයෙකි. ඔහු අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව භාර නිලධාරියා ය. ඊට පෙර ඔහු නේටෝ සංවිධානයේ ප්‍රතිපත්ති සහ සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඉන්දු – පැසිපික් කලාපයේ යුද මූලඋපායන් පිළිබඳ කෙළ පැමිණියෙකි. ඔහු සමග පැමිණි කණ්ඩායමට සී.අයි.ඒ. (CIA) සංවිධානය හෙවත් අමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ ප්‍රධානීන් මෙන්ම ඇමරිකානු 7 වැනි නාවුක බල ඇනිය හෙවත් ඉන්දු පැසිෆික් නාවික ක්‍රියාන්විතය මෙහෙයවනු ලබන නිලධාරීන් ද අයත් වූ බව විවිධ වෙබ් අඩවි වාර්තා කරයි. ඔවුන්ගේ පැමිණීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා ලෙස තමාට කිසිවක් දැනුම්දී නොතිබූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී පිලිගත්තේය. ගුවන්තොටුපල තොරතුරු අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී එළිදරව් කරනු ලැබුවේ එම පිරිස ජනාධිපතිවරුන් භාවිතා කරන වී.වී.අයි.පී. දොරටුවෙන් ඇතුළු වූ බව සහ ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් නොවූ බවය. අධිවේගී මාර්ගය පවා තහනම් කලාපයක් බවට පත් කරමින් ඔවුන්ව ආරක්ෂක අමාත්‍යංශය දක්වා රහසිගතව රැගෙන ඒම තුලින් පැහැදිලි වන්නේ එම කණ්ඩායම එක්තරා යුදමය ක්‍රියාන්විතයක පෙරහුරුවක නියුක්ත වූ බව නොවේද?

වික්ටෝරියා නූලන්ඩ් වැනි ප්‍රබල රාජතාන්ත්‍රිකයෙකු විසින් මූලික සාකච්ඡා සිදු කිරීමෙන් පසුව එවැනි බලවත් නිලධාරීන් කණ්ඩායමක්, විශේෂයෙන් ආරක්ෂක අංශ සහ ඔත්තු සේවාවල ප්‍රබලයන් පැමිණෙන්නේ නිශ්චිත කාරණා බේරා ගැනීම මුල්කරගෙන බලවත් මැදිහත්වීමක් සඳහා බව ඉතා පැහැදිලිය. මීට පෙර ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයාගේ සංචාරයෙන් පසුව ද එවැනි බලවත් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ රහසිගතව සාකච්ඡාවල නිරත විය. ඇමෙරිකානු නිලධාරීන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ ඔත්තුසේවා ප්‍රධානීන් මුණගැසී සාකච්ඡා කළ බව වාර්තා වුවද ඊට විෂය වූ මාතෘකා කිසිවක් එළිදරව් කිරීමට දෙපාර්ශ්වයම එකඟවීම තුළින් එම සාකච්ඡා වල වැදගත්කම තහවුරු වේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඔත්තු සේවා තොරතුරු පද්ධතියට ඇතුලත් වීම සඳහා ඇමරිකානු ඔත්තු සේවාවලට ඉඩ සැලසීම පිළිබඳව සාකච්ඡාවක් සිදු වී ඇති බවය. එම තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය තුළ අප රටේ ඔත්තු සේවා සතු තොරතුර ලබාගැනීමට අමතරව ජාත්‍යන්තර දුරකථන ඡාලවලට ඇතුල්වීම සහ ආගමන විගමන තොරතුරු පද්ධතියට ඇතුල්වීමද අයත්වන බවට සැකයක් නැත. මීට පෙර ඇමරිකාව සහ ඉන්දියාව අතර ඉන්දු – පැසිපික් කලාපයේ ආරක්ෂක තොරතුරු හුවමාරු කර ගැනීම සහ එකම පද්ධතියක් තුළ කටයුතු කිරීමට එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇත. එසේම පසුගිය දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාගර ආරක්ෂාවට අදාළව ආවේක්ෂණ ක්‍රියාවලිය සහ තොරතුරු පද්ධතිය ඒකාබද්ධව පවත්වාගෙන යාම සඳහා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ එළිදරව්ව යම් කරුණු මත පදනම්ව සිදු කරන ලද්දක් බව පිළිගත හැක.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවල දේශපාලන විචාරකයින් නිරීක්ෂණ සහ නිගමන වලට එළැඹෙන්නේ අදාල පාර්ශ්වවල, විශේෂයෙන්ම බලවත් පාර්ශවයේ මූලෝපායික උවමනාවන්ට සාපේක්ෂවය. ඒ අනුව මේ වන විට යුක්රේනය ආශ්‍රීතව දකුණු චීන මුහුදේ යුදමය තත්ත්වයන් වර්ධනය වීම තුළ ඉන්දු – පැසිපික් කලාපයේ මූලෝපායික අවශ්‍යතා රාශියක් පැන නැගෙන බවට විවාදයක් නැත. ඊට අමතරව දියාගෝ ගාර්ෂියා දූපත්වල ඇමරිකානු යුද කඳවුරු නැවත භාර දීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ දීර්ඝ කාලීන උපාය මාර්ගික සැපයුම් මධ්‍යස්ථානයක් ඉන්දු – පැසිෆික් කලාපයේ පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය ඇමරිකාවට ඇත. මීට පෙර 2015 -2019 කාලයේ දී ACSA සහ SOFA යනුවෙන් ඇමරිකාව සමඟ ආරක්ෂක සහ යුද සැපයුම් ගිවිසුම් දෙකක් අස්සන් කිරීමට බලපෑම් එල්ල විය. ඒ අනුව ACSA හෙවත් අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම නමින් හැඳින්වූ ඒ වන විට පැවති යුදමය සැපයුම් පිළිබඳ ගිවිසුම විස්තීරණ ගිවිසුමක් ලෙස යාවත්කාලීන කර අත්සන් තැබීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සිදුවිය. ඊට අදාලව විදේශ අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර විධිමත් සම්බන්ධීකරණයක් සහ අධ්‍යනයක් නොතිබූ බව මෙන්ම අමාත්‍ය මණ්ඩලයට සහ තමාට නිසි තොරතුරු ලබා දීමක් විධිමත්ව සිදු නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සඳහන් කරනු ලැබීය. ඒ අනුව පිටු 3ක ගිවිසුමක් පිටු 38ක ගිවිසුමක් බවට පත් වූයේ කෙසේ දැයි ඔහු දැන සිටියේ නැත.ඒ මගින් පැහැදිලි වන්නේ අදාළ ක්‍රියාවලිය කඩිනම් කිරීමට යම් බලපෑමක් තිබූ බවය.
කෙසේ වෙතත් ඉන්පසුව ීධත්‍් ගිවිසුම හෙවත් ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක පූර්ව අනුමැතියකින් තොරව රට තුලට පැමිණීමට සහ ස්ථාන ගත වීමට ඉඩ සැලසෙන ගිවිසුම යම් දේශපාලන පක්ෂවල ප්‍රබල විරෝධය නිසා තාවකාලිකව පසෙකින් තබනු ලැබීය. ඇත්ත වශයෙන්ම එම ගිවිසුම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ දී සීමාසහිත ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම පුහුණුව සඳහා ඉඩ සලසන ගිවිසුමක් ලෙස අත්සන් තබන ලද්දකි. එම ගිවිසුම පුළුල් කිරීම සඳහා අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ‘ඇමුණුම් බී’ නමින් ලේඛනයක් ඉදිරිපත් කර ඇත. ඒ නිසා අදාළ ගිවිසුම නැවත අත්සන් කිරීම අවශ්‍ය නොවන අතර සිදුකළ යුත්තේ විදේශ අමාත්‍යංශය විසින් ‘ඇමුණුම බී’ පිළිගත් බවට පිළිතුරු ලිපියක් යැවීම පමණි. ඒ අනුව අවුරුදු 5ක් පමණ ප්‍රමාද වූ එම උපාය මාර්ගික අවශ්‍යතාවය පිළිබඳ ජෙඩ් රෝයල් විසින් කරුණු දක්වන බවට සැකයක් නැත. ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට වික්ටෝරියා නූලන්ඩ් සඳහන් කළ බවටද “ද ගාඩියන්” පුවත් සේවය විසින් වාර්තා කළ ත්‍රිකුණාමලයේ ඉන්දු – ඇමරිකානු ඒකාබද්ධ යුද සැපයුම් මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳවද නිශ්චිත කරුණු සාකච්ඡා කළ බව උපකල්පනය කළ හැක.

මෙවැනි බලවත් නිලධාරී කණ්ඩායමක් සාකච්ඡාවකට පැමිණෙන්නේ ක්‍යැැන කසිඑ හෙවත් පිරික්සුම් ලයිස්තුවක් අත ඇතිව බව පැහැදිලි කරුණකි. ඒ අනුව අදාළ කරුණු එකින් එක එකඟතාවය අනුව සලකුණු කර ගැනීම සහ ඊට අදාලව පහසුකම් සැපයීම පිළිබඳව අවසන් එකඟතාවයකට එළැඹීම යනු සාමාන්‍ය ක්‍රියාවලියකි. එසේනම් තත්ත්වය ඉතා බරපතළ බව පිළිගැනීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මුහුණ දෙමින් සිටින ආපදා තත්වය ප්‍රයෝජනයට ගනිමින් අදාල බලධාරීන්ගේ අත් ඇඹරීමට ලැබී ඇති හැකියාව ඉන්දියාව සහ ඇමරිකාව විසින් තම ඉන්දු – පැසිෆික් මූලෝපායික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා යොදා ගන්නා බව ඉතා පැහැදිලිය. මේ වන විට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව එල්ල වන යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයද එම නිලධාරීන් මෙල්ල කිරීම සඳහා කෙවිටක් ලෙස යොදා ගැනීමේ වාසිය ද ඇමරිකානු නිලධාරීන්ට ලැබී ඇත. පසුගිය ඊනියා රෙජීම් චේන්ජ් ක්‍රියාවලිය තුළ ඇමරිකානු තානාපතිනිය විසින් එම කෙවිට බලවත් ලෙස යොදාගත් බවට යම් සාක්ෂි ඉදිරිපත් විය. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ඉන්දු – පැසිෆික් යුද ක්‍රියාන්විතයේ පාර්ශවකරුවකු බවට පත් වන්නේ නම් එම කෙවිට යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එම කෙවිට පෙන්වීමේ යටි අපේක්ෂාව එය බවට විවාදයක් නැත. ඒ අනුව මෙම ක්‍රියාවලියට අදාලව බෙල්ල ලඟට හිරවී සිටින ජනාධිපතිවරයාට දේශපාලන පීඩනය එල්ල කිරීමෙන් පමණක් මෙම උගුලෙන් ගැලවිය හැකිද යන්න සැක සහිතය. එම නිසා ඒ සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව පුළුල් ජාතික එකඟතාවයක් අවශ්‍ය වනු ඇත. එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාව ඉන්දු – පැසිෆින් න්‍යාය පත්‍රයේ පාර්ශ්වකරුවෙකු හෙවත් දාස රාජ්‍යයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව මෙම තීරණාත්මක මොහොතේ දී ලියා තැබිය යුතුය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More