දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වලකර, දුර්මුඛ කෙරෙන චක්‍රලේඛ තුනක් නිකුත්ව ඇති බවත් ඒවා මගින් ලොව බිහිසුණුම ත්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ්‍රාම ගැන්වෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටියි.

ඊයේ (05) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මීට සති දෙකකට ඉහතදී අපි ඔබට අනාවරණය කර සිටියා ශ්‍රී ලංකා යුද හමුදාව 25%කින් කප්පාදු කිරීමට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නිකුත් කළ නියෝගය පිළිබඳව. එමගින් යුද හමුදාවේ බල ඇණි 33ක්, නිලධාරී තනතුරු 938ක් හා සෙසු නිලයන් 23,266ක් කප්පාදු කිරීමට නියෝග කර තිබුණා. ඉහත කී බලඇණි 33 කප්පාදු කිරීමේදී ඒවාට අයත් කඳවුරු 100කට ආසන්න ප්‍රමාණයක් ඉබේම ඉවත් කිරීමට සිදු වෙනවා. ඒ අනුව උතුරේ යුද උපායිකව ඉතා වැදගත් කඳවුරු 100ක් ඉවත් කෙරෙනවා.

‘පොදු සමාව වෙනුවට විශ්‍රාම ගැන්වීම’

එම නියෝගය සේම යුද හමුදාව පරිපාලනමය ක්‍රමවේද ඔස්සේ දුර්වල කෙරෙන තවත් යුද හමුදා චක්‍රලේඛ තුනක් පිළිබඳවයි අද අප රට හමුවේ තබන්නේ. 2016 ජුනි 29 වැනිදා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්. ජේ. වල්ගම විසින් නිකුත් කොට ඇති ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන් විශ්‍රාම ගැන්වීම’ යන චක්‍රලේඛය ඒ අතර වන පළමුවැන්නයි. මෙහිදී තමන්ට හිමි නිවාඩු අවසන්ව ගොස් දින 14 ඉක්මවා නිවාඩු ගන්නා නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට නියෝග කර තිබෙනවා. යුද සමයේත්, මේ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙරත් සිදු වූයේ ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන්’ පොදු සමා කාලයක් ලබා දී ගෙන්වා ගෙන වෙනත් දඬුවම්වලට ලක් කර නැවත සක්‍රිය හමුදා සේවයට එක්කර ගැනීමයි. නමුත් දැන් සේවයෙන් විශ්‍රාම ගැන්වීමට පියවර ගැනෙනවා. මේ යටතේ විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරින් 100කට ආසන්න පිරිසක් විශ්‍රාම ගැන්වීමට නියමිතයි.

‘අණදෙන නිලධාරී වරම් අහිමියි’

දෙවැන්න තමයි, 2016 ජුනි 10 වැනිදා නිකුත් කළ අණදෙන නිලධාරියකු ලෙස සුදුසුකම් ලැබීමේ උපරිම වයස් සීමාව අවුරුදු 45 කිරීම. දැනට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 24යි. ඔහු පුහුණව ලබා අධිකාරීලත් නිලධාරියකු බවට පත්ව වසර 22ක් සම්පූර්ණ කළ පසුව තමයි අණදෙන නිලධාරියකු ලෙස ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නේ. නමුත් මෙසේ අවුරුදු 45ක උපරිම වයස් සීමාවක් දැම්මාම අවුරුදු 23-24න් හමුදාවට බැඳුණු කිසිදු නිලධාරියකුට අණදෙන නිලධාරියකු බවට පත් වීමට නොහැකි වෙනවා. එසේ මෙමගින් අණදෙන නිලධාරියකු බවට පත්වීමට නොහැකි වන නිලධාරියකුට හමුදාව තුළ ඊළඟ උසස්වීම ද අහිමි වෙනවා. නිදසුනක් ලෙස අවුරුදු 45 ඉක්ම වූ මේජර්වරයකුට අණදෙන නිලධාරි තනතුර විතරක් නොවෙයි ඊළඟ උසස්වීම වන ලුතිනන් කර්නල් තනතුර ද ඉන් එහාට තිබෙන උසස්වීම් ද අහිමි වෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස මානුෂික මෙහෙයුමේදී සුවිශාල සේවයක් කළ වයස 45 ඉක්මවූ මේජර් නිලය දරන නිලධාරීන් සෑහෙන පිරිසක් අණදෙන නිලධාරී තනතුර මෙන්ම ඊළඟ උසස්වීම ද අහිමිව කලකිරීමට පත් වෙනවා. ඊළඟට ඔවුන් අවුරුදු 22ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම යාවි. එමගින් හමුදාවට ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුල දක්‍ෂ නිලධාරීන් රැසක් අහිමි වේවි.

‘එක වරදට දඬුවම් දෙකක්’

තුන්වන චක්‍රලේඛය තමයි නිලධාරීන්ගේ පෙර වැරදි සමාලෝචනය කර යළි දඬුවම් කිරීම. යම් නිලධාරියකු යුද්ධ හමුදා පනත යටතේ යම් වරදක් සිදුකර තිබුණා නම්, ඊට ඔහු දඩුවම් ලබා තිබුණත් එම දඬුවම් යළි සමාලෝචනය කර යළි දඬුවම් ලබා දීම මේ මගින් සිදු කෙරෙනවා. මේ යටතේත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය ගණනක් විශ්‍රාම ගැන්වීමට නියමිතයි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අපේ රණවිරුවන්ට ඉර හඳ යට තිබෙන කවර දඬුවමක් හෝ ලබා දී හමුදාවෙන් විශ්‍රාම ගන්වා ‘ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පරදවා ජය ලැබූ හමුදාවක්’ නිකම්ම නිකම් ප්‍රදර්ශනාත්මක හමුදාවක් බවට පත් කිරීමටයි. මේ සියල්ල සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ මංගල සමරවීර ඇමතිවරයා සම අනුග්‍රාහකත්වය ලබා දුන් 30/1 යෝජනාවලියට අනුවයි. එහි සඳහන්ව ඇති පරිපාලනමය ක්‍රමවේද මගින්, මානුෂික මෙහෙයුමට දායක වූ මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දී මෙරට හමුදාව දුර්වල කොට, දුර්මුඛ කිරීමයි මේ සිදු වන්නේ.

‘හිතේ අමාරුවට කීව කතාවක් නොවෙයි’

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමපු මේ ආණ්ඩුව යුද ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ කොමදෝරු ඩී.පී.කේ. දසනායක, ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් හිරේ දමා ගෙන සිටිනවා. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද ඉන්නේ හිරේ. මේ විදියට බුද්ධි අංශ හිරේ දමා, හමුදාව දුර්වල කර, දුර්මුඛ කරන මේ ආණ්ඩුව දැන් ‘කොටියට ඕනේ නැගිටින යුගය’ නිර්මාණය කර දී අවසන්. අද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනේ’ කියා ප්‍රසිද්ධියේ කීමට තරම් හයියක් ලැබී තිබෙනවා. උතුරෙන් කොටි නිල ඇඳුම්, ආයුධ හමු වෙමින් තිබෙනවා. බුද්ධි අංශ සහ අපේ ආරක්‍ෂක හමුදා දුර්වල වන විට බෙදුම්වාදීන් යළි තම අරමුණ වෙනුවෙන් වේගයෙන් ක්‍රියාත්මක වන ආකාරයයි මේ පෙනෙන්නේ.

සෝවියට් හමුදාව ඇතුළු මිත්‍ර හමුදා හිට්ලර්ගේ නාසි හමුදාවන් පරදවා ජය ගනු ලැබුවේ 1945 දීයි. 1945 දී රුසියාවේ මොස්කව් නගරයේ ලෙනින්ගේ පිළිරුව අසල ‘නාඳුනන සොල්දාදුවාගේ’ ස්මාරකයක් ඉදි වුණා. එදා සිට අද වන තෙක් ඒ ස්මාරකය ඉදිරිපිට අවුරුදු 73ක් තිස්සේ 24 පැය පුරා පහනක් දැල්වී තිබෙනවා. සැමදා ඒ ස්මාරකය ඉදිරිපිට ජනතාව පුෂ්පෝපහාර දක්වනවා. ඒ විරුවන් රුසියාව තුළ අඛණ්ඩව සැමරෙනවා. නමුත් අපේ රටේ අවුරුදු 10ක් ගියෙත් නැහැ, ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පරදවපු අපේ රණවිරුවන්ගෙන් පලිගන්නවා. ඔවුන් සමරන්න රාජ්‍ය උත්සව නැහැ. ඒ වෙනුවට ත්‍රස්තවාදීන්ට වන්දි පිරිනැමෙනවා. ඔවුන්ව ‘මහා විරුවන්’ ලෙස උත්කර්ෂයට නැගීමට ඉඩ දී බලා සිටිනවා. ජාතියකට මෙහෙම අකෘතඥ විය හැකිද?

මේ තත්වය හැකි ඉක්මනින් වෙනස් කිරීමට රණවිරුවන් ලබා දුන් නිදහසින් ඵල ලබන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස් අත්වැල් බැඳගත යුතුයි.”

මෙම මාධ්‍ය හමුවට සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්දන ලියනගේ සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් රාජිත යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More