දේශීය පුවත්

බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමමින්, රණවිරු දඩයමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින්, උතුරේ කොටි සැමරුම් පැවැත්වීමට ඉඩ දෙමින්, යුද හමුදාව 25%කින් කප්පාදු කරමින්, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් ‘කොටියට ඕනා නැගිටින යුගය’ නිර්මාණය කළ මේ ආණ්ඩුවේ, මන්ත්‍රීවරියක ‘එල්ටීටීඊය යළි ගොඩනඟන්න ඕනෙ’ යැයි කීම හිතේ අමාරුවට කළ ප්‍රකාශයක් ලෙස සැහැල්ලුවෙන් බැහැර කිරීමට ඉඩ නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ (04) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදු කළ සාහසික ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට එම පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ පාර්ලිමේන්තුවේදී උත්සාහ කළා. ඔහු කීවේ ‘ඒ ප්‍රකාශය එයා හිතේ අමාරුවට කළ එකක්’ කියලයි. ‘ගොන්ජන්’ මහතා මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටට තමන්ගේ ගොන්කම පෙන්වමින් පවසා සිටියේ ‘ඒක විජයකලා මේ දවස්වල එයාගේ ආතතිය නිසා කළ ඒකක්’ කියලයි.

‘මේ විජයකලාගේ ප්‍රකාශය ඉතා ගැඹුරු එකක්’

ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද, ඒ වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගතව ඇති එල්ටීටීඊ සංවිධානය ‘යළි ගොඩනැගිය යුතුයි. එයට උතුරේ බලය ලබාදිය යුතුයි’කියා පැවසීම ත්‍රස්තවාදයට අනුබල දීමක් – ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොවෙයි ද? එසේ කිරීම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. එහි වගන්ති දෙකක් උල්ලංගණය කිරීමක්. ත්‍රස්තවාදයට අනුබල නොදෙන බවට ප්‍රතිඥා දී පාර්ලිමේන්තුවේ අසුන් ගත් විජයකලා අද එම ප්‍රතිඥාව කඩා තිබෙනවා. ඒ නිසා කථානායකවරයා වහාම ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. කථානායකවරයා සුපුරුදු පරිදි මේ සිදුවීමත් යටපත් කරන්න හදනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායමට විපක්‍ෂ නායකකම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා නොදී පිළිවෙලින් මන්ත්‍රීවරුන් 16ක් සහ 6ක් ඉන්නා කුඩා පක්‍ෂ දෙකකට ඒ ධුර ලබා දීමට තරම් මේ කථානායකවරයා ‘සාධාරණ’ වී තිබෙනවා. කථානායකවරයා සැමවිටම මෙවැනි ගැටළුවලට විසඳුම් නොදී මඟ හැර ගියා සේම මෙතැනදීත් මගහැර යාවි. නමුත් අපි ශ්‍රී ලාංකික ජන සමාජය ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ගැඹුරෙන් සොයා බැලිය යුතුයි. මේක අහඹු ප්‍රකාශයක් වීමට කිසිසේත්ම බැහැ.

‘බෙදුම්වාදීන්ගේ සල්ලිවලින් ආපු රූකඩ ආණ්ඩුව’

මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් හා දෙමළ ඩයස්පෝරාව විසිනුයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව, බුරුමය ඇතුළු රටවල් තුනක පැවැති ආණ්ඩු ගෙදර යැවීමට ඩොලර් මිලියන 600ක් පමණ යොදවා ඇති බව දැන් ප්‍රසිද්ධ කාරණයක්. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යැවීමට මේ අය වැය කර ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 30,000ක් පමණ වෙනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාව ද ඒ සඳහා මුදල් යොදවා තිබෙනවා. ඒ විදිහට සල්ලි පොම්ප කරලයි මේ ‘රෙජීම් චේන්ජ්’ එක කළේ. එහෙම බලයට ආපු මේ ආණ්ඩුව ගෙවී ගිය වසර තුන පුරාම කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් හා දෙමළ ඩයස්පෝරාය සතුටු කිරීම. මේ දෙගොල්ලගේම සතුටට කාරණයක් වන්නේ මේ රට බෙදාවෙන් කිරීම. ඒක තමයි මේ යහපාලකයන්ට දී ඇති ලොකුම කොන්ත්‍රාත්තුව. ගෙවී ගිය වසර තුන තුළ ඒකට අවශ්‍ය පියවර තමයි මේ ආණ්ඩුව දිගින් දිගටම ගත්තේ.

‘කොටියා නැගිට්ටපු හැටි’

ඒ අනුව බුද්ධි අංශ රණවිරුවන් හිරේ දැමීම, රණවිරු දඩයමට අවශ්‍ය පනත් සම්මතකර ගැනීම, හමුදාව 25%කින් කප්පාදු කිරීම, යුද උපායිකව වැදගත් හමුදා කඳවුර ඉවත් කිරීම ආදිය සිදු කරමින් ආපු මේ ආණ්ඩුව එතැනින් නතර වූයේ නැහැ. මියගිය කොටි ත්‍රස්තවාදීන් මේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකට ‘අපේ දරුවෝ’ වුණා. දැන් විජයකලා මහේෂ්වරන් කියනවා ‘එල්.ටී.ටී.ඊය යළි ගොඩනඟන්න ඕනෙ. උතුරේ බලය ඔවුන්ට දෙන්න ඕනෙ.’ කියලා. දෙස් – විදෙස් බෙදුම්වාදීන්ගේ හයියෙන් බලයට ආපු මේ ආණ්ඩුව කොටියාට උවමනා වූ නැගිටින යුගය නිර්මාණය කර දී අවසන්. ඒ අනුව දැන් කොටි නිල ඇඳුම්, ආයුධ හමුවෙමින් තිබෙනවා. මෙවැනි ප්‍රකාශ ද ඇසෙමින් තිබෙනවා. මේ සියල්ල අන්තර් සම්බන්ධයක් සහිතව සිදුවන දේවල්. විජයකලාගේ ප්‍රකාශය හිතේ අමාරුවට, ආතතියට කළ එකක් බව කියන්නේ කොටියාට නැගිටීමට අතහිත දෙන ලාංකික ජනතාව හතුරු පිරිස් විතරයි. විජයකලා මහේෂ්වරන්ලාට අද උවමනා වී ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ලේ ගලා යන සමාජයක් යළි ඇති කිරීමටයි. මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ලාංකේය ජනතාව මීට විරුද්ධව අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර සිටිනවා, මේ පිළිබඳව වහාම පියවර ගෙන රට තුළ ත්‍රස්තවාදයට ප්‍රවර්ධනයට ඉඩ නොදෙන ලෙසට.

‘මත්තල විකුණන්න සියල්ල සූදානම්’

ඊයේ (03) ඉන්දියානු මහා කොමසාරිස්වරයා තම රටේ ආයෝජකයන් පිරිසක් සමඟ මත්තල ගුවන් තොටුපළේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතව සිටියා. හම්බන්තොට වරාය චීනයට විකුණා දැමුවාට පසු හම්බන්තොට වරාය අසල ප්‍රදේශයේ බලය චීනය තහවුරුකර ගෙන තිබෙනවා. දැන් අපේ නාවික හමුදාවට හම්බන්තොට වරායේ ජැටිය භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. ඇමෙරිකාව සහ ඉන්දියාව දකිනවා, චීනය හම්බන්තොට වරාය සතු කර ගැනීම තමන්ට තර්ජනයක් කියා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා මත්තල ගුවන්තොටුපළ අත්පත්කර ගැනීමට. ඒ අනුව මේ ආණ්ඩුව නොවටිනා බව පෙන්වීමට වී වේළීමට යොදාගත් මත්තල ගුවන්තොටුපළ මේ වසර අවසන් වීමට ප්‍රථමයෙන් තුට්ටු දෙකට ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට සූදානම්ව සිටිනවා.

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමි වූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. එය මේ රටේ ජාතික ආරක්‍ෂාවට සහ ජනතාවගේ සාමකාමී පැවැත්මට දැඩි සේ බලපාවි. ඒ තත්වයට රට පත් කරන ‘මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට’ එරෙහිව සියලු සාමකාමී ශ්‍රී ලාංකික ජන කොටස් අත්වැල් බැඳ ගත යුතුයි”

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය, කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී චන්න පැතුම් පීරිස් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More