ව්‍යාපාරික පුවත්

මේ දිනවල ලංකාවට ඉන්දියාවෙන් කජු මද ගෙන ඒම නිසා කජු මදවලට නිසි මිලක් නොමැති වීමෙන් දේශීය කජු නිෂ්පාදකයෝ පීඩාවට පත්ව සිටිති. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් බහුතරයක් ජනතාව කජු කර්මාන්තයේ නියැළෙමින් සිය ජීවිකාව ගෙනයන අතර දේශීය කජු මද මිල පහත වැටීමෙන් බොහෝ දෙනෙක් මේ වනවිට අසරණව සිටිති. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවෙන් කජු මද හා ලෙලි කජු ගෙන්වීම නවතා දේශීය කජු කර්මාන්තය රැකගැනීමට උදවු කරනා ලෙසය.

මේ වනවිට යම් යම් කුඩා කර්මාන්ත කජු ව්‍යාපාරිකයන් මෙන්ම මධ්‍ය පරිමාණ කජු ව්‍යාපාරිකයන්ද තමන් වසර ගණනක් කරගෙන ආ කජු කර්මාන්තය කරගෙන යෑමට නොහැකිව එම ව්‍යාපාරයන් නවතා දමන තැනට අද වනවිට පත්ව ඇත. මාස දෙක තුනකට පෙරදී ලෙලි කජු කිලෝව රුපියල් 600ට තරම් මිල වූ අතර ලෙල්ල ඉවත් කර කුරුටු ඉවත් කරන ලද කජු මද කිලෝවක් රුපියල් 2,800 – 3,000 අතර මිලකට අලෙවි විණි. නමුත් ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එකවර කජුමද කිලෝවක මිල රුපියල් 1,800 – 2,000 මිලට අඩුවීම නිසාත් වැස්සත් සමග ලෙලි කජු කිලෝව රුපියල් 350 – 400 අතර මිලකට පැවැතීම නිසාත් පැන නැඟුණ බාධාවන් සමඟ ගම්බද ජනතාව විසින් කරගෙන ආ කජු කර්මාන්තයට කණකොකා හැඩීමට පටන්ගෙන ඇත.

වයඹ පළාතේ වනාතවිල්ලුව, පල්ලම, කිවුල, වාරියපොළ, මහව යනාදී ප්‍රදේශයන්හි කජු වැඩි වශයෙන් සෑදෙන අතර එම ප්‍රදේශයන්ට ගොස් කජු ව්‍යාපාරවල යෙදෙන පිරිස් ලෙලි කජු මිලදී ගනිති. එම මිලදී ගන්නා කජු වයඹ පළාතේ සහ බස්නාහිර පළාතේ සමහර කජු හිඟ ප්‍රදේශයන්ට ගෙන ගොස් කජු මද නිෂ්පාදනය සිදුකරති.

බොහෝ ගම්බද කාන්තාවන් සතියකට ආදායමක් උපයාගන්නේ මෙම කජු තැළීම, කුරුටු සහිත කජු මද සුද්ද කිරීම ආදියෙහි නිරත වීමෙනි. නමුත් මේ වනවිට ඉන්දියාවෙන් අඩු මිලට කජු මද ගෙන්වීම නිසා කජු මද මිල පහත බැසීමත්, කජුමද අතිරික්කයක් ඇති වීමෙන් කජු මද අලෙවිය නතර වීමත් නිසා ගම්බද කජු ව්‍යාපාරිකයන්ට මෙන්ම නගරබද කජු අලෙවිකරුවන්ද අසීරුතාවට පත්ව සිටිති. ඉන්දියාවෙන් ආනයනය කරනා අර්තාපල්, ලූනු වැනි කන්ටේනර් පෙට්ටි තුළ සඟවා ලංකාවට කජු මද එවන බවට ඇතැම් කජු ව්‍යාපාරිකයන් චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මෙලෙස හොර පාරෙන් කජු මද ගෙන්වීමෙන් රජයට කිසිදු බද්දක් නොලැබෙන බවයි. කජු මදවලට නිසි මිලක් නොමැති වීමෙන් කජු කර්මාන්තය නවතා දමන තැනට පත්ව සිටිනා කජු කර්මාන්තයේ නියැළෙන කිහිපදෙනකු ඒ පිළිබඳ මෙසේ පැවැසුහ.

කජු මද මිල පහළ බැසීමෙන් වසර ගණනක් තමන් විසින් කරගෙන ආ කර්මාන්තයට පැන නැඟී ඇති ගැටලු පිළිබඳ පහළ දිය‍ෙදාර ප්‍රියන්ත ඒකනායක මහතා මෙසේ පැවැසුවේය.

මම අවුරුදු 20ක්, 30ක් විතර කාලයක ඉදලා මේ රස්සාව කරන් එන්නේ. දැන් කජු රස්සාවෙන් හොඳක් නෑ. දැන් ලෙලි කජු මිල ඉහළයි. මද මිල පහළයි. කොළඹ වෙළෙඳපොළට ඉන්දියාවෙන් කජු මද ගෙනල්ලා දානවා මද කිලෝවක් රුපියල් 1,800 – 2,0000 වගේ මිලට. අපිට යන නිෂ්පාදන මිල එක්ක කජු මද කිලෝවක් රුපියල් 2,000ට දෙන්න අමාරුයි. මගේ ගාවත් 10ක් විතර වැඩ කරනවා. ඒ අයටත් දැන් රස්සාව කරන්න විදියක් නෑ. අපිට මදවලට මිලක් නැති හින්දා. මේ ගමේ ගොඩක් අය කරන්නේ කජු රස්සාව, නමුත් රටින් කජු ගේන හින්දා කජු මදවලට මිලක් නෑ. ඒ හින්දා හුඟදෙනෙක්ට මේ වෙද්දී ජීවත් වෙන්න ගැටලු ඇතිවෙලා. තියෙනවා.

අපිට කුරුටු ඉවත් කරපු කජු මද කිලෝවකට රුපියල් 2,500ක් වත් නැත්නම් වැඩක් නෑ. දේශීය කජු නිෂ්පාදකයෝ අමාරුවේ වැටෙන නිසා රටින් කජු ගෙන්වන එක නවත්තලා දෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ. කජු නිසා ගම්වල කීයක් හරි හොයාගත්ත මිනිස්සුන්ට ජීවත් වෙන්න මඟක් නැති වෙනවා. මේ තත්ත්වය හින්දා. ජගයම පදිංචි රංජිත් ප්‍රේමසිරි මහතා වසර ගණනක සිට කරගෙන ආ කජු කාර්මාන්තය කරගෙන යෑමට නොහැකිව අසරණව සිටිනා ව්‍යාපාරිකයෙකි. මේ ඒ මහතා අප සමඟ කියූ කතාවයි.

මම අවුරුදු 20ක් විතර වෙනවා කජු කර්මාන්තයේ නියැළිලා. කජු වාරයේදී තමයි කජුවලින් අපිට කීයක් හරි හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මේ සැරේ කජු මද අලෙවි කරගන්න අපිට කිසිම ක්‍රමයක් නැති වුණා. දැනට මාසෙක විතර කාලයක ඉඳලා අපි කජු කර්මාන්තය කරගන්න විදියක් නැතුව ඉන්නේ. පසුගිය කාලේ වැස්සත් එක්ක ලෙලි කජුත් ගොඩක් සවුත්තු වුණා. අපි අමාරුවෙන් හරි කජු තළලා කජු මද හදාගත්තොත් ඒක අපිට කෙහෙමවත්ම අලෙවිකරගන්න විදියක් නැතිවෙනවා. මද කාලයක් තියෙද්දී පුස් අල්ලන්න බලනවා. එහෙම වුණොත් අපිට ලොකු පාඩුවක් වෙන්නේ. කජු මද යන්තමින් හරි අලෙවි කරගන්න හැකියාවක් තිබුණානම් අපිට මේ කර්මාන්තය දිගටම කරගෙන යන්න තිබුණා. නමුත් මේ තියෙන තත්ත්වය උඩ කජු කර්මාන්ත නවත්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

ආර්.ජී. සෝමාවතී මහත්මියද වසර කිහිපයක් සිට කජු තැළීමේ කාර්යේ නියැළෙන්නියකි.

ඇයටද දැන් මෙම කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ ඇය කජු කර්මාන්තයට අත්ව ඇති ඉරණම පිළිබඳ දැක්වූ අදහසයි.

මම ලෙලි කජු ගෙඩි 1,000ක් තලනවට රුපියල් 35ක් විතර දුන්න කාලේ ඉඳලා කජු තළන්නේ. දැන් අවුරුදු 25ක් විතර කජු තළනවා. දැන් වේළපු කජු ගෙඩි 1,000ක් තළනවට රුපියල් 10ක් දෙනවා. සුමානේ පොළට යන්න, සමිති සමාගම්වලට දාන්න කීයක් හරි හොයාගන්නේ ඉතින් මේ රස්සාවෙන් තමයි. කජු මද විකුණගන්න අමාරු හින්දා ඉතින් අපිට මේ රස්සාවත් නැතිවෙයිද දන්නෑ. මේ ගම්වල හුඟදෙනෙක් දැන් මේ කර්මාන්තය නවත්වලා තියෙන්නේ කජු මද විකුණගන්න අමාරු හින්දා. ඉස්සරහටවත් මේ කජු මද අලෙවිය හොඳ අතකට හැරුණොත් ඉතින් අපිට කරදරයක් නැතිව මේ පුරුදු රස්සාව කරන්න ඉන්න පුළුවන්.

කුලියාපිටිය – කිරින්දව පදිංචි එස්.එච්.එම්. නයිසර් මහතාද ලෙලි කජු අලෙවියෙන් ජීවිතය ගැටගසා ගත් ව්‍යාපාරිකයෙකි. නමුත් කජු මදවලට මිලක් නොමැති නිසා ලෙලි කජු විකිණීමට නොහැකිව ඒ මහතාද මේ වනවිට අසරණව සිටිති. නයිසර් මහතා කජු ව්‍යාපාරයට අත්ව ඇති ඉරණම පිළිබඳ මෙසේ කියා සිටියේය.

මම අවුරුදු 15ක් විතර කාලයක ඉඳලා කජු ගෙනල්ලා කජු මද නිෂ්පාදනය කරන අයට අලෙවි කරනවා. දැන් ලෙලි කජු ගන්න ගොඩක් අය කැමැති නෑ කජු මද අලෙවිය හොඳ තත්ත්වයක නැති හින්දා හුඟක් මද නිෂ්පාදනය කරන අය දැන් අමාරුවේ වැටිලා තියෙන්නේ. කජු ව්‍යාපාරයෙන් විවිධ රැකියා අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. කජු කපන අය. කජු කුරුටු සුද්ද කරන අය වගේ මේ හැමෝටම දැන් මේ රැකියා අවස්ථා නැතිව යෑමේ අවදානමක් ඇති වෙලා තියෙනවා රටින් කජු මද ගෙන්වා ගැනීමත් සමඟම. අපි හැමෝම කියන්නේ රටින් කජු මද ගෙන්වන එක නවත්වලා දේශීය කජු නිෂ්පාදකයන්ව රැකගන්න කියලයි.

වසර 6ක කාලයක සිට කජු කර්මාන්තයේ නියැළෙන උතුරාවල පදිංචි ජී.ජී.ආර්. මැණිකේ මහත්මියද කජු මද මිල පහළ බැසීම පිළිබඳ මෙසේ සිය අදහස් පළ කළාය. මාත් අවුරුදු 6ක් විතර මේ කජු කර්මාන්තය කරන්නේ. මාස 3ක් විතර එක දිගට වැස්ස හින්දා ලෙලි කජු වේළගන්නත් බැරි වුණා. හතර දෙනෙක් විතර මා ගාවත් වැඩ කරනවා. වැස්ස හින්දා මේ ටිකේ කජු වේළගන්න බැරිව වැඩ ටිකක් නැති වුණා. දැන් කජු මද කිලෝවක මිල රුපියල් 2,000ට වගේ යන්නේ.

ඉතින් ලෙලි කජු මිලයි අපි වෙන මහන්සියයි එක්ක බැලුවම ටිකක් අමාරුයි. මේ දවස්වල කජු ව්‍යාපාරය කරන් යන්න. කජු මද මිල තව ටිකක් වැඩි වුණොත් ඉතින් දේශීය කජු කර්මාන්තයට හොඳ හෙටක් තියෙයි. ගම්බද අපි ඉතින් මේ වගේ ස්වයං රැකියා කරලා කීයක් හරි හොයගන්නේ.

mawubima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More