(ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයාට යැවූ ලිපිය)
ගරු අමාත්‍යතුමනි,
කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ නීත්‍යනුකූල සංරක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීම මගින් රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අභියෝග කිරීමට ඉඩ දීමේ වරද සහ එම ක්‍රියාවලිය මගින් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූඨ උත්සාහය වැළැක්වීම සඳහා අමාත්‍යවරයා ලෙස නිසි පියවර ගැනීමට අසමත් වීම පිළිබඳ ව යි.
ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි 1933 මැයි 12 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ස්තූපයක් ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත කුරුන්දි විහාර සංකීර්ණයට අයත් අක්කර 78 ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. එසේ ම 1924 දී නිකුත් කළ අඟලේ සිතියම මගින් ස්තූපයක නටබුන් දක්වමින් සැතපුමකට අධික විෂ්කම්භය සහිත භූමියක් සලකුණු කර ඇත. එම සිතියම තුළ කෝවිලක හෝ දේවාලයක නටබුන් සලකුණු කර ඇත්තේ විහාර භූමියෙන් පිටත කුරුන්දි වැව ආශ්‍රිත ව ය. ස්තූපය සලකුණු කර ඇති භූමි ප්‍රදේශය තුළ එවැනි සලකුණක් යොදා නැත. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යෝජිත අක්කර 230 භූමිය බෞද්ධ උරුමයක් ලෙස කළමනාකරණය කිරීම සඳහා 2019 සිට 2021 දක්වා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.
අට්ඨකථාවන්හි ‘කුරුන්දක’ යන නමින් මෙම බෞද්ධ සිද්ධස්ථානය ඉදි කරනු ලබන්නේ බල්ලාටනාග රජු විසින් ක්‍රිස්තු වර්ෂ 100-103 කාලයේ දී බව සඳහන් වේ. මහාවංසයට අනුව ක්‍රිස්තු වර්ෂ 1055-1110 කාලයේ දී පළමුවැනි විජයබාහු රජතුමා විසින් එම විහාර සංකීර්ණය තවදුරටත් සංවර්ධනය කර ඇත. හෙන්රි පාකර්ගේ 1886 වාර්ෂික වාර්තාව මගින් මෙම ආරම්භක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ව සඳහන් කරන්නේ “කාලය විසින් සිදු වී ඇති විනාශයට වඩා ප්‍රදේශයේ පදිංචියට පැමිණි දෙමළ වැසියන් විසින් මෙම නටබුන් විනාශ කර ඇත” යනුවෙනි.
ඒ අනුව කුරුන්දි විහාර භූමිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ජාතික උරුමයක් බව ඔබතුමාට විශේෂයෙන් වටහා දීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය සහ පුරාවිද්‍යා ආඥා පනත මෙන් ම 1990 පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කිරීම සහ එම භූමියේ සංවර්ධන කටයුතු බාධාවකින් තොර ව සිදු කෙරෙන බව සහතික කිරීම ඔබතුමාගේ පරම වගකීමකි.
එසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල සැලසුම්වලට අනුව සිදු කරනු ලබන ස්තූපය ආශ්‍රිත සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානය නමැති ලියාපදිංචි දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයන් විසින් දිගින් දිගට ම බාධා කරන ලදි. එම ක්‍රියාවලිය තුළ සාමය කඩවීම් වැළැක්වීමේ නාමයෙන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගනු ලැබූ තීන්දුවලට අදාළ ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තමාට නීතිය මගින් පවරා ඇති වගකීම නිසි ලෙස ඉටු කර නොමැති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එසේ ම මහේස්ත්‍රාත් අධිකරණයට පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවලට අදාළ ව නිර්දේශ ලබා දීමේ බලයක් නැති බව ද ඔබතුමාට විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. සාමය කඩවීමේ තත්ත්වයක් තිබේ නම් සිදුකළ යුත්තේ රටේ නීතියට අනුව සිදුකරන සංවර්ධන කටයුතු නැවැත්වීම නොව එම කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම බව කුඩා ළමයකුට වුව ද වටහාගත හැකි ය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි ඔබතුමා අමාත්‍යවරයා ලෙස ඔබගේ පරම වගකීම ඉටු කිරීමට ඉතා කණගාටුදායක ලෙස අසමත් වී ඇත.
ඒ ආකාරයට පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් සහ සාමය කඩවීමේ තත්ත්වය නිර්මාණය කරනු ලබන හඳුනාගත් දේශපාලන නායකයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකිරීම මගින් ඔබගේ පාලනාධිකාරිය විසින් ඉතා දුර්වල සහ වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇත. එසේ ම කඩාකප්පල්කාරී පිරිස් විසින් රටේ නීතිය තම අතට ගැනීමේ ඉතා ම නරක පූර්වාදර්ශයට අමතර ව ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූට අරමුණකින් කටයුතු කරන බව ඔබතුමා වැන්නකුට වටහාගත නොහැකි යැයි අපි විශ්වාස නොකරමු.
ඊට අමතර ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අධිකරණයට සහ නීතිපතිවරයාට අදාළ තාක්ෂණික වාර්තා ලබා නොදී පමා කරනු ලබන්නේ ඔබතුමාගේ බලපෑම නිසා බවට ඔබතුමාට එරෙහි ව මහජනයාගෙන් එල්ල වන චෝදනාව ඉතා ම බරපතල බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එම චෝදනාවලින් නිදහස් වීම හෝ ඒවා නිවැරදි කිරීම සිදු කළ හැක්කේ නීතිය අනුව තමාට පැවරී ඇති මූලික වගකීම ඉටු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දීම මගින් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ඔබතුමාගේ පියාගේ දේශපාලන උරුමයට සහ ඔබගේ අනාගත දේශපාලන පැවැත්මට හානිදායක අයුරින් ඔබතුමා විසින් තම අසමත්කම ප්‍රදර්ශනය කරනු ලබන්නේ යම් බාහිර බලපෑමක් නිසා බව ඉතා පැහැදිලිය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ අසමත්කමට හේතුව ඔහුගේ පරිපාලන දුර්වලතාවලට අමතර ව ඔබතුමාට එල්ල වන බාහිර බලපෑම් ඔබතුමා මගින් එම නිලධාරියාට ප්‍රේෂණය වන නිසා බවට ඉතා සාධාරණ ව උපකල්පනය කළ හැකි ය.
එම උපකල්පනය වඩා සාධාරණ වන්නේ නීතියට අනුව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ගැසට් කර ඇති භූමියක නීත්‍යනුකූල නොවන ආකාරයට කෝවිලක් ඉදි කිරීමට ගනු ලබන උත්සාහය ඔබ විසින් පුද්ගලික ව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම නිසා ය. පූජාභූමියේ කඩා බිඳ දමා ඇති කොරවක් ගලක් පෙරළා එය හින්දු කෝවිලක නටබුන් යැයි යම් පිරිසක් කූඨ අරමුණක් සහිත ව අවස්ථා කිහිපයක දී පූජාවක් පැවැත්වූ පමණින් එම ස්ථානය කෝවිලක් ඉදි කිරීමට ඉඩ දිය යුතු බවට කල්පනා කිරීම ඉතා නිවට දේශපාලන ප්‍රතිපත්තියක් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ජාත්‍ය්‍යන්තර නඩු තීන්දු අනුව සිතා මතා වූ අරමුණක් සහිත ව හෝ එසේ නොමැති ව වැරදි හඳුනාගැනීමක් නිසා එසේ වැඳුම් පිදුම් කිරීම මගින් එම ස්ථානයට නිත්‍යනුකූල ව පිළිගැනීමක් ලැබෙන්නේ නැත. එසේ නම් නීතිය නමා කඩා කඩාකප්පල්කාරීන්ට යටත් වීමට යමකු තීරණය කරන්නේ නම් ඒ බාහිර දේශපාලන බලපෑමක් නිසා බව ඉතා පැහැදිලි ය.
වර්තමානයේ පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය තුළ දේශීය දෙමළ දේශපාලන පක්ෂවලට සහ දෙමළ ඩයස්පෝරාවට මෙන් ම අරගලකරුවන් ලෙස හඳුන්වා ගන්නා යම් කඩාකප්පල්කාරී පිරිස්වලට විශාල කේවල් කිරීමේ බලයක් ලැබී ඇති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එම බලය යොදාගනිමින් ඔවුන් විසින් මේ දිනවල ඉටු කරමින් තිබෙන අසාධාරණ කොන්දේසි මහජනයාට නම් රහසක් නොවේ. ඒ අනුව ඔබගේ හැසිරීම පැහැදිලි කරගැනීමට ද මහජනයාට අපහසුතාවක් නැත. එවැනි තත්ත්වයක් තුළ සාධාරණත්වය, සාමය, සමගිය හෝ වෙනත් කුමන හෝ සංකල්පයක් යටතේ නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට ඔබට ඉඩක් ඉතිරි වී නැති බව පිළිගැනීමට සිදු වේ. ඊට හේතුව එම බෞද්ධ සිද්ධස්ථාන භූමියෙන් පිටත හැකි තරම් හින්දු කෝවිල් තිබීම සහ අවශ්‍ය නම් අවසර ඇති ව හෝ නැති ව නව කෝවිලක් එම භූමියෙන් පිටත ඉදි කිරීමට එරෙහි ව කිසිවකු විසින් කිසිදු මතයක් පළ නොකිරීම ය.
එවැනි තත්ත්වයක් තුළ වහා ම මැදිහත් වී පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට නිසි උපදෙස් ලබා දෙමින් දැනට නීත්‍යානුකූල ව ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු අඛණ්ඩ ව කරගෙන යෑම සඳහා නිසි පියවර ගන්නා ලෙස අපි ඔබතුමාට මතක් කර සිටිමු. ඔබතුමා ඊට අසමත් වන්නේ නම් රටේ නීතිය අනුව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ද අපි සැලසුම් කරමින් සිටින බව ඔබතුමාට දන්වා සිටිමු. අවසන් වශයෙන් ඔබගේ අසමත්කම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව වගකීම් පැහැර හැරීමක් පමණක් නොව ජාතියේ මහා උරුමය පාවාදීමක් ලෙස ද ඉතිහාසය විසින් අර්ථකථනය කිරීමට ඉඩ නොතබන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අත්සන් කළේ
1. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි – ජාතික මහජන සභාව
2. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි- ජාතික – විද්වද් භික්ෂු සංසදය
3. මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි- – ශ්‍රී ලංකා චීන සහයෝගිතා සංගමය
4. ශාස්ත්‍රපති මහාචාර්ය පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි – ථේරවාද විමර්ශන සභාව
5. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා – ජාතික සංවිධාන එකමුතුව
6. මතුගම සෙනෙවිරුවන් මහතා – උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය
7. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
8. අරුන් සිද්ධාර්ථන් – යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානය
9. නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා – දේශප්‍රේමී ජාතික පෙරමුණ
10. සංජය ෆොන්සේකා මහතා – පුරවර පුරෝගාමියෝ සංවිධානය
11. විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මිය – ජයග්‍රහණය කොළඹ සංවිධානය
12. කුලතුංග රාජපක්ෂ මහතා – සිංහල වීර විදහන සංවිධානය
13. කෝසල පත්තිනිගේ මහතා – සිසු සෙවණ සංවිධානය
14. ඉන්දික සහබන්දු මහතා – ජාතික අවශ්‍යතා පිළිබඳ ආයතනය
15. එස්. කේ. ඒ. එස්. සේනානායක මහතා – රේගු බෞද්ධ සංගමය
16. සාලිය හෙට්ටිආරච්චි මහතා – ධර්මපාල පරපුර සංවිධාන
17. ඉංජිනේරු නිමල් විජේතුංග මහතා – දේශප්‍රේමී විද්වත් සංසඳය
18. නීතීඥ මධුමාලි අල්විස් මිය – යුක්තිය හා පරමාධිපත්‍යය සඳහා වූ ජනතා හඬ
19. අජිත් සෙනෙවිරත්න මහතා – සුපිරිසිදු රටක් රටට හෙටක් සංවිධානය
20. මංජුල වීරසිරි මහතා – ප්‍රගතිශීලී තරුණ පෙරමුණ
21. ආචාර්ය වසන්ත පුංචිහේවා මහතා – තිසබි සංවිධානය
22. ප්‍රශාන් රාජපක්ෂ මහතා – පරපුරක උරුමය සංවිධානය
23. කර්නල් අනිල් අමරසේකර මහතා – ජාතික ඒකාබද්ධතා කමිටුව
24. යසස් ධර්මදාස මහතා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව
25. ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා – බොදු කිතුනු සහොදරත්වයේ හඞ
26. වෛද්‍ය ඉන්ද්‍රජිත් කමලදාස මහතා – මහජන රාජ්‍ය සභාව
27. ජනක බෝධිනන්ද මහතා – ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය
28. විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා – මහජන යුතුකම් කේන්ද්‍රය
29. ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා – රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තිකයන්ගේ සංගමය
30. ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා – ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමය 31. සේනාරත්න ද සිල්වා මහතා – 56 දරුවෝ සංවිධානය
32. වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා – මව්බිම ලංකා පදනම
33. චම්පා සේනානයක මිය – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය (ප්‍රංශ ශාඛාව)
34. බුද්ධික ද සිල්වා මහතා – සම්ප්‍රදායානුකූල පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය
35. සුනිල් පතිරණ මහතා – විදේශ ශ්‍රමික ජාලය
36. ජයන්ත වෙදසිංහ මහතා – රට වෙනුවෙන් ධබැ ඵ්බ
37. චමන්ලාල් වීරරත්න මහතා – ඹරඉ්බ ක්‍සඑස‘ැබි සංවිධානය
38. ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න මහතා – සීහූම් මංසල සංවාද මණ්ඩපය
39. සමන් වික්‍රමසිංහ මහතා – අපි කූඹියෝ සංවිධානය
40. ප්‍රියංගා කොතලාවල මිය – ලක් දිරිය කාන්තා පදනම
41. අනුරාධ තෙන්නකෝන් මහතා – ජාතික ගොවිජන එකමුතුව
42. වසන්ත අල්විස් මහතා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය
43. ඒ.ඒ. ආරියදාස – ජාතික පුනරුද ව්‍යාපාරය
44. ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතා (උපදේශක)
45. විශ්‍රාමික ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් මහතා (උපදේශක)
46. විශ්‍රාමික බි්‍රගේඩියර් අතුල ද සිල්වා මහතා (උපදේශක)
මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර
2022.11.01
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...