දේශීය පුවත්

කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

විජයකලාගේ තප්පුලෑමෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බව පැවසූ රණතුංග මහතා දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින් ද පිටුවහල් කළ යුතු බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ දී අද (03) පැවැති ජනහමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 වැනි දා මේ රටේ බලය අල්ලන කොට ඒ අයට සහයෝගය දීපු ප්‍රධාන බලවේගවලින් එකක් තමයි දෙමළ ඩයස්පෝරාව. තවත් ප්‍රධාන බලවේගයක් වු‍ණේ කොටි හිතවාදී බටහිර රටවල්. ඒ බලවේග දෙකම මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මූලික අරමුණක් ඉටුකර ගැනීම සඳහායි.

ඒ අරමුණ තමයි 2009 මැයි මාසේ 19 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී අවසන් හුස්ම හෙළපු කොටි ත්‍රස්තවාදයට නැවත පණ පෙවීම. කොටි හිතවාදීන්ගේ උපකාර ඇතිව බලයට ආපු වර්තමාන ආණ්ඩුව ගෙවුණු වසර තුනේම කළේ මේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා පෙරළා උපකාර කිරීමයි. පසුගිය වසර තුන තුළ රට තුළ ඇති වුණ වෙනස දිහා ‍බලනකොට ඒක පැහැදිලි වෙනවා.

ආණ්ඩුව බලයට ආපු ගමන් මුලින්ම කළේ ත්‍රස්තවාදය නිමා කරන්න දායකත්වය දීපු මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අන්තර්ජාතික යුද අධිකරණයට කැඳවාගෙන යාමට උත්සාහ කිරීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පදයට නටමින් විදෙස් විනිසුරුවන් ලවා යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අවසර දුන්නා.

ඊළඟට යුද විජයග්‍රහණය සැමරීමට කොළඹ පැවැත්වුණ විජයග්‍රහණයේ පෙළපාලිය නතර කළා. ඒ ගැන ඇහුවම රාජිත සේනාරත්න කියන ඇමැතිවරයා කිව්වේ ඒ පෙළපාලිය නිසා දෙමළ ජනතාවගේ හිත් රිදෙන බවයි. හැබැයි අදටත් උතුරේ දෙමළ දේශපාලනඥයන් මැයි 19 වැනි දා කොටි සැමරුම් පවත්වනවා. එතකොට සිංහල මිනිස්සුන්ගේ හිත් රිදෙන්නේ නැත්ද කියලා අපි රාජිතගෙන් අහනවා.

යුද්ධයට සක්‍රීය දායකත්වය දුන් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන්න ගත්තා. හිටපු කොටි සාමාජිකයන්, සිංහල කොටියන් දෙන කටඋත්තරවලට අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් පවා අද අත්අඩංගුවට අරන් රඳවාගෙන ඉන්නවා. මේක හරියට කුඩුකාරයෙක්ගේ සාක්ෂිකයක් මත පොලීසියේ ඕ. අයි. සී අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්.

අපේ ආරක්ෂක අංශ දඩයම් කරමින්, උතුරේ කඳවුරු ඉවත් කරමින් යන ආණ්ඩුව කොටි ත්‍රසත්වාදයට යළි හිස ඔසවන්න පැහැදිලිවම උදව් උපකාර කරමින් සිටිනවා. මීට අවුරුදු දෙකකට වගේ ඉස්සර මම ප්‍රංශයේ ඉන්න වෙලාවක කොටි හිතවාදීන් ආධාර එකතු කරන හැටි බලන්න ගියා. ඒ ගැන ජනාධිපතිවරයාට ලිපියක් පවා ලිව්වා.

හැබැයි ජනාධිපතිවරයා ඒ සියල්ල නොදැක්කා වගේ හිටියා. අපි කට කැඩෙනකම් කිව්වා උතුරේ කොටි ආයෙත් නැගිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. හැබැයි ආණ්ඩුවට ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා. ආණ්ඩුවට ඒවට විරුද්ධ වෙන්න බැරි වෙලා තියෙන්නේ එදා යහපාලන ආණ්ඩුව පිහිටුවන්න ගත්තු උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න වෙලා තියෙන නිසයි.

පහුගිය දවස්වල උතුරේ ප්‍රදේශ කිහිපයකම කොටි ආයුධ හමුවුණා. ආණ්ඩුව ඒවා යටගහලා කොටි හිතවාදීන්ට සුදු හුණු ගෑවා. අපිට බරපතළ සැකයක් තියෙනවා මේ කොටි හිතවාදීන් සංවිධානය වෙන්නේ විජයකලා නෝනාගේ අනුදැනුම මතද කියලා. මේ ගැන වහාම රහස් පොලීසි විමර්ශනයක් පැවැත්විය යුතුයි.

එහෙම නැතුව දකුණේ ජනතාව නිකරුණේ බනිනවා කියලා සිරිසේන මහත්තයාට දුක හිතිලා උතුරට ගිහින් විජයකලා නෝනා‍ව සනසලා ආවට වැඩක් නැහැ. අපි දොස් කියන්නේ සාධාරණ හේතු ඇතිවයි. වහාම මේ කොටි හිතවාදිනිය ගැන ඉහළම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඊයේ විජයකලා ඇමැතිවරියගේ කටින් එළියට පැන්නේ ආණ්ඩුව දීලා තියෙන පොරොන්දුවම බව පැහැදිලියි. ආණ්ඩුවේ ඇමැතිවරියක් කැබිනට් ඇමැතිවරුනුත් දෙන්නෙක්ම ළඟ තියාගෙන, ජනපති නිල මෙහෙවර රාජ්‍ය උත්ස‍වයේ දී කොටි ත්‍රස්තවාදය නැවත අවශ්‍යයි කියලා කියනවා නම් ආණ්ඩුවේ කොටි හිතවාදීත්වය ගැන වෙනක් සාක්ෂි වුවමනා නැහැ.

හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දෙනවා රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට කොහොමද විජයකලා නෝනා ඊළමක් පිහිටුවන්න කතා කරන්නේ? මම අහනවා වජිර අබේවර්ධන, තිලක් මාරපන මහත්වරුන්ගෙන් කොන්දක් කියලා නාමයක්වත් තමුන්නැහෙලට නැද්ද කියලා. කොන්දක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට විරෝධය පාලා රැස්වීමෙන් නැගිටලා එන්න තිබුණා.

ජනාධිපතිවරයා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා තවම මේ ගැන දන්නවා කියලා. මොකද එතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. ඒ හින්දා අපේ කතා පත්තරෙන් හරි කියවලා සිරිසේන මහත්තයෝ මේ ඊළාම් නෝනව ආණ්ඩුවෙන් එලවලා දාන්න.

ඒ වගේම මේ නෝනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් පක්ෂ‍යෙනුත් එලවලා දාන්න. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි කොට් පැරැද්දුවේ ආයෙත් නැගිටින්න පුළුවන් විදියට නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා දැන් මැරුණු කොටිත් නැගිටින්න අරගෙන.

– ප‍්‍රදීප් අනුර කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More