පුරවැසි කොලම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සහ දෙමළ ඩයස්පෝරාව පමණක් නොව පළාත් සභා තනතුරු රස වැටුණු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දේශපාලනඥයින් විසින් බලපෑම් කරනු ලබන්නේ එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන නිසාය. ඊට හේතුව පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු පළාත් සභාවලට ලබා දී ඇති ෆෙඩරල් බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් ව්‍යවස්තා බාධක පනවා තිබීම ය. එසේනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම සඳහා එම ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ යුතුය.

නමුත් එවැනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් ප්‍රකාශිතව ගෙන ඒමට ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලනඥයකුට පිටකොන්දක් නැත. ඊට හේතුව 13 වැනි සංශෝධනයට එරෙහිව 1987 දී මහජනයා ජීවිත පූජා කරමින් දැක්වූ ප්‍රචණ්ඩ විරෝධය නිසා බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා එවැනි සංශෝධන සම්මත කළ යුත්තේ මහජනයා අඳුරේ තබා මන්ත්‍රීවරුන් ගොනාට ඇන්දවීම සහ බිලිබාගැනීම මගිනි. ඒ සඳහා හොඳම ක්‍රමවේදය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නාමයෙන් ව්‍යවස්ථා “පිට කවරයක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී 13 බලාත්මක කරන සංශෝධන කූඨ ආකාරයට ඇතුල් කිරීමය. ඒ මගින් මහජනයා පමණක් නොව අධිකරණය ද නොමඟ යැවීමට අවස්ථාව ලැබේ. එවැනි කූඨ ක්‍රියාවක් සිදු කරන ආකාරය පිළිබඳව 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී වත්මන් අධිකරණ ඇමති එදා අධිකරණ ඇමතිව සිටියදී ගිනස් පොතට ඇතුල් කළ හැකි ආකාරයට කුප්‍රකට ආදර්ශයක් ලබා දෙමින් පෙරහුරුවක් පවත්වා ඇත.

මෙවර 22 වැනි සංශෝධනය සම්මත කිරීමේදී ඊට එරෙහිව පවතින ප්‍රධාන බාධකය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය සමනය කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 19 වැනි සංශෝධනයේ පෙරහුරුව යථාර්තයක් බවට පත් කිරීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා කළ යුත්තේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරයෙකු වීමට බාධා පමුණුවන වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉවත් කරගන්නා බවට පොරොන්දුවක් ලබා දීම පමණි. අවශ්‍ය වුවහොත් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවිය හැක. ඒ සඳහා ඉන්දියාව පමණක් නොව දෙමළ ඩයස්පෝරාව ද නිර්ලෝභී ව ඉදිරිපත් වනු ඇත. ජාතියේ අවාසනාවට එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් විජේදාස රාජපක්ෂ මහතා විසින් කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන 13 බලාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් මෙසේ දැක්විය හැක ඒ සියල්ල 154 වගන්තියට අයත් වේ.

පළමුවැන්න 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වශයෙන් හේතුවන ආණ්ඩුකාරවරයා ගේ බලය මහ ඇමතිට යටත් කිරීමය. පවතින ප්‍රතිපාදන අනුව ඒ සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ මහ ඇමතිවරයාගේන් විමසා ආණ්ඩුකාරවරයා පත් කිරීම සඳහා ප්‍රතිපාදන පැනවීමය. එසේ නම් කළ යුත්තේ 154B(2) වගන්තිය ට “මහ ඇමැති විමසා” යන වචන දෙකක් එකතු කිරීමය.

දෙවැන්න ආණ්ඩුකාරවරයාගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම පළාත් අමාත්‍ය මණ්ඩලයේ බලයට යටත් කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(C) වගන්තියේ “සෘජුව හෝ හරහා” යන වචන දෙක ඉවත් කර ඒ වෙනුවට “උපදෙස් මත” යන වචන දෙක ඇතුළු කිරීමය. එවිට ආණ්ඩුකාරවරයා විසින් තම විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුවය.

තුන්වන සංශෝධනයක් මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල තවදුරටත් කප්පාදු කළ හැක. එනම් ආණ්ඩුකාරවරයා සතු අභිමතානුසාරී බලය සහ පළාත් සභාවක් විසුරුවා හැරීමේ හෝ කල් දැමීමේ හෝ කැඳවීමේ බලය අහෝසි කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(B)8සහ 154(F)2 යන වගන්ති දෙක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයට එම සංශෝධන ඇතුළු කර තිබුණි.

හතරවැන්න පළාත් ප්‍රඥප්තියක් ආපසු හරවා යැවීම සඳහා ආණ්ඩුකාරවරයා සතු බලය අහෝසි කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(H)3 වගන්තියේ අවසානයට “ආණ්ඩුකාරවරයා විසින් ප්‍රඥප්තිය පිළිගණු ඇත” යන වචන කිහිපය ඇතුළු කිරීම සහ 154(H)4 වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමය.

පස්වැන්න සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමය. එහි අරමුණ ජාත්‍යන්තර අධිකරණය දක්වා බෙදුම්වාදී ගැටුම රැගෙන යන අවස්ථාවේදී පරමාධිපත්‍ය බලය පළාතක ජනතාවට බෙදී ගොස් තිබෙන බව ඔප්පු කිරීමය. පළාත් ආණ්ඩුවකට වෙන්ව යාමේ අයිතිය ලැබෙන්නේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් ඇති තත්ත්වයක් යටතේ එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙන තත්ත්වයක් යටතේය. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ ඔස්ටි්‍රලියාව එදිරිව පෘතුගාලය යන නඩු තීන්දුව ඊට සාක්ෂි දරයි. නමුත් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම යනු බරපතළ සංශෝධනයකි. ඒ නිසා සිදුවිය හැක්කේ 154(G)3 වගන්තියට පළාත් ලැයිස්තුවට අමතරව “සමගාමී ලැයිස්තුව” යන වචන දෙක ඇතුළු කිරීමය. ඊට අමතරව එය තවදුරටත් තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන්නේ සමගාමී ලැයිස්තුවට අදාලව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට අභිමතානුසාරී බලය පවරන 154(G)5(a) වගන්තියේ අඩංගු වචන කිහිපයක් ඉවත් කිරීම ය.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම සංශෝධන කිහිපය ගෙන ඒම සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ අතීත අත්දැකීම් අනුව ගතවනු ඇත්තේ විනාඩි පහළොවක පමණ කාලයකි. ඉවත් කළ යුතු වගන්ති සියල්ල එක් වගන්තියක් ලෙස ඉදිරිපත් කළ හැක. කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවට අධිකරණ අමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදී ඇත. එහෙත් එය ඉටු නොකරන්නේ කුමන හෝ යටි අරමුණක් නිසා බව උපකල්පනය කළ හැක. ඒ ආකාරයට ව්‍යවස්ථා මගෝඩියක් සිදුකළහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසානය ආරම්භ වනු ඇත. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉන්දියාවෙන් බලපෑම් එල්ලවනු ඇත. ඉන්පසු පොලිස් ප්‍රඥාප්ති, ඉඩම් ප්‍රඥාප්ති, මහ ඇමති අරමුදල් ප්‍රඥාප්ති ආදිය සම්මත කරමින් මධ්‍යම රජය සහ උතුරු සහ නැගෙනහිර පළාත් සභා අතර ගැටුම ආරම්භ කෙරෙනු ඇත. එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙන අතර ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණය දක්වා රැගෙන යනු ඇත. රටට ආදරය කරන මන්ත්‍රිවරුන් 75 දෙනෙකු සංවිධානාත්මකව ක්‍රියාකළහොත් මෙම අනතුර වළක්වාගත හැක.

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
2022.10.20



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More