එදා 1987දී දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරයේ සන්නද්ධ කණ්ඩායම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තෘප්තිමත් කළ නොහැකි වන්නේ මූලික වශයෙන් ඒ මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහි නොවන නිසාය. ඊට හේතු වූයේ එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී පැන නැගුණු ප‍්‍රචණ්ඩ මහජන විරෝධය නිසා ජනමතවිචාරණයකින් සම්මත කිරීමට සිදුවන සංශෝධන ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් ඇති වීම ය. ඒ නිසා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව ව්‍යවස්ථා බාධක කිහිපයක් පනවා ඇත.
ඒ අනුව ”13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරනු!” යන ඉල්ලීම මගින් බලකරනු ලබන්නේ අදාළ ව්‍යවස්ථා බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කිරීම සඳහාය. යුද්ධය පැවති කාලයේදී මධ්‍යස්ථ යයි හඳුන්වාගත් බෙදුම්වාදී දේශපාලන පක්ෂ මෙන්ම යම් වාමාංශික පක්ෂ ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබීය. ඊට ශක්තිය ලබා දෙනු ලැබුවේ ප‍්‍රභාකරන්ගේ තුවක්කුව මගිනි. ප‍්‍රභාකරන්ගේ තුවක්කුව නිහඬ කිරීමෙන් පසුව ‘බෙදුම්වාදී සහාය දිවීමේ යෂ්ටිය‘ යුද්ධය අවසන් කර දින 3ක් ඇතුළත එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි-මූන් විසින් අතට ගනු ලැබීය.
එතැන් සිට තුවක්කුව වෙනුවට ‘මානව හිමිකම් කෙවිට‘ භාවිතා කරමින් බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය ඉදිරියට තල්ලූ කළ බව රහසක් නොවේ. ඒ අනුව 2009 සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකාවේ රජය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා එකඟ විය. ඊට මුල් වූයේ බෙදුම්වාදී න්‍යායාචාර්යවරයෙක් ලෙස පෙනී සිටි එවකට ජිනීවාහි නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා ය. එතැන් සිට එම පොරොන්දුව ඉටු කිරීම සඳහා වසර 3ක් කල් ලබා දුන් අතර යුද අපරාධ චෝදනා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම අත්හිටුවනු ලැබීය. ඒ වෙනුවට මහලේකම් බන් කි-මූන්ගේ පුද්ගලික අවබෝධය සඳහා යැයි පවසමින් චෝදනා ගොනු කිරීම සඳහා දරුස්මාන් කමිටුව නමින් ඊනියා විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය. එසේ වුවත් මානව හිමිකම් සමුළුව තුළ බෙදුම්වාදීන්ගේ මූලික ඉල්ලීම වන අවසානයේදී බෙදී වෙන් විය හැකි ආකාරයට ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ යෝජනාවට ප‍්‍රමුඛතාව හිමි විය. ඊට බලකිරීම සඳහා බන් කි-මූන් යුද අපරාධ චෝදනා අවිය මානාගෙන සිටිය ද පත්තු කරන්නට උත්සාහ කළේ නැත.
කෙසේවෙතත් දයාන් ජයතිලක පොරොන්දු වූ ආකාරයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට ඉන්දියාවේ පීඩනයට මුහුණ දීම සඳහා 13 ප්ලස් හෙවත් 13ට එහා දෙයක් දීමට තමා කැමති බවට ඉන්දියාව සමඟ කේවල් කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ පාලනය විසින් ඉන්දියාවේ මෙන් සෙනෙට් සභාවක් පත් කිරීම මගින් පාර්ලිමේන්තුව දුර්වල කර පළාත් සභා ශක්තිමත් කිරීමේ යෝජනාව ඉදිරිපත් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට 13 ප්ලස් නාමකරණය කරනු ලැබුවේ ඉන්දියානු නිලධාරීන් විසිනි. නමුත් 13ට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා කරනු ලබන බලපෑම ඒ මගින් සාමනය නොවීය. ඒ අනුව දයාන් ජයතිලක විසින් ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා 2012 සිට මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් යෝජනා සම්මත කිරීම ආරම්භ විය. එහි උච්චතම අවස්ථාව 2014දී සම්මත කළ 25/1 යෝජනාවයි. එම යෝජනාවට අනුව 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව 30/1 යෝජනාව ඉදිරිපත් විය.
එම 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් සහ ඊට පුරෝගාමීව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ මහකොමසාරිස් වාර්තාව මංගල සමරවීර එවකට විදේශ අමාත්‍යවරයා විසින් විසින් ස්තුතිපූර්වකව පිළිගනු ලැබීය. එතැන් සිට එම යෝජනාව මගින් ඉදිරිපත් කළ කොන්දේසි එකින් එක සම්පූර්ණ කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ විය. ඒ අනුව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා බෙදුම්වාදී බලවේග විසින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක් ආරම්භ විය. ඒ අතර යුද අපරාධ චෝදනා ගොනු කිරීම, චෝදනාවලට දඬුවම් කිරීම, චූදිතයන් පිටුවහල් කිරීම සහ අපරාධකරුවන් සහ තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ අන්‍යනෝන්‍ය සහයෝගීතාව ආදී අවශ්‍යතා සඳහා පනත් 4ක් සම්මත කරනු ලැබීය. ඊට අමතරව ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම සඳහා යාන්ත‍්‍රණ සකස් කළ අතර තෝරාගත් සිදුවීම් කිහිපයක් පිළිබඳව අධිකරණ ක‍්‍රියාමාර්ග ද ගනු ලැබීය. නමුත් 2019 සිට ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් එම ක‍්‍රියාවලිය අත්හිටවූ අතර 30/1 යෝජනාව සඳහා ලබාදුන් සම අනුග‍්‍රහය ඉවත් කරගනු ලැබීය. නමුත් යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභා කිරීම සඳහා කරුණු දැක්වීමක් හෝ ස්වභාවික යුක්තිය යටතේ පිළිතුරු බැඳීමක් හෝ සිදුකළේ නැත.
එම තත්ත්වය තුළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නැමති ”චෝදනා කර්මාන්ත ශාලාව” බෙදුම්වාදී බලවේගවලට උවමනා ආකාරයට ක‍්‍රියාත්මක නොවීම නිසා 46/1 යෝජනාව මගින් චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය. කෙසේවෙතත් රට තුළ ආර්ථික සහ දේශපාලන අර්බුදය උත්සන්න වීම තුළ බෙදුම්වාදී බලවේගවලට එම තත්වයන් ප‍්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුවේ අත ඇඹරීම සඳහා නව වටයකින් අවස්ථාව නිර්මාණය වී ඇත. ඒ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ නාමයෙන් ගෙන එනු ලබන 22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ වුවමනාව සඳහා යොදාගත හැකි බවට සමාජයේ දැනුම්වත් පාර්ශ්ව අතර බරපතළ සැකයක් ජනිත වී ඇත. ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්ව එසේ නොකරන බවට පැහැදිලි සහතිකයක් ලබා නොදෙන තත්ත්වයක් යටතේ එම සැකය තවදුරටත් සාධාරණීකරණය වේ. එම සැකය හුදු දේශපාලන මතයක් නොව හේතු සහිත සාධාරණ සැකයක් බව ඉතා පැහැදිලිය. ඒ සඳහා හේතු රාශියක් ඉදිරිපත් කළ හැක.
පළමුවැන්න, ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවේ කේවල් කිරීමේ බලය හීනවීමය. ජාත්‍යන්තර පීඩනයට විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව විසින් සෘජුව සහ මානව හිමිකම් කවුන්සිලය හරහා වක‍්‍රව එල්ල කරනු ලබන පීඩනයට යටත් වීමේ ප‍්‍රවණතාවක් විවිධ පැතිකඩවලින් දැකගත හැකිවෙයි.
දෙවැන්න, මෙම අවස්ථාවේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සාධාරණීකරණය කිරීමට හැකියාව ලැබී ඇති බැවින් ඊට අනුව මේ වන විට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමය. අතීත අත්දැකීම් අනුව ව්‍යවස්ථා සංශෝධන පිට කවරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහජනයා සහ අධිකරණය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පවා නොමඟ යවමින් කාරක සභා අවස්ථාවේ දී ඕනෑම සංශෝධනයක් ඊට ඇතුළත් කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම 22 වැනි සංශෝධනය මගින් නැවත බලාත්මක කිරීමට උත්සාහ කරන 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී ඒ පිළිබඳ ඉතාම නරක පූර්වාදර්ශයක් දැකගත හැකිවිය.
තුන්වැනි හේතුව, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවට දේශපාලන පක්ෂ බහුතරයක් විසින් අදහස් දැක්වීමය. නමුත් 19 වැනි සංශෝධනය බලාත්මකව තිබූ වසර පහක කාලය තුළ මහපොළොවේ සැබෑ ලෙසම ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි වීම පිළිබඳව ඔවුහු නිහඬ වතක් අනුගමනය කරති. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩතුරාවට මුවාවී ව්‍යවස්ථා මගෝඩි සිදුකිරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී ඇත.
හතරවැනි හේතුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල වීම ය. ඊට අමතරව 46/1 යෝජනාව මගින් පිහිටු වූ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය මගින් එක් රැස් කළ තොරතුරු ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ රටවලට ලබාදෙන බවට නිශ්චිත ප‍්‍රකාශයක් සිදුකිරීම මගින් එම බලපෑම තවදුරටත් තහවුරු කිරීමය.
පස්වැනි හේතුව මෙවර 51/5 යෝජනාව මගින් 46/1 යෝජනාව ඉක්මවා යන බලපෑමක් සිදු නොකිරීමය. ඒ අනුව ඉන්දියාවේ මැදිහත්වීම මත යම් එකඟතාවක් මත එය සිදු කළ බවට සාධාරණ සැකයක් මතු කළ හැක. විශේෂයෙන්ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හදිසි කර්තව්‍යයක් ලෙස 6 සහ 7 දිනවල විවාදයට ගන්නා බවට එනම් 51/5 යෝජනාව ඡුන්දයට ඉදිරිපත් කිරීමට පෙර ප‍්‍රකාශයක් සිදුකිරීම මගින් අදාළ පාර්ශ්වවලට සුවිශේෂී පණිවුඩයක් ලබා දීම නිසා එම සැකය තවදුරටත් තහවුරු වේ.
මීට පෙර ඩයස්පෝරාව සමග සම්බන්ධ විය යුතු බවට සහ එවැනි එකඟතාවක් පිළිබඳ ඉඟි පළ කරනු ලැබීය. මානව හිමිකම් සමුළුව තුළ යම් එකඟතාවයක් නිල වශයෙන් ඇති කර ගත හැක්කේ 2009දී දයාන් ජයතිලක මහතා සිදු කළ ආකාරයට ප‍්‍රතියෝජනාවක් මගිනි. දෙවන ක‍්‍රමය යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම මගින් එකඟතාවක් ඇති කර ගැනීමය. නමුත් එම ක‍්‍රම දෙක ප‍්‍රකාශිතව අනුගමනය කළ යුතු බැවින් මහජන විරෝධය එල්ල වීම වැළැක්වීම සඳහා රජය පැත්තෙන් වඩා සුදුසු ක‍්‍රමවේදය වන්නේ රහසිගතව එකඟතාවක් ඇති කර ගැනීමය.
ඒ අනුව 22 යොදාගනිමින් 13 බලාත්මක කරන බවට එකඟතාවක් ලබාදී යුද අපරාධවලට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මකවීම වළක්වා ගැනීමේ හැකියාවක් ඇතැයි ආණ්ඩුවේ බලධාරීන් කල්පනා කළා විය හැක. යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ආණ්ඩුව විසින් බැහැර කිරීම නිසා එකඟතාවක් ඇතිකර ගැනීමේ ආරක්ෂක ප‍්‍රවේශය අනුගමනය කරන බවට සාධාරණව උපකල්පනය කළ හැක.
හයවැනි හේතුව, ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා රට තුළට ඩොලර් එවීමට තමා සූදානම් බව සහ ඒ සඳහා ස්වයං පාලනයක් ලබාදීමේ ක‍්‍රියාවලිය පූර්ණ ලෙස සිදුකළ යුතු බවට ඩයස්පෝරාව විසින් කොන්දේසි පැනවීම ය. ආණ්ඩුව මුහුණ දෙන අර්බුදය තුළ එසේ රටට උදව් කරන ලෙස ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව විසින් ඉල්ලා සිටීම නිසා ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා ප‍්‍රබල බලපෑමක් ඇති වේ.
හත්වැනි හේතුව, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීමෙන් පසුව ඩයස්පෝරාව මුණ ගැසී ලබාදුන් පොරොන්දුව සහ කොතලාවල ආරක්ෂක පීඨයේ උත්සවයකදී සිදුකළ ප‍්‍රකාශය ලෙස හුවා දැක්විය හැක. පළමු අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා මහ ඇමතිවරුන් විසින් ලබාදුන් යෝජනා සලකා බලන බව ය. එම යෝජනා මගින් ප‍්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමතිවරයාට යටත් කිරීම මගින් 13 වැනි සංශෝධනය බලවත් කිරීමය. ඒ සඳහා වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සඳහා යොදාගත හැක්කේ 22 වැනි සංශෝධනය බව ඉතා පැහැදිලිය. මේ වන විට 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාළව 154 වගන්තියට කිසිදු සංශෝධනයක් ඉදිරිපත් කර නොමැති බැවින් එය කළ හැක්කේ කාරක සභා අවස්ථාවේදී උපක‍්‍රමශීලීව ය. දෙවන අවස්ථාවේදී එනම් කොතලාවල ආරක්ෂක පීඨයේ දී සඳහන් කළ ආකාරයට උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය හෙවත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය ලෙස හඳුන්වන බෙදුම්වාදී නායකයින්ගේ අපේක්ෂා ඉටු කිරීමට ජනාධිපතිවරයා ඉතා කෙටි කාලයකදී පියවර ගනු ඇත. ඔවුන්ගේ මූලික අපේක්ෂාව සහ ඉල්ලීම වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සිදු කළ හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණි.
අටවැනි හේතුව, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාධාරණීකරණය කිරීම සඳහා මහා නායක හිමිවරුන්ට පවා අයුතු බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වීම සහ එතුමා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කරමින් දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා පියවර ගන්නා බවට ප‍්‍රකාශ කිරීමය. ජනතාවගේ අපේක්ෂා ලෙස හඳුන්වන බෙදුම්වාදීන්ගේ මූලික අපේක්ෂාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පූර්ණ පෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමය. ඊට අමතරව විජයදාස රාජපක්ෂ මහතා විසින් 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී ලබාදී ඇති කුප‍්‍රකට ආදර්ශය අනුවිකරක සභා අවස්ථාවේදී 154 වගන්තියේ අන්තර්ගත 13ට එරෙහිව පවතින ව්‍යවස්ථා බාධක ඉවත් කිරීම සඳහා සංශෝධන දෙක තුනක් ඇතුළු කිරීම‘ යනු ඔහුගේ පැත්තෙන් ඉතා සරල ව්‍යායාමයකි.
නවවැනි හේතුව, යම් දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම වාමාංශික පක්ෂ, බලය බෙදීම නැමැති සංකල්පය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයෙන් වියුක්තව විග‍්‍රහ කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා කෙටි මාර්ග ඇතැයි කල්පනා කිරීමය. ඒ නිසා කුමන වන්දියක් අනාගතයේදී ගෙවීමට සිදු වුවද මෙවර 22ට සහ ඊට කාරක සභා අවස්ථාවේදී එකතු කළ හැකි සංශෝධනවලට පක්ෂ වීමේ සම්භාවිතාවක් තිබීමය.
දසවැනි හේතුව වන්නේ, පරාජය වීමේ ඉඩකඩ නිසා ඔක්තෝබර් 20 සහ 21 දිනට විවාදය කල් දැමීමට පෙර එනම් 7 වැනිදා තුන්වන වර කියවීමට පෙර කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන සියල්ල ලිඛිතව, භාෂා ත‍්‍රිත්වයෙන්ම ඉදිරිපත් කරන බවට මන්ත‍්‍රීවරුන් ලබා දුන් පොරොන්දුව කඩ කිරීමය. මේ වනතුරු අදාළ සංශෝධන මන්ත‍්‍රීවරුන්ට ලබා දී නොමැති අතර ඒවා රහසක් ලෙස තබා ගන්නේ කාරක සභා අවස්ථාවේදී ව්‍යවස්ථා මගඩියක් සිදු කිරීම සඳහා බවට සාධාරණව තර්ක කළ හැක.
එකොළොස්වැනි හේතුව, ඉන්දියාවේ බරපතළ මැදිහත් වීමය. 51 වැනි මානව හිමිකම් සැසියේදී ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා 13 වැනි සංශෝධනය බලාත්මක කළ යුතු බවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල නායකයින්ට බලපෑම් කිරීම පිළිබඳ අතීත අත්දැකීම් අනුව සහ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ප‍්‍රවණතා නිසා ඉන්දියානු මැදිහත්වීම මගින් සැකය වර්ධනය වේ.
දොළොස්වැනි හේතුව, එකොළොස්වැන්න සමඟ බැඳී ඇත. එනම්, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයට ‘ද්විත්ව පුරවැසි තහනම‘ ඉවත් කරන බවට කැරට් අලයක් ලබාදී ඔවුන් නමා ගැනීමේ හැකියාවක් පැවතීමය. ඊට යම් පක්ෂ විරුද්ධ විය හැකි වුවත් පොදුජන පෙරමුණේ සහාය ලැබුණහොත් විශේෂ බහුතරය ලබාගත හැක.
දහතුන්වැනි හේතුව වන්නේ, සමගි ජන බලවේගය විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 154 වගන්තියේ අඩංගු අතුරු වගන්ති දෙකක් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන ඇතුළු කිරීමය. ඒ මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම හරහා 13 වැනි සංශෝධනය බලාත්මක කිරිම සිදුවේ. ඒ අනුව එම සංශෝධන විජේදාස රාජපක්ෂ මහතාගේ 22 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළු කළහොත් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධ නොවන බව උපකල්පනය කළ හැක.
දාහතරවැනි සහ බරපතළම හේතුව ඊනියා අරගලය මගින් මහා සංඝරත්නයට පැනවූ මානසික බාධකවලින් ගැලවීමට උන්වහන්සේලා මේ වන තුරු අසමත් වීමය. මීට පෙර ව්‍යවස්ථා සංශෝධනවලදී බෙදුම්වාදී සංශෝධන ඉදිරිපත් කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ නායකයින්ට මානසික බාධක පැනවීමට මහනායක හිමිවරුන් ප‍්‍රමුඛ බලපෑම් කළ හැකි සංඝ පීතෘවරුන් සමත් විය. ඒ නිසා 22 සංශෝධනය තුළ ව්‍යවස්ථා මගඩියක් මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ විශාල ඉඩකඩක් තිබෙන බව සාධාරණව තර්ක කළ හැක. එම චෝදනා ආණ්ඩුවේ සහ විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක් විසින් බැහැර නොකිරීම සහ කූඨ සංශෝධන නොකරන බවට සහතිකයක් ලබා නොදීම නිසා සැකය තවදුරටත් වර්ධනය වේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...