දේශීය පුවත්

ඉඳුරාගාරේ හිමියෝ ජාතික එකඟතාවයකින් යුතුව විසඳුම් ඉදිරිපත් නොකර අර්බුදය උත්සන්න වීමට ඉඩ හැරීම මගින් ශ්‍රී ලංකාව ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ වරද පිළිබඳව පක්ෂනායකයන්ට ලිඛිතව කරුණු දැක්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. උන්වහන්සේ සියලුම පක්ෂ නායකයින් වෙත අදාල ලිපිය යවමින් ජාතික මහජන සභාව විසින් ඉදිරිපත් කරන ලද හැට එක් වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් යම් හෙයකින් පක්ෂ නායකයින් එම යෝජනාවලිය පිළිගන්නේ නම් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කිරීමේ ක්‍රියාවලිය සඳහා උන්වහන්සේලාගේ දායකත්වය ලබාදීමට සූදානම් බව ද දන්වා සිටිති.

උන්වහන්සේ පක්ෂ නායකයන්වෙත යැවූ සම්පූර්ණ ලිපිය.

ජාතික එකඟතාවයකින් යුතුව විසඳුම් ඉදිරිපත් නොකර අර්බුදය උත්සන්න වීමට ඉඩ හැරීම මගින් ශ්‍රී ලංකාව ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ වරද පිළිබඳව

ඔබතුමන්ලා ඉතා හොඳින් දන්නා පරිදි මේ වන විට ගතවන සෑම දිනකම ආර්ථික අර්බුදය විවිධ මානයන්ගෙන් උත්සන්න වෙමින් පවති. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එකම විසඳුම ණය ලබා ගැනීම ලෙස පෙන්වමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුපස හඹා ගියද එම අපේක්ෂා යම් පමණකට හෝ කෙටිකාලීනව ඉටු නොවන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. ඔවුන් සඳහන් කරන්නේ සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම් සලකා බලන බවය. එසේ ලබා දීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 2.9 ක් වසර 4 ක කාල පරාසයක දී ය. ඒ අනුව පවතින අර්බුදයට ඒ මගින් විසඳුම් නොලැබෙන බව සාමාන්‍ය පෙළ සිසුවෙකුට වුවද තේරුම් ගත හැක. ඊට අමතරව ඉන්දියාව මේ වන විට ලබා දී ඇති ඩොලර් බිලියන 3.8 ක ණය පහසුකම් ප්‍රමාණයට අමතරව තව දුරටත් ණය ලබා දිය නොහැකි බව දන්වා ඇත.

එසේම මේ වන විට චීනයේ එක්සිම් බැංකුවට පසුගිය අප්‍රේල් මාසයේදී ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 78 ක පොළී වාරිකයක් ඒකපාර්ශවීය නොගෙවා සිටීම නිසා අප රට එම බැංකුවේ ණය පැහැර හරින්නන් ගේ ලැයිස්තුවට ඇතුල් වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් රට බංකොලොත් වී ඇති බව ප්‍රකාශ කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර අප රටේ ගරුත්වය පහළ වැටී ඇත. තවද ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ච් බැංකුවට පසුගිය ජූලි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 250ක් ස්වෛරී බැඳුම්කර වලට අදාල ගෙවීම් පැහැර හැරීම නිසා එම බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව අධිකරණයට පැමිණිලි කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ තවදුරටත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය “රෝල් කිරීම” මගින් කෙටිකාලීනව අර්බුදයට මුහුණ දීමේ ඉඩකඩ ද ඇහිරී ඇත.

එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව ඔලුගෙඩි සහ පුටු මාරු කරමින් අර්බුදයට විසඳුම් සෙවීම විමතියට කරුණකි. ඒ දෙස නිහඬව හෝ වික්ෂිප්තව බලා සිටින විපක්ෂ බලවේග ඊටත් වඩා විමතිය දනවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යම්කිසි පිටපතකට අනුව හෝ එසේ නොමැතිව රඟ දැක්වෙන මෙම නාටකය දෙස ප්‍රේක්ෂක පොදු මහජනතාව කුතුහලයෙන් යුතුව බලාසිටිති. එහෙත් ඒ තව කොපමණ කාලකට ද යන්න කිව නොහැක.

ජාතික සංවිධාන ලෙස අප විසින් මෙම අර්බුදය ජය ගැනීම සඳහා නිශ්චිත උපායමාර්ගික යෝජනාවලියක් ගරු කථානායකතුමාට පිළිගන්වා ඇත. ඊට පසුව එම ලේඛනය ගරු අග්‍රාමාත්‍යතුමාට පුද්ගලිකව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තැපැල් මගින් ලබාදී ඇත. එහෙත් සැලසුමක් අත නැති ඒ කිසිවකු ඊට අභියෝග කිරීම හෝ ඊට වඩා සුදුසු ප්‍රවේශයක් ඉදිරිපත් කිරීමට හෝ ඒ පිළිබඳව තවදුරටත් අප සමග සාකච්ඡා කිරීමට ඉදිරිපත් වී නැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.

ඒ අනුව මෙම ලිපිය මගින් ඔබතුමන්ලා අමතනු ලබන්නේ අප විසින් ඉදිරිපත් කර ඇති උපාය මාර්ගික ප්‍රවේශය මත පදනම්ව ජාතික එකගතාවයකින් යුතුව මහජනයා පෙළගැස්වීම මගින් අර්බුදය විසඳීම සඳහා දායක වන ලෙසට ඉල්ලීම සඳහා ය. ඔබතුමන්ලා ඊට අසමත් වුවහොත් අර්බුදය ඛේදවාචකයක් බවට පත්වීමේ ඉඩකඩ වර්ධනය වන බව ඉතා පැහැදිලිය. එක් පැත්තකින් පීඩාවට පත්වන පොදු මහජනයා රට පුරා ප්‍රචණ්ඩ විරෝධතාවලට යොමු විය හැක. එය ගෝල්ෆෙස් දක්නට ලැබුණු මධ්‍යම පාන්තික පිරිස් සහ සිසුන්ගේ අරගලයට වඩා බියකරු විය හැක. අනෙක් පැත්තෙන් අප රට ඉන්දියාවේ දීර්ඝකාලීන භූ දේශපාලන උපාය මාර්ගයට ගොදුරු වීමේ අනතුරක් මතුවේ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරන ආකාරයට අර්බුදය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමඟ ඒකාබද්ධ කළ යුතු බවය. එම ප්‍රකාශය තුළින් ඉන්දියාවේ දීර්ඝකාලීන භූ දේශපාලන උපාය මාර්ගය හෙවත් 1932 දී එළි දැක්වූ සංවර්ධන පනික්කාර් න්‍යාය පිළිබිඹු වේ. එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීමෙනි. ඊට අමතරව මෙවර ඉන්දියාවේ සහ මානව හිමිකම් කවුන්සිලයේ පීඩනයට යටත්ව 13වැනි සංශෝධනය බලාත්මක කළ හොත් 30වැනි ප්‍රාන්තය ද බිහි වනු ඇත.

එම නිසා අපි ජාතික සංවිධානය ලෙස ඔබතුමන්ලාට යෝජනා කරනු ලබන්නේ අප විසින් එළිදැක් වූ උපායමාර්ගික ප්‍රවේශය මත පදනම්ව සර්වපාක්ෂික එකඟතාවයක් ඇතිකර ගන්නා ලෙසය. ඒ සඳහා සර්වපාක්ෂික සමුළුවක් හෝ වටමේස සාකච්ඡාවක් යොදාගත හැක. ඉන්පසුව එම එකඟතාවය පිළිගන්නා ලෙසට ආණ්ඩුවට බල කිරීමේ ක්‍රියාවලිය සඳහා අපගේ දායකත්වය ලබාදීමට සූදානම් බව ද අවසාන වශයෙන් දන්වා සිටිමු.

මෙම ලිපිය සමග අප විසින් සකස් කරන ලද උපාය මාර්ගික ප්‍රවේශය වන 61 වැදෑරුම් සමාජ ගිවිසුම නැවත වතාවක් ඔබගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.

ස්තුතියි

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජාතික මහජන සභාව

2022.09.20



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More