පුරවැසි කොලම

අලි සබ්රි සහ විජයදාසලා ජිනීවා වල කරන බොරුව හෙලිවේ.

පසුගිය 12 වැනි දා ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ද සුපුරුදු ලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව නිකුත් වී ඇත. මෙවර යුද අපරාධ වලට අමතරව ආර්ථික අපරාධ පිළිබඳව ද සඳහන් කර ඇත. ඊට අමතරව ආර්ථික අපරාධ පිළිබඳව වගවීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම සඳහා 2016 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ජාතික උපදේශක කාර්යසාධක බලඇණියේ වාර්තාව යොදාගත හැකි බවද කොමසාරිස්වරිය විසින් සඳහන් කර ඇත. ඒ අනුව පෙනී යන්නේ 2009 සිට ම ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනා වලට අයිසින් දැමීම සඳහා පමණක් ආර්ථික අපරාධ පිළිබඳ වගවීම මතු කරන බවයි. කෙසේ වෙතත් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදා ගනිමින් ආණ්ඩුවේ අත ඇඹරීමේ ක්‍රියාන්විතයක් දියත්වන බව මහකොමසාරිස් වාර්තාව තුළ දැක ගත හැක. එනම් ආර්ථික අපරාධ සමග ගැටගසා යුද අපරාධ චෝදනාවලට අදාළ වගවීමේ ක්‍රියාමාර්ග දැඩි ලෙස අවධාරණය කිරීමක් මෙවර වාර්තාව මගින් සිදුවේ.
එසේ වුවත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස යුද අපරාධ සමඟ ආර්ථික අපරාධ ගැටගැසීමේ වුවමනාව සහ යුද අපරාධ පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය අවධාරණය කිරීමේ සැබෑ අරමුණ තේරුම් ගත් බවක් දක්නට ලැබුණේ නැත. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රකාශය මගින් ආර්ථික අපරාධ චෝදනා වලට පිළිතුරු බැඳීමට බලවත් උත්සාහයක් ගෙන ඇත. එහෙත් යුද අපරාධ චෝදනා සහ මහකොමසාරිස්වරිය විසින් යෝජනා කරන ක්‍රියාමාර්ග වලට එරෙහිව ප්‍රබල මතයක් ඒ මගින් ඉදිරිපත් වූයේ නැත. විශේෂයෙන්ම 2021 මාර්තු 46 වැනි සැසියේ දී සම්මත කළ 46/1 යෝජනාව මගින් පිහිට වූ යුද අපරාධ චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට අනුව මහ කොමසාරිස්වරිය විසින් නිර්දේශ කරන නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව විරෝධය දැක්වීමක් සිදු වූයේ නැත. ඒ වෙනුවට 46/1 යෝජනාව සහ ඊට අනුව ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන බව පමණක් අමාත්‍යවරයා විසින් සඳහන් කරනු ලැබීය. නමුත් එය විශේෂිත තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකාව 46 වැනි සැසියෙදීම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසමේ පටිපාටි වලට අනුව මහකොමසාරිස් වාර්තාව තුළ අන්තර්ගත වන කරුණුමය සඳහන් කිරීම පිළිබඳව වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමට පෙර අදහස් දැක්වීමට අදාල රටට අවස්ථාව ලැබේ. ඒ අනුව වාර්තව පිළිබඳව ආණ්ඩුව විසින් දක්වන ලද අදහස් මොනවාද යන්න මහජනයා දැනගත යුතු වුවත් ඒ පිළිබඳව විදේශ අමාත්‍යශය විසින් නිල ප්‍රකාශයක් සිදු කර නැත. ඒ වෙනුවට අදාල ප්‍රතිපෝෂණ වාර්තාව මහකොමසාරිස්ගේ වාර්තාවේ ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය. එසේ වුවත් එම ඉල්ලීමට ගරු කරමින් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත්වූ ප්‍රති වාර්තාවක් මහකොමසාරිස්වරිය විසින් සභාවට ඉදිරිපත් කළේ නැත. ඒ අනුව අවසානයේ දී මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ මූලික අරමුණ වූ 46/1 යෝජනාව අනුව ආරම්භකළ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමක් හෝ විරෝධය පළ කිරීමක් සිදු වූයේ නැත.
ඒ වෙනුවට ඉහත සඳහන් කළ ආකාරයට ආර්ථික අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමට සහ ඊට අනුව වගවීම සහතික කිරීම සඳහා සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පමණක් අවධාරණය කෙරිණි. එය මහ කොමසාරිස්වරියගේ “නංගි පෙන්වා අක්කා දීමේ” උපායක් දැයි සැක පළ කිරීමට සිදුවේ. ඊට හේතුව මානව හිමිකම් කොමිසමේ බලාධිකාරිය ට අයත් නොවන කරුණු පිළිබඳව පිළිතුරු බැදීමට ප්‍රමුඛතාවය ලබාදීම නිසා සැබෑ ලෙසම කළ යුතු දේ අවතක්සේරු වීමය. එසේ වුවත් එය රැවටීමකට ගොදුරු වීමකට වඩා දැනුම්වත්ව සිදු කළ මඟහැරීමක් බවට ද තර්ක කළ හැක. එනම් ශ්‍රී ලංකාවේ රජය දිගින් දිගටම මගහරිමින් පැමිණි ආකාරයට යුද අපරාධ චෝදනා පිළිබඳ සහ යෝජිත වගවීමේ යාන්ත්‍රණ වලට අභියෝග නොකර සිටීමේ ආරක්ෂාකාරී ප්‍රවේශයක් බවට සැක කළ හැක. ආණ්ඩුව එවැනි මඟහැරීමේ හෙවත් ආරක්ෂණවාදී උපාය මාර්ගයක කටයුතු කරන බව 30/1 යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සිට දක්නට ලැබුණු තත්ත්වයකි. එම අවස්ථාවේදී මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා විසින් යුද අපරාධ චෝදනා පිළිගනු ලැබුවේ ස්තුති පූර්වකවය.
එසේ වුවත් ඊට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ යුද අපරාධ චෝදනා වලට මුහුණ දීම සඳහා සහ පිළිතුරු බැඳීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබීය. පළමුවෙන්ම 2010 දී උගත්පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම මගින් ඒ සඳහා උත්සාහ කරනු ලැබීය. නමුත් එම වාර්තාව නිකුත් වීමට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කී මූන් විසින් දරුස්මාන් කමිටුව පත් කිරීම මගින් පළමු වටයේදීම යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර කරළියට ගෙන එනු ලැබීය. කෙසේ වෙතත් ඉන්පසුව ශ්‍රී ලංකාවේ අෘණ්ඩුව විසින් එම චෝදනා අතුරින් ප්‍රධාන චෝදනාවක් වූ අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මැක්ස්වෙල් පරණගම කොමිසම නමින් හැඳින්වූ ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබීය.
ඊට අමතරව ජාත්‍යන්තර නීතිය යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය අනුව ද ඕනෑම අපරාධ වරදක් පිළිබඳව පොලිසියට, නීතිපතිට, ශේෂ්ඨාධිකරණයට සහ මානව හිමිකම් කොමිසම මගින් යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් ඇති නොවීය. විශේෂයෙන්ම 12000ක් පමණ වූ ත්‍රස්තවාදයට යොමු වූ තරුණ තරුණියන්ට සහ ළමා සොල්දාදුවන් ට පොදු සමාව ලබා දී ඇති තත්ත්වයක් යටතේ පුද්ගලිකව යම් අපරාධයක් සිදුකර ඇති විටෙක ආරක්ෂක හමුදාවලට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව තිබුණි. එහෙත් ටී.එන්.ඒ. පක්ෂය හෝ දෙමළ ඩයස්පෝරාව එම දේශීය යාන්ත්‍රණ හමුවේ පැමිණිලි කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට ඔවුහු යුද අපරාධ වලට දඩුවම් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට උද්ඝෝෂණය කළහ. අතුරුදහන් වූ බව කියන අති බහුතරයක් විදේශීය රටවල ජීවත්වන බවට තොරතුරු හෙළිවීම නිසා එසේ දේශීය යාන්ත්‍රණ යොදාගැනීමට ඔවුන් මැළි වූ බවටද මතයක් ඇත. එහෙත් ඔවුන්ගේ ඊනියා පලිගැනීමේ යුක්තිය සැබෑ ලෙසම ලබාගත හැක්කේ ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් මඟින් බව ඉතා පැහැදිලිය.
කෙසේ වෙතත් 25/1 යෝජනාව මගින් යුද අපරාධ චෝදනා පිළිබඳව මානව හිමිකම් කොමිසම විසින් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා වීම නිසා පරණගම කොමිසම තවදුරටත් පුළුල් කිරීම මගින් ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ රජය උත්සාහ කරනු ලැබීය. ඒ අනුව පරණගම කොමිසමේ දෙවන බලාධිකාරිය මගින් ජාත්‍යන්තරව පිළිගත් යුද අපරාධ විශේෂඥයන් 5 දෙනෙකු කැඳවා විමර්ශනයක් සිදු කිරීමට තීරණය කරනු ලැබීය. එම විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි අඩංගු වාර්තා 6ක් නිකුත් කරනු ලැබීය. ඒවා නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමට හෝ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට පෙර මහින්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්විය. නමුත් එම වාර්තා “ද අයිලන්ඩ්” පුවත්පත මගින් ප්‍රසිද්ධ කළ බැවින් ඒවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජාතික සංවිධාන විසින් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.
එහෙත් ටී.එන්.ඒ. පක්ෂය ඊට එරෙහි වූ බැවින් ජනාධිපතිවරයා විසින් එම වගකීම පැහැර හැරුනු ලැබීය. අවසානයේදී 2015 සැප්තැම්බර් මාසයේදී මහකොමසාරිස් වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව යුද අපරාධ චෝදනා නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබීය. ඇත්ත වශයෙන්ම එම වාර්තාව මගින් සිදු කරනු ලැබුවේ නිල වාර්තාවක් නොවූ දරුස්මාන් වාර්තාවේ අඩංගු කරුණු වලට නිල භාවය ලබාදීම බව ඉතා පැහැදිලිය. ඉහත සඳහන් කළ ආකාරයට එම වාර්තාව සහ ඒ මත පදනම් වූ 30/1 යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීමෙන් පසුව චෝදනා වලට එරෙහිව පිළිතුරු බැඳීම වෙනුවට ඒවා පිළිගෙන ඊට අදාලව නිර්දේශ කෙරුනු ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීමේ ප්‍රවේශය ආරම්භ විය. එතැන් සිට මෙවර 51 වැනි සමුළුව දක්වා එම මූලික ස්ථාවරයේ වෙනසක් සිදු වී නැති බව ඉහත සඳහන් කළ ආකාරයට විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ ප්‍රකාශය මගින් පැහැදිලි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජය තම ආරක්ෂක හමුදාවල මානව හිමිකම් වෙනුවෙන් පෙනී නොසිටින බව ද පැහැදිලි වේ.
30/1 යෝජනාවට පසුව ඊනියා යුද අපරාධ චෝදනාවලට දේශියව දඬුවම් කිරීම හෙවත් වගවීම සහතික කිරීම සඳහා නව පනත් දෙකක් සම්මත කිරීම සහ තවත් පනත් දෙකක් සංශෝධනය කිරීම මගින් පහසුකම් සලසනු ලැබීය. එනම් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම, අතුරුදහන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව යුද අපරාධ මහාධිකරණයක් පිහිටුවීම, යුද අපරාධකරුවන් පිටුවහල් කිරීම මෙන්ම අපරාධකරුවන් සහ තොරතුරු හුවමාරු කිරීම සඳහා අදාල නීති සංශෝධනය කරනු ලැබීය. නමුත් ඒ කිසිවකින් යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීමේ ඉල්ලීම තෘප්තිමත් නොවීය. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට 46/1 යෝජනාවේ 6 වැනි වගන්තිය මගින් යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබීය. මෙවර 51 වැනි සැසියේ දී මහකොමසාරිස් වාර්තාව මගින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ එම චෝදනා සහ සාක්ෂි මත පදනම්ව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව ය. විදේශ අමාත්‍යවරයා විසින් 6 වැනි වගන්තිය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි බව සහ ඊට අදාළ පසු ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ ද ජාත්‍යන්තර ක්‍රියාන්විතය ඉදිරියට ගමන් කරන බව එම වාර්තාව මගින් පැහැදිලි වේ.
මහකොමසාරිස්වරිය සඳහන් කරන්නේ එම චෝදනා සහ සාක්ෂි ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන ඕනෑම රටකට සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලබාදෙන බවය. ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට ඇත්තේ එකම විසඳුමක් පමණි. එනම් ස්වාභාවික යුක්තිය හෙවත් චෝදනා එල්ල කළ විට ඊට පිළිතුරු බැඳීමේ අයිතිය ඉල්ලා සිටීම මගින් විධිමත් ව අදාළ චෝදනා වලට පිළිතුරු බැදීම පමණි. දැනටමත් බොහෝ පමා වී ඇති එම මූලික වගකීම ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට ඉහත සඳහන් කළ විශේෂඥ වාර්තා මෙන්ම ජාතික සංවිධාන සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සකස් කළ පිටු 544 ක විස්තීරණ වාර්තාව යොදාගත හැක. එහෙත් මෙවර විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව එවැනි තේරීමක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව පැහැදිලි වේ. ඒ අනුව නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන් රාශියකට එරෙහිව රටවල් රාශියක එකවර නඩු පැවරීම සිදු විය හැක. ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම මගින් පනවනු ලබන එම නඩු විභාග සඳහා විත්තිකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළ හැකි අතර ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමේ ඉල්ලීම ඉදිරිපත් විය හැක. ඊට අමතරව ඒකපාර්ශවීයව නඩු විභාග පවත්වා වැරදිකරුවන්ට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ දඩුවම් පමුණුවන ලෙසද නියම කළ හැක. එසේ නැතහොත් චූදිතයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමුකළ හැක. ඉහත සඳහන් කළ ආකාරයට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ නීති සම්මත 4ක් පනවා ඇති බැවින් එම ක්‍රියාවලියෙන් ගැලවෙන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More