පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විජේදාස රාජපක්‍ෂ මගින් ලහි ලහියේ 21 වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කළේය. ඒ 20 වන සංශෝධනය ඉවත් කර ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමාකර ඉන් කොටසක් අගමැතිවරයා අතට ගෙන ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රිධුර දැරීමේ හැකියාව අහිමිකර 19 වන සංශෝධනය යටතේ පැවැති ආකාරයට ව්‍යවස්ථා සභාව හා සියලු ස්වාධීන කොමිෂන් සභා යළි නැවත පිහිටුවා බලගන්වන බව පවසමිනි.

ඒ අතර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර උතුර නැඟෙනහිර ජනතාවගේ බලය බෙදීම පිළිබඳ ඉල්ලීම් සඳහා සහන සැලසෙන ආකාරයේ සම්මුතිවාදී ව්‍යවස්ථාවක් ගෙන එන බව වික්‍රමසිංහ මහතාත් රාජපක්‍ෂ මහතාත් වරින්වර ප්‍රකාශ කර තිබුණි.

එහෙත් මේ වනවිට පූර්ණ විධායක බලය සහිත ජනාධිපති ධුරයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාට හිමි බලතල සීමාකර ඒවා අගමැතිවරයාට පැවරීමේ උවමනාවක්, උනන්දුවක් පෙර මෙන් ඇතැයි සිතිය නොහැක. එබැවින් දැන් ඔහුගේ උවමනාව වනු ඇත්තේ ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීමත් උතුර – නැඟෙනහිර ජනතාවගේ බලතල බෙදීම පිළිබඳ ඉල්ලීමක් සපුරාලීමත් ය.

අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ විජයදාස රාජපක්‍ෂ මහතා දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර එහි අදහස් ලබාගෙන වහාම සියලු දේශපාලන පක්‍ෂ වෙත ඉදිරිපත් කර කඩිනමින් එම පක්‍ෂවල අදහස් ලබාගෙන එය වැඩිදියුණු කර නැවත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයට මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මේ වනවිටත් විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම නිර්පාක්‍ෂික අරගලකරුවන්ගේ යෝජනා ද ආණ්ඩුවට ලැබී ඇත.

ව්‍යවස්ථා සංශෝධනය සඳහා විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මොනවාද? එසේම උතුර – නැඟෙනහිර ජනතාව විසින් ඉල්ලනවා යැයි කියන ඉල්ලීම් මොනවාද? ඒවාට සහන සැලසීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන යෝජනා මොනවාද? ඒ සියල්ල කල් ඇතිව දැන ගැනීමේ අයිතිය මේ රටේ ව්‍යවස්ථාදායක බලය සහ පරමාධිපත්‍ය බලය හිමි මුළු මහත් ජනතාවට ඇත. ආණ්ඩුව ඒ සියල්ල ජනතාවගෙන් වසංකොට තබාගෙන ඇත්තේ මන්ද? එසේම අවසාන මොහොත දක්වා වසංකොට තබා ගැනීමට උත්සාහ කරනනේ මන්ද? ආණ්ඩුව ඒ ආකාරයට කටයුතු කරන්නේ රටට හා ජනතාවට හානිකර කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින නිසාද?

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි. සම්බන්ධන්ලා ඉල්ලා සිටින මේ බලතල සියල්ල ක්‍රියාත්මක උතුර – නැඟෙනහිර පළාත් සභාවට බලතල ලබාගැනීමට නොහැකි වී ඇත්තේ සිය අභිමතය පරිදි පළාත් ආණ්ඩුකාරවරුන් පත්කොට ඔවුන් මගින් සිය විධායක බලය ක්‍රියාත්මක කරමින් පළාත් සභා සතු මූල්‍ය, පොලිස්, ඉඩම් හා ව්‍යවස්ථා සම්පාදන බලතල පාලනය කිරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව නිසාය. ක්‍රියාත්මක වශයෙන් මේ බලතල පළාත් සභාවට ලබාගැනීම සඳහා කළ යුතුව ඇත්තේ ඉතා සුළු සංශෝධනයකි. දැනට ජනපතිගේ අභිමතය අනුව කෙරෙන පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම මහ ඇමැතිගේ උපදෙස් අනුව සිදු කිරීමටත්, ආණ්ඩුකාරවරුන් සිය බලතල ක්‍රියාත්මක කිරීම, පළාත් මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත අනුව සිදු කිරීමටත් ඉඩ සැලසීමය. එවිට ඔවුන්ට උතුර – නැඟෙනහිර පූර්ණ ෆෙඩරල් පාලනයක් පවත්වාගෙන යා හැකිය. එහි අවසාන ප්‍රතිඵලය රට බෙදා වෙන්කිරීමය.

21 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ කාරක සභා අවස්ථාවේදී සිදුකරන සුළු වෙනසක් මගින් මේ රට පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ බිහිසුණු අනතුරක් තිබේ. සිදුවිය හැකි මේ මහා ව්‍යසනය වළක්වා ගැනීමට ඇත්තේ එකම එක විදියකි. එනම් කල් ඇතිව ජනතාව වෙත ඉදිරිපත් කර නැති කිසිම සංශෝධනයක් අවසාන මොහොතේ, කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවටත්, අවසාන මොහොතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කෙරෙන කිසිම සංශෝධනයකට තුනෙන් දෙකේ බහුතරය නොලැබෙන බවටත්, වගබලා ගැනීමය. එසේම ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ව්‍යවස්ථා සංශෝධනය සඳහා විවිධ දේශපාලකයන් විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ජනතාවගේ දැනගැනීම සඳහා එළිදක්වන ලෙස සියලු ජනතා සංවිධාන, ජාතික සංවිධාන සහ දේශපාලන පක්‍ෂ විසින් ආණ්ඩුවට බලකර කියා සිටිය යුතු අතර දැනට ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කවර හෝ පක්‍ෂයක් විසින් කාරක සභා අවස්ථාවේදී ගෙන ඒමට අදහස් කරන සංශෝධන සියල්ල විශේෂයෙන් උතුරු – නැඟෙනහිර බලය බෙදීමට අදාළ සංශෝධන සියල්ල මෙම පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අවම වශයෙන් සති දෙකකට කලින් ප්‍රකාශයට පත්කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙස සියලු ජනතා සංවිධාන, ජාතික, ආගමික, සංවිධාන හා දේශපාලන පක්‍ෂ විසින් ආණ්ඩුවට තරයේ බලකර කියා සිටිය යුතුය. එසේ කල් ඇතිව ඉදිරිපත් කර නොමැති කිසිම සංශෝධනයක් අන්තිම මොහොතේ, කාරක සභා අවස්ථාවේදී භාර නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, අධිකරණ ඇමැතිතුමාගෙන් හා කථානායකතුමාගෙන් තරයේ ඉල්ලා සිටිය යුතුය. එසේම තමාට කල්වේලා ඇතිව කියවා බලා අධ්‍යයනය කිරීමට අවස්ථාව නොලැබුණ ද අන්තිම මොහොතේ ගෙන එන සංශෝධනවලට පක්‍ෂව ඡන්දය දීමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. මන්ත්‍රීවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා කාරක සභා අවස්ථාවේදී 13 වැනි සංශෝධනය බලාත්මක කරන සංශෝධන කූට ලෙස ඇතුළත් කළහොත් ඒ මහා පාවාදීමට දායක වන කිසිවකුට ඉතිහාසය විසින් සමාවක් නොලැබෙන බවත්, ඔවුන්ට පෙන්වා දිය යුතුය.

සටහන

එරික් ගාමිණී ජිනප්‍රිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More