පුරවැසි කොලම

පසුගියදා කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මන්දිරයේදී පැවැති , ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ලියන ලද “ව්‍යවස්ථා මගෝඩි” පොත එළි දැක්වීමේ උත්සවයට සහභාගි වෙමින්, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ගෙන ඒමට නියමිත 21 වන ව්‍යයවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය.

ඒ මහතාගේ අදහස ඔහුගේම වචනයෙන්,

‘අපි මේ අවස්ථාවට ආරධනා කළේ අපගේ මතවාදය තේරුම්ගත හැකි සුවිශේෂී පිරිසකට පමණයි. අද මේ අවස්ථාවට සහභාගි වී සිටින හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා යනු මේ රටේ ඉරණම වෙනස් කිරීමට බිහිවුනු ඉතාම සුළු පිරිසෙන් කෙනෙක්.එම සුළු පිරිස අතර හිටපු අග විනිසුරු රජා වනසුන්දර, එස් එල් ගුණසේකර,එච් එල් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය නිසා තමයි මේ රටේ ඉරණම යහපත් විදිහට වෙනස් වුණේ. සරත් නන්ද සිල්වා මැතිතුමා උතුර – නැගෙනහිර වෙන් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව , මුලින්ම ගෙනාපු 19වැනි සංශෝධනය සම්බන්ධයෙන් දුන් තීන්දුව, ව්‍යවස්ථාවේ 4 සහ 3 වගන්ති එකට කියවිය යුතුයි යන අධිකරණ තීන්දු මේ රටේ ඉරණම තීන්දු කිරීමට හේතු වුණා.

කල්‍යාණන්ද තිරණගම මැතිතුමා මුලින් හිතාගෙන හිටියෙ මේ ලේඛනය පුවත් පතක පළ කළොත් සෑහෙනව කියලා. ඒත් අපි මේ පොත ලිවිය යුතු යැයි එතුමගෙන් ඉල්ලා සිටියේ එතුමා 19 වැනි සංශෝධනය තුළ සිදු කළ තක්කඩි ආකාරය ගැන ඉතා විචිත්‍රවත් විග්‍රහය්ක් ඉදිරිපත් කරල තිබුණු නිසා. එතුමා හැන්සාඩ් වාර්තා පරිශීලනය කරල එම “ව්‍යවස්ථා මගෝඩියේ” චූදිතයා විදිහට නම් කරල තිබුණෙ විජේදාස රාජපක්ෂ මහත්තයව. විජේදාස රාජපක්ෂ මහත්තයා ඒ වෙනුවෙන් උත්තර බැන්දෙ නැහැ. දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහාත් එතුමා විජේදාස රාජපක්ෂ මහත්තයට චෝදනා ඉදිරිපත් කළා. ප්‍රජාතන්ත්‍ර විරෝධී තක්කඩි ආකාරයෙන් පැය දෙකක් ඇතුළත කෙටුම්පතේ නොතිබූ සංශෝධන 30කට වැඩි ප්‍රමානයක් ඇතුල් කරල 19 සම්මත කරල අධිකරණය පවා නොමග යැව්වා.

අපි මේ කියන්නෙ පරණ ව්‍යවස්ථාව තියාගෙන ඉන්න කියල නෙවෙයි. අපි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි කියල නෙවෙයි මේ කියන්නෙ.යහපත් දේ පෙන්නල කූඨ විදිහට ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට පනවල තියෙන ව්‍යවස්ථා බාධක ඉවත් කරන්න හදන තක්කඩි වැඩේ ගැනයි අපි මේ කියන්නේ. ඒක ව්‍යවස්ථා  කුමන්ත්‍රණයක්.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පළාත් සභා වලට බලය දෙන්න කැමැති වුණ කෙනෙක් නෙවෙයි. එතුමා මධ්‍යගත ධනේෂ්වර රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. ඉන්දියාවේ සහ ඇමරිකාවේ බලවත් මැදිහත් වීම මත තමයි එතුමා මේ බලය බෙදන්න එකඟවෙන්නේ. එතුමා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදිහෙ ව්‍යවස්ථා බාධක යොදන්න උත්සාහ කළේ මේ නිසයි. ඒකට තවත් හේතුවක් වුණා ජවිපෙ එදා එල්ල කළ දැඩි විරෝධය. ඒ විරෝධය ඇතුළෙ එදා ජනමත විචාරණයකට යන්න බැරි බව පෙන්වා එම බාධක ඇතුල් කිරීමට ඔහු සමත් වුනා. මේ ව්‍යවස්ථා බාධක සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. නමුත් ඒ නිසා තමයි 13 ක්‍රියාත්මක නොවී තියෙන්නෙත්.

රාජා වනසුන්දර මැතිතුමා මියයන්න මොහොතකට කළින් ඇස්වල කඳුළු පුරෝගෙන ගුණදාස අමරසේකර මහත්තයගෙ අතින් අල්ලගෙන කිව්වා ‘13 මාරාන්තිකයි, 13 තියෙන තාක්කල් මේ මාරකය රටට තියෙනවා. මේක අපේ හිසට උඩින් එල්ලල තියෙන කඩු තුඩක්. කවදා හෝ දවසක 13 තියෙන ව්‍යවස්ථා බාධක අයින් කළොත් මේ රටේ ඉතිහාසය අවසන් වෙනවා’ කියලා.එදා 87 දි අපි ජීවිතය ගැනවත් නොතකා රට වෙනුවෙන් පෙනී හිටියෙ ඒ නිසා තමයි.

විජේදාස රාජපක්ෂ මහත්තය හීනයක් දකිනවා ඊළඟ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න. මේ වැඩේ ගොඩ දැම්මොත් සුළු ජාතික ඡන්ද පදනම ලැබෙනව කියල එතුමට ලණු දෙනවා මේ රටේ විවිධ බලවේග. එතුමා ඕමල්පෙ සෝභිත හාමුදුරුවොත් එක්ක එකතු වෙලා අස්ගිරි පාර්ශ්වයේ අත්සන හොරට ගහන්නෙත් ඒ නිසා.
සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරපු, සුමන්තිරන් මහත්තයා හදපු 22 වැනි සංශෝධනය ඇතුළෙ ඉතා සුක්ෂම ලෙස 13 ට එරෙහිව පවතින බාධක ඉවත් කරන සංශෝධන ඇතුළු කරල තියෙනවා. 154 වගන්තිය ඇතුළෙ තමයි මේ බාධකය තියෙන්නෙ. සමහර වගන්ති අහෝසි කරපු ගමන්ම ආණ්ඩුකාරවරයාගේ බලය නැති වෙනවා. ඔහුට පළාත් සභා විසුරුවන්න තියෙන බලයත් අහෝසි වෙනවා. තවත් වගන්තියකට ආණ්ඩුකාර බලතල නැති කරන්න පුංචි වචනයක් විතරයි ඇතුළත් කරන්න ඕනේ. ඒ වචනය තමයි ‘මහ ඇමැති විමසා‘ කියන වචනය.

මේ සංශෝධන වලට සජිත් ප්‍රේමදාසගේ එකඟතාවය තියෙනවා. ඒ නිසා තමයි ඔහුගේ පනත් කෙටුම්පතට ඇතුල් කළේ . 1987 සිට තරුණ තරුණියො 60,000ක් ඊට පස්සෙ රණ විරුවෝ 30,000ක් ජීවිත පරිත්‍යාගකරල බේරා දුන්නු රට පැය කිහිපයකින් අවසන් කරන්න පුළුවන් 13 බලාත්මක වුණොත්. එය බලාත්මක කරන්න කාරක සභා අවස්ථාවේදී  ඉතා සූක්ෂමව සුළු සංශෝධන කිහිපයක් පමණයි ඇතුළත් කළ යුත්තේ. ඒ නිසයි අපි අනතුරු අඟවන්නෙ.

දෙමළ ඩයස්පෝරාව සතුටු කරල ඩොලර් ගෙන්වා ගැනීමේ කටයුත්තට මේක හොඳ අවස්ථාවක් කරගන්න හුඟක් අය බලාගෙන ඉන්නවා. සී.වී.විග්නේෂ්වරන් කියනව ඩයස්පෝරාව හරහා ඩොලර් ගෙන්වා ගැනීමට විධිමත් වැඩ පිළිවෙලක් ඕනෙ කියලා. ඒ විධිමත් වැඩ පිළිවෙල කරන්න නම් ආණ්ඩුකාරවරයාගේ බලතල නැති කරන්න ඕනේ. ස්වයං තීරණ අයිතිය තමයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලන්නෙ. ඒක දෙන්න නම් 13 ව්‍යවස්ථා බාධක ටික ඉවත් කරන්න ඕනේ. විජේදාස මහත්තයගෙ 22 හරහා වක්‍රව සිද්ධ වෙන්නෙ මේ දේ. ඒ නිසා අපි මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවනවා මේ කුමන්ත්‍රණයට දායක වෙන්න එපා කියලා. එහෙම වුනොත් සිංහල බෙෳද්ධයන් නැඟීසිටීම වළක් වන්න බැරි වේවි. මේ අපරාධය කළොත් මේ රටේ ඉතිහාසය එතනින්ම අවසන් වේවි.

සිංහල බෞද්ධ ජනතාව මන්ත්‍රීවරු 225 ටම දේශපාලන වශයෙන් දඬුවම් කරන බව අපිට සහතිකයි. ඒ සඳහා අපි මැදිහත් වෙනවා. අපි ආණ්ඩුවට බය නැහැ. එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අපි ජීවිත පරදුවට තබලා තමයි විරෝධය දැක්වුවේ.ඒ කාලයේදී අපේ භාර්යාවන්ගේ තරුණ වයසේදි, දරුවන්ගේ සුරතල් වයසේදි මැරෙන්න ලේසි නැහැ. ඒත් අපි ඕනෑම වෙලාවක මරණය භාරගන්න සූදානමින් තමයි එදා 13ට විරුද්ධ වුනේ. අපි වගේ දහස් ගානක් හිටියා. දැන් වයස 60 පැන්නට පස්සේ මරණය ගැන විශේෂයෙන් හිතන්න දෙයක් අපට නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More