පුරවැසි කොලම

ලාංකීය පක්ෂ දේශපාලනය තුල සිදුවෙමින් පවතින සමකාලීන පරිවර්තනයන් පිළිබද ගැඹුරු දේශපාලන කියවිමක් අවශ්‍යම මොහොතක් උදාවි ඇත. දේශපාලන පක්ෂ පවතින්නේ ඓන්ද්‍රීය පැවැත්මක් තුලය. ඒවා නොවෙනස්ව පවතින්නෙ නැත.සමාජ වෙනස්කම් මත ඒවා පරිණාමණය වේ.ඒ ඒ පක්ෂ වල සමහර පැරණි ව්‍යුහයන් මතවාද සහ ආකල්ප නිසා ඒවාට හැම විටම සමාජිය වෙනස්විම්වලට අනූරුපව හැඩ ගැසිමට බධා ඇතිකරයි.යම් යම් සමාජ කණ්ඩායාම් සම්ප්‍රදායික පක්ෂ වලින් කැඩි වෙන් වෙන්නෙ ඇයි? එම පක්ෂ නායකත්ව මණ්ඩල වල දුර්වල ප්‍රතිචාර , දුර්වල සන්නිවේදන ආකෘති, සම්ප්‍රදායික වැඩ ආකෘති,කළමනාකරණ දුර්වලතා , පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ දුර්වල විම, සමාජ ප්‍රශ්ණ තේරුම් ගැනිම හා ඒවා විසඳනු වෙනුවට සමහර අවධානය දිනාගැනිමේ ජනප්‍රියවාදි ආකෘති තෝරා ගැනිම වැනි හේතු නිසාය.

වර්ථමානයේ අපේ රට මුහුණදි සිටින අර්බුදය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.මේ අර්බුදය අභිමුව බොහෝ දේශපාලන පක්ෂ දක්වන ප්‍රතිචාර අනුව ඔබට කුමක් වැටහේද? සමහර පක්ෂ වල පුද්ගලයන් නරුම අවස්තාවාදිත්වයක් වෙත රුටා වැටි අවසන්‍ ය. ඔවුන්ට අවශ්‍යවන්නේ තම පාර්ලිමේන්තු අසුන් ගණන වැඩිකරගැනිමට පමණමයි. සමහරු සුපුරුදු අරගලයේය ,තවත් පිරිසක් වැඩවර්ජනවලය, විරෝධතා ව්‍යාපාරවලය,විටෙක වොයිස් කට් මාධ්‍ය හරඹයන්ය.
ගිණිතැබිම්ය,කඩාකප්පල් කිරිම්ය.ඒ සියළු ක්‍රියාමාර්ග තුල බලය සදහා වන තම ගිජුකම උදෙසා රාජ්‍ය බිද දැමිමේ නොතිත් උවමනාව සදහා වෙහෙසෙන පිරිසකි. ඒ වෙනුවෙන් දෙස් විදෙස් රටට හතුරු බොහෝ සේනාංක උපරිම බරතැබිම කර ඇත.සමහර ක්‍රම විරෝධී වීරයන් වාසි අතට හෝයියා සැලුට් එක අත් දෙකින්ම ගසනු පෙනේ,ඊයේ අරගල බිමේ නායකයින් අද ආණ්ඩුව තුරුලේය , ඒ අතර තවත් නම් දේශපාලනය නොකරන්නෙමැයි කියා පලායාම්ද,නිහඩවිම්ද,ශාප කිරිම්ද,ඇති තරම් දැකගත හැක.

තවත් සමහරක් සමාජයේ ක්ෂනික බුබුළු කැටයම් කර ස්වයං වින්දනය ලබන්නන්‍ ය. නනා ප්‍රකාර සංදර්ශන පෙන්විම හාත්පස සිදුකරයි. එහෙත් ජනයා පෙළන ප්‍රශ්ණවලට විසදුම් කෝ?, ගැටළු වලට උත්තර කෝ? ඒ පිළිබද බලාපොරොත්තු පේන තෙක් මානයකවත් තිබේද? ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ මෙම අර්බුද විසදිම සදහා සාධනීය සංවාදයක් තිබේද?. ඒ ඒ පක්ෂ ඒවා විසදිමේ දිසාවට තබා ඇති පියවරයන් කවරේද? ඉහත පැනයන්ට ලැබෙන පිළිතුර අනුව ඉදිරියේදි පක්ෂ වලින් හැරයාම් සහ එක්විම් සිදුවේවි. පසුගිය මැතිවරණයේ ලැබුණු චන්ද නියතයක් ලෙස දැනුත් ඒසේම ඇතැයි සිතන අයද නැතුවාම නොවේ.ඔවුන් ගැනනම් කිමට ඇත්තේ කණගාටුයි කියා පමණි. දේශපාලනය යනු වෙනස් නොවන සංසිද්ධියකැයි සිතා සිටින මහත්වරු ගැන අනුකම්පා කරණු හැර වෙන කුමක් කරන්නද? ඊයේ මතුවු සමහර බුබුළු රැළි අද නිශ්ක්‍රීය වී නොපෙනි යන්නෙඇයි?

2019 ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදි සමාජ ඉල්ලුම තිබුණේ ජාතික නිශ්පාදන ආර්ථික මූලෝපායික වැඩ පිළිවෙළකටය. එය 1956 පෙරළිය වැනිම වු ප්‍රගතිශීලි වාමවාදී ජාතිකවාදී ව්‍යාපාරය ලැබු සුවිශේෂී ජයග්‍රහණයකි. එයින් සතුරු බලමුළු තැතිගත්තාට සැකයක් තිබිය නොහැක.භීතිය ඇතිවු ප්‍රමාණයට සාපේක්ෂව ලද වහාම ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු විය යුතු වුවත් එවන් කියවිමක් සහිත මිනිසුන් උවමණාවෙන්ම පැත්තකටකර ලැබු ජනවරම තම පවුලේ නමට පමණක් ලියාගැනිමට උත්සහා කිරිමත් සියළු අධිකාරි බල ව්‍යුහයන් පවුලක් මගින් අත්පත් කරගැනිම නිසා සතුරාට වඩා සුවපහසු පිටියක් සපයා දුන්හ.එමෙන්ම රටතුළ මතුවෙමින් පැවති සමාජ ආර්ථික පීඩනයට පසුබිම්වු හේතු සොයා පිළියම් කරණු වෙනුවට ගතවු කාලය තම බල වුවමනාව වෙනුවෙන්ම පමණක්ම කටයුතු කිරිම නිසා එය පුපුරායාමට වැඩිකලක් ගියේ නැත.එයින් පවුලට සිදුවු දේ නොව රට මුහුණ දෙන තත්වයයි සලකා බැලිය යුත්තේ.දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වු බෝහෝ අය සිතන්නේ දේශපාලනය යනු සුබසාධන දේශපාලනය කියාය නමුත් welfare politics කරන්න ගොස් රට හිගමනයට වැටි ඇත.පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලකයන් ඔහුන්ගේ නමින් විවිධ පදනම් ගොඩනගාගෙන තිබෙන්නෙ සුබසාධන පහසුකම් සපයා ලබන ජනප්‍රියත්වයෙන් මැතිවරණ දීනිමටය ඒ යුගය දැන් අවසන් වි ඇත.

දැන් අවශ්‍යව ඇත්තේ මිනිසුන් පෙළන අර්බුදය පාවිචිචි කර බලයට පැමිණ ප්‍රශ්ණ තව තවත් අවුලෙන් අවුලට පත් කරන බල ලෝභී දේශපාලනයක් නොව ප්‍රශ්ණ විසදන ක්‍රමෝපායන් සහිතව ප්‍රශ්ණ වලට උත්තර සේවිම කේන්ද්‍ර කරගත් දේශපාලනයකි. ඒ අර්ථයෙන් පක්ෂ විපක්ෂ කවිරුත් ෆේල්වි ඇත. මම බලයෙ හිටියේනම් මේ ප්‍රශ්න නෑ වගේ කතා අදට වලංගු වන්නෙ නැත. තනි තනි පුද්ගලයන්ගේ වීරකම් වලින් අද ඇතිවි තිබෙන මේ දැවැන්ත අර්බුදය විසදිය නොහැකිය. ප්‍රශ්ණ වලට විසදුම් ලබාදිමට උවමනාව ඇති එනමුදු තැන් තැන් වලට විසිරි සිටින සියළු දෙනා එකට එකුතුවිම මෙන්ම එකතුවි සිදුකල යුතු කාර්‍යන් පිළිබද පුර්ව එකගතාවයන්ට පැමිණිමද සදාගත් එකගතා හා ප්‍රතිපත්ති ක්‍රියාතමකකරණ යාන්ත්‍රණය කුමක්ද? එය පියවරෙන් පියවර අධික්ෂණය කරන්නෙ කෙසේද? වෙනස්කම් ගැලපිම් කරන්නෙ කෙසේද? ඒ සදහා වන කාලරාමුව කුමක්ද? වැනි කරුණු පිළිබඳ ගැඹුරු හා තියුණු පෙර සුදානමක සිටිම අවශ්‍යයෙන්ම කලයුත්තකි.

මීට පෙර මැතිවරණ දිනිම සදහා සහ පුද්ගලයන් පුටුවල වාඩි කරවිම සදහා අටවාගත් සභාග හො සංධාන ලෙස නොව මැතිවරණ වලින් පසුවද මුලින් පිහිටුවාගත් අරමුණු හා බැදෙන සබුද්ධික පුද්ගල/පක්ෂ සභාගයක් රටට අවශ්‍යම මොහොතකි මේ.

1945 අප්‍රේල් 27 දින ප්‍රකාශයට පත් කල “සභාග ආණ්ඩුව”නැමති රචනයෙන් මාවෝ සේතුං මෙ බව පෙන්වාදි තිබේ. ලොව බොහෝ රටවල් වීදේශ ආක්‍රමණ, බෙදුම්වාදි තර්ජනයන්ට,අභ්‍යන්තර සිවිල්‍ යුධ තත්වයන්ට දරුණු ආර්ථික පරිහානින්ට ලක්වු රටවල මෙම සභාග දේශපාලනයෙන් ගත හැකි සහාය අමතක කලයුතු නැත. ලක්ෂ ගණන් නිරහාරව ඉන්න රටක,ආහාර අහේනිය නිසා දිනපතා 40000කට පමණ සෙලයින් දීමට සිදුවි ඇති රටක, ළමා මන්ද පෝෂණයෙන් ලෝකයේ 06 වෙනි සහ ආසියාවෙන් 02 තැනට ඇද වැටුණු,අන්ත ද්‍රරීද්‍රතාවයේ පතුලේම ඉන්නා ජනතාව හැඩූ කදුලින් තම දරු පැටව්න්ට කන්ට දෙන්න විදිහක් නැ කියන රටක, ඔවුන් සියදිවි හානීකරගැනිමට බලකල රටක,රසායනික පොහොර තහනම නිසා ගොවින්ගේ අස්වැන්න 60%කින් බිදවැට්ටවු රටක,දරුවන්ගේ අධ්‍යාපනයෙන් 80%ක් කාබාසීනියා කල රටක, බෙහෙත් හිගය නිසා රෝහල් පද්ධතිය බිද වැටෙමින් තිබෙන රටක, ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රටවල් අතර පස්වැනි තැන සිට පළමු ස්ථානය සදහා සටන් වදින රටක,කර්මාන්ත පද්ධතියට ඇනහිට නිශ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වු රටක,රාජ්‍ය සේවකයන් 50%ක් රැකියා අතහැර යාමට බල කර ඇති රටක,තෙල් ටිකෙන් කොමිස් ගහන ඇමතිලා ඉන්න රටක ,විදුලි කප්පාදු සුපුරුදු ලෙසට සිදුවෙමින් පවතින රටක කෙළවරක් නොපෙනෙන නිමාවක් නොදකින අර්බු පොකුරක ගොදුරක් බවට පත්වි ඇති රටක තනි තනිව උත්තර සෙවිය හැකිය යන පටු මානසිකත්වය වෙනුවට මතවාදී විවිධත්වයන් නිසා බෙදි වෙන්වි සිටින අයට එකගවිය හැකි පොදු කාරණා සමග එකට එක්වි ඉලක්කයකට අරමුණකට වැඩ කිරිම ප්‍රශ්න වලට විසදුම් සේවිමේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.

සභාග දේශපාලනය අපේ රටේ තව දුරටත් වලංගුද?සභාග දේශපාලනය බිහිවන්නෙ ඇයි? සභාග දේශපාලනයේ අමිහිරි පාඩම් යළි සිදු නොවන ලෙස කටයුතු කරන්නෙ කේසේද? මේ අද බොහෝ දෙනෙකුට ඇති ගැටළුය. විමල් වීරවංශ මහතා ප්‍රමුඛව පක්ෂ ගණනාවක් එක්වි නව සභාගයක් බිහිකිරිමට සුදානම් බව පැවසේ. ඔවුන් ආණ්ඩුව තුල සිටිමින්ම එම ආණ්ඩුවේ අන්තෝනෝමතිකත්වයට එරෙහිව කාලයක් තිස්සේ එකට වැඩ කල වුන් විමද සුවිශේෂිය.බහු පක්ෂ දේශපාලන සම්ප්‍රදාය යනු ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක්,රාජ්‍ය ඇමතිකමක්,කැබිනට් ඇමතිකමක් ලෙසට ඌණනය කල රාජපක්ෂ අධිපති මතවාදයට එරෙහිවු පිරිසක් විම ඊටත් වඩා සුවිශේෂීය.

ලොව බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කිරිමටත්,මැතිවරණ වලින් පසුව ආණ්ඩු ගොඩනගා ගැනිමටත් සභාග හෙවත් සංධාන බිහිකිරිම සුලබ දසුනකි.ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ක්‍රියාතමක සෑම රටකම දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වේ. ඒ පක්ෂ විවිධ ප්‍රතිපත්ති,දෘෂ්ඨිවාද ,මතවාද,හෝ සමාජ ප්‍රවනතා අනුව ක්‍රියාකාරිවන බවක් පෙනේ.මුලින්ම පැවති ද්විපක්ෂ ක්‍රමය ක්‍රමානුකූලව අක්‍රීය බවට පත්වෙමින් බහු පක්ෂ ක්‍රමය ලොව පුරා තහවුරු වෙමින් පවති.
ආසියාවේ චන්ද බලය දිනාගත් ප්‍රථම රට ලෙස සර්වජන චන්ද අයිතිය ලැබිමෙන් අනතුරුව 1931 ජුනී පැවති ප්‍රථම මැතිවරණයේදිත්, 1936 පෙබරවාරි පැවති දෙවන මැතිවරණයේදිත් අපේක්ෂකයන් දේශපාලන පක්ෂ ලෙස ඉදිරිපත් නොවු අතර ඔවුන් ඉදිරිපත් වුයේ ස්වාධින පුද්ගලයන් ලෙසයි. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කලේ තනි තනි පුද්ගල දේශපාලන න්‍යාය පත්‍ර පමණි.

1935 දෙසැම්බර් 18 දින ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ලංකා සමසමාජ පක්ෂය ආචාර්ය එන්.එම් පෙරේරා සහ පිලිප් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ විම සනිටුහන් විය.
1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ 1947 පැවැත්වීමට නියමිතවු මැතිවරණයට තරගකිරිම සදහා ඩි.එස් සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 දි එක්සත් ජාතික පක්ෂය ආරම්භ විය. එජාපය බිහිවුයේම මැතිවරණයට තරග කිරිම සදහාවු සංවිධාන කිහිපයක සභාගයක් ලෙසයි.

1947 අගෝස්තු මැතිවරණය දින ගණනාවක් පුරා පැවති මෙම මැතිවරණයෙන් ආසන 95 කින් ආසන 42ක් ලබාගෙන එජාපය ආණ්ඩුවක් පිහිටුවිම සදහා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනිමද එක්තරා සභාග ආණ්ඩුවක ස්වභාවය පෙන්නුම් කරන ලදි. 1947 දෙසැම්බර් 03 ගෙන ආ ලංකා නිදහස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත විමෙන් පසු 1948 පෙබරවාරි 04 දින නාම මාත්‍ර නිදහස රටට හිමිවිය. එහිදි අග්‍රාමාත්‍යවරයා ලෙස ඩි.එස්.සේනානයක මහතාද ආණ්ඩුකාරවරයා ලෙස හෙන්රි මුවර් මහතාද පත්කර ගන්නා ලදි.එවක පැවති ආණ්ඩුවේ අමාත්‍ය වරයෙකු වු එස්.ඩබ්.ආර්.ඩ්.බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් සහිත නව පක්ෂයක් ලෙස 1951 සැප් 02 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනිමද ලාංකිය දේශපාලන ඉතිහාසයේ සිදුවු සුවිශේෂි සිදුවිමකි.

එමෙන්ම එවක අගමැතිවරයාගේ මරණයෙන් පසු ඔහුගේ පුතාවන ඩඩ්ලි සේනානායක මහතා 1952 මාර්තු 26 දින අගමැති ලෙස දිවුරුම් දෙන ලදි.1952 මැයි මස පැවති මැතිවරණයෙන් අළුතින් ගොඩ නැගු ශ්‍රීලනිපයේ පලමු වරට තම බලය උරගා බැලෙන මැතිවරණයක් විය , එහි ප්‍රථිපල අනුව එජාපය 54 ශ්‍රි.ල.නි.පය ආසන 09ක් හා ස්වාධීන අපේක්ෂකයන් 11 ක් සැලකිය යුතු වාමාංශික බලයක් ජයග්‍රහණය කර තිබුණි, එහිදි ඩ්ඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්විය. නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වු ජේ.ආර්.ජයවර්ධනගේ අයවැය යෝජනා වලට එරෙහිව ඇරඹි 1953 හර්තාලයද බොහෝ දේශපාලන වෙනස් කම් සදහ මග පැදු ක්‍රියාවලියකි.
අගමැති ලෙස කටයුතු කල ජෝන් කොතලාවල මහ මැතිවරණයකට ඉඩ දෙමින් 1956 පෙබරවාරි 18 පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.

මහමැතිවරණය ජයග්‍රහණ කිරිම සදහා එස්.ඩ්බ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා සැලැස්මක් සකස් කල අතර ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු බලගතු සංධාන දේශපාලන අත්දැකිම ලෙස පිලිප් ගුණවර්ධන මහතා නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්ෂයත් ඊරියගොල්ල මහතා හා දහනායක මහතාත් සෝමවීර චන්ද්‍රසිරි මහතාත් නායකත්වය දුන් භාෂා පෙරමුණත් එක්වි මහජන එක්සත් පෙරමුණ ගොඩනගාගන්නා ලදි.සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය නිතරග ගිවිසුම් ඇතිකරගෙන මැතිවරණයට ඉදිරිපත් විය.
බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සග, වෙද ඟුරු ,ගොවි කම්කරු යන පංච මහා බලවේගයක් ලෙස මැතිවරණ සටන ආකර්ෂණීය ලෙස මෙහෙය වන ලදි. රටට ජයග්‍රහණ රැසක් රැගෙන ආ එම සභාගයේ මැතිවරණ ප්‍රථිපල මේසේය.

මහජන එක්සත් පෙරමුණ ආසන 51, ලසසපය 14,පෙඩරල් පක්ෂය 10,එජාපය ආසන 08, කො.ප ආසන 03,
ලෙස වසර 09ක් රට පාලනය කල එක්සත් ජාතික පක්ෂය ආසන 08 කට බස්සමින් අමිහිරි පරාජයක් උරුම කර සුවිශාල ජනවරමක් ලබා ගෙන ආණ්ඩුවක් පිහිටවු අතර
එස්.ඩ්බ්ලිව් .ආර්.ඩි.බණ්ඩාරනායක මහතා එම ආණ්ඩුවේ අගමැතිවරයා විය.
1960 මාර්තු පැවැති මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවිමට නොහැකිවු අතර රජාසන කතාව පරාජයට පත්වි 1960 ජුලි නැවත මැතිවරණයක් කැදවු අතර සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය නිතරග ගිවිසුමක්( සභාග එකගතාවයක්)යටතේ තරගකර ජයග්‍රහණ කොට ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්විය.
1965 මාර්තු 22 පාර්ලිමේන්තු මහ මැතිවරණය මැතිවරණ කොඨිඨාශය 151 සදහා චන්දය පැවති අතර එජාපයට ආසන 66 ක් ලැබුණු අතර ශ්‍රි.ල.නි.පය (ශ්‍රි.ල.නි.පආසන 41,ස.ස.ප ආසන 10,කො.ප ආසන 04,) ප්‍රමුඛ සමගි සන්ධානයට ආසන55 ක් ලැබුණි,නමුත් එජාපය සමග පෙඩරල් පක්ෂය ,ශ්‍රිලංකා නිදහස් සමාජවාදි පක්ෂය (සී.පී.ද සිල්වා), මහජන එක්සත් පෙරමුණ(පිලිප් ගුණවර්ධන ,ජාතික විමුක්ති පෙරමුණ ආදි පක්ෂය 07 ක් එක්වි සුප්‍රසිද්ධ හත් හවුල් ආණ්ඩු පිහිටුවන ලදි. ඩඩ්ලි සේනානායක එහි අගමැතිවිය.

ලාංකීය දේශපාලනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කල 1970 මහ මැතිවරණයට ශ්‍රිලනිපය සහ අනෙකුත් පක්ෂ තරගවදින්නේ සමගි පෙරමුණ නැමති නිතරග ගිවිසුම් සභාගය ඔස්සේය. ආසන 168 ක් සදහා පැවති මැතිවරණ සටනෙන් ආසන ශ්‍රිලනිප ආසන 90,ලසසපය ආසන 19,කො.ප 06 දිනු අතර එජාපය ආසන 17 ක් ලබාගත්හ.එහිදි ම.එ.පෙ පිලිප් ගුණවර්ධන හා සී.පීද සිල්වා පරාජයවිමත් කැපි පෙනෙන සිදුවිමක් විය. ආණ්ඩුව අභ්‍යන්තරයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ වාමාංශික නායකයන් අතර දරුණු මත ගැටුම් ඇති විමත් සභාගය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අපොහොසත් විම නිසා එම පාලන කාලය යම් යම් සාධනීය ක්‍රියා තිබුණේවි නමුදු ජනයා මත අනවශ්‍ය පීඩනයක් ඇති කර තිබුණි. එහෙත් ගොඩ නගාගත් සභාගය ශක්තිමත්ව තිබුණේ වි නම් සහ දේශීය ආර්ථික පුනර්ජීවනය සදහා ජනතා සහභාගිත්වය සහිත දෝශ අවම කරගෙන කටයුතු කිරිමට හැකියාව ලැබුනේ නම් ලංකාව ආසියාවේ සහ ලෝකයේ කැපී පෙනෙන දීප්තිමත් රටක් වීමට හොදටම ඉඩ කඩ තිබ්ණි අප අදටත් කතා කරන ණය අරගෙන කාලාබිල ඉන්න රටක් වෙනුවට ආසියාවේ නිශ්පාදන කේන්ද්‍රස්ථානයක් විමට හැකියාව තිබුණි. සමගි පෙරමුණු ආණ්ඩුවට ලැබුණු ජනවරම කියවා ගැනිමට නොහැකි විම හා ෆීලික්ස්ගෙ බල උමතුව සහ උද්දච්ච කමේ ප්‍රථිපල අදද රටක් විදිහට අපි සැවොම විදවනව බවට නම් සැකයක් නැත. ඊටඅමතරව අනෙක් අතට ජාතික ගැටළුවේ නව වර්ධනයක්ද එම යුගයේ සනිටුහන් වුනේ මෙසේය.

1972 පෙඩරල් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 05 ත්‍රිකුණාමලයේදි එකට එකුතුවි දෙමළ එක්සත් පෙරමූණ නමින් සභාගයක් පිහිටුවාගත් අතර පසුව 1976 මැයි15 දෙමළ එක්සත් පෙරමුණේ වඩුක්කුඩෙයි හි පැවති 1 සම්මේලනයේදි එහි නම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස වෙනස් කරගනිමින් ඉදිරිපත් කල යෝජනාවලියේදි උතුරු නැගෙනහිර දෙපලාත සාම්ප්‍රදායික දෙමළ නිජබිම ලෙස ප්‍රකාශයට පත්වු අතර ඊලාම් රාජ්‍යේ භූමි ප්‍රදෙශය හා නිජභුමිය ලෙස ප්‍රකාශ කිරිම නිසා රටතුළ ඇතිවු තතවය ඔබ හොදින් අත් විද ඇත. මේ වටපිටාව තුල 1977 පැවති මහමැතිවරණයෙන් එජාපය 5/6ක බලයක ලබා ගැනිමට ඉවහල් වු අතර ශ්‍රීලනිපය ආසන 08 කට සිමාවු අතර විපක්ෂ නායකකම ආසන 17 ක් ලබා ගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ අමිර්තලිංගම් මහතාට හිමි විය. ඉන්පසු විවෘත ආර්ථික ප්‍රතිපත්ති හදුන්වාදිම විධායක ජනාධිපති ධුරය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දිම වැනි සමාජ හා ආර්ථික දේශපාලන යන සියළු කේෂ්ත වල තියුණු වෙනස් කම් ඇතිවිය. අද අපි අත්විදින ප්‍රශ්ණ බොහොමයක ආරම්භක ලක්ෂයක් ලෙස ක්‍රියාත්මක වුයේ 1970 සමගි පෙරමුණේ සමගිය නැතිවිමයි.

ඉන්පසු 1982 ජනාධිපතිවරණයේදි ජේ ආර්ගේ උවමනාව වු විපක්ෂයේ ජන්ද බෙදන උගුල නිසා අපේක්ෂකයන් 05 ඉදිරිපත් විම අවසන් වුයේ 60000 තරුණ තරුණියන්ට සිය ජිවිතය අහිමි කරමිනි. 1988 ජනාධිපති වරණයේදීද පොදු අපේක්ෂක අරමුණ බිද දැමිම ඔසි අබේගුණසේකර තරගයට පැමිණිම තුල එය තවතවත් වේගවත්විය. ඒ පාඩම් තුලින් 1995 ජනාධිපතිවරණයේ චන්දිකා සුවිශාල ජනවරමක් ලබන්නේ පොදුජන එක්සත් පෙරමුණ නැමති සභගය තුලිනි.
නමුත් ලබාගත් ජනවරම සුරකින්නට ඇයද කටයුතු කලේ නැත ඒ වෙනුවට තාරාද මෙල් ,මනෝ තිත්තවැල්ල පීබී ජයසුන්ද, රාජන් අශීර්වාදන් වැන්නන්ගේ සභාගයක් විසින් රට පාලනය සිදුවිය.

එල්ටිටි ත්‍රස්තවාදි උවදුර රට බෙදා වෙන්කිරිමේ ඉම දක්වා රැගෙන යමින් තිබුණ තත්වයක් තුල 2004 සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් ශ්‍රි.ල.නි.ප හා ඇතිකරගත් එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රාණය කිරිම සභාග දේශපාලනයේ ඉතා සාධනීය අවස්ථාවකි ඒ අනුව 2005 ජනපතිවරණ ජය හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රණය කිරිමටද සමත්විය. තීරණාත්මකව බෙදුම්වාදි ත්‍රස්තයන්ට එරෙහි සටන ආරම්භ වු අතර ජවිපෙ වැඩ වර්ජන කැදවිමටත් අයවැය පරාජය කර ආණ්ඩුව වැට්ටිම සදහ කටයුතු කිරිමට එරෙහිව විමල් වීරවංශ ප්‍රමුඛව මන්ත්‍රීවරු 10 දෙනෙක් බෙදුම්වාදි ත්‍රස්තයන්ට එරෙහි සටනේ නියුතු ආණ්ඩුව ආරක්ෂා කිරිමට කටයුතු කිරිමත් සභාග දේශපාලනයේ ප්‍රශස්ත අවස්ථාවකි. විමල් චම්පික රණවක සහ උදය ගම්මන්පිල යන අය එම සහයෝගය නොලැබෙන්නට ඊලම්‍ රාජ්‍ය ලෙස රට දෙකඩ වි නිසැක ලෙසම රටවල් දෙකක්ව පැවතිම සදහා තත්වයන් පෙලගැසි තිබිණ, එය වෙනස් කර රට ජයග්‍රහණය කලේ සභාග සාමුහික ප්‍රයත්නය නිසාය.

රාජපක්ෂ පවුල් පාලනයට එල්ලවු දුෂණ චෝදනා සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ඇහිරිම නිසා 2015 යහපාලන ආණ්ඩුව ගොඩනැගිම පිටුපස සැබැ කථාව නම් සභාග ගොඩ නගා තනි බලයක් හෝ පවුල් බල අධිකාරියක් හෝ දුෂිත ජුන්ටාවක් ගොඩ නැගිමට වත්මන් සමාජයේ අනුමැතිය නොමැති බවයි.

එම අත්දැකිම වරක් දෙවරක් නොව කිහිපවරක්ම අත්දැක තිබියදි 2019 ජනපතිවරණය සදහා දායක වු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්දානය උපතේ සිටම බැසිල් රාජපක්ෂගෙ ග්‍රහණයට නතු විමත් බහු පක්ෂය දේශපාලන සම්ප්‍රදාය වෙනුවට තනි පක්ෂ ඒකාධිකාරයකට නතුවිමත් මහින්ද රාජපක්ෂ චරිතය දේශපාලනිකව නිශ්ක්‍රීයවිමත් අඩු දේශපාලන අත්දැකිම් සහිත ගෝඨාභය ජනපතිවරයා සන්ධානය දේශපාලන නායකත්වයෙන් ඇත් කිරමත් ඇමතිකම් තේරිම සංවර්ධන කමිටු සභාපති තනතුරු දිම, ආයතන ප්‍රධානි තන්තුරු දිම, වැනි සියළු කටයුතු ඔහුගේ අභිමතයට අනුව සිදුවිමත් කොටින්ම අනෙක් පක්ෂ සුළු පක්ෂ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕනා කියන මානසිකත්වයයෙන් කටයුතු කිරිමත්, සභාග පකෂ එයාලගේ තොරණේ කවි කියන අය පමණක් බවට සිතන මනෝභාවයකින් කටයුතු කිරිම නිසා අහිමිවන දේ ඔබගේ සියැසින්ම පසු ගිය අවුරුදු දෙක පුරා දැක ඇති බවට සැකයක් නැත. අද රට මුහුණ දි සිටින්නේ බිහිසුණු අරබුධයකටය එය ඉක්මවිය හැක්කෙ සාමුහික බලගතු පරිශ්‍රමයකිනි. ඒසදහා දේශපාලන සාමුහිකත්වය මුලින්ම අතිවිය යුතුය.එසදහා ඔවුන් අතීතයෙදි පොදු රාමුවක් ඇතුළෙ වැඩකර ලැබූ අත් දැකිම් සහ දැනුම පළපුරුද්ද ඔස්සේ තමයි එය පරිපූර්ණත්වයට පත්කළ හැක්කේ.

එක් පුද්ගල නායකයෙක්ගේ හෝ පවුලක් වටා බලය කේන්ද්‍රකරගත් බල දේශපාලනය ඛණ්ඩනය කොටදැමිය යුතුය, එය ඉතිහාසයක් පුරාවට නැවත නැවත ලාංකීය දේශපාලනය භූමිය තුල ඔප්පු කර ඇත්තේ විනාශයයි.රට ආපස්සට ඇදගෙන යාමයි.රට විනාශය කරා කැදවාගෙන යාමයි.එය නිස්චිත ලෙසම අවසන් කිරිමේ ⁣ඓතිහාසික කර්තව්‍යට දායක විමට අවස්ථාව උදා වි ඇත.

Karunathilaka Herath



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More