පුරවැසි කොලම

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි 290ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා නොබෝදා ප්‍රකාශ කළේය. ඊට දෙදිනකට පෙර ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් පසු අතුරු අයවැය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ කතාවලට සවන්දෙන විට මෙම පසුබිම යටතේ ආර්ථිකය ඉදිරි කාලයේ දී යොමු විය යුතු දිශාව පිළිබඳව යම් ප්‍රමිතියකින් යුතු කතාවක් පාර්ලිමේන්තුව දෙසින් නෑසුණු තරම්ය. ඇතැම් මන්ත්‍රීවරුන් එකිනෙකාට දෝෂාරෝපණය කරගත් උපහැරණවලට උපහැරණවලින්ම පිළිතුරු දෙනු පෙනිණි.

ඇතැමුන් ගී පද ගැන විවරණ ඉදිරිපත් කරනු ඇසිණි. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ හරවත් කතාවක් ඇසුණි නම් ඒ මන්ත්‍රීවරයකුගෙන් නොව ආර්ථිකය පිළිබඳ මන්ත්‍රීවරුනට දේශනයක් දුන් මහ බැංකු අධිපතිවරයාගෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයගත් විට සේරම හරියන්නේ නැත. එසේ හරියනවා නම් මේ වනවිට අපට එක් වතාවකට දහසය වතාවක් හරි ගිහින්ය. ඒ මීට පෙර අප දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගත් බැවිනි. මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත රජය යොමු වූයේ ආර්ථික අර්බුදය ජනතාවට උසුලාගත නොහැකි තරම් උත්සන්න වූ විටයි.

මීට පෙර කල් තියා අවදානම දැන හැඳින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට යොමුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වැඩසටහන සාර්ථක කරගත් අවස්ථා කිහිපයක ආර්ථිකය යම් යහපත් මට්ටමකට පැමිණි වග එම තොරතුරු විමසා බලන්නකුට පෙනේ. ඉන් එක් වතාවක් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත් දෙවතාවෙන් පළමු අවස්ථාවයි.

ආර්ථිකය ඵලදායි තත්ත්වයට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසිවලට අදාළ වෙනස්කම් ඔවුන් කොන්දේසි පනවනතුරු නොසිට අප විසින් තනියම කර ගත යුතු ඒවා බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා එකල කීවේය. අද තත්ත්වයද එසේමය. අප ආර්ථිකය ඵලදායි මට්ටමට ගෙන ඒම සඳහා පියවර ගත යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි පනවන නිසා නොවේ. ඒවා අප විසින් කරගත යුතු නිවැරැදි කිරීම් නිසාය.

මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වූයේ ආර්ථික ව්‍යාධිය උත්සන්න වූ පසුව නිසා ඊට දෙන පිළියම් ද තරමක් තිත්ත විය හැකිය. රටේ ආර්ථික ව්‍යාධීන් මෙතරම් උත්සන්න බවට පත් වූයේ ඇයිද යන්න, ආර්ථිකය නිවැරැදි මගට මෙහෙයවා ගැනීමට පෙර අප මතක් කර ගත යුත්තේ පිළියම් යෙදීම සඳහා ඒ පිළිබඳ සවිඥානිකව සිටීම වැදගත් වන නිසාය. අප කළ වැරදි වර්ග දෙකකට බෙදා වෙන්කළ හැකිය. ආර්ථික අර්බුදය උත්සන්නවීමට බලපෑ මෑතකාලීන හේතු එක් වර්ගයකි. නිදන්ගත වැරදි අනෙක් වර්ගයයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය කන්දරාව ඇමරිකානු ඩොලර් බිලියන 50ක් පමණ වේ. එයිනුත් සියයට 90කට වඩා පසුගිය වසර දහය තුළ ලබාගෙන ඇත. වැඩි හරියක් එසේ ණය ගෙන ඇත්තේ යටිතල පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘති උදෙසා ය. බරපතළ ලෙස විදෙස් ණය ගෙන ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘතිවල ඵලදායිතාව අතිශය ප්‍රශ්නකාරීය.

2019 දෙසැම්බර් මාසයේ බදු කපා හැරීම් නිසා රුපියල් බිලියන 600ක ආදායමක් රජය අහිමි කර ගත්තේය. එම නිසා විදෙස් සංචිත වැය කරමින් විදේශ ණය ගෙවන්නට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ 2019 දී ඩොලර් බිලියන 7.9ක පමණ තිබූ විදේශ සංචිත පතුලට සිඳියාම ය. රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිය නිසා රටේ වී ප්‍රමුඛ කෘෂි අස්වැන්න සියයට 30කින් පමණ පහත වැටිණි.

රසායනික පොහොර තහනමට පෙර පැවති කන්නයේ දී සහල් අතිරික්තයක් නිෂ්පාදනය කළ අපට සහල් ආනයනය සඳහා ද විදේශ සංචිත වැය කරන්නට සිදුවිය. නූතන ආර්ථික න්‍යාය ගුරුකොට ගෙන දිගින් දිගටම මුදල් තොග අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය දිගින් දිගටම ඉහළ ගියේය.

නූතන ආර්ථික අසාධ්‍යභාවයට තුඩු දුන් නිදහස ලැබූ දා පටන් කරගෙන පැමිණි වැරදි ද බොහෝ ය. සහනාධාර සැපයීම් ඇතුළු රාජ්‍ය වියදම් දැරීම, දිගින් දිගටම මුදල් අච්චු ගැසීමෙන් කරගෙන ඒම එක් වරදකි. සම්ප්‍රදායික අපනයනවලට සීමා වී සිටීම තවත් බරපතළ වරදකි. 1978 ආර්ථිකය නිදහස් කොට විවෘත ආර්ථිකයට අවතීර්ණයවීමෙන් පසු විදෙස් වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථා ප්‍රමාණවත් අයුරින් අපි සාදා නොගත්තෙමු. ඍජු විදේශ ආයෝජන ඇසුරින් විදෙස් වෙළඳපොළ උදෙසා භාණ්ඩ නිෂ්පාදන වර්ධනය කර ගැනීමට ලැබුණු ඉඩප්‍රස්ථා අපි අහිමි කරගත්තෙමු.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිරිනමන ඩොලර් බිලියන 2.9න් කළ හැක්කේ ආර්ථිකය මිය යා නොදී හුස්ම වැටෙන තරමට පවත්වා ගැනීම පමණකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකී ණය මුදල පිරිනමන්නේ ණය හිමි විදෙස් රටවල එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවීමෙන් අනතුරුව බව වාර්තා විය. දැනට අපට ණය දීම අත්හිටුවා ඇති වෙනත් විදේශ මූලාශ්‍ර ඉන් අනතුරුව අපට ණය දීමට ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය හැකිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවන කොන්දේසි පිට හෝ ඒවායින් තොරව රටේ ආර්ථිකය ඵලදායි මට්ටමට ගෙන ඒමේ හෝ වගකීම පැවරෙන්නේ අපටය. රටේ ආර්ථික ව්‍යාධිය යම්තමින් සුවපත් කරගත් පසුව මාධ්‍යකාලීන හා දිගුකාලින පිළියම්වලට යොමු විය යුතුය. විදේශ වෙළඳපොළට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කොට අපනයන ආදායම් වර්ධනය කර ගත යුතු ය. අපට හරියන්නේ එවිට ය.
ලංකාදිප කතුවැකිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

ගැසට් කළ අධි ආරක්ෂිත කලාප ඉවත්කිරීමේ සූදානමක්!

කොළඹ නගරයේ විශේෂ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා...


Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ සහාය – අවලංගු වූ ජපාන ව්‍යාපෘති නැවත අරඹන බවට ජනපති රනිල්ගෙන් පොරොන්දුවක් – සිංගප්පූරු අගමැතිටත් තවත් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්&...


Read More

බයිඩෙන්ගේ හිටපු ප්‍රකාශිකාව “මැතිවරණ” අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු ප්‍රකාශිකාවක් වන ජෙන් සාකි මහ්ත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් එළඹෙන අමෙරිකානු මහ මැතිවරණය ඡන්දද...


Read More