පුරවැසි කොලම

ගරු ජනාධිපතිතුමා,
ගරු අග්‍රාමාත්‍යතුමා,
ගරු කථානායකතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමා,
ගරු මැතිදුනි,
21 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කුමන්ත්‍රණයක් විය හැකි බවට
පවතින මහජන අවිශ්වාසය සහ විරෝධය පිළිබඳව
ඔබතුමාලා ඉතා හොඳින් දන්නා පරිදි කඩිනමින් සම්මත කිරීමට යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහජනයා අතර පරස්පර මතවාද මෙන්ම අවිශ්වාසයක් සහ විරෝධයක් පවතින බව ජාතික සංවිධාන ලෙස අප අත්විඳින සත්‍යයකි. මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට විරෝධයක් නැතත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුත්තේ ආර්ථික අර්බුදය යම් පමණකට හෝ සමනය කිරීමෙන් පසුව බවට පොදු මතවාදයක් දරන බව ද සත්‍යයකි. එහෙත් යම් ලිබරල් මතධාරීන් ට අනුව ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය එකට බැඳී ඇති බැවින් පළමුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එසේ වුවත් ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා මිස කොටස් වශයෙන් ව්‍යස්ථාව සංශෝධනය කිරීමට නොවේ. නමුත් ආර්ථික අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වන තත්වයක් තුළ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන නිදහස් මහජන සංවාදයකට ඉඩකඩ නොමැති බව ඉතා පැහැදිලි කරුණකි. එවැනි තත්වයක් යටතේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම කිසිසේතම යථාර්ථයක් නොවන බව පිළිගැනීමට සිදුවේ.

කෙසේවෙතත් ජාතික සංවිධාන ලෙස අප විශේෂිත මතයක් දරන බව කිව යුතුය. අපගේ අවබෝධය අනුව ආර්ථික අර්බුදය විසදිම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් මත ජාතික අවම පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඊට අනුව ආර්ථික අර්බුදය සමනය කිරීමේ ක්‍රියාවලියේම කොටසක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. නමුත් එම ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොදු මහජනයාගේ දැනුම්වත්භාවය සහ එකගතාවය සහිතව සිදු කළ යුතු අතර එම ක්‍රියාවලිය තුළ විවෘත භාවය සහ සද්භාවය පෙන්වීම තුළින් මහජන විශ්වාසය තහවුරු කළ යුතුය. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය තුළ එම මූලික පූර්ව කොන්දේසි වලට ගරු කිරීමක් නොමැති බව පැහැදිලි වේ. උදාහරණයක් ලෙස කෙටුම්පතට ඇතුළු කිරීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ සහ විපක්ෂය විසින් ලබාදුන් යෝජනා කිසිවක් කෙටුම්පතට ඇතුල් කර නොමැති බව අප වෙත වාර්තා වී ඇත.

සර්ව පාක්ෂික එකඟතාවයක් පිළිබඳව කතාබහ කරන අතර එවැනි ක්‍රියාවලියක් සිදු කිරීම මගින් මහජනයාට ලබා දෙන පණිවිඩය යහපත් නොවේ. එසේම විපක්ෂ නායකවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාල සංශෝධන 2ක් ඉතා සූක්ෂම ලෙස ඇතුල් කර තිබීමද ගැටළු සහගතය. එසේම මේ වන විට දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකරන ප්‍රකාශ අනුව රටට ඩොලර් එවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කළ යුතු බවට කොන්දේසියක් පනවා ඇත. ඒ නිසා මේ වන විට ආණ්ඩුවේ යම් පාර්ශව විසින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු නොවන යම් බෙදුම්වාදී සංශෝධන එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඇතුල් කළ හැකි බවට මහජනයාගේ පැත්තෙන් බරපතල චෝදනාවක් එල්ල වී ඇත.

එම නිසා එවැනි කූඨ ව්‍යවස්ථා සංශෝධනයක් හෙවත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට ඉඩ නොතබන බවට ඔබතුමාලා විසින් මහජනයාට සහතිකයක් ලබා දිය යුතු බව ජාතික සංවිධානවල පොදු මතය වේ. ඒ අනුව වහාම පහත සඳහන් පියවර ගන්නා ලෙස සහ ඒ පිළිබඳව මහජනයා දැනුම්වත් කර මහජන විශ්වාසය ගොඩනගන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

1.අධිකරණයේ දී නීතිපතිවරයා විසින් එකඟ වන සංශෝධන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතුරින් ආණ්ඩුව එකඟවන සංශෝධන සියල්ල නිශ්චිත වගන්ති ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනයා වෙත ප්‍රකාශයට පත් කිරීම.

2.දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා කුමන පක්ෂ විසින් ඉදිරිපත් කළේද යන්න මහජනයාට අනාවරණය කිරීම.

3.කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී ඇතුළු කිරීමට නියමිත එම සංශෝධන මොනවාද යන්න ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දෙවන වර කියවීමේ විවාදයට පෙර සති 2ක කාලයක් අදාල සංශෝධන පිළිබඳ මහජන සංවාදය සඳහා ලබාදීම.

4.එසේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුල්කරන බවට ප්‍රකාශයට පත් කළ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් කෙටුම්පතට ඇතුල් නොකරන බවට සහතිකයක් ලබා දීම.

එසේ නොමැතිව මහජනයා විසින් සැකකරන ආකාරයට ඔබතුමාලා නොසැළකිලිමත් ලෙස ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට ගොදුරු වී 13 වැනි සංශෝධනය බලාත්මක කරන එක් වගන්තියක් හෝ කාරක සභා අවස්ථාවේදී සම්මත කළහොත් එම පාවාදීම නිවැරදි කිරීමට ඉතිහාසය විසින් කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව මෙසේ ලියාතබමු. බෙදුම්වාදයට එරෙහිව ජීවිත පූජා කළ රණවිරුවන් සහ සෙසු ජනතාවගේ නාමයෙන් අප එම වරදට කිසිදු සමාවක් ලබානොදන බව ද මෙසේ දන්වා සිටිමු. එම නිසා පනත් කෙටුම්පතට අදාළ ශේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම ලිපියට ප්‍රතිචාර දක්වන ලෙස සහ ඉහත සදහන් පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මේ
වගට,
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
කැඳවුම්කරු
ජාතික මහජන සභාව
2022.08.25



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More