පුරවැසි කොලම

19 ත් 20 ත් නැති 22

August 22, 2022 7:59 am | Lanka Lead News

22 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියත් සමග විධායක ජනාධිපති ධුරය පිළිබඳව කථිකාව යළිත් ආරම්භ වී ඇත. නමුත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සිදුකරන සංවාදය පවතින්නේ ඉතා දුප්පත් මට්ටමකය. එසේ සඳහන් කිරීමට සිදුවී තිබෙන්නේ එම සංවාදයට එක් වී තිබෙන එක් පාර්ශ්වයක් වංචාකාරීව කටයුතු කරමින් සිටින අතර අනෙකුත් පාර්ශ්වයන් එම වංචාව හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බැවිනි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව හරහා ය. ජයවර්ධන මහතා එම ධුරය හඳුන්වා දී ඇත්තේ සිංගප්පූරුව, දකුණු කොරියාව යන රටවල මෙන් එක් ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාවර රජයක් යටතේ දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම සඳහා බව පැවසේ. 1977ට පෙර වසර පහෙන් පහට ආණ්ඩු වෙනස්වීමත් සමග ආර්ථික ප්‍රතිපත්ති ද වෙනස් වී ඇති අතර එම කාලය තුළ බිහිවූ සමහර ආණ්ඩු අස්ථාවර ආණ්ඩු වී ඇත. 1977 මහ මැතිවරණයේදී ජයවර්ධන මහතා ප්‍රකාශකර ඇත්තේ මෙරට සිංගප්පූරුවක් කරන බවය.

කෙසේ වුවත් එදා විපක්‍ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙන්ම වාමාංශික පක්‍ෂ ද විධායක ජනාධිපති ධුරය හඳුන්වා දී ඇත්තේ ඒකාධිපතියකු බිහිකරන මඟක් ලෙස ය. අද වනවිටත් එම පක්‍ෂවල ස්ථාවරය වෙනස් වී නොමැති අතර මෙහිදී ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුත්තේ මාක්ස්වාදී පක්‍ෂ විධායක ජනාධිපති ධුරය පිළිබඳව අද එල්ල කරන චෝදනාවන් පිළිබඳවය.

එම පක්‍ෂය විධායක ජනාධිපති ධුරය පිළිබඳව විවේචන ඉදිරිපත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමේ සිට ය. එම පක්‍ෂයන් ද චෝදනා කරන්නේ විධායක ජනාධිපති ධුරය හරහා ඒකාධිපතියකු බිහිවන බැවින් එම ධුරය අහෝසි කළ යුතු බවත්, එම ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු බවත්ය.

මාක්ස්වාදී පක්‍ෂවල ඒකායන අරමුණ වී තිබෙන්නේ මෙරට තුළ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම ය. ඒ සඳහා එම පක්‍ෂවල නායකයන් කාල්මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින් ඇතුළු කොමියුනිස්ට්වාදී නායකයන්ගේ ඉගැන්වීම් අනුව කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.

එම නායකයන්ගේ ඉගැන්වීම්වලට අනුව කොමියුනිස්ට් සමාජයක් බිහිවීම සඳහා ධනවාදී පාලන ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව සංක්‍රාන්ති සමයත් ගත කළ යුතුය. ධනවාදී පාලන ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව බිහිවන ළඳරු සමාජවාදී රාජ්‍යය ආරක්‍ෂා කරගැනීම සඳහා නිර්ධන පන්තියේ ආඥාදායකත්වයකින් යුතු ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බව කාල්මාක්ස් ප්‍රකාශ කර ඇත. නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ බහු පක්‍ෂ ක්‍රමය අහෝසි වන අතර කොමියුනිස්ට් පක්‍ෂයේ ඒකාධිපති පාලනයක් බිහිවේ. සියලු මාධ්‍යයන් ද කොමියුනිස්ට් පක්‍ෂයේ අධිපත්‍යයට යටත්වේ.

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව රුසියාවේ බිහිවූ කොමියුනිස්ට් පාලනය සහ ඉන් අනතුරුව පිහිටවූ කොමියුනිස්ට් ආණ්ඩු කටයුතු කළ ආකාරයෙන් කොමියුනිස්ට් ආණ්ඩුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය, බදු පක්‍ෂ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැක. ලෙනින් රුසියාවේ පාලන බලය අල්ලා ගත්තේ ජනතාවට නිදහස, සාමය සහ පාන් දෙන බවට ප්‍රතිඥා ලබාදෙමිනි. ලෙනින්ට බලය අල්ලා ගැනීම සඳහා නාවික හමුදා අනුඛණ්ඩවල පවා සහයෝගය හිමි වී ඇත. නමුත් ඔහු බලය අල්ලා ගැනීමෙන් පසුව විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පවසමින් එම නාවික හමුදා අනුඛණ්ඩ අරගලයක් දියත් කර ඇත. එම අරගලය හඳුන්වන්නේ ක්‍රාන්ස්ටඩ් කැරැල්ල යනුවෙනි. එසේ වුවත් ලෙනින් ඔවුන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ ලියොන් ට්‍රොස්කි යොදා කාලතුවක්කුවලින් වෙඩි තැබීමෙනි. ලෙනින් රුසියාවේ බලය අල්ලා ගැනීමට පෙර ඩුමාව නමින් හැඳින්වූ පාර්ලිමේන්තුවක් විය. එම පාර්ලිමේන්තුවට ලෙනින්ගේ නායකත්වයෙන් යුතු බොල්ෂෙවික් පක්‍ෂයෙන් ද නියෝජිතයන් තේරී පත් වී ඇත. නමුත් ලෙනින් බලය අල්ලා ගැනීමෙන් පසුව පැවැත්වූ මැතිවරණයෙන් ඔහුගේ පක්‍ෂය පරාජයට පත්වී ඇති අතර, ඉන් අනතුරුව රුසියාවේ කොමියුනිස්ට් පාලනය පවතින තුරු බහු පාක්‍ෂික මැතිවරණ පවත්වා නොමැත. ලෙනින් “නිදහස, සාමය සහ පාන්” යන සටන් පාඨය ජනතාව හමුවේ තබා බලය අල්ලා ගත්තත් ඔහු බලයට පත්වීමෙන් ප්‍රායෝගිකව සිද්ධ වූයේ සාර් රාජ්‍ය පාලනය යටතේ තිබූ ඩුමා පාර්ලිමේන්තුව පවා අහෝසි වී යෑම පමණි.

ලෙනින්, සාර් රාජ්‍ය පාලන කාලය තුළදී එම පාලනයට එරෙහිව ප්‍රවිදා, ස්ත්‍රා යන නම්වලින් යුතු පුවත්පත් සහ සඟරා ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව වෙනත් දේශපාලන පක්‍ෂ සහ සංවිධානයන් විසින් ද විවිධ පුවත්පත් සහ සඟරා ප්‍රකාශයට පත්කර ඇත. නමුත් ලෙනින් බලයට පත්වීමෙන් පසුව එම සියලු ප්‍රකාශනයන් තහනම් කර ඇති අතර ප්‍රකාශයට පත් වී ඇත්තේ බොල්ෂෙවික් පක්‍ෂයේ ප්‍රකාශනයන් පමණි.

පිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ බලය අල්ලාගෙන ඇත්තේ ද බහු පක්‍ෂ මැතිවරණ පැවැත්වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට ප්‍රතිඥා ලබාදෙමිනි. කැස්ත්‍රෝට පෙර කියුබාව පාලනය කළ බැට්ස්ටා කටයුතු කර ඇත්තේ ද කැස්ත්‍රෝ මෙන්ම ඒකාධිපතියකු ලෙසිනි. එම පසුබිම තුළ බැට්ස්ටාට එරෙහිව අරගල කළ කැස්ත්‍රෝගේ ප්‍රධානම සටන් පාඨයක් වී ඇත්තේ බහු පාක්‍ෂික මැතිවරණ පැවැත්විය යුතු බවයි. බහු පාක්‍ෂික මැතිවරණ පවත්වන බවට ජනතාවට ප්‍රතිඥා ලබාදී 1959 දී බලයට පත්වූ කැස්ත්‍රෝ දශක 3කට අධික කාලයක් එරට පාලනය කළත් එම කාලය තුළදී බහු පාක්‍ෂික මැතිවරණ නොපැවැත්වූ අතර අද දක්වා ද එරට තුළ කොමියුනිස්ට් පක්‍ෂයට හැර වෙනත් කිසිදු පක්‍ෂයකට දේශපාලන කටයුතු කිරීමේ නිදහස නොමැත.

එපමණක් නොව, පිදෙල් කැස්ත්‍රෝ බැට්ස්ටාට එරෙහිව අරගල කරමින් සිටි කාලය තුළ කිසිදු අවස්ථාවක තමන් කියුබාව තුළ කොමියුනිස්ට් ආණ්ඩුවක් බිහිවුණ බව ප්‍රකාශ කර නොමැත. එසේ වුවද කැස්ත්‍රෝ තම සහෝදරයා වූ රාවුල් කැස්ත්‍රෝ ඒ වනවිටත් කියුබාවේ පිහිටුවා තිබූ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයකු බවට පත්කර සිට ඇත. 1959 දී කියුබාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පවසමින් බලයට පත්වූ කැස්ත්‍රෝ 1961 වනවිට එරට කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ලෙනින් රුසියාවේ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කර බලය අල්ල ගත්තත්, කැස්ත්‍රෝ කියුබාවේ බලය අල්ලාගෙන ඇත්තේ වංචාවෙන් වන බවයි.

එබැවින් මාක්ස්වාදී පක්‍ෂ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් කුමක් කීවත් අසන්නන් ඒ පිළිබඳව සිහිකල්පනාවෙන් ඇසිය යුතුව ඇත. විධායක ජනාධිපති ධුරය සහ නිර්ධන පන්ති ආඥාදායකත්වය යන බල අධිකාරීන් ගෙන සංසන්දනාත්මකව බැලුවහොත්, නිර්ධන පන්ති ආඥාදායකත්වය ඒකාධිපති ලක්‍ෂණවලින් අනූන බව පැහැදිලිය. තවත් විධියකට ප්‍රකාශ කරනවා නම් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් සඳහා කටයුතු කරන පක්‍ෂවලින් විධායක ජනාධිපති ධුරය ‘වෙහෙර ගිලපු එකාට අග්ගල ගෙඩිය කජ්ජක් ද’ යනුවෙන් විමසිය හැක. සැබැවින්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උනන්දු වන්නේ ඒ තුළින් රට අස්ථාවර කර ඔවුනට බලය අල්ලා ගැනීමට පහසු වන නිසා බව පැහැදිලිය. එබැවින් එම පක්‍ෂ විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගනිමින් සිටින බවට චෝදනා කළ හැක.

එහෙත් මෙම වංචාකාරී ක්‍රියාව හෙළිදරව් කිරීමට කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් මේ වනවිට කටයුතු කරන්නේ නැත. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදයට බහු පක්‍ෂ ක්‍රමයට, මාධ්‍ය නිදහසට පක්‍ෂ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන විසින් එම සත්‍යය ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුව ඇත. නමුත් ප්‍රායෝගිකව සිද්ධවෙමින් පවතින්නේ මාක්ස්වාදී පක්‍ෂවල නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කරන දේශනවලට අනෙකුත් පක්‍ෂ සහ සංවිධානවල නායකයන් සවන් දී සිටීමය. 21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය හරහා ඇති වී තිබෙන සංවාදය මෙම වංචාව හෙළිදරව් කිරීමට උදාවූ හොඳ අවස්ථාවක් බව සඳහන් කළ හැක.

එරික් ගාමිණි ජිනප්‍රිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More