පුරවැසි කොලම

ජනිපෙ නායක විමල් වීරවංශ USAID ට එරෙහිව තනිව සටනක් දියත් කර ඇත. බොහෝ අය ඔහුගෙන් සහ එම පක්ෂයෙන් විමසන්නේ “ඕක ඇත්තක් ද” කියායි. මේ ලිපිය USAID රජයන් පෙරලීමට දරණ කුමන්ත්‍රණ හෙළිදරව් කරන්නකි. මෙය “ද ගාඩියන්” [https://www.theguardian.com/world/2014/apr/03/us-cuban-twitter-zunzuneo-stir-unrest ] වෙබ් පිටුවේ පල වූවකි. USAID විසින් කියුබානු රජයට එරෙහිව තරුණයින් උසි ගැන්වීම සඳහා “ස්මාර්ට් මැරයන්” සංවිධානය කළ ආකාරය මෙම ලිපියෙන් හෙළිදරව් කර ඇත. ලිපිය හෙළිකරන තොරතුරු ලංකාවේ අපට ද සමීපය. විශේෂයෙන්ම අරගලයේ ආසන්න අත්දැකීම් මීට සමපාතය.

කියුබානු රජයට වල කැපීමේ අරමුණින් සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක් ගොඩනැගීමේ රහසිගත සැලසුමක අවසන් අදියර ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද රජයේ නිලධාරියෙකු වූ ජෝ මැක්ස්පෙඩන් [Joe McSpedon] බාර්සිලෝනා වෙත 2010 ජූලි මාසයේදී පියාසර කළේය.

මැක්ස්පෙඩන් සහ ඔහුගේ අධි තාක්‍ෂණික කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායම කොස්ටාරිකා සහ නිකරගුවාව, වොෂින්ටන් සහ ඩෙන්වර් වලින් පැමිණ සිටියහ. ඔවුන්ගේ මෙහෙවර වූයේ සිය දහස් ගණනක් කියුබානුවන් වෙත ළඟා විය හැකි පණිවිඩ ජාලයක් දියත් කිරීමය. ජාලය කියුබානු රජයෙන් සැඟවීමට, ඔවුන් කේමන් අයිලන්ඩ්ස් බැංකු ගිණුමක් [ Cayman Islands bank account ] භාවිතා කළේය.
මෙය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය [United States Agency for International Development – USAID ] විසින් මුදල් ගෙවා ක්‍රියාත්මක කරන ලද වැඩ සටහනකි.
මාධ්‍ය ආයතනය ලබාගත් ලේඛනවලට අනුව සහ ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලට අනුව, ජංගම දුරකථන හරහා කෙටි පණිවිඩ යැවීම භාවිතා කරමින් “හිස් අස්ථි සහිත කියුබානු ට්විටර් ” සංවර්ධනය කිරීම මෙහි සැලසුම විය. ඒ කියුබාවේ තොරතුරු පිළිබඳ දැඩි පාලනය සහ අන්තර්ජාලය හරහා එහි ගෙල සිරකිරීමේ සීමාවන් මඟහරවා ගැනීම සඳහාය.

කුමන්ත්‍රණ සැලැස්ම

මේ ට්විටර් [Twitter] කුමන්ත්‍රණ කණ්ඩායම ZunZuneo [ZZ] ලෙස හැඳින්වේ. මේ කණ්ඩායමේ සැලැස්මට අනුව “ආන්දෝලනාත්මක නොවන අන්තර්ගතයන්” හරහා ග්‍රාහක පදනමක් ගොඩනැගීමට එක්සත් ජනපද රජය සැලසුම් කර ඇති බව ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව පාපන්දු, සංගීතය සහ සුළි කුණාටු පිළිබඳ ප්‍රවෘත්ති පණිවිඩ යැවීම මෙහි ආරම්භක අදියර වී තිබේ. පසුව එනම් ජාලය තීරණාත්මක ග්‍රාහකයින් පිරිසක් වෙත ළඟා වූ විට, කියුබානුවන් පෙලඹවීම අරමුණු කරගත් දේශපාලන අන්තර්ගතයන් හඳුන්වා දෙනු ඇත. එමඟින් සිය දහස් ගණනින්, ක්‍රියාකරුවන් එනම් “බුද්ධිමත් මැරයන් [smart mobs] ” සංවිධානය කිරීම සැලැසුම විය. එම සැලැස්මට අනුව “කියුබානු වසන්තයක්” [Cuban spring] ඇති කළ හැකි මොහොතක දැනුම් දීමකින් මහජන රැස්වීම් කැඳවනු ලැබේ. මේ සැලැස්ම “රාජ්‍යය සහ සමාජය අතර බල තුලනය නැවත සාකච්ඡා කිරීම”ලෙස USAID ලේඛනවල සඳහන්ව ඇත.
මේ සැලැස්මේ උච්චතම අවස්ථාව වන විට ප්‍රවෘත්ති බෙදා ගැනීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට කියුබානුවන් 40,000කට වැඩි පිරිසකගේ ග්‍රාහක ජාලයක් ZunZuneo තනා ගෙන තිබුණි. නමුත් එය එක්සත් ජනපද රජය විසින් නිර්මාණය කරන ලද්දක් බව මේ අය දැන සිටියේ නැත. ඒ වගේම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන් විසින් දේශපාලන අරමුණු සඳහා භාවිතා කිරීමට තමන්ගේ පුද්ගලික දත්ත රැස් කරන බව එහි ග්‍රාහකයින් කිසි විටෙකත් දැන සිටියේ නැත.

ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවෙකුට අනුව, “මෙහි එක්සත් ජනපද රජයේ

මැදිහත් වීම ගැන කිසිසේත්ම සඳහනක් සිදු නොවනු ඇත. මෙය සේවාවේ දිගු කාලීන සාර්ථකත්වය සඳහා සහ මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා අතිශයින් වැදගත් වේ.” යනුවෙන් සඳහන් කර තිබේ.
එක්සත් ජනපද නීතියට අනුව ෆෙඩරල් ආයතනයක් විසින් කරන ඕනෑම රහසිගත ක්‍රියාවක් සඳහා ජනාධිපති අවසරයක් තිබිය යුතුය. මෙම වැඩසටහන අනුමත කළේ කවුරුන්ද යන්න හෝ ධවල මන්දිරය එය දැන සිටියේද යන්න ගැන USAID හි නිලධාරීන් ප්‍රකාශ කර නැත.

මේ අතර USAID හි ප්‍රකාශක නිලධාරී මැට් හෙරික් සඳහන් කර ඇත්තේ ඒජන්සිය කියුබාවේ වැඩසටහන් ගැන ආඩම්බර වන අතර කොන්ග්‍රස් විමර්ශකයින් පසුගිය වසරේ ඒවා සමාලෝචනය කර එය එක්සත් ජනපද නීතියට අනුකූල බව සොයා ගත් බවයි. ඒ වගේම ” USAID යනු සංවර්ධන නියෝජිතායතනයක් මිස බුද්ධි ඒජන්සියක් නොවේ. මිනිසුන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ ජීවිත වැඩි දියුණු කිරීමට වගේම බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය මෙවලම් වෙත ප්‍රවේශය ලබා දීමට අපි ලොව පුරා ක්‍රියා කරමු. බිම සමඟ වැඩ කරමින් සතුරු පරිසරයකදී, අපි බොහෝ විට හවුල්කරුවන් ආරක්ෂා කිරීමට පියවර ගනිමු. මෙය කියුබාවට පමණක් ආවේණික දෙයක් නොවේ.” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ ලෝකයේ දුප්පතුන්ට සහ අවදානමට ලක් වූවන්ට ආධාර ලබා දීම සඳහා USAID හි මෙහෙවර සඳහා විදේශ ආණ්ඩුවල විශ්වාසය අවශ්‍ය වේ. නමුත් කියුබාව තුළ එවැනි අවසරයක් නැත. මීට පෙර අන්තර්ජාලයට ප්‍රවේශය ලබා දීමේ වැඩ සටහනක් සඳහා කියුබාවට යවන ලද USAID උප කොන්ත්‍රාත්කරුවෙකු වන ඇලන් ග්‍රෝස් අත්අඩංගුවට [2009] ගෙන තිබුණි. සාමාන්‍යයෙන් රජයන්ට පමණක් ලබා ගත හැකි සංවේදී තාක්‍ෂණය භාවිතයෙන් අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කිරීමේ රහස් මෙහෙයුමක් සඳහා ඇලන් ග්‍රෝස් කියුබාවට නැවත නැවතත් ගමන් කර ඇති බව හෙළිදරව් විය.
මේ අත්අඩංගුවට ගැනීමෙන් ටික කලකට පසු මෙම ZZ සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ. කියුබානු රජය අන්තර්ජාලය අචිලස්ගේ විලුඹක් ලෙස සැලකූ අතර ඒ අනුව එය පාලනය කළේය. සන්නිවේදන ඇමතිවරයෙකු එය හැඳින් වූයේ “හීලෑ කළ යුතු” “වල් කොටළු පැටවෙකු” ලෙසය.

එහෙත් ෆිදෙල් කැස්ත්‍රෝ සිය සොහොයුරු රාවුල් කැස්ත්‍රෝට බලය පැවරීමෙන් පසු වසර කිහිපයක් තුළ ජංගම දුරකථන භාවිතය දිරිමත් කිරීමට පටන් ගත්තේය. අන්තර්ජාලයට ප්‍රවේශය ලබා ගැනීමේ පහසුකම් සහිත ස්මාර්ට්ෆෝන් සීමා කර තිබුණද, සිය දහස් ගණනක් ජනයා හදිසියේම පළමු වරට ජංගම දුරකථන භාවිතා කළේය.

මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත් කුමන්ත්‍රණකරුවෝ, කියුබානු සන්නිවේදන සම්බාධක මඟ හරවා ගනිමින් විවිධ රටවලින් කියුබානුවන් වෙත පණිවිඩ යැවීමට සැලැසුම් කළහ.ඒ එක් පණිවිඩයක් නිකරගුවාවෙන්, තවත් එකක් ස්පාඤ්ඤයෙන්, තවත් පණිවිඩයක් මෙක්සිකෝවෙන් වශයෙන්ය. පණිවිඩ එන රටවල් නිරන්තරයෙන් මාරු කිරීමෙන් පෙළ යවන්නේ කවුරුන්ද යන්න සඟවා ගැනීම මෙහි අරමුණ විය.
මෙම සේවාව ප්‍රවේශමෙන් ආරම්භ වූ අතර ප්‍රධාන වශයෙන් තරුණ කියුබානුවන්ට පණිවිඩ යොමු විය. දේශපාලන වෙනස සඳහා වඩාත්ම විවෘත කොටස ලෙස USAID දුටුවේ තරුණයින්ය.
ඒ අනුව “අපි අවදානම ක්‍රමයෙන් වැඩි කළ යුතුයි,” USAID ලේඛනයක් යෝජනා කළේය. එ් වගේම “ස්මාර්ට් මැරයන්” [Smart mobs] භාවිතා කිරීම “විවේචනාත්මක අවස්ථාවන්හිදී පමණක් සිදු කළ යුතු අතර අපගේ මූලික වේදිකාව මත පදනම් වූ ජාලයට හානියක් නොවන පරිදි” එය කළ යුතු බවට අනුබල දුන්නේය.

ස්මාර්ට් මැරයන් අදියර 4ක් තුළ ක්‍රියාත්මක බව පර්යේෂණ පත්‍රිකා පෙන්වා දෙයි

මේ අතර USAID හි කොන්ත්‍රාත්කරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායමේ සේවාව සඳහා සහකාර වෙබ් අඩවියක් ගොඩනඟා ගත් අතර එමඟින් කියුබානුවන්ට දායක වීමට, ප්‍රතිපෝෂණ ලබා දීමට සහ ඔවුන්ගේම කෙටි පණිවිඩ නොමිලේ යැවීමට හැකි විය. වෙබ් අඩවිය සැබෑ ව්‍යාපාරයක් ලෙස පෙනෙන්නේ කෙසේද යන්න ගැනත් ඔවුන් කතා කළහ. ඒ අනුව එකතු කළ ව්‍යාජ දැන්වීම් සහ බැනර් එයට වාණිජ ව්‍යවසායක පෙනුමක් ලබා දුන්නේය.

USAID හි “ස්මාර්ට් මැරයන්” වැදගත් විදේශ ප්‍රතිපත්ති මෙවලමක්

සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී වැදගත් මෙවලමක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියා සිටියි
USAID කාර්ය මණ්ඩලයේ විවිධ ලේඛන පෙන්වා දෙන පරිදි කෙටි පණිවුඩ යැවීම මඟින් මෝල්ඩෝවා සහ පිලිපීනයේ දේශපාලන නැගිටීම් සහ අනෙකුත් අය අතර ස්මාර්ට් මැරයන් බලමුලු ගන්වා ඇති බවයි. ඒ අතර 2009 ජූනි මාසයේදී බලයට පැමිණි ඉරානයේ ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ්ගේ තේරී පත්වීමෙන් පසු USAID කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍යවල භූමිකාව ගැන සටහන් තබා ඇති අතර එය වැදගත් විදේශ ප්‍රතිපත්ති මෙවලමක් ලෙස සලකා ඇත.‍

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මතය වූයේද සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත් මෙවලමක් බවටයි. ඇය 2011 දී ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පැවැති දේශනයකදී පැවසුවේ “පීඩක අන්තර්ජාල පරිසරයක සිටින මිනිසුන්ට පෙරහන් වටා යාමට” එක්සත් ජනපදය උදව් කරන බවයි. ටියුනීසියාවේදී, “අප දන්නා පරිදි, විප්ලවීය වෙනසකට තුඩු දුන් ව්‍යාපාරයකට ඉන්ධන සැපයීමට උපකාර වූ දුක් ගැනවිලි සංවිධානය කිරීමට සහ ඒවා බෙදා ගැනීමට මිනිසුන් තාක්ෂණය භාවිතා කළ බව”ද ඇය පැවසුවාය.
කියුබාවේ පෙරලිය පිළිබඳව USAID ලේඛන පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ මූලෝපායික අරමුණ වූයේ “උපක්‍රමශීලී සහ තාවකාලික මුල පිරීම් හරහා රජය ඇනහිටීමකින් ඉවතට තල්ලු කිරීම සහ සංක්‍රාන්ති ක්‍රියාවලිය නැවත ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් කරා ගෙන යාම”යි. ඒ අනුව රජයට දක්වන පක්ෂපාතීත්වය මත USAID විසින් කියුබානු සමාජය කොටස් පහකට බෙදා ග්‍රාහක ජාලයේ වැඩ ආරම්භ කළේය. කණ්ඩායම ඔවුන්ගේ ජාලය “නොදැමුණු කොටළුවා” ලෙස අන්වර්ථව නම් කළේය.

මේ කණ්ඩායම මුලදී මධ්‍යම ඇමරිකාවේ සිට ක්‍රියාත්මක විය. ඔවුන්ගේ තාක්ෂණික සහෝදරයා වන බර්න්හයිම්, නිකරගුවාවේ අගනුවර වන මනගුවා හි සේවය කළ අතර, මැක්ස්පෙඩන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් වෙන්වුවද, කොස්ටාරිකාවේ සැන් ජෝස්හි කාර්යාලයක සිට නිර්මාණාත්මක [Creative ] වැඩ කටයුතු අධීක්ෂණය කළේය. එක්සත් ජනපද නිලධාරීන්ට අනුව එය වොෂින්ටනයේ ඇහිබැම ඉහළ දැමූ අසාමාන්‍ය විධි විධානයකි.

ජෝ මැක්ස්පෙඩන් Joe McSpedon

මේ කණ්ඩායමේ එළියට පෙනෙන මූලිකයා ජෝ මැක්ස්පෙඩන් USAID විසින් පවත්වාගෙන යන සංක්‍රාන්ති සඳහා මුලපිරීම් කාර්යාලයේ [Office of Transition Initiatives ] වැඩ කළේය. මෙය බුද්ධි ඒජන්සියකි. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ඉක්මණින් වෙනස් වන දේශපාලන පරිසරයන් තුළ එක්සත් ජනපද අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා USAID විසින් මෙය නිර්මාණය කරන ලද්දකි.

කියුබානු සංගීත ප්‍රසංගයක් හරහා සමාජ ජාලයේ බලය උරගා බැගීම

මේ අතර 2009 සැප්තැම්බර් 20 දින, කොලොම්බියානු රොකර් ජුවාන්ස්ගේ “දේශසීමා රහිත සාමය” නම් ප්‍රසංගය සඳහා කියුබානුවන් දහස් ගණනක් හවානා වෙත රැස් වූහ. 1998 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ සංචාරයෙන් පසු කියුබාවේ පැවති විශාලතම මහජන රැස්වීම එය විය.
නමුත් ZunZuneo කණ්ඩායමට මෙම ප්‍රසංගය ඔවුන්ගේ අංකුර සමාජ ජාලයේ දේශපාලන බලය උරගා බැලීමට ලැබූ කදිම අවස්ථාවක් විය. ඒ අනුව ප්‍රසංගයට සති කිහිපයකට පෙර සිට, අටවා ගත් සමාගම හරහා කියුබානු ආණ්ඩුව කුමක් කරනු ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා “පිපිරුම්” ලෙස හැඳින්වූ කෙටි පණිවිඩ මිලියන භාගයක් යවා ඇත.
ඒ වගේම කියුබානු පන්නයේ පණිවිඩ ලිවීම සඳහා හවානා හි උපන් දැන් චිලී රටේ ජීවත් වන උපහාසාත්මක කලාකරුවෙකු වන ඇලන් ලෝසන් ෆැල්කන් කුලියට ගත්තේය. යැවූ සමහරක් පණිවිඩ මෘදු දේශපාලනික හා හාස්‍යජනක වූ අතර අනෙක් ඒවා වඩාත් උල්පන්දම් විය. ඒ වගේම කණ්ඩායම පරිස්සම් වීම සඳහා “හාස්‍යමය අර්ථයක් සහිත පණිවිඩවල ප්‍රබල දේශපාලන ප්‍රවනතාවයක් නොතිබිය යුතු අතර, එ්වා ලබන්නන් තුළ එදිරිවාදිකම් ඇති නොවන පරිදි ” සකස් කළ යුතු බවට උපදෙස් ලබා දුනි.

ඇලන් ලෝසන් ෆැල්කන් ඇදි කාටූනයක්

යැවූ පණිවිඩ අතර රජයේ අනුග්‍රහයෙන් ජනප්‍රිය දේශීය සංගීත ක්‍රියාකාරකම් දෙකක් ජුවාන්ස් සමඟ වේදිකා ගත කිරීම සුදුසු බව ඔවුන් සිතන්නේ දැයි එක් පණිවිඩයකින් විමසීය. විචාර බුද්ධිය එක්රැස් කිරීම සඳහා මත විමසුම භාවිතා කළ බව නොදැන එයට ලක්ෂයක පමණ [100,000] පිරිසක් ප්‍රතිචාර දැක්වූහ
මෙයින් පසුව 2010 පෙබරවාරි මාසයේදී සමාගම තම කෙටි පණිවිඩ සේවාව වන ZunZuneo න් කියුබානුවන් වෙත හඳුන්වා දී අලෙවි කරණය ආරම්භ කළේය. මාස හයක් ඇතුළත, එයට ග්‍රාහකයින් 25,000කට ආසන්න සංඛ්‍යාවක් සිටියේය. එය වේගයෙන් වර්ධනය වූ අතර USAID කණ්ඩායමට පාලනය කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි අවධානයක් දිනා ගත්තේය.
කියුබාව සතුව ලෝකයේ අති නවීන ප්‍රති-බුද්ධි මෙහෙයුමක් තිබුණද, ZunZuneo කණ්ඩායම සිතුවේ පණිවිඩ සේවාව යහපත් ලෙස පෙනෙන තාක් කල්, කියුබාව එය සැක නොකරනු ඇති බවයි.
කෙසේ වෙතත් 2011 මුල් භාගය වන විට, ZunZuneo සමාගම ස්වයංපෝෂිත කිරීමට සහ එක්සත් ජනපද රජයෙන් ස්වාධීන කිරීමට අසමත් වීමත් සමඟ Creative Associates [ මෙය USAID විසින් මෙවැනි මෙහෙයුම් සඳහා භාවිතා කරන සමගමකි] කෝපයට පත් විය. මෙහෙයුම විසඳිය නොහැකි ගැටලුවකට මුහුණ දී තිබුණි. USAID රහස් බැංකු ගිණුමක් හරහා කියුබාවේ විදුලි සංදේශ ඒකාධිකාරය වෙත කෙටි පණිවුඩ ගාස්තු වශයෙන් ඩොලර් දස දහස් ගණනක් ගෙවමින් සිටියේය. එය දරාගත හැකි හෝ සාධාරණීකරණය කළ හැකි තත්වයක් නොවීය.
කෙසේ වෙතත්, USAID හි නිලධාරීන් එකක් තේරුම් ගත්තේය. ඔවුන් වේදිකාවෙන් පිටව ගියහොත් මිස, ඔවුන්ගේ සම්බන්ධය සදහටම වසන් කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත්තේය.
2012 මැද භාගය වන විට, කියුබානු පරිශීලකයින් මෙම සේවාව ක්‍රියාත්මක වූයේ වරින් වර පමණක් බවට පැමිණිලි කිරීමට පටන් ගත්හ. පසුව එය කොහෙත්ම නැහැ වැඩ කළේ නැත.
කියුබාව ද මේ පිළිබඳව කිසිවක් කියා නැත.

ප්‍රියන්ත නාවින්න
2022.08.21



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More