පුරවැසි කොලම

දීර්ඝ කාලයක් මග වරදවාගෙන යාත‍්‍රා කළ නෞකාවක් ආහාර සහ ජලය හිග වීම වැනි ගැටලූ වලට අමතරව කුණාටුවකට හසු වීම නිසා තවදුරටත් අර්බුදයට ලක්විය හැක. එවැනි තත්ත්වයකදී ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා සේවකයින්ගේ සහ මගීන්ගේ විරෝධය නැවේ කපිතාන්වරයා ට එරෙහිව එල්ල වීම ස්වාභාවික තත්වයකි. එහිදී කපිතාන්වරයාට තවදුරටත් විරෝධතාකරුවන්ගේ විශ්වාසය දිනාගත නොහැකි තත්ත්වයක් ඇති වුවහොත්, එනම් එම තත්වය සමනය කර ගැනීමට නොහැකි වුවහොත් අර්බුදය තවදුරටත් වර්ධනය වීම වැළැක්විය නොහැක. එවැනි තත්ත්වයකදී කෝපයට පත්වන විරෝධතාකරුවන් අතරින් පිරිසක් තමාට අර්බුදය විසඳිය හැකි යැයි කල්පනා කළ හැක. ඒ අනුව නැවේ පාලනය තම අතට ගැනීමට යම් උත්සාහයක් දැරිය හැක. එහිදී ඇතිවන ගැටුම් සහ වෙඩිහඬ අසල මුහුදේ නැංගුරම් ලා සිටින මුහුදු කොල්ලකරුවන් විසින් නිරීක්ෂණය කරන බව විරෝධතාකරුවන් මෙන්ම කපිතාන්වරයා ද නොදන්නවා විය හැක.

එම ගැටුම් වල උච්චතම අවස්ථාවක දී කපිතාන්වරයා ඔසවා මුහුදට දැමීම හෝ ඔහුට මුහුදට පැනීමට බල කිරීම යන විකල්ප උත්තර ඉදිරිපත් විය හැක. එවැනි තත්ත්වයකදී අවස්ථාව උදාවන තුරු නිරීක්ෂණය කරමින් සිටින මුහුදු කොල්ලකරුවන්ට නෞකාව අත්පත් කරගැනීමට සහ පිරිස් යටත්කර ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය වේ. එහිදී යම් පිරිසක් සිදුවුන දේ පිළිබඳව පශ්චාත්තාපයෙන් යුතුව අසරණව බලා සිටීමට ඉඩ ඇත. තවත් සුළු පිරිසක් දුෂ්කර තත්ත්වයන් යටතේ පවා මුහුදු කොල්ලකරුවන් සමග සටන් කිරීමට ඉදිරිපත් විය හැක. එහෙත් බහුතරය තමා දීර්ඝ කාලයක් අත් විඳින ලද දුෂකරතාවයන්ගෙන් ගැලවිය හැකි යැයි සහ මුහුදු කොල්ලකරුවන් ඊට ඉඩ සලසනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන්ට සහාය පළ කරනු ඇත. ඒ මගින් සියලූ දෙනා වෙනත් රටක වහලූන් බවට පත් විය හැක. ඒ මගින් දුෂ්කරතාවයට මුහුණ දී අර්බුදය ජය ගැනීමට එනම් කුණාටු මැදින් නව දූපතක් සොයාගැනීමට තිබෙන අවස්ථාව හෙවත් අර්බුදයෙන් පුනරුදයට ගමන් කිරීමට තිබූ අවස්ථාව ද අහිමි වේ. කෙසේ වෙතත් දැන් ආර්ථික සහ දේශපාලන කුණාටුවට ගොදුරු වී ඇති ශ‍්‍රී ලංකාව නම් වූ නෞකාවේ කපිතාන්වරයා ස්වකැමැත්තෙන් මුහුදට පැණ අවසන්ය.

මෙම දීර්ඝ පූර්විකාව අවශ්‍ය වන්නේ මේ නිශ්චිත මොහොතේ දී වික්ෂිප්තව සිටින ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාවට තමා මුහුණ දෙමින් තිබෙන තත්වය දෙස විචක්ෂණශීලීව ප‍්‍රත්‍යාවලෝකනය කිරීම සඳහා ප‍්‍රවේශයක් ලෙස ය. මේ වන විට රටේ පොදු ජනතාව අරගලකරුවන් නමින් හදුන්වා ගන්නා මීට පෙර දුෂ්කර සටන් බිම්වල දී හඳුනා නොගත් උද්වේගකර තරුණ පිරිස් විසින් ඉදිරිපත් කරන අදහස් සහ මතවාද වලට සංවේදීව සවන් දෙන බවට විවාදයක් නැත. රූපවාහිනි දර්ශනවල දැක්වෙන ඔවුන්ගේ වීරත්වය හමුවේ පූස් පැටවුන් සේ ක‍්‍රියා කරන ආරක්ෂක හමුදා සහ පොලිස් නිළධාරීන් දකින විට මහජනයාට අසරණව බලා සිටීම සහ අසා සිටීම හැර වෙනත් විකල්පයක් නැත. ආණ්ඩුවට එරෙහිව පවතින බරපතළ සමාජ විරෝධය තුළ අරගලකරුවන්ට කොන්දේසි විරහිතව එම වාසිදායක තත්ත්වය ලැබී ඇත. ඊට අමතරව තුළ තිරය පිටුපස සිට අරගලකරුවන් දිරිමත් කරන සහ යම් උද්වේගකර අවස්ථාවල පමණක් අරගල භූමියට පැමිණ මයික‍්‍රෆෝන් අතට ගන්නා ප‍්‍රබල නීතිඥයන් සහ ආගමික නායකයන් කිහිප දෙනෙකු හදුනාගත හැක. ඔවුනට සමස්තයක් ලෙස අරගලයට සහ යම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට සුජාත භාවයක් ලබාදීමට විශාල අවකාශයක් නිර්මාණය වී ඇත. ඒ නිසා පවතින ආපදා තත්ත්වයේ දිග පළල සහ ගැඹුර මෙන්ම ඉදිරියේ දී ඇතිවිය හැකි වර්ධනීය තත්වයන් පිළිබඳව හරවත් සංවාදයක් මතු වන්නේ නැත. ඊට අමතරව අරගලයේ ඝෝෂාව නිසා එවැනි සංවාදයක් සඳහා මතවාද සහ අදහස් ඉදිරිපත් කරන සාම්ප‍්‍රදායානුකූල දේශපාලන බලවේග වල හඬ පවා යටපත් වන බවටද විවාදයක් නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ මේ වන විට පවතින ආපදා තත්ත්වය යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවට හතුරු බලවේග විසින් දියත් කරන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම් වලට එරෙහිව ප‍්‍රති මෙහෙයුම් සඳහා අවස්ථාව අහිමි වීමය. එදා 2004 දී ස්වාභාවික තත්ත්වයක් වූ සුනාමි ආපදාව ප‍්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් සුනාමි සහන මණ්ඩලය නමින් ප‍්‍රභාකරන්ට අන්තර්කාලීන ආණ්ඩුවක් ලබාදීමට ගනු ලැබූ උත්සාහය පරාජය කිරීමට හැකි වූයේ ඊට අදාලව ප‍්‍රබල සමාජ සංවාදයක් ගොඩ නැගීමට හැකි වූ බැවිනි. එදා එසේ කළ නොහැකි වූවානම් සුඩානයට අද අත්වී ඇති ඛේදජනක ඉරණම ශ‍්‍රී ලංකාවට ද අත්වී තිබෙන බවට කිසිදු සැකයක් නැත. කෙසේ වෙතත් මැයි 9 භීෂණය සහ ජුලි 9 රටේ අගමැතිගේ පුද්ගලික නිවස ගිනි තැබීම මගින් එම භිෂණයේ දිගුවක් ඇතිවිය හැකි බවට ලබාදී ඇති සංඥාව නිසා ද සමාජ සංවාදයකට තිබෙන ඉඩකඩ තව දුරටත් හැකිලෙන බව පිළිගැනීමට සිදුවේ. දැන් අගෝස්තු 9 භිෂණයක් පිළිබඳවද අනතුරු ඇඟවීම තුළ එසේ මානසික බාධක පැනවීමේ ක‍්‍රීයාවලිය තවදුරටත් පවත්වාගෙන යන බවක් දැකගත හැක.

චීන – ශ‍්‍රී ලංකා සබඳතා අවුල් කිරීම

එවැනි තත්ත්වයක් තුළ මේ වන විටආර්ථික ආපදාව සහ ඒ තුළින් වර්ධනය වූ දේශපාලන අර්බුදය යොදාගනිමින් ඇමරිකාවේ ආශිර්වාදය යටතේ ඉන්දියාව විසින් දියත් කරමින් තිබෙන ආපද අධිරාජ්‍යවාදී මෙහෙයුම පිළිබඳව අරගලකරුවන්ට ඒත්තු ගැන්විය නොහැකි බව ඉතා පැහැදිලිය. එසේ වුවත් රටේ පොදු ජනතාවට සිහිබුද්ධිය පහළ වූ අවස්ථාවක ප‍්‍රත්‍යාවලෝකනය කිරීම් සඳහා මෙම ලිපිය මගින් දිරිමත් කෙරෙන සංවාදය වැදගත් විය හැක. මෙම ලියුම්කරු විසින් මීට පෙරද සඳහන් කර ඇති ආකාරයට වත්මන් ආර්ථික අර්බුදයේ මූල හේතුව 1977 දී ආරම්භ කළ ඊනියා විවෘත ආර්ථිකය නම් වූ පරාධීන ආර්ථික මොඩලය බව තර්කානුකූලව ඔප්පු කළ හැක. කෝවිඞ් වසංගත තත්ත්වය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අසමත්කම නිසා සිදුවූයේ අර්බුදය පුපුරා යාම නියමිත කාලයට පෙර ප‍්‍රකාශයට පත්වීම පමණි. එසේ වුවත් එම ක‍්‍රියාවලිය තළ අර්බුදය වර්ධනය කිරීම සඳහා ආර්ථික ඝාතක ක‍්‍රියාවලියක් රාජ්‍ය අභ්‍යන්තරයෙන් දියත් වූ බවට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ හැක. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී අපරීක්ෂාකාරී ලෙස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන 12,0000කට අධික ප‍්‍රමාණයක් ඉතා ඉහළ පොළියට නිකුත් කිරීම මගින් විදේශ ණය ලබාගැනීම සහ විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් විනිමය පාලනය දුර්වල කිරීම ඒ අතුරින් ප‍්‍රධාන සාක්ෂියකි. ඊට අමතරව වර්තමාන රජය යටතේ පසුගිය වසරේදී රජයට රුපියල් බිලියන 600ක බදු ආදායම් අහිමි කිරීම තවත් උදාහරණයකි.

එම ක‍්‍රියාවලිය තුළ ආර්ථික අර්බුදයේ මූලික අවස්ථාවේදී එනම් එය දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වීමට පෙර ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා හෙවත් බැඳීම් වර්ධනය කිරීම සඳහා මෙන්ම චීන – ශ‍්‍රී ලංකා සබඳතා අවුල් කිරීම සඳහා ප‍්‍රබල මෙහෙයුමක් දියත් වූ බව පැහැදිලි කරුණකි. ඒ අනුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් 3ක් අත්සන් කිරීමට අමතරව ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ වරායේ තෙල් සැපයුම අයි. ඕ.සී සමාගමට පවරා දීම, කන්තලේ සීනි කර්මාන්තශාලාව ආශ‍්‍රිතව අක්කර 20,000ක් සමග ආනයනික සීනි පිරිපහදු කිරීමේ නාමයෙන් රටටම මද්‍යසාර බෙදාහැරීමේ අවසරය ලබාදීම, කොළඹ වරායේ බටහිර ජැටිය පවරාදීම, අදානි සමාගම සහ තවත් ඉන්දියානු රාජ්‍ය සමාගමකට මෙගාවොට් 500 බැගින් සුනිත්‍ය බල ඒකාධිකාරිය ලබාදීම මෙන්ම අනාගතයේ දී වරායේ නැගෙනහිර ජැටිය සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවරා දීම සඳහා රහසිගත සාකච්ඡා පැවැත්වීම ආදී වශයෙන් විශාල අත්පත්කරගැනීම් ප‍්‍රමාණයකට ඉඩ සලසනු ලැබීය. ඊට සමගාමීව මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අදියරට අදාළ ටෙන්ඩර් පටිපාටියෙන් චීන සමාගම බැහැර කිරීම, උතුරේ සුනිත්‍ය බල ව්‍යාපෘතිය අවලංගු කිරීම, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආශ‍්‍රික සංවර්ධන ක‍්‍රියාවලිය පරිපාලන වශයෙන් අවහිර කිරීම ආදී ක‍්‍රියාමාර්ග මගින් චීන – ශ‍්‍රී ලංකා සබඳතා බිඳ වැට්ටවීම සඳහා දැනුම්වත්ව ප‍්‍රබල මෙහෙයුමක් දියත් වූ බව දැන් රහසක් නොවේ.

එම ක‍්‍රියාවලියේ උච්චතම අවස්ථාවක් වූයේ අපේ‍්‍රල් මාසයේදී ශ‍්‍රී ලංකාව විසින් චීනයේ එක්සිම් බැංකුවට ගෙවිය යුතු වූ ඩොලර් ඩොලර් මිලියන 78 ක පොළී වාරිකය පැහැර හැරීමය. ඒ වනවිට ඒ සඳහා අවශ්‍ය සංචිත ප‍්‍රමාණයක් තිබුණද එම පැහැර හැරීම ඒකපාර්ශවීයව වර්තමාන මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව ය. ඊට අමතරව මහ බැංකු අධිපතිවරයා පමණක් නොව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය බංකොලොත් භාවයට පත්ව ඇති බව එනම් තවදුරටත් විදේශීය ණය වාරික හා පොලී ගෙවීම් අත්හිටුවන බවට ප‍්‍රකාශ කරනු ලැබීය. එම ප‍්‍රකාශය මත පදනම්ව ඇමරිකාවේ හැමිල්ටන් එක්ස්ප‍්‍රස් බැංකුව ජුනි මස 25 දිනට කල් පිරෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් වටිනා ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හැරීමට ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව සූදානම් වන බවට නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එම නඩුවේ තීන්දුව අනුව ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ සුනාමියකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඉතා පැහැදිලිය. එනම් ශ‍්‍රී ලංකාව සතු වත්කම් සහ බැංකු ගිණුම් පවරාගැනීම සහ අත්හිටුවීමට අමතරව ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය හරහා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සිදු කිරීම අත්හිටුවීම සහ නැවත ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට ඉඩ නොදීම ආදී පියවර ඊට ඇතුළත් විය හැක. එම නඩුව අගෝස්තු 26 දින විභාග කිරීමට නියමකර ඇත.

ශ‍්‍රී ලංකාව ඉන්දු – පැසිෆික් න්‍යාය පත‍්‍රයේ පාර්ශවකරුවෙකු කිරීම

එවැනි භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබිය දී ඉහත සඳහන් කළ ආකාරයට චීන එක්සිම් බැංකුව සමග ඇතිකරගත් ගැටුම නිසා ශ‍්‍රී ලංකාව මූල්‍ය ප‍්‍රපාතයටම ඇද වැටීමට නියමිත ව ඇත. එනම් සියලූ ජාත්‍යන්තර සිර කිරීම් මැද උදව් ලබා ගැනීමට තිබෙන හෙවත් එළියට පැන ගැනීමට තිබෙන එකම දොරට පයින් ගසා වසා දැමීම කාගේ උවමනාවක්ද? ණය පොලී ගෙවීම පැහැර හරින ලද ණය කරුවෙකුට නැවත ණයදීම චීන එක්සිම් බැංකුව විසින් ප‍්‍රතික්ෂේප කරන බව මහ බැංකු නිලධාරීන් නොදන්නවා යැයි පිළිගත හැකිද? ඒ ආකාරයට ශ‍්‍රී ලංකාව අසරණභාවයට පත් කිරීම තුළ ඉන්දියාව විසින් දිගහරින අපදාඅධිරාජ්‍යවාදී මාර්ග සිතියමට ශ‍්‍රී ලංකාව ගොදුරු වන බව ඉතා පැහැදිලිය. ඉන්දියාව ආරම්භයේ සිට ම ඊනියා ක්‍රෙඩිට් ලයින් මගින් හුස්ම ගැනීමට ඉඩ සැලසුව ද අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වූයේ නැත. ඉන්ධන අර්බුදයට අදාළවද රුසියාවෙන් අඩුමිලට ලබාගත් ඉන්ධන ශ‍්‍රී ලංකාවට වැඩි මිලට ලබා දීම හැර වෙනත් සහනයක් ලබා දුන්නේ නැත. උදාහරණයක් ලෙස අයි.ඔ.සී සමාගමට තම මවු සමාගමෙන් ණය පදනම මත ඉන්ධන ආනයනය කර වසර අවසානයේ දී ගෙවීමේ හැකියාව ඇත. නමුත් එම සමාගම එවැනි උපකාරයක් කිරීමට ඉදිරිපත්වූයේ ද නැත.

ඒ වෙනුවට අපනයන කර්මාන්ත වලට තොග වශයෙන් ඉන්ධන ලබා දෙන ලෙස රජය විසින් කරනු ලැබූ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වූයේ ඒ සඳහා ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බවට කොන්දේසි පනවමිනි. ඊට අමතරව පවතින අර්බුදය තුළ අයි.ඔ.සී මෙහෙයුම් පුළුල් කරමින් රටේ බලශක්ති සුරක්ශිතතාවයට බලපෑම් කිරීමේ හැකියාව අත්පත් කර ගැනීම සඳහා අමතර පිරවුම්හල් ප‍්‍රමාණයක් අවශ්‍ය බවට ද කොන්දේසි පනවන බව දැන් රහසක් නොවේ. එම ක‍්‍රියාවලියේ අවසන් අරමුණ අර්බුදය උත්සන්න කර ඊට විසඳුම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ගැට ගැසීම බවට සහ ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බවට තහවුරු කිරීම බව ඉතා පැහැදිලිය. එසේ ඉන්දියානු ආර්ථිකය සමඟ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඒකාබද්ධ කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ඒකකය මෙන්ම රේගු ක‍්‍රියාවලිය සහ බදු අය කිරීමේ ක‍්‍රියාවලිය ඒකාබද්ධ කිරීම අවශ්‍යවේ.

ඒ අනුව උදාහරණයක් ලෙස එල් සැල්වදෝරයේ ආර්ථික අර්බුදයක දී එම රටට ඇමරිකානු ඩොලරය හදුන්වා දුන් ආකාරයට ශ‍්‍රී ලංකාවේ රුපියලට අමතරව ඉන්දියානු රුපියල මගින් ගනුදෙනු කිරීමේ තත්ත්වය නිර්මාණය කෙරුණු ඇත. එම ක‍්‍රියාවලියේ අවසානය ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය හෙවත් අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමය. දැනට උග‍්‍ර වෙමින් පවතින දේශපාලන අර්බුදය යොදා ගනිමින් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළහොත් 30 වැනි ප‍්‍රාන්තය ද බිහිවිය හැක. එම තත්ත්වය අනුව වසර 2500කට අධික කාලයක් තුළ ආක‍්‍රමණ 12කට ආසන්න ප‍්‍රමාණයක් මගින් ඉටු කර ගත නොහැකි වූ අරමුණක් ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට ඉන්දියාවට අවස්ථාව නිර්මාණය වේ. මෑතකාලීනව ඊට අදාළ මහාභාරත් න්‍යාය හෙවත් ඉන්දියාවේ අසල්වැසි රටවල් අර්ධ යටත් විජිත බවට පත් කිරීමේ න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ සුප‍්‍රකට ඉන්දියානු රාජ්‍යතාන්ත‍්‍රික විද්වතෙකු වූ සර්ධාර් පනික්කාර් විසිනි. එය පනික්කාර් න්‍යාය ලෙස හැදින්විය. එම ක‍්‍රියාවලිය සමස්ත ඇමරිකාවේ ඉන්දු පැසිෆික් න්‍යාය පත‍්‍රයේම කොටසක් බව වටහා ගැනීම අමාරු නැත. යුද ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකාවට අදාල උපාය මාර්ගික සිතියම නැවත සටහන් කිරීම නමින් ඇමෙරිකාවේ කොන්ග‍්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වූ උපායමාර්ගික විශ්ලේෂණයක් ඇතුළත් පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ද ශ‍්‍රී ලංකාව ඉන්දු – පැසිෆික් න්‍යාය පත‍්‍රයේ පාර්ශවකරුවෙකු කරගන්නේ කෙසේදැයි ප‍්‍රකාශයට පත් වී ඇත. ඊට අමතරව චීන විදේශ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පර්යේෂණාත්මක තොරතුරු සංග‍්‍රහයක් මගින් ඇමරිකාවේ එන්.ඊ.ඞී නම් වූ සී.අයි.එ. සංවිධානයේ අතුරු සංවිධායක් ලෙස ක‍්‍රියා කරන සංවිධානයක් මගින් උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල සිදු කරන මැදිහත්වීම පිළිබඳව සහ ඒ සඳහා යොදා ගන්නා උපාය උපක‍්‍රම හඳුනා ගෙන ඇත. එම රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙන් සිදුකරන මැදිහත්වීම් විශේෂයෙන්ම එහිදී යොදා ගනු ලබන මානසික යුද උපක‍්‍රම ශ‍්‍රී ලංකාවේ වර්තමාන අරගලය තුළ ද දැක ගත හැක. එම මෙහෙයුම් සඳහා බොහෝ දුරට නීත්‍යානුකූලව පෙනෙන ආකාරයට අරමුදල් සපයනු ලබන්නේ ඇමෙරිකානු ආධාර සංවිධානය හෙවත් යූ.එස්.එයිඞ් සංවිධානය හරහා ය. ශ‍්‍රී ලංකාවේ දී එම සංවිධානයේ කාර්යාලයක් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ කාර්යාලය තුළ පිහිටුවීම සහ එම සංගමයේ සභාපතිවරයා අරගලය තුළ විශාල භූමිකාවක් ඉටු කිරීමද විශේෂ තත්ත්වයකි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ පාලකයා ආණ්ඩුව හෝ ඊනියා රෙජීමය වෙනස් කළ පමණින් ඉන්දු – පැසිෆික් න්‍යාය පත‍්‍රය හකුලා ගැනීමක් සිදු නොවන බවය. රෙජීමය වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාමේ පූර්ව කොන්දේසියක් ලෙස මිස අවසාන අරමුණක් ලෙස නොවන බව යුක්රේනයේ රෙජීම් චේන්ජ් ක‍්‍රියාවලියට අදාල අධ්‍යයනයන් අනුව ඉතා හොඳින් පැහැදිලි වේ. යුක්රේනයේ ක‍්‍රියාවලියට නායකත්වය ලබාදුන් වික්ටෝරියා නූලන්ඞ් පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකාවට අදාල මාර්ග සිතියම දිග හැරීම සඳහා බව ඉන් පසුව ඇමරිකානු තානාපතිනිය විසින් සිදුකළ මැදිහත්වීම් අනුව පැහැදිලි වේ. මේ වන විට ජනාධිපතිවරයාට පමණක් නොව ආරක්ෂක ප‍්‍රධානීන්ට පවා මානසික බාධක පැනවීම සඳහා ඇය ඉදිරිපත් වූ බව රහසක් නොවේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස් වූ පමණින් සියල්ල අවසන් නොවන බව ඉතා පැහැදිලිය. පසුගිය දිනවල ඇමරිකානු සෙනට් සභිකයකු විසින් සඳහන් කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ අන්තර්කාලීන ආණ්ඩුව ජාත්‍යන්තර මැදිහත්වීමක් මගින් පිහිටුවිය යුතු බව ය. එය සැබෑ ලෙසම ලිබියාවේදී යොදා ගත් ආකාරයට ඉන්දු – ඇමෙරිකානු ඒකාබද්ධ උපායමාර්ගික ප‍්‍රවේශයක් නම් ආර්ථික අර්බුදය වර්ධනය වෙමින් තිබියදී දේශපාලන අර්බුදය ද තවදුරටත් වර්ධනය කිරීම සඳහා බොහෝ මැදිහත්වීම සිදු විය හැක. පසුගිය දිනවල ඇමෙරිකාවේ සෙනට් සභිකයෙකු සහ එංගලන්තයේ ලිබරල් ඩිමොක‍්‍රටික්ස් පක්ෂයේ නායකයා මෙන්ම ඉන්දියාවේ සුබ‍්‍රමානියම් ස්වාමි විසින් ශ‍්‍රි ලංකාවේ අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවට මතවාද ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව සර්දාර් පනික්කාර්ගේ උපායමාර්ගය බටහිර අධිරාජ්‍යවාදී බලවේගවල ආශිර්වාදයෙන් ශ‍්‍රි ලංකාවට අදාලව අත්හදා බැලීමට නියමිත බව පැහැදිලිව දැක ගත හැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More