පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ වර්ධනය වන ආර්ථික අර්බුදය 1977 සිට ආරම්භ කළ පරාධීන ආර්ථික මොඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයක් බවට බොහෝ තර්ක ඉදිරිපත් කළ හැක. එසේම පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ඩොලර් මිලියන 12000 ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සහ විදේශ විනිමය පනත දුර්වල කිරීම මගින් වත්මන් අර්බුදයට ප්‍රභල දායකත්වයක් සැපයූ බවටද බොහෝ සාක්ෂි ඇත. එහෙත් ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වීම සහ එය දේශපාලන අර්බුදයක් බවට පරිවර්ථනය වීම සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අසමත්කම් නිසා බවට විවාදයක් නැත. මෑතකාලීනව ආර්ථික අර්බුදය සැබෑ ලෙසම දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වන්නේ මාර්තු 3 වැනිදා සිටය. ඒ ආකාරයට දේශපාලන අර්බුදය මූලික වශයෙන් ආරම්භ වන්නේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් වූ දේශපාලන පක්ෂ දෙකක නායකයින් දෙපළක් අමාත්‍ය තනතුරු වලින් ඒක පාර්ශවීයව නෙරපා හැරීම සමගය. ඊට අදාළ ගැටුමට මුල්වන්නේ මාර්තු 2 වැනිදා ‘මුළු රටම හරි මගට’ නමින් ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 11ක් විසින් මහා සමුළුවක් පවත්වා ආණ්ඩුවට අභියෝග කිරීම ය. එම සමුළුවේදී ඒ වන විට එක්තරා උච්චතම අවස්ථාවකට වර්ධනය වී තිබූ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ ආකාරයට ආණ්ඩුවේ සුළු පාර්ශවකරුවන්ට එසේ කණ්ඩායමක් ලෙස එකතු වීමට බල කරනු ලැබුවේ ඊට පෙර අනුරාධපුරයේදී එම පක්ෂ පිටමන් කරමින් පොදුජන පෙරමුණ පමණක් සහභාගීවන රැස්වීමක් පැවැත්වීම මගින් ලබාදුන් අදූරදර්ශී සංඥාව නිසාය. එම විරසකය විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ විරෝධය‘මුළු රටම හරි මගට’සමුළුව තුළින් ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශයට පත්විය. එහි දී ඉදිරිපත් වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාළව ආණ්ඩුවට අභියෝග කිරීමට වඩා බැසිල් විරෝධය ප්‍රදර්ශනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවිය. ඒ නිසාම ඒ වනවිට ආණ්ඩුව තුළ සිටිමින් අර්බුදය පිළිබඳව අනතුරු ඇඟවූ එම අමාත්‍යවරුන් දෙපළ ආණ්ඩුවෙන් නෙරපා හැරීමට අවස්ථාව නිර්මාණය විය. එදා 1976 දී සමග පෙරමුණු ආණ්ඩුවේ වාමාංශික පක්ෂ එළියට දැමීම සඳහා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් ඉටුකළ භූමිකාව මෙදා බැසිල් රාජපක්ෂ විසින් ඉටු කරනු ලැබීය. කෙසේවෙතත් ඊට ගොදුරුවීම පිළිබඳව පක්ෂ 11 කණ්ඩායමට ද ඉතිහාසය විසින් යම්වගකීමක් පවරනු ඇත.
ඒ ආකාරයට ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුමක් මගින් බාහිර ආණ්ඩු විරෝධී පාර්ශවවලට ප්‍රබල අවකාශයක් සහ ආරම්භයක් ලබා දීම යනු නැවත නිවැරදි කළ නොහැකි දේශපාලන වරදකි.

එදා 1976 දී සිදුකළ ඊට සමාන වරද නිසා 1977 දී සමස්තය කණ පිට හැරවීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට අවකාශය නිර්මාණය විය. අද උත්සන්න වී ඇති ආර්ථික අර්බුදයේ උපත සිදුවන්නේ එදා ඒ ආකාරයට ආර්ථික මොඩලය කණපිට හැරවීම නිසාය. ඒ නිසා එම වරද වර්තමාන ආපදාව ඛේදවාචකයක් බවට පරිවර්තනය කිරීමට මුල්වන ඓතිහාසික දේශපාලන වැරදි අතුරින් පළමු වරද ලෙස හඳුනාගත හැක. එම වරද සමග ආණ්ඩුවට එරෙහිව උත්සන්න වන විරෝධතා රැල්ල හමුවේ ආණ්ඩුව තවදුරටත් දුර්වල වන අතර ආර්ථික අර්බුදය ද ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් විරෝධතාකරුවන්ගේ මූලික දේශපාලන ආයුධය වන අර්බුදය විසදීමට අසමත්වීම යන චෝදනාවෙන් ගැලවීම සඳහා හෙවත් එම ආයුධය උදුරා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අසමත්විය. එනම් අර්බුදයේ ගැඹුර පිළිබඳව අවංකව සමාජය දැනුවත් කිරීමට සහ අර්බුදය විසදීම සඳහා උපායමාර්ගික වැඩපිළිවෙලක් සහ මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කර සමාජ එකඟතාවයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව අසමත් විය. ආණ්ඩුව විසින් එවැනි උත්සායක් නොගැනීම මෙන්ම විපක්ෂය ඒ සඳහා බලපෑම් නොකිරීම මගින් ආර්බුදය ආපදාවක් බවට පත්වීම නිසා ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමකට ඉඩ කඩ විවෘත විය. එම වරද දෙවන එෛතිහාසික වරද ලෙස හැදින්විය හැක.

නීතිඥ සංගමය , මානව හිමිකම් කොමිසම සහ අමෙරිකානු තානාපතිනියගේ මානසික බාධක

එසේ අර්බුදය තවදුරටත් උත්සන්න වන තත්වයක් යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා නම්‍යශීලීවිය. ඊට පෙර විරෝධතාකරුවන් විසින් ප්‍රචණ්ඩ ලෙස තම පුද්ගලික නිවස මෙන්ම ජනාධිපති කාර්යාලය වටලෑමේදී පවා ඔහු අසාමාන්‍ය ලෙෂ නම්‍යශීලීව හෝ දුර්වල ලෙස කටයුතු කළ බව රහසක් නොවේ. ඉන්දියාවේ මාස 6කට වඩා පැවැති ගොවි උද්ඝෝෂණය හෝ 2014 දී යුක්රේනයේ ‘රෙජීම්චේන්ජ්’ සඳහා යොදාගත් මයිඩාන් උද්‍යානයේ ආරම්භ කළ ‘අල්ලාගෙන සිටීමේ’ උද්ඝෝෂණය වැනි ප්‍රබල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පවත්වාගෙන ගිය ආකාරයට නීතියට යටත්ව මානව හිමිකම් භුක්ති විදින ලෙස උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබුණි. එසේම රජයේ ප්‍රධාන කාර්යාලයක ගේට්ටුව වසා දැමීම හෝ රාජ්‍ය දේපළ අත්පත්කර ගැනීම වැනි නීති විරෝධී ක්‍රියා සිදු නොකර සාමකාමීව පොදු උද්‍යානයක උද්ඝෝෂණය පවත්වාගෙන යන ලෙස දැඩි සීමාවක් පැනවීමට හැකියාව තිබුණි. එහෙත් ක්‍රමයෙන් උද්ඝෝෂකයින්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමේ දී පවා මහජනයා සිතින් මවාගෙන තිබූ ජනාධිපතිවරයාගේ පෞරුෂයට වඩා වෙනස් සහ දුර්වල නායකත්ව පෞරුෂයක් දැකගත හැකි විය.

ඉන් පසුව වැඩ බලනජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ රඟපෑම සමග සසඳන විට ඒ බව වඩා හොඳින් පැහැදිළි විය.ඊට ප්‍රධාන වශයෙන් විවිධ ක්‍රමවේද මගින් ඔහුට පනවන ලද මානසික බාධක හේතු වූ බව ඉතා පැහැදිලිය. මූලික වශයෙන් සමාජ මාධ්‍ය සහ නීතිඥ සංගමය මෙන්ම ප්‍රබල නීතීඥවරුන් පිරිසක් සහ මානව හිමිකම් කොමිසම ද එසේ මානසික බාධක පැනවීමේ ක්‍රියාවලියට ප්‍රබල ලෙස දායක වූ බව දැකගත හැකිවිය. එසේම එම ක්‍රමවේද මගින් පැනවිය නොහැකි වූ මානසික බාධක පැනවීමට ඇමරිකානු තානාපතිනිය සෘජුව ඉදිරිපත්වූ බව රහසක් නොවේ. ඇය ජනාධිපතිවරයාට පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට සහ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට පවා එසේ මානසික බාධක පැනවූ බව හෙළිදරව් විය. එම ක්‍රියාවලිය තුළ සමාජ මාධ්‍ය මගින් ගොඩනැඟූ රාජපක්ෂ විරෝධය මගින් පැනවුණු මානසික බාධක නිසා අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව ද නව අන්තර්කාලීන හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුවේ පාර්ශව මැලිකමක් දැක්විය. එම මානසික බාධක පැනවීමේ ක්‍රියාවලිය සමස්තයක් ලෙස සැලසුම් සහගත අන්තයක් ඉලක්ක කරමින් දියත් වූ බව දැන් ඉතා පැහැදිලිය. නමුත් දීර්ඝකාලීනව අප රටේ පාලකයින්ට එරෙහිව වර්ධනය වූ විරෝධය පුපුරායන අවස්ථාවේදී අවංකව සහ හැැගීම්බරව විරෝධය දැක්වූ අතිබහුතරයට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බව ඉතා පැහැදිළිය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තවදුරටත් නම්‍යශීලීව සියලු රාජපක්ෂවරුන්ට පමණක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන වැනි ආණ්ඩුවේ ප්‍රබලයින්ට පවා ඇමතිකම් අහිමිකිරීමට එකඟවිය. එහිදී මහින්ද රාජපක්ෂට ඇමතිකම් අහිමි කළද අගමැති ධූරය පමණක් හෝ ලබාදිය නොහැකි බවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශ්ව වලින් විරෝධය එල්ල විය. ඊට සමාජ මාධ්‍යවල ගොඩනැගූ ප්‍රභල රාජපක්ෂ විරෝධය මගින් පනවන ලද මානසික බාධක වලට අමතරව සමහර නායකයින්ගේ අගමැති සිහිනය ද ඊට හේතු බව පිළිගත හැක. ඒ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ කඳවුරේ ගොදුරක් බවට පත්කරමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය බිඳ වැට්ට වීම තුන්වන එෛතිහාසික දේශපාලන උපාය මාර්ගික වරද ලෙස අනාගතයේදී ඉතිහාසය විසින් සටහන් තබනු ඇත. එම වරද නිසා ඒ වන විට ඉන්දියාවේ අනුකම්පාව නැමැති ප්‍රපාතයට ගොදුරුවීම සඳහා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකාව නැමැති බස් රථය රුසියාව සහ චීනය දිශාවට හැරවීමට තිබූ අවස්ථාව අහිමි විය. එසේ හැර විය හැකි වූවානම් ඉතා කෙටි කලකින් ඉන්ධන සහ ගෑස් අර්බුදය සමනය කරමින් මහජන විරෝධය යම් පමණකට සමනය කිරීමේ හැකියාව තිබුණි.

මැයි 9 ; මානසික බාධා රැල්ලක් ඇති කළ අඳුරු දිනය

ඉතා තර්කානුකූල තුන්වන වරද මගින් හතරවන වරදකට මග පාදනු ලැබීය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වූ බලපෑම ට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශපාලන බලය පෙන්වීමේ ක්‍රියාන්විතයක් ආණ්ඩුවේ පාර්ශව විසින් දියත් කරනු ලැබීය. එහිදී පංචතන්ත්‍රයේ එන “රජුගේ වඳුරා” සිහිගන්වන මහින්ද රාජපක්ෂ මහතාගේ පාපමිත්‍ර ඇමැතිවරුන් කිහිප දෙනෙකු විසින් ගෝල්ෆේස්හි කඳවුරු ලා සිටි සාමකාමී අරගලකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහරිනු ලැබීය. එම ගොන් තකතීරු දේශපාලන ක්‍රියාමාර්ගය හතරවන ඓතිහාසික වරද ලෙස හැඳින්විය හැක. එම වරද මුල්කරගෙන මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කිරීමට එමගින් අවස්ථාව නිර්මාණය විය. ඊට අමතරව මානසික බාධක පැනවීම සඳහා යොදා ගත හැකි ඉතා ප්‍රබල උපාංගයක් වන ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ මෙහෙයුමක් සඳහා ද ඒ මගින් අවස්ථාව නිර්මාණය විය.

ඒ අනුව මැයි 9ය දින අඳුරු දිනයක් බවට පත්වූ අතර ආණ්ඩුවේ පාර්ශ්වල නායකයින්ගේ නිවාස ගිනිබත් කරමින් සහ එක් මන්ත්‍රීවරයෙකු මරා දමමින් ප්‍රබල මානසික බාධක රැල්ලක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රමනුකූලව එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් මානසික බාධක පැනවීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබුණි. එහෙත් නීතියේ ආධිපත්‍ය රැකීමේ නාමයෙන් එය බිඳ වැට්ටවීම සඳහා මානසික බාධක පැනවූ ඉහත සඳහන් කළ බලවත් පාර්ශව එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව නීතියේ ආධිපත්‍ය පිහිටුවන ලෙස රජයට බලපෑම් එල්ල කළේ නැත. එසේ වුවත් මැයි 9 දින දියත් වූ ප්‍රචණ්ඩ මෙහෙයුම් වලට ගෝල්ෆේස් අරගල භූමියේ සාමකාමීව රැඳී සිටි පිරිස් සහභාගී නොවූ බව සත්‍යයකි. ඒ සඳහා සැලසුම් සහගත ලෙස බාහිර පාර්ශව යොදාගත් බව ඉතා පැහැදිලිව දැක ගත හැකි විය. ඒ අනුව පූර්වගාමීව සැලසුම් කළ ක්‍රියාන්විතයක් සාධාරණීකරණය කිරීම සඳහා අවස්ථාව උදාවනතෙක් බලා සිටි පිරිස්වලට මහින්ද රාජපක්ෂගේ වඳුරන් විසින් අවස්ථාව නිර්මාණ ය කරනු ලැබූ බව ඉතා පැහැදිලිය. එම සිදුවීම සමග සමස්ත සමාජය රාජපක්ෂලාට පක්ෂද එසේ නැතහොත් විපක්ෂද යන රේඛාව මඟින් බෙදා වෙන්කරනු ලැබීය. ඉන් පසුව සියලු බුද්ධිමය සංවාද විශ්ලේෂණය කරනු ලැබුවේ එම බෙදීමේ රේඛාවට සාපේක්ෂවය.

ඒ සමස්තයේ ප්‍රතිඵලයක් ලෙස අන්තර් කාලීන බහු පාර්ශවීය ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමිවීම සමග ජනාධිපතිවරයා සියලු උත්සාහයන් අතහැර ඒක පාර්ශවීයව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරනු ලැබීය. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේම පාර්ශව වලින් බලපෑම් එල්ල වූ බව දැන් හෙළිදරව් වී ඇත. ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන බවට ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලැබුවේ කෙසේදැයි පැහැදිලි නැත. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලයෙකු ලෙස ද ජනවරමක් හිමිවී නැත. එම පත්කිරීම මගින් බහු පාර්ශවීය ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමි වූ අතර අර්බුදය විසඳීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම මගින් මහජන විරෝධය සමනය කිරීමට තිබූ අවස්ථාව ද අහිමි විය. එමවරද සමස්ත වැරදි අතර පස්වන වරද ලෙස හඳුනාගත හැක.

කුමන පාර්ශවයක බලපෑම මත ජනාධිපතිවරයා විසින් එම වරද සිදු කළද එය රෙජීම් චේන්ජ් ක්‍රියාවලියේ තාක්ෂණික ආරම්භය ලෙස සැලකිය හැක. දේශපාලන ආරම්භය ඊට පෙර සිදු වුවද තාක්ෂණිකව ජනාධිපතිවරයා රූකඩයක් බවට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කිරීම රෙජීම් චේන්ජ් ක්‍රියාවලියේ අතර මැදි අවස්ථාවක් බව ඉතා පැහැදිලිය. ජනාධිපතිවරයා අරගලකරුවන්ගේ පීඩනයට යටත්ව ඉල්ලා අස් නොවුවානම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කරගැනීමට තාක්ෂණික හැකියාවක් තිබුණි. ඒ මගින් ජනාධිපතිවරයා අවස්ථානුකූලව රූකඩයක් බවට පත්කිරීම හරහා ඉතා වේගයෙන් රෙජීම් චේනජ් ක්‍රියාවලිය තහවුරු කිරීමේ හැකියාව තිබුණි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාවයකින් තොරව අගමැතිවරයා ලෙස භාර ගැනීම ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් සිදුකළ බලවත් වරදක් බව ඉතිහාසය විසින් සනිටුහන් කරනු ඇත.

නව අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අරගලකරුවන්ට ආරාධනා කිරීම

තමා බාරගත් වගකීම ඉටුකිරීම සඳහා නිශ්චිත උපායමාර්ගික සැළසුමක් ඉදිරිපත් කිරීමට අගමැතිවරයා ලෙස මාස 2ක කාලයක් කල් මැරීමට ඉඩදීම මගින් අර්බුදය තවදුරටත් වර්ධනය විය. එසේ විරෝධතාවයකින් තොරව ඉහත සඳහන් කළ ආකාරයට ඔහු විසින් බස් රථය ගමන් කරමින් තිබූ මාර්ගයේම ප්‍රපාතයට ගමන් කිරීමට ඉඩ සැලසීම හය වන දේශපාලන වරද ලෙස සැළකිය හැක. එම කාලය තුළ මූල්‍ය අරමුදල නැමැති හන්දියේ දී බස් රථය හරවන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් රෙජිම් චේන්ජ් ක්‍රියාවලිය පිටුපස සිටින බලවේගවලට වුවමනා ආකාරයට අර්බුදය වර්ධනය වීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉඩ සැළසීය. එම කාලය තුළ නිශ්චිත වැඩ පිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් ඉදිරිපත් කරන ලෙෂ ගෝඨා – රනිල් ආණ්ඩුවට අභියෝග නොකිරීම මගින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශව විසින් තම මූලික වගකීමක් පැහැර හරිනු ලැබීය. එම හය වන වරදවා ගැනීම තීරණාත්මක උපාය මාර්ගික වරදක් බව ඉතා පැහැදිළිය. ආණ්ඩුව විසින් වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන තත්ත්වයක් යටතේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශ්ව තමා විසින් ඉදිරිපත් කළ මුළු රටම හරි මඟට වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම මගින් ආරගලකරුවන් අත ඇති දේශපාලන ආයුධය උදුරා ගැනීමට ක්‍රියානොකිරීම ඔවුන්ගේ පැත්තේන් ගත් විට බළවත් උපායමාර්ගික වරදක් නොවේද?

ඊට අමතරව ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වන තත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීම සමග ඔහු ඉල්ලා අස්වන බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැකිව තිබුණි. එවැනි තත්ත්වයක් තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වීම මගින් අරගලය සහ අර්බුදය යන දෙකම වර්ධනය වීමට ඉඩ සැලසීම හත් වන වරද ලෙස සැලකිය හැක. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශව විසින් විශ්වාස භංග යෝජනාවක් අත්සන් කිරීම ආරම්භ කළා නම් බොහෝ පාර්ශ්ව වලට ඊට අත්සන් නොකර සිටීමට නොහැකිවේ. එසේ ඔහු වහාම අගමැතිධූරයෙන් ඉවත් කළා නම් ජනාධිපති ඉල්ලා අස්වීමට පෙර නව අගමැතිවරයෙකු පත්කිරීමට අවස්ථාව තිබුණි. එසේ කළානම් එම නව අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඊට අරගලකරුවන්ට ද ආරාධනා කිරීම මගින් පිළිගත හැකි අවම වැඩපිළිවෙළක් සහ ඊට අදාළ මාර්ග සිතියම රටට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි. ඒ මගින් අරගලකරුවන්ට ද අතර මැද තැනකට ඒමට බල කෙරෙන අතර එම පොදු වැඩ පිළිවෙළ සහ මාර්ග සිතියම මත ඇති කර ගනු ලබන එකඟතාවය මත එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබුණි. එම අවස්ථාව මඟහරිමින් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිධුරය හිමිවන තරගයක් නිර්මාණය කිරීම හත්වන වරදේම දිගුවක් ලෙස සැලකිය හැක.

ඒ අනුව අටවැනි වරද බවට පත්විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස ක්‍රියාකරන තත්ත්වයක් තුළ ව්‍යවස්ථානුකූල ආණ්ඩුව අසාර්ථක වීමට ඉඩ සැලසීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීම් සහිතව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දී අසරණව බලා සිටීමය. ලිබියානු ජනාධිපති මරා දැමීමෙන් පසුව අස්ථාවර වූ රට ස්ථාවර කිරීමේ නාමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත 2015 දී පිහිටවූ අන්තර්කාලීන ආණ්ඩුව ව්‍යවස්ථාවට පරිබාහිරව ජාත්‍යන්තර ගිවිසුමක් මගින් පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකාවට එම ඉරණම අත්කර දෙන ලෙස දැන් අරගලකරුවන් අතුරින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙයි. ඊට පෙර ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තුළ සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන්දියානු බුද්ධි මණ්ඩල වල එවැන්නක අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. ඒ පිළිබඳව අදහස් දැක් වූ බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටිස් පක්ෂයේ නායක එඩ්ඩේව් සඳහන් කළේ ඒ සඳහා ආර්ථික පැකේජයක් සහ දේශපාලන පැකේජයක් ඉදිරිපත් කළ යුතු බව සහ ආර්ථික පැකේජය දේශපාලන පැකේජයේ කොන්දේසි වලට යටත් කළයුතු බව ය. එසේ ම අන්තර්කාලීන ආණ්ඩුවෙන් දෙමළ සහ මුස්ලිම් නියෝජනය තහවුරු කළ යුතු බව සහ ඔවුන්ගේ අපේක්ෂා ඉටුකළ යුතු බව ඔහු විසින් අවධාරණය කරනු ලැබීය.

ඒ අනුව එම ක්‍රියාවලිය බෙදුම්වාදී මාර්ග සිතියම සමග ද බද්ධ වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ඉහත සඳහන් කළ දේශපාලන වැරදි සියල්ල අරගලකරුවන්ගේ පැත්තෙන් ගත් විට ආශිර්වාදයන් ලෙස සැළකිය හැකි බවය. ඔවුන් ඇතුලු රටේ බහුතර ජනතාව විසින් ඉන්දු – ඇමෙරිකානු න්‍යාය පත්‍රයට අනුව සිදුවන ශ්‍රී ලංකාවේ රෙජිම් චේන්ජ් ක්‍රියාවලිය සහ ඒ සමග බැඳුණු අපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම් වල සැබෑ ප්‍රතිඵල අත්විඳින විට තත්වයේ බරපතළකම ඔවුන්ට වැටහෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍යය බිඳවට්ටවා ‘හයිටි රාජ්‍යය’ බවට පත්කිරීමට හෝ ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමට ඉඩ සැළසුවහොත් එම වරද නිවැරදි කිරීම සඳහා ඉතිහාසය විසින් කිසිවෙකුට අවස්ථාවක් ලබා නොදෙන බව ඉතා පැහැදිළිය.

වෛද්‍යය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්,
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More