පුරවැසි කොලම

රටේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සහ ඩොලර්වලින් ණයක් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරයි. ඒ අතර ලෝක බැංකුව ප්‍රශ්න කරන්නේ ණය ගෙවා ගැනීමට බැරිව, බංකොලොත්ව, හිස් භාණ්ඩාගාරයක් පවතින ලංකාවට තවදුරටත් ණය හෝ ආධාර ලබා දෙන්නේ කෙසේ ද, කියාය.

එසේ නම් පවතින මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට කුමක් කළ යුතුද? අප ඒ ප්‍රශ්නය ඇහුවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති නිලාන් විජේසිංහ මහතාගෙනි. 1995 සැප්තැම්බරයේ සිට 2001 මාර්තු දක්වා එක දිගට වැඩිම කාලයක් ආයෝජන මණ්‍ඩල සභාපතිකම කළ එකම පුද්ගලයා වන විජේසිංහ මහතා ඒ තනතුරට පත් වූ ළාබාලම පුද්ගලයා ද වෙයි. අපේ ඉහත ප්‍රශ්නයට ඒ මහතා මෙසේ පිළිතුරු දෙයි.

ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් තිබේ. එසේ යාමට සිදු වූයේ රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ඒ ඒ යුගවල සිටි බලධාරීන්ට නොහැකිවීම නිසාය. දැන් මේ එහි ගොස් සිටින්නේ 17 වැනි වතාවටය. රටක් හැටියට ලංකාව මූල්‍ය අරමුදල වෙත නොගිය කාලවකවානු ද පවතී.

එහි දී විශේෂයෙන් මගේ මතකයට නැගෙන්නේ 1995 සිට 2001 දක්වා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති යුගයයි. එකල මුල්‍ය අරමුදලට නොගියේ සහ නොයන්නට හේතු වූයේ යම්කිසි ක්‍රමවේදයක්, සැලැස්මක් සහ දර්ශනයක් මත රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමය. එකල පැවැතියේ අපනයනය මුල්කරගත් ආර්ථික කළමනාකරණයකි.

රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වූයේ එකලය. දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය ඊට එක් උදාහරණයකි. ස්ථාවර දුරකථනයක් ගන්නට එකල අවුරුදු දෙකහමාරක් පොරොත්තු ලේඛනයක සිටීමට සිදු වූ බව දැන් බොහෝ දෙනාට අමතකය. ටෙලිකොම් සමාගම පෞද්ගලිකරණය ක්‍රියාවලියට මම ද මූලික වූවෙමි. කොළඹ වරායට තරඟකාරී තත්ත්වයක් ගෙනාවේ ද එකලය.

කොළඹ වරාය කේන්ද්‍රස්ථාන වරායක් වූයේ ඉන් පසුවය. ඒ නිසා නැව් ස්ථාන ගතව සිටි වෙලාව 85% කින් අඩුවිය. ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් විකිණීමෙන් ලැබුණු මුදලින් අප කළේ ණය ගෙවීමය. 1999 ආර්ථික වර්ධන වේගය 6.2 කි. එකල දළ දේශීය නිෂ්පාදනයට අපනයනවලින් ලැබුණු දායකත්වය 33% ක් විය. මෙරට ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 8% ක් වූයේ 1997 දීය.

අපනයන වර්ධනය සඳහා එදා නිදහස් වෙළෙඳ කලාප 7 ක් නිර්මාණය කළ බව දැන් ඇතැමුන්ට අමතකය. එහෙත් පසුගිය අවුරුදු 25 ටම නිදහස් වෙළෙඳ කලාප එකක්වත් නිර්මාණය වී නැත. සීතාවක, වතුපිටිවල හා හොරණ යනාදී නිදහස් වෙළෙඳ කලාප නිර්මාණය කෙරුණේත් මා ආයෝජන මණ්ඩල සභාපතිව සිටි යුගයේදීය.

එදා ඒ දේවල් කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් කරද්දීය. එහෙත් අද පවතින ආර්ථික අර්බුදයට මූලික හේතුව 2005 සිට වැරැදි මතවාදයක් මත ආර්ථිකය කළමනාකරණය කිරීමය. ඔවුහු අපනයන ක්ෂේත්‍රය අමතක කළහ. අනවශ්‍ය ලෙස ආර්ථිකය සංවෘත කළහ. පසුගිය අවුරුදු 20 දී රටේ සෑම ආර්ථික දර්ශකයක්ම ගියේ පසු පසටය. 1997 දී මෙරට ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 8% ක් වුවත් පසුගිය අවුරුදු 20 දී එය සියයට 1.2 ක් දක්වා පල්ලම් බැස්සේය.

යුද කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5% කි. 2013 සිට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 3.7% කි. ඒ යුද්ධය නිම වූ පසුවය. 33% ක තිබු අපනයන වර්ධනය 15% දක්වා පල්ලම් බැස්සේ ද යුද්ධයෙන් පසු යුගයේය. රජයේ බදු ආදායම අවුරුදු 25 කට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 19% කි. 2015 දී 11% දක්වා පල්ලම් බැස්ස රජයේ බදු ආදායම දැන් 8% කි. එලෙස පසුගිය අවුරුදු 15 සිට 20 ඇතුළත සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව කඩා වැටිණි. පරිහානියට පත්විය. රටේ ආර්ථිකය එසේ සෙමින් සෙමින් මරණය කරා ළඟා වූයේ ආර්ථික දර්ශකයේ වැරැද්ද නිසාය.

එසේ නම් මරණයෙන් උත්ථානයවීම සඳහා කළ යුත්තේ මොනවාද?

එහිදී යළිත් අතීතයට හැරෙන්නට සිදුවෙයි. 1995 සිට 2000 යුගයේ පැවැති රජයට ආර්ථික කළමනාකරණය සඳහා නිසි උපදෙස් ලැබුණේ එවක භාණ්ඩාගාර ලේකම්ව සිටි ඒ.එස්. ජයවර්ධන මහතාගෙනි. එතුමා එවක සිටි දේශපාලන නායකත්වයට දුන්නේ නිවැරැදි උපදෙස්ය. එහෙත් 2005 න් පසුව සිටි භාණ්ඩාගාර ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකයන්ට නිවැරදි ආර්ථික උපදෙස් දී නැති බව මගේ මතයයි. එහෙයින් පළමුව කළ යුත්තේ අවුරුදු 20ක් තිස්සේ බදාගෙන සිටින අහේතුක, අස්වාභාවික, මූලික සහ ව්‍යාජ දේශප්‍රේමිත්වය ඉවත දැමීමය. එසේම සංවෘත ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියට පයින් ගැසීමය. අනතුරුව රටත් ජනතාවත් සියලු දේශපාලන පක්ෂත් අලුත් ආර්ථික මතවාදයකට එකඟවිය යුතුය. අලුත් මතවාදයක් නැතිව ‘සිස්ටම් චේන්ජ්’ කළ නොහැකිය.

රජය, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරින් කළ යුත්තේ රටේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට සහයෝගය ලබාදීම මිස හිරිහැර, බාධා, කරදර කිරීම නොවේ. එහෙත් පසුගිය අවුරුදු 20 දීම සිදු වූයේ නොකළ යුතු දේමය. ඒ නිසා අද ලංකාව ව්‍යාපාර කිරීමට අපහසු රටක් ලෙස ජාත්‍යන්තරයේ හැඳින්වෙයි. එයට හොඳම උදාහරණය ලෝක බැංකුවෙන් සකසන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයයි. එනම් Ease of Doing Busness index ය. 2012දී ඒ දර්ශකයේ 83 වැනි තැන සිටි ලංකාවට 2021 දී හිමිවී තිබෙන්නේ 99 වැනි ස්ථානයයි. ඒ දර්ශකයෙන් අප එසේ පල්ලම් බැස සිටින්නේ රජයේ, රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය සේවකයන්ගේ කෙරුම්කාරකම් නිසාය.

විදේශ ආයෝජන රටට පැමිණීමට ප්‍රධාන බාධකයක්ව තිබෙන්නේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්ය. ඒ ආයතන හා නිලධාරීන් අතර දූෂණය ඉහවහා ගොසිනි. දෙවැනි කාරණය ඒ ආයතන හා නිලධාරිහු විදේශ ආයෝජකයන් මෙරට ගෙන්වා ගැනීමට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් සංවර්ධනය නොකළහ. ඒ නිසා පළමුව අප නිවැරැදි ආර්ථික දර්ශනයක් සකසා ගත යුතුය.

අනතුරුව ජාතික ආර්ථික දර්ශනය කුමක් විය යුතුදැයි සිතිය යුතුය. ඉන් මා අදහස් කරන්නේ රටක් හැටියට අප අපේ රටේ තිබෙන කුසලතා පාවිච්චි කර අපට ගැළපෙන ආර්ථික දර්ශකයක් සකසා ගැනීමය. භූගෝලීය වශයෙන් රටේ පිහිටීම ගැන සිතමින් රටේ තිබෙන මානව ප්‍රාග්ධනය උපයෝගී කරගෙන ඵලදායිතාව සහ අපනයන වර්දනය අරමුණු කරගත් ආර්ථික දර්ශනයක් සකසා ගැනීම යුගයේ අවශ්‍යතාවකට එවැනි ආර්ථික දර්ශකයකට කවුරුත් එකඟ විය යුතුය.

මෙහි දී ‘විකිණීම නමැති වචනය මගේ මතකයට නැගෙයි. මගේ මතය අනුව නම් එය කුණුහරුපයකි. එය බුද්ධිය මත පදනම් වූ වචනයක් නොවේ. ටෙලිකොම් ආයතනයේ කොටස්වලින් 40% ක් පෞද්ගලික අංශයට දී ටෙලිකොම් පරිපාලනයට පෞද්ගලික අංශය ගෙනාවේ අපය. ඊනියා ජාතිමාමකයන් කියන්නේ එය විකිණීමක් බවය. ඔවුන් කියන ඒ විකිණීමෙන් වාසි සැලසුණේ රටේ ජනතාවට සහ රාජ්‍ය භාණ්ඩාගාරයටයි. ටෙලිකොම්හි කොටස් පෞද්ගලික අංශයට දී ලංකා බෙල් සහ සන්ටෙල් සමාගම් මෙරටට ගෙනාවේ ටෙලිකොම් සමග තරඟ කිරීමටය.

ටෙලිකොම් පෞද්ගලිකරණය කළාට පසුව දුරකථන ක්ෂේත්‍රයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණු බදු ආදායම සිය දහස් ගණනකින් ඉහළ ගොස් තිබේ. දුරකථන ලබාගැනීමට ජනතාවට අවුරුදු ගණන් පෝලිම්වල සිටීමට ද අවශ්‍ය නොවීය. ඒ අනුව ටෙලිකොම්හි කොටස් පෞද්ගලික සමාගමකට දීමෙන් රටට හා ජනතාවට යහපතක් සිදුවී නැතැයි කිව හැකි ද?

චීනය සහ වෙනත් රටවලින් ණය ගෙන සුදු අලි බදු ව්‍යාපෘති කරමින් රටේ ණය බර වැඩි කරන ආර්ථික පිළිවෙතක් අනුගමනය කළේ පසුගිය අවුරුදු 20 දීය. රට විකිණුනේ ඒ ව්‍යාපෘතිවලින් මිස ටෙලිකොම්, වරාය හා ගුවන් සේවය පරිපාලනයට හා කළමනාකරණයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමෙන් නොවේ. ලෝකයට ණයවී ඉදිකළ කොන්ක්‍රිට් කඳු රටට සම්පත් නොවේ. ඒවා රටේ තිබෙන මුල්‍ය හා මානව සම්පත් වනසන පිළිලය.

ආණ්ඩුව සතුව පැවැති කොළඹ ගෑස් සමාගම පෞද්ගලීකරණය කළේ අපය. එහෙත් පසුකාලයක යළි එය රජයට පවරා ගත්තේය. ගෑස් සමාගම දැනටත් ෂෙල් සමාගම සතුව පැවැතියේ නම් රටේ ගැස් හිඟයක් ඇති නොවෙයි. ෂෙල් සමාගමට ඇති තරම් විදේශ විනිමය තිබේ. ඒ නිසා එය තමන් සතු වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙයි.

එක් යුගයකදී ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට තෙල් වෙළෙඳ පොළට එන්නට දොර ඇරියේ නැති නම් අද රටේ පවතින්නේ මීට වඩා දරුණු තෙල් හිඟයකි. පාඩු ලැබූ එයාර් ලංකා ගුන් සමාගම ලාබ ලබන තත්ත්වයට පත් වූයේ එහි පරිපාලනයට සහකළමනාකරණයට එම්රේට්ස් සමාගම සම්බන්ධව කරගත් නිසාය.

එයාර් ලංකා යළි රටට බරක් වූයේ දේශපාලන වුවමනාමත නැවත වරක් රජයට ගත් නිසාය. එසේ නම් රාජ්‍ය ව්‍යාපාරවල කොටස් පෞද්ගලික අංහයට පවරා එමගින් ඒ ව්‍යාපාරවල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළනංවා රටේ ජනතාවට සහ රාජ්‍ය භාණ්ඩාගාරයට සහනයක් සලසා ගැනීම විකිණීමක්වන්නේ කෙසේද?

තෙල් විකුණන ඉන්දියන් ඔයිල් සමාගම බිලියන ගණනින් ලාබ ලබද්දි ඒ තෙල්ම විකුණන ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන ගණන්වලින් පාඩු ලබයි. විදුලිබල මණ්‍ඩලයත් එසේමය. දිගින් දිගටම පාඩු ලබන එයාර් ලංකා, ලංවිම හා තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ව්‍යාපාර ලෝකයා හමුවේ නිර්වස්ත්‍ර වෙමින් ලොවට ප්‍රදර්ශනය කරන්නේ රජයට ව්‍යාපාර කළ නොහැකි බවය.

රටේ ජනතාව ද මෙය අවබෝධ කරගත යුතුය. එසේම අවස්ථාවාදී ඊනියා දේශමාමකයන් මවා පෙන්වන්නේ බොරු බිල්ලන් බව අවබෝධ කරගත යුත්තේද ඒ ජනතාවමය. පාඩු ලබන හා රටට බරක් වූ රාජ්‍ය ව්‍යාපාර එක්කෝ පෞද්ගලීකරණය කළ යුතුය. නැතිනම් ඒ ඒ ක්ෂේත්‍රවලට දෙස්විදෙස් ආයෝජකයන් සම්බන්ධ කරගෙන ඒ සෑම ක්ෂේත්‍රයකම තරඟකාරීත්වයක් ඇති කළ යුතුය. රටේ ජනතාව මේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් නොගත්තොත් මොන අරගල කළත් සිස්ටම් චේන්ජ් කළ නොහැකිය.

මානව සම්පත් අතින් ලංකාව ඉතා පොහොසත්ය. දක්ෂ මිනිස්සු ලංකාවේ ඕනෑ තරම් සිටිති. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සමග ඉතා සමීපව වැඩ කරමින් මා ලබාගෙන තිබෙන අත්දැකීම් විශාලය. ඒ ඇතැම් නිලධාරීන් තරම් දක්ෂයෝ පෞද්ගලික අංශයේ නොසිටිති. එහෙත් අද රට වැටී තිබෙන අගාධයට හේතුවී තිබෙන්නේද ඒ ආයතන දෙකය. එසේ වූයේ ඒ ආයතවල නායකත්වයට පරිපාලනයට හා කළමණාකරණයට සුදුසුකම් හා පලපුරුද්ද සහිත පුද්ගලයන් පත් නොකිරීම නිසාය. දක්ෂයන් ඒ ආයතනවල සිටියත් ඔවුනට ඉඩ දුන්නේ නැත. ඒ ආයතන දෙකම දේශපාලනීකරණය කළේ පෞද්ගලික හේතු මතය.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කළේද එබඳු අරමුණු මතය. රාජ්‍ය පරිපාලන සේවයට අධෛර්යමත් කළෝද ඒ දේශපාලකයෝමය. රාජ්‍ය පරිපාලන සේවයේ අභිමානය දැඩි ලෙස වනසා දැමුවේ පසුගිය අවුරුදු 20 දිය. රාජ්‍ය සේවය නීච ලෙස දේශපාලනීකරණය කෙළේද ඒ අවුරුදු විස්සේදීමය.

ඒ නිසා 1972 ට පෙර පැවැති ආකාරයේ සැබෑ ලෙසම ස්වාධීන රාජ්‍ය සේංවා කොමිසන් යළි ස්ථාපිත කළ යුතුය. දේශපාලනිකරණයවූ රාජ්‍ය සේවා කොමිසමකින් රාජ්‍ය සේවයටත්, රාජ්‍ය සේවකයන්ටත් ජනතාවටත් යහපතක් සැලසෙන්නේ නැත. ඇමැතිවරුන්ට හෝ ජනාධිපතිවරුන්ට ඕනෑ හැටියට ලේකම්වරුන් මාරු කිරීම රටට හෙණයකි. දැන් ඇමැතිවරුන් මාරු කරන වාරයක් පාසා ලේකම්වරුන්ද මාරු කෙරෙයි. එසේ කිරීමෙන් එතෙක් සිටි කෙනා කළ වැඩ සියල්ල අහෝසි කර දමයි.

පසුව යළිත් ‘මාස්ටර් ප්ලෑන්’ හදයි. අනතුරුව යළිත් ‘හයි ඉයර් ප්ලෑන්’ හදයි. ඒ නිසා ඇතැම් ක්​ෙෂ්ත්‍රවල ‘ප්ලෑන්’ ගොඩ ගැසී පවතී. එහෙත් ඒ එකක්වත් ක්‍රියාත්මක නොවෙයි. සංචාරක ක්ෂේත්‍රය මේ සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම නිදසුනකි. ඒ ක්ෂේත්‍රයේ දැනට තිබෙන මාස්ටර් ප්ලෑන් ගණන 25 කට අධිකය. එහෙත් ඒ එකක්වත් ක්‍රියාත්මක නොවෙයි.

ලංකාවේ පමණක් නොව ලොව ඇතැම් රටවල දේශපාලනයට එන්නේ ඊට නුසුදුසු, අධ්‍යාපනයක් නැති, බුද්ධියක් නැති අයයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පවතින රටවලට ශක්තිමත් හා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන රාජ්‍ය පරිපාලන සේවයක් සහ විදේශසේවයක් අත්‍යවශ්‍ය ඒ නිසාය. එහෙත් නුසුදුස්සන් දැමීමෙන් ඒ සේවාවලට අත්වන්නේද දේශපාලනයට අත්වූ ඉරණමය.

ඒ නිසා රාජ්‍ය පරිපාලන හා විදේශ සේවාවල බරපතළ වෙනස්කම් විය යුතුය. එසේම ව්‍යවසායකයන් දිරිමත් කරන නව නිතිරීති සම්මත කිරීමද කාලීන අවශ්‍යතාවකි. මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතුය. දේශපාලන අරමුණු මත මහ බැංකුවට පත්කිරීම් නොකළ යුතුය. එවැනි පත්කිරිම් මගින් රටත් ආර්ථිකයත් වැනසෙන බවට 2005 න් පසුව ලැබී තිබෙන ප්‍රතිඵල අනන්තය.

රටක ආර්ථිකය කළමනාකරණය සහ පරිපාලනය ඉතා සංකීර්ණ කටයුත්තකි. එය එක් පුද්ගලයකුට කළ නොහැකිය. ඒ නිසා යථාර්ථවත් නීති මාලාවක් පළමුව ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතුය. නැති වූ මූල්‍ය විනය යළි ඇති කිරීමටත්, අමාත්‍යාංශ අතර ගැටුම් දුරලීමටත්, අමාත්‍යාංශ අතර අන්තර් සබඳතා පැවැත්වීමටත් මැදිහත්විය යුත්තේ ඒ ආර්ථික කවුන්සිලයයි.

අමාත්‍යාංශ සියල්ල එක් ආර්ථික දර්ශනයක් මත මෙහෙයවීමේ වගකීමත් පැවැතිය යුත්තේ ඒ කවුන්සිලයටමය. අපේ රටේ තරම් අවුල් සහගත, ව්‍යාකූල සහ වික්ෂිප්ත (confused) ආර්ථික දර්ශන තිබෙන රටක් මුළු ලෝකයේම නැති බව මගේ වැටහීමයි. ඊට හොඳම උදාහරණය මහබැංකුවේ මුල්‍ය මණ්ඩලයයි. මගේ තක්සේරුව අනුව එහි සිටිය යුත්තේ ආර්ථික උපාධිධාරීන්.

එහෙත් ඒ මණ්ඩලයේ පමණක් නොව මහ බැංකු අධිපති තනතුරෙත් සාමාන්‍ය පෙළ සමත් අයත් සිටි බව මම පෞද්ගලිකව මැනවින් දනිමි. මහ බැංකුවේ සාමාන්‍ය රැකියාවක් ලබාදීමටත් පශ්චාත් උපාධියක් ඉල්ලයි. එවැනි තැනක මූල්‍ය මණ්ඩලයේ සහ අධිපති තනතුරේ සාමාන්‍ය පෙළ පමණක් සමත් අය සිටියේ නම් රටට මෙසේවීම අරුමයක් නොවේමය.

මේ රට සංවර්ධනය කිරීමට අමාත්‍යාංශ හා ඇමැතිවරුන් විසි තිස් ගණන් හෝ සිය ගණන් අවශ්‍ය නැත. නිවැරැදි දේශපාලන නායකත්වයක් යටතේ එක් මතයක, එක් දර්ශනයක සිටින දක්ෂ පළපුරුදු හා කාර්යක්ෂම ඇමැතිවරුන් පස් දෙනකුට සහ එබඳුම නිලධාරින් පස් දෙනකුට මේ රට වැටී තිබෙන වළෙන් ගොඩගත හැකි බව මගේ තක්සේරුවයි, විශ්වාසයයි.

නිවැරැදි හා ප්‍රායෝගික ආර්ථික හා දේශපාලන දර්ශනයක් මත පරිපාලන හා විදේශ සේවයේ මා කී වෙනස් කම් කර දක්ෂතාව හා කුසලතාව මත සුදුස්සන්ට සුදුසු තැන් නොදුන්නොත් කෙතරම් හොඳ යෝජනා ගෙනාවත් ‘මාස්ටර් ප්ලෑන්’ සකස් කළත් මේ රට ගොඩ ගත නොහැකිය.

සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්



One thought on “ආයෝජන වලට ගල් පෙරළන නිලධාරියෝ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More