පුරවැසි කොලම

 ඔබ පසුගියදා පාර්ලිමේන්තුවේදී CIA සංවිධානය USAID සංවිධානය සහ NED නම්වූ තවත් සංවිධානයක් පිළිබඳ බරපතල ප්‍රකාශයක් කළා. නමුත් එය ඉතාම කෙටි හෙළිදරව්වක්. අපට මේ සංවිධාන සම්බන්ධයෙන් පැහැදිළි විස්තරයක් කළ හැකිද?

විමල්වීරවංශ : USAID සංවිධානය 1961 දී පිහිටුවන්නේම එක්සත් ජනපදයේ උවමනාවන් සඳහා සිවිල් ක්‍රියාකාරකම්, ආර්ථික ආධාර සහ මානුෂීය ආධාර මගින් දුප්පත් රටවල පුරවැසියන්ගේ “හදවත් සහ මනස්” දිනාගැනීම යන මුඛ්‍යය පරමාර්ථය ඇතුවයි. මේ සටන් පාඨයට මුවාවෙමින් CIA සංවිධානයේ උපක්‍රම සාර්ථක කර දීමට USAID සංවිධානය, අසියානු අප්‍රිකානු ලතින් අමෙරිකානු රටවල ප්‍රගතිශීලී ආණ්ඩු වැට්ටවීමටත් එම රටවල ජන මනස විකෘති කිරීමටත් ඔවුන් කළ මෙහෙය සුළු පටු නැහැ.

කෙසේවුවත් USAID හි සැබෑ මුහුණුවර ලෝකයට නිරාවරණය වන්නට පටන් ගැනීමත් සමඟම ඔවුන් 1983 වර්ෂයේදී පමණ NED හෙවත්( National Endowment for Democracy-ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය) නමින් අලුත් සංවිධානයක් CIAහි පරිවාර සංවිධානයක් ලෙස ගොඩනගනවා. NED සංවිධානය ලෝකය පුරා රටවල් 100ක ව්‍යාපෘති 2000ක් පවත්වාගෙන යන බව මේ වන විට හෙළිවෙලා තියෙනවා. එම ව්‍යාපෘති එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ නාමයෙනුයි ක්‍රියාත්මක වන්නේ. නමුත් ඔවුන් එම රටවල “රෙජීම් චේන්ජ්” හෙවත් ආණ්ඩු පෙරළිම සහ එම රටවල් දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ වුවමනාවෙන් රාජ්‍යය නොවන සංවිධාන වලට අරමුදල් සපයා ඇති බව තහවුරු වී තිබෙනවා.

 නමුත් ඔබ USAID ආයතනය සහ NED සංවිධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත අරමුදල් සපයා ඇති බව පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ සම්බන්ධව තවදුරටත් පැහැදිලි කිරීමක් කළ හැකිද?

විමල්වීරවංශ :නීතිඥ සංගමය සහ USAID ආයතනය අතර තිබෙන සම්බන්ධතාවය මුලින්ම එලිදරව් වන්නේ 2014 වර්ෂයේදී මුල් භාගයේදී යි. 2014 මාර්තු මාසයේදි USAID CSI. ROL (USAID Civil Society Initiatives to Promote the Rule of Law) හෙවත් නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුල පිරීම් වැඩසටහන, ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති ආධාර කොමිසම, ප්‍රදේශීය නීතිඥ සංගම්, ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන සහ පර්යේෂණ ආයතන, සිවිල් සංවිධාන ආදිය මෙම ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ කළ බව ඔවුන්ගේ වාර්තා පරිශීලනයෙන් හෙළිදරව් වෙනවා. USAID ආයතනය මගින් තෝරාගත් කණ්ඩායමක්, ශ්‍රී ලංකා නීතිඥයන්ගේ සංගමයේ කාර්යාල සංකීර්ණය තුළ ස්ථාපිත කරණු ලැබ ඇති බවත් පුවත් වාර්තා හෙළිදරව් කර සිටියා. USAID CSI.ROL ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සංවිධාන යොදා ගැනීම සඳහා 2013-2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැය කර ඇති බව ඔවුන්ගේ වාර්තාවල දැක්වෙනවා.

2014 අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළ NED සංවිධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ ශ්‍රී ලංකා නීතිඥයන්ගේ පළාත් බද සංවිධානයන්හි සහයෝගිතා මධ්‍යස්ථානය වෙත අරමුදල් සම්පාදනය කර තිබෙනවා.
USAID සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබෙන අවබෝධය කෙතරම්ද පවසනවා නම්, 2014 පෙබරවාරි මාසයේදී, රජයේ නීතිඥ සංගමය කොළඹ විශ්වවිද්‍යාලයේදී නීතිඥයන්ට එම් ඒ උපාධිය හැදෑරීම සඳහා ඉදිරිපත් කළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ශිෂ්‍යත්ව 20ක්ම ලබාදුන්නේ USAID ආයතනය මගිනුයි.

ඔබ ඉදිරිපත් කරන සමහර කරුණු වලින් අපට හැඟෙන්නේ USAID CIS.ROL ව්‍යාපෘතිය මගින් යහපත් දේ සිදුවී තිබෙන බවයි.

විමල්වීරවංශ :බැලූ බැල්මට එහෙම පෙනුනට එහි ගැඹුර ඊට වඩා බරපතලයි. 2007 වර්ෂයේදී USAID ආයතනය ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, රාජ්‍යය නොවන සංවිධාන පෞද්ගලික ව්‍යාපාර සහ සිවිල් පුද්ගලයන් ඒකාරාශි කරගනිමින් දූෂණයට එරෙහි දැවැන්ත ව්‍යාපෘතියකට මුලපුරමින් අරමුදල් සැපයූවා. එහෙත් 2022 දීත් දූෂණය එලෙසම පැවතුණු අතර ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුන් සමඟ මූලිකව සම්බන්ධව සිටින සංවිධාන සහ පුද්ගලයන් එකට එකතු කිරීම සහ තොරතුරු ඉක්මනින් ලබාගැනීමට වටපිටාව සකසා ගැනීමයි.
අපට දැනට තිබෙන ලිඛිත තොරතුරු වලට අනුව 2021 දී USAID NED ආයතනය හරහා ශ්‍රී ලංකාවේදී වැය කර තිබෙන්නේ ඩොලර් 1,046,156ක් පමණයි. ඒවාගේම 2016 සිට 2020 දක්වා NED ආයතනය හරහා වැයකර තිබෙන්නේ ඩොලර් 9,123,573ක් පමණයි. හැබැයි ඔවුන් 2022 දී ඔවුනට අවශ්‍යය රෙජීම් චෙන්ජ් එක කරගන්නවා. 69 ලක්ෂයක ජනවරම අඩපන කරනවා. ලිබියාවේදී ඔවුන් මෙවැන්නක් වෙනුවෙන් ඩොලර් බිලියන ගනනක් වැය කර තිබෙනවා. ඉරාකයේදී යුද්ධ වටයක් නිර්මාණය කරලයි සදාම් හුසේන් පලවා හැරියේ. යුක්‍රේනයේදී නව නාසිවරු ස්ථාපනය කරලීමට ඩොලර් බිලියන 5ක් වැයකර තිබෙනවා. එහෙම බලපුවහම අඩුම ආයෝජනයකින් නීතිඥ සංගමය හරහා අමෙරිකානු උවමනාව ඉටුකර ගෙන තිබෙනවා. මෙම මුදල අමෙරිකානු ආර්ථිකයේ සුබසාධන ක්ෂේත්‍රයට වෙන්කරන මුදල හා සැසඳුවිටත් ඉන් කුඩා ප්‍රතිශතයක්.

 ඔබ USAID, NED සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අන්තර් සම්බන්ධය හෙළිදරව් කරනවා. ඒ අතර ඔබ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳවත් අදහස් දක්වනවා. NEDය මුදල් ආධාර සපයා ඇති රාජ්‍යය නොවන සංවිධාන මොනවාද? ඒවායේ ක්‍රියාකාරකම් මොනවාද?

විමල්වීරවංශ : 2021 වර්ෂයේදී පමණක් NED ආයතනය රාජ්‍ය නොවන සංවිධාන 15ක ව්‍යාපෘති 15ක් වෙනුවෙන් ඩොලර් 1,046,156ක් ඔවුන් වැය කරනවා. මෙයින් ඩොලර් 325000ක් NED ආයතනයේ ප්‍රධාන අරමුදල් දායකයන් හතර දෙනෙකුගෙන් එක් ආයතනයක් වන NDI (National Democratic Institute) හෙවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට ආපසු ලබාදෙනවා. එම මුදල ඔවුන් 2021 වර්ෂයට ඉදිරිපත් කරන “බිම්මට්ටමේ තරුණ නායකත්ව පුහුණුව සහ සිවිල් සමාජය තුලින්දේශපාලන මැදිහත්වීම” යන වැඩසටහන් සඳහා වෙන් කර තිබෙනවා. මේවා බැලූබැල්මට ඉතාම අහිංසක ක්‍රියාකාරකම්. තවත් ජාත්‍යයන්තර රාජ්‍යය නොවන සංවිධානයක් වන International working group on Sri Lanka ltd නම් ආයතනයට ඩොලර් 14460ක් ලබා දෙනවා. මෙම සංවිධාන අමෙරිකාව පදනම්වූ ආයතන ඒ අනුව වෙන් කරන අරමුදල් වලින් සැලකිය යුතු කොටසක් ඔවුන් ආපසු අමෙරිකාවටම රැගෙන යනවා. අනෙකුත් රාජ්‍යය නොවන සංවිධාන අතර අප දන්නා ප්‍රසිද්ධ රාජ්‍යය නොවන සංවිධාන තිබෙනවා. ඉතිරි රාජ්‍යය නොවන සංවිධාන වලින් සැලකිය යුතු ගනනක් උතුරු පළාත, නැගෙනහිර පළාත, ඌව පළාත සහ වයඹ පළාත ආදිය පදනම්ව ක්‍රියාත්මක වෙන රාජ්‍යය නොවන සංවිධාන. මේවාට ලබාදී තිබූ ඩොලර් අරමුදල් ලබාදී ඇත්තේ, යහපත් රාජ්‍යය පාලනය සහ රාජ්‍යය පාරදෘෂ්‍යයතාවය, දේශපාලන , ආගමික සහ සංස්කෘතික සහයෝගිතාව සඳහා සිවිල් සමාජය බලගැන්වීම ආදී මාතෘකා ඔස්සේ වැඩමුළු, දේශන, ක්‍රියාකාරකම් ආදීවූ කටයුතු වෙනුවෙන්. මේ සියළු දෙනාම දේශපාලඥයන්ගේ ආදායම් ඉපැයීම් ගැන කතා කරනවා. නමුත් ඔවුන්ට අරමුදල් ලැබෙන විදිය හෝ ඒවා වැය කළ ආකාරය පිළිබඳව සමාජයට වගවීමක් නැහැ.

 ඔබගේ විග්‍රහය තුළ ගෝඨාභය රාජපක්ෂ සහ අනෙකුත් රාජපක්ෂවරු ඉතාමත් අහිංසක පිරිසක් බවට උත්හර්ෂයට නංවන ගමන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියළු සාමාජිකයන් “ගෝනි බිල්ලන්ට” අන්දවන්නට කටයුතු කරන බවක් පෙනෙනවා.

විමල්වීරවංශ : ඔබගේ විග්‍රහය සම්පූර්ණයෙන් වැරදියි. රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපයන් අප ඇති තරම් රටට හෙළිදරව් කර තිබෙනවා. ඔහු මේ විනාශයට වගකිවයුතු පියවරුන්ගෙන් ප්‍රධානියෙක්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග රැසක් මධ්‍යයේ වුවද මේ රටට සේවය කිරීමේ සැබෑ චේතනාවක් තිබුණා. ඔහු දිවා රෑ නොබලා වැඩ කළා. මධ්‍යම රාත්‍රිය වනතුරුම ඔහු තම කාර්යාලයේ වතුර වීදුරුවක් තබාගෙන වැඩකළ අවස්ථා ගැන අපි අසා තියෙනවා. ඔහු ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ යනු තම විධායක බලය අඩුවෙන්ම භාවිතා කළ ජනාධිපතිවරයායි. එලෙසම අනෙක් ජනාධිපතිවරුන්ට සාපේක්ෂව ඔහු ඉතාම අඩුවෙන් තම පෞද්ගලික වුවමනා වෙනුවෙන් රාජ්‍යය අරමුදල් භාවිත කළ ජනාධිපතිවරයායි.

එහෙත් ඔහු තේරු වැඩ රටාව විසින් ඔහුගේ බරපතළ කැපවීම විහිළුවක් වුණා. “මේ වගේ කෙනෙක් නායකයෙක් වෙන්න පුළුවන්ද?” ඔහු වටා සිටි බොහෝ දෙනෙක් මැසිවිලි නගන්න පටන් ගත්තා. ඔහු රාජ්‍යය විචාලීමේදී අසීමිතව “රාජපක්ෂ පවුල” කේන්ද්‍ර කරගනිමින් තීන්දු තීරණ ගත්තා. ඔහු, ඔහුව බලයට පත් කිරීමට කටයුතු කළ ජාතික බලවේග වලට පිටුපස හැරවූවා. එපමණක් නොවෙයි ඔහුගේ පරාජය වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ දුෂ්ඨ බලවේග කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. එම බලවේග මත යැපෙන තත්වයට පත්වූවා. එම බලවේග ඔහුගේ ස්වභාවය තේරුම් ගෙන ඔහු ගෙන් උපරිම ලාභ ප්‍රයෝජන ගත්තා. එම බලවේග ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කළ බලවේග වලට ඇඳිවත උස්සා පෙන්වන අයුරින් කටයුතු කළා. කාබනික ගොවිතැන වැනි මුළු මහත් කෘෂිකර්මාන්තයටම බලපාන තීන්දු තීරණ එක රැයකින් ගනු ලැබුවා. එයින් ඇති කළ පීඩනය වැඩිපුරම දැනුනේ ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කළ ග්‍රාමීය ගොවියාටයි. එපමණක් නොවෙයි ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ගත් කාබනික ගොවිතැන් තීන්දුව නිසා අනාගතයේදී කිසිදු නායකයෙකුට කාබනික ගොවිතැන සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නොහැකි තත්වයට පත් කළා. අවසානයේදී ඔහු දැවැන්ත විනාශයක් ඔහුටත් රටටත් අත්පත්කරදී රටින් පිටව ගියා.

නීතිඥ සංගමය සම්බන්ධව කිවහොත් එහි වත්මන් පාලන බලය හොබවන කණ්ඩායම අමෙරිකානු උවමනාව වෙනුවෙන් පෙනී සිටින බව ඉහත මා පෙන්වාදුන් කාරණාවලින් පැහැදිළියි. එම කණ්ඩායමට හැකිවුනා විවිධ තලවල සිටින නීතිඥයන් රාජ්‍යය විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවල නියැලුනු අය උසාවි ගෙනඑන විට අත් පුඩි ගසන තත්වයට පත් කිරීමට. සමහර ජේෂ්ඨ නීතිඥයන්ගේ විග්‍රහයන්ට අනුව නීතිඥයන්ගේ එම හැසිරීම් උසාවියට කරනු ලැබූ බලපැමක්. ජූලි 09 වෙනිදා අධි ආරක්ෂිත කළාපවලට ඇතුලු වීම වලක්වාලීමට පොලිසිය උසාවි නියෝග ගැනීමට ගත් උත්සාහය වලකාලීමටත් නීතිඥ සංගමය සෘජු දායකත්වයක් දැක්වූවා. ඒ අනුව රට තුල අරාජිකත්වයක් ගොඩනැගීමට වත්මන් නීතිඥ සංගමය සෘජුව දායක වී තිබෙනවා යන්නයි මගේ හැඟීම. නමුත් සමස්ත ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවම නීතිඥ සංගමයේ වත්මන් පරිපාලන වගකීම් දරණ අය මෙන් නොවන බවයි මගේ අදහස. ඔවුන් දන්නවා මව්බිමේ උස් නිදහසේ වටිනාකම. මෙතෙක් නීතිඥ සංගමය තුළ තිබුණේ අමෙරිකානු ගැති නීතිඥයන්ගේ බලකේන්ද්‍රයක්. එම තත්වය මව්බිමේ සුජාත නීතිඥවරු ඉක්මනින් වෙනස් කරාවි.
(2022 අගෝස්තු 02 දා මව්බිම පුවත් පතේ ක්‍රිෂාන් පතිරත් ජයසූරිය මහතා සමඟ විමල් වීරවංශ මහතා කළ සංවාදය)



One thought on “රෙජීම් චේන්ජ් එකට සහය දුන් නීතිඥ සංගමය පිටුපස ඉන්නේ අමෙරිකානු ඔත්තු සේවා”

  1. පැහැදිලි විග්‍රහයක්, වර්තමානයේ සිදු වෙමින් පවතින සමස්ත වැඩපිළිවෙල තුල පවතින අන්තර්ගත භයානකත්වය තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් අදහස් දැක්වීමක්. ආර්ථිකය සමග ගැටෙන මහජනතාව පසුබිමේ පවතින මෙම යතාර්ථය පිළිබඳව නොසිතුව හොත් අපට ආර්ථිකයත් රටත් දෙකම අහිමි වන බව නිසැකය. එම නිසා ආර්ථිකයේ නාමයෙන් රට බිලි නොදෙමු.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More