පුරවැසි කොලම

වෙලාව පාන්දර පහයි තිස් පහයි. ඒ වෙලාව වෙද්දිත් බස්වල ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැති තරම් සෙනඟ පිරිලා. ජනෙල් දොරවල්වල විතරක් නෙමෙයි ඩිකියේ පවා මිනිස්සු එල්ලිලා. පණ යන බස් ගමන්වලට ටික කාලයකට විරාමයක් දෙන්න තීරණය කළ මම රාජකාරි කටයුත්තක් සඳහා වෙනසකටත් එක්ක කෝච්චියේම යාපනයට යන්න තීරණය කළා.

බස්වල තරමටම සෙනඟ නැති වුණත් කෝච්චියටත් මඟීන්ගෙන් අඩුවක් තිබුණේ නෑ. සෙනඟ අතරින් හෙමින් සීරුවේ ඇතුළට ගිහින් කොහොම හරි ජනේලයක් ළඟ තිබුණ හිස් සීට් එකක වාඩිවෙන්න මට පුළුවන් වුණා. කොළඹ ඉඳලා යාපනයට. මේ විනෝද චාරිකාවක් යන්න අවස්ථාවක් නොවුණත් රජකාරී ගමනම විනෝද ගමනක් කියලා හිතාගෙන මම ගමන ආරම්භ කළා.

අර්බුදය, අරගලය, ගෑස්, ඉන්ධන හිඟය කෝච්චියේ ගමන් ගත්ත මගීන්ගේ හුරුපුරුදු මාතෘකා වෙලා. ඒ කතාබහ අහෙන්නේ නැති වෙන්න කියලා හිතාගෙන ජනේලයෙන් පිටත බැලුවාමත් ස්වභාව සෞන්දර්යයට වඩා මම දැක්කේ නගරයෙන් නගරයට දික්වෙන පෝලිම්. හිස් ගෑස් ටැංකි කරේ තියාගෙන එහාට මෙහාට යන මිනිස්සු. අතින් කටින් බඩු එල්ලාගෙන පයින්ම කිලෝ මීටර් ගණන් ඇවිදින මිනිස්සු. මාස ගාණකට කලින් මේ රට තිබුණු තත්ත්වයත් දැන් රටේ තියෙන තත්ත්වයත් ගැන හිතද්දී ඇත්තටම ඇතිවෙන්නේ කනගාටුවක්. කොහොම වුණත් කොළඹ ඉඳලා කෝච්චියකින් යාපනයට යන එක වෙනමම අත්දැකීමක්. මහා විශාල නිදහසක් නැතත් ඒ අත්දැකීම යම්තාක් දුරකට හරි විඳගන්න මට අවස්ථාව ලැබුණා. පැය කිහිපයකින් පස්සේ යාපනයට ළඟා වෙද්දී මට දැනුණේ වෙනමම රටකට ආවා වගේ හැඟීමක්. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, අරගල… හුරු පුරුදු ප්‍රශ්න ටිකට මුහුණදෙන්න හිත හදාගෙනම මම මගේ රාජකාරී ගමන පටන් ගත්තා. දුම්රිය නැවතුම්පොළේ ඉඳලා කිලෝමීටරයක් වගේ දුරක් මම පයින්ම ඇවිදගෙන ගියා. තරමක දැඩි හිරු එළියක් තිබුණත් යාපනයේ මිනිස්සු කඩි ගුලක් වගේ එක පොකුරට වැඩ. මට එහෙම හිතුණා. රටේ තියෙන ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක කොහොමත් කිලෝමීටර් ගාණක් පයින් යන්න වෙනවා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසාම ත්‍රීරෝද රථයක් නවත්ත ගන්න උත්සාහ ගන්නෙත් නැතිව මම පයින්ම ඇවිදගෙන ගියා.

ඒත් ඒ වෙද්දිත් ත්‍රීරෝද රථ දෙක තුනක්ම මම පහු කරගෙන ගිහින්. ඊළඟට පැමිණි ත්‍රීරෝද රථය මගේ ඉල්ලීමක් නැතිවම මම ළඟින් නතර කළා.

“ටවුන් එකට යන්” එහෙම කියලා මම ත්‍රීවීල් එකට ගොඩ වුණේ පුදුමයත් එක්කමයි. හයර් දුවන්න තරම් තෙල් තියෙනවද? උභතෝකෝටික ප්‍රශ්නයකට මම මැදිවුණා. ඒ ප්‍රශ්නයත් නිසාම ත්‍රිරෝද රථයේ රියදුරු සෙල්ලයියාව මම කතාවට අල්ලා ගත්තා.

“මිනිස්සු කියන තරම් ලොකුවට තෙල් ප්‍රශ්නය අපිට නෑ. ඒ කියන්නේ තෙල් ප්‍රශ්නයක් නෑ කියලාම නෙමෙයි. අපි සාමාන්‍යය වැඩ ටික කරගන්නේ බයිසිකලෙන් ගිහින්. එහෙමත් නැත්නම් පයින් යනවා. ඉස්කෝලෙට, ජොබ් එකට කැම්පස් එකට යන හැමෝම බයිසිකල්වලින් යනවා. මේ ඉස්පිරිතාලවලට ඩොක්ටර්ලා බයිසිකල්වලින් එනවා. ටීචර්ලා ඉස්කෝලෙට යන්නේ බයිසිකල්වල. ළමයි ඉස්කෝලේ යන්නේ, කැම්පස් යන්නේ බයිසිකලෙන්. අපි තෙල් ප්‍රශ්න කියලා වැඩ නතර කරන්නේ නෑ. උවමනාම දේවල්වලට තෙල් පාවිච්චි කරනවා. යාපනයේ තෙල් පෝලිම් නැතිම තරම්.”

සෙල්ලයියා කීවේ හිනා වෙන ගමන්. බැලූ බැලූ හැම තැනම පාපැදියෙන් යන මිනිස්සු. ඒ හැම මනුස්සයෙක්ටම පාපැදිය හුරුපුරුදුයි කියලා බැලූ බැල්මටම පේනවා.

“අපිට තෙල් නැති ප්‍රශ්නය බලපාන්නේ නෑ කියලා වැරදියට තේරුම් ගන්න එපා. ඒත් කොළඹ වගේ දිග පෝලිම් නෑ. පෝලිම් කෙටියි කිලෝමීටර් ගණන් නෑ. කිලෝමීටර් දෙකක වගේ පෝලිමක් මම දැක්කේ යාපනේ ටවුමේ විතරයි. ඒ පෝලිමේ වැඩිපුරම තිබුණේ මෝටර් සයිකල්. අපේ අය පෞද්ගලිකව පාවිච්චි කරන්න කාර් වෑන් ගන්නේ අඩුවෙන්. අපි පෞද්ගලිකව දන්න අය ඉන්නව කෝටිපතියො. ඒත් ගෙදර තියෙන්නෙ බයික් එකක් එහෙම නැත්නම් ෆුට් බයිසිකලයක්. කොහේ හරි යන්න ඕනෙ නම් කාර් එකක් රෙන්ට් එකට අරන් යනවා. කාර් එකක් නෙමෙයි දෙක තුනක් ගන්න පුළුවන් වුණත් මිනිස්සු එහෙම ගන්නේ නෑ.”

යාපනයේ ජනතාවගේ සරල ජීවන රටාව ගැන සෙල්ලයියා ඒ විදිහට තොරතුරු කිව්වා. සෙල්ලයියාත් එක්ක ආ ගිය තොරතුරු කතා කරලා මම යාපනය නගරයේ තියෙන ප්‍රසිද්ධ අවන්හලකට ගොඩ වුණා. පිට්ටු, වඩේ, තෝසේ වගේ ද්‍රවිඩ සංස්කෘතියට ආවේණික කෑම බීම වගේම අනෙකුත් කෑම බීමත් අඩුවක් නැතිව රාක්කවල අහුරලා තිබුණා. කොළඹ නම් මේ වෙද්දිත් ගෑස් හිඟය නිසා ආපන ශාලා සහ හෝටල්වලින් භාගෙකටත් වැඩියේ වැහිලා ගිහින්. විවෘතව තියෙන කඩවල්වලත් තියෙන්නේ සීමිත ආහාරපාන ප්‍රමාණයක්. ඒත් යාපනයේ බොහෝ ආපනශාලා සහ හෝටල්වල ද්‍රවිඩ සංස්කෘතියට ආවේණික ආහාරපාන වගේම අනෙකුත් ආහාර පානත් අඩුවක් නැතුව තිබුණා.

මේ මිනිසුන්ට ගෑස් ප්‍රශ්නය නැද්ද? එහෙමත් නැත්නම් මොවුන් ඒ ප්‍රශ්න මැද වුණත් අමාරුවෙන් වෙළදාම් කරනවද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න මට අලෙවිසැලේ හිමිකරුවා වන ක්‍රිෂ්ණන් එක්ක කතා කරන්න සිද්ධ වුණා. ඒ කතා කරන මොහොත වෙද්දීත් සේවකයින් කිහිප දෙනෙක් හෝටලයේ මුළුතැන්ගෙයි විශාල දර ළිප්වල ආහාර පිසින ගමන් හිටියේ. ගෑස් පාවිච්චි කළත් යාපනයේ බොහෝ දෙනෙක් අදටත් ආහාර පිසින්නේ දර ළිප්වල. යාපනයේ වගේම ත්‍රිකුණාමලයේත් ඒ තත්ත්වය ඊට දෙවෙනි නෑ කියලා ක්‍රිෂ්ණන් මතක් කළා.

ඇත්තටම යාපනය නගරය පුරාම ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් නොතිබුණ තරම්. මිනිස්සු හුරු පුරුදු විදිහටම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුවල නිරත වුණා. ගෑස් මිල දී ගන්න දිග පෝලිම් නොතිබ්බට, කරත්ත පුරවාගෙන දර අරගෙන යන දර්ශනය නම් යාපනය වැසියන්ට නුහුරු දෙයක් නෙමෙයි. දර වගේම ඇතැම් භාණ්ඩ ප්‍රවාහනය කරන්න යාපනයේ වැසියන් අදටත් ගොන් කරත්ත භාවිත කරනවා.

යාපනයේ ජනතාවගේ ආහාරපාන ගැන කතා කළොත් මොවුන් පරිභෝජනයට ගන්න සහල් ඔවුන්ම වගා කරනවා. ඒ හාල් ඇට ගස්ලබු ඇටයක් තරම්. ටිකක් කෑවත් බඩ පිරෙනවා. යාපනයේ බොහෝ දෙනෙක් කන්නේ ඒ හාල් වර්ගය. ඒක වවන්නෙත් යාපනයේ විතරයි. ලීක්ස්, කැරට්, ගෝවා වගේ එළවළු කන්නේ අඩුවෙන්. මුරුංගා, වම්බටු, වට්ටක්කා, සාරණ, තම්පලා,

ගොටුකොළ, දම් අල, පතෝල, අළු කෙසෙල් වගේ එළවළු තමයි යාපනයේ ජනතාව වැඩිපුරම ආහාරයට ගන්නේ. ක්‍රිෂ්ණන්ට සමු දුන්න මම ඊළඟට ගියේ කරවල වාඩියකට. සේවකයෝ දහදොළොස් දෙනෙක්ම ඒ වෙද්දිත් කරවල වියළීමේ කටයුතුවල නිරත වෙලා හිටියා. ලංකාවේ හැම තැනකම ගිනි ගණන්වලට විකිණෙන කරවල ගැන, මාළු ගැන රාමයියා කිව්වේ මේ වගේ කතාවක්.

“ඉන්ධන ප්‍රශ්නය හින්දා ධීවරයින්ට මුහුදු යන්න බෑ කියලා මාධ්‍යවලින් නිතරම කියනවා. මහා පරිමාණයෙන් ධීවර රස්සාව කරන යාපනය ධීවරයින්ටත් ඉන්ධන අර්බුදය බලපාලා තියෙනවා. ඒත් රස්සාවට යන්න අවශ්‍ය ඉන්ධන ටික සපයා ගන්න එක ඔවුන් කොහොම හරි කරනවා. ඒ නැතත් ඉන්ධන භාවිත නොකරන යාත්‍රාවලිනුත් මිනිස්සු ධීවර රස්සාවට යනවා. තමන්ට පුළුවන් දුරකට

ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිත් මේ විදිහට කරවලවලට වේලනවා. එහෙම නැත්නම් විකුණනවා. එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා.”

රාමයියා කියන විදියට ඉන්ධන හිඟය නිසාවත් යාපනය ධීවරයන්ගේ ධීවර කටයුතු මුළුමනින්ම නතර වෙලා නැහැ. ඔවුන් අදටත් හුරු පුරුදු විදිහටම තමන්ගේ ධීවර රස්සාවේ නිරත වෙනවා.

මාළු ගැන කතා කළොත් කෙළවල්ලො, බලයා, තලපත් වගේ මාළු යාපනයේ ජනතාව කන්නේ කලාතුරකින්. ඒ වගේ මාළු අධික උෂ්ණයක් තියෙන නිසා කන්නේ නෑ කියලා තමයි අහද්දි කියන්නේ.

මිල අඩු පොඩි මාළු තමයි ඔවුන් පරිභෝජනයට ගන්නේ. ඉස්සන්, දැල්ලන්, කකුලුවෝ බහුලව ආහාරයට ගන්නවා. නමුත් කුඩා මාළු පරිභෝජනයට ගැනීම නිසා ඔවුන්ට යන පිරිවැයත් ඉතිරි වෙනවා. මේ තොරතුරු කිව්වේ කරවල වාඩියට වෙලා ගිමන් හරින රාධාමනී.

ඇත්තටම අපි බොහෝ දෙනෙක් අද නෑ කියලා කෑගහන ගෑස්, ඉන්ධන, විදුලිය සම්බන්ධ ප්‍රශ්න යාපනයටත්, ත්‍රිකුණාමලයටත් ඒ විදිහටම බලපානවා. තවත් විදියකට කියනවා නම් දකුණේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඒ විදිහටම උතුරේ සහ නැගෙනහිර මිනිස්සුන්ටත් තියෙනවා. හැබැයි ඒ ජනතාව ඒ ප්‍රශ්න ප්‍රශ්නයක් කරගෙන තමන්ගේ එදිනෙදා කටයුතු අඩාල කර ගන්නේ නැහැ.

ඇත්තටම ඒ විදිහට අමාරුවෙන් දුෂ්කර ජීවිතයකට හැඩ ගැහෙන්න ඕනෙද? එහෙම කළා කියලා අමුතුවෙන් වාසියක් ලැබෙනවා ද? මොහොතකට මටත් එහෙම හිතුණා. ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන මම යාපනයේ ප්‍රසිද්ධ පාසලක විශ්‍රාමික විදුහල්පතිවරයෙක් මුණගැහෙන්න ගියා. කර්කශකත්වයට දුෂ්කරත්වයට යාපනය මිනිසුන්ගේ මනුස්සකම් පුච්චලා අළු කරලා දාන්න බැරි වෙලා. ඔවුන්ගේ උණුසුම් පිළිගැනීම විඳිද්දී මට දැනුනේ ඒ වගේ හැඟීමක්.

“අවුරුදු තිහක් පුරාම තිබුණ යුද්ධය යාපනයේ හැම මනුස්සයෙක්ම වගේ අත්දැකලා තියෙනවා. හැම පවුලකින්ම එක්කෙනෙක් දෙන්නෙක් යුද්දෙට ගිහින් තියෙනවා. බෝම්බ සද්දෙට, වෙඩි සද්දෙට හුරු නැති යාපනයේ මනුස්සයෙක් ඉන්නවා නම් ඒ යුද්දෙන් පස්සේ ඉපදුණ අය. කෙටියෙන්ම කියනවා නම් ඉපදෙන්න හිටිය ළමයි පවා වෙඩි සද්දෙට හුරුවෙලා හිටියේ. ගෑස්, කරන්ට්, තෙල් ප්‍රශ්නවලට වඩා දුෂ්කරතා උතුරේ මිනිස්සු විඳලා තියෙනවා. පැය ගණන් කළුවරේ ඉඳලා තියෙනවා. බංකර් ඇතුළට වෙලා ජීවිතය ආරක්ෂා කර ගන්න මේ මිනිස්සු නොවිඳිනා දුක් වින්දා.”

වසර තිහක් පුරාවට පැවතුණු යුද්ධයේ භයානකකම ගැන උතුරේ මිනිස්සු වගේම දකුණේ මිනිස්සුත් හොඳටම දන්නවා. හැබැයි උතුරේ සහ නැගෙනහිර මිනිස්සු වසර ගණනාවක් පුරාම ඒ යුද්ධය හැබැහින් අත්වින්දා. ජාති ආගම් භේදයක් නැතිව සිය දහස්
ගණනකගේ ජීවිත යුද්ධය නිසා නැති වුණා. ඒ වගේ කාලයක යුද්ධය ඉවර කරලා දෙන්න කියලා තමයි හැම මනුස්සයෙක්ම පාලකයන්ගෙන් ඉල්ලුවේ. කොහොම වුණත් කොළඹ සහ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උතුරේ සහ නැගෙනහිර ජනතාවට නොදැනෙන්නේ මොවුන් ඊටත් වඩා ප්‍රශ්නවලට මූණ දීලා ඒ ප්‍රශ්නවලට හුරු වෙලා නිසා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. යාපනයේ ජනතාවගේම වචනවලින් කියනවා නම් ප්‍රභාකරන්ට පින්සිද්ධ වෙන්න දැන් රටේ තියෙන අර්බුදය යාපනයේ මිනිස්සුන්ට දැනෙන්නෙම නැති තරම්.

පොහොර හිඟයත් යාපනයේ ගොවියන්ට ඒ තරමටම නොදැනුණු ගාණයි. රසායනික පොහොරවලට අමතරව ඔවුන් කවදත් ගොම පොහොර තමයි වැඩිපුරම වගාවලට යොදාගන්නේ. ඒ වෙද්දිත් සුපුරුදු පරිදි ගොවියන් වගා කටයුතුවල නිරත වෙලා හිටියා. ඒ වගේම තවත් මාස කිහිපයකින් ඊළඟ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කරන්න වර්ෂාව ලැබෙනකම් ගොවියන් බලාගෙන ඉන්නවා. හරි විදියට වැස්ස ලැබෙනවා නම් රටටම කන්න දෙන්න පුළුවන් යාපනයේ ගොවියෝ නම් කීවේ ඒ වගේ කතාවක්.

ගෑස් හිඟය, ඉන්ධන හිඟය, පොහොර හිඟය ගැන යාපනයේ මිනිස්සු මේ කියන කතාවල ඇත්ත නැත්ත දැනගන්න මම යාපනයේ සුප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරීවරයෙක්වත් මුණ ගැහුණා. ඉන්ධන, ගෑස් සහ පොහොර ප්‍රශ්නය ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“යාපනේට මේ ඉන්ධන ප්‍රශ්නය ගෑස් හිඟය පොහොර ප්‍රශ්නය ඒ තරම් දුරට බලපාන්නේ නෑ. යුද්ධය කාලේ ඉඳලම යාපනය මිනිස්සු බයිසිකල්වලට හුරු වෙලා හිටියේ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ප්‍රධානම වාහනය බයිසිකලය. පොහොර ප්‍රශ්නය වුණත් යාපනයේ ගොවියන්ට මහා ලොකුවට බලපෑවේ නැහැ. සමහර අවස්ථාවල බෝට්ටු හරහා ඉන්දියාවෙන් පොහොර ගෙන්වලා ගොවීන්ට බෙදා දුන්නා. ඒ වගේම සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ඉන්දියාවෙන් ගෙන්වනවා. ඒ ඇතැම් භාණ්ඩවල මිල ගණන් ලංකාවේ මිල ගණන්වලට වඩා සෑහෙන්න අඩුයි. ඒ විදිහට ඉන්දියාවෙන් ගෙන්නුවේ නැතත් තියෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන මේ මිනිස්සු ජීවත් වෙනවා. අවුරුදු තිහකට ආසන්න කාලයක් දරුණු යුද්ධයක් එක්ක පොර බදපු මිනිස්සුන්ට මේ ප්‍රශ්න මොනවාද? ”

කොහොම වුණත් යාපනයට ආවේණික වෙළහෙලඳාම්වල, කෑම බීමවල සිරිත් විරිත්වල, හැසිරීම් රටාවල අඩුවක් තිබුණේ නැහැ. තල් කුරුම්බාවල, තෝසෙ සාම්බාරුවල රහ, කෝවිල්වල පූජාවන්, පා පැදිවල සීනු හඬ එදා වගේම අදත් යාපනයේ අනන්‍යතාවය දෙගුණ තෙගුණ කරමින් එකසේම පවතිනවා.

රටේ ඇතිවෙලා තියෙන අර්බුදයට කොළඹ මිනිස්සු මුහුණ දෙන විදිහත්, උතුරේ මිනිස්සු මුහුණ දෙන විදියත් අහසට පොළොව වගේ. යාපනයේ මිනිස්සු රැයක් දවාලක් නැතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඇත්තටම කියනවා නම් ඔවුන් වැඩක් නොකරන වෙලාවක් නැති තරම්. බාල මහලු තරුණ භේදයක් නැතිව හැම මනුස්සයෙක්ම මොකක් හරි වැඩක නිරතවෙලා හිටියා. රටටම බලපාන ප්‍රශ්න යාපනය මිනිස්සුන්ට නොතිබෙන්න විදිහක් නෑ. නමුත් ඒ මිනිස්සු මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ දකුණේ මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස්.

ඇත්තටම අරගල කරන්න යන්න හිතුණේ නැද්ද? නෑසිය යුතු ප්‍රශ්නයක් වුණත් මම දමිළ තරුණයෙක්ගෙන් එහෙම ඇහුවා.

“අරගල කරන කිසිම කෙනෙක් උතුරේ අපි ගැන කතා කළේ නෑ. ජාත්‍යන්තර මාධ්‍යවලින් අරගලය ගැන එක එක විදිහේ තොරතුරු සමීප කරන්න උත්සාහ දැරුවත් දෙමළ මිනිස්සු මේ අරගලයට බද්ධ කරගන්න බැරි වුණා. දකුණේ හැදුණු ගෝඨාගෝගම උතුරේවත් නැගෙනහිරවත් හැදුණේ නෑ. ඒකට හේතුව භාෂාවේ ප්‍රශ්නයක් ද කියලා අපි දන්නේ නෑ. අදටත් යාපනයේ සමහර මිනිස්සු අරගලය ගැන දන්නෙ නෑ. සමහරු මාධ්‍යවලින් කියන හින්දා ඒ ගැන විස්තර ටිකක් දන්නවා.”

රටටම බලපෑම් කළ බඩු මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය ආදී ප්‍රශ්න උතුරට සහ නැගෙනහිරට ඒ ආකාරයෙන්ම බලපෑවත් උතුරු සහ නැගෙනහිර මිනිස්සු ඒ තත්ත්වයන්ට ප්‍රකෝපකාරී වෙමින් අරගල කරන්න කිසිම අවස්ථාවක තීරණයක් අරගෙන තිබුණේ නැහැ. ඇත්තටම කියනවා නම් උතුරේ සහ නැගෙනහිර මිනිස්සු කියන විදිහට දකුණේ අරගල කරන මිනිස්සු කිසිම අවස්ථාවක උතුරේ සහ නැගෙනහිර මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙනවා කියලාවත් ඔවුන්ට දැනිලා නෑ. ඒ නිසා ජීවත්වීමේ අරගලයක නිරත වෙන උතුරේ මිනිස්සුන්ට තවත් අමුතුවෙන් අරගලයක් අවශ්‍ය නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ.

“මෙහේ අය ටි්‍රප් යන්නේ කලාතුරකින්. කෝවිල්වල උත්සවවලට තමයි කට්ටිය වෑන් අරන්, බස් අරන් යන්නේ.

සල්ලි ටිකක් වැඩිපුර ලැබුණොත් රත්තරන් බඩු, ඉඩම් අරන් දානවා. සිංහල මිනිස්සු වගේ මේ මිනිස්සු අනවශ්‍ය වියදම් කරන්නේ නෑ. ඒ වගේම මේ මිනිස්සුන්ගේ ජීවිත සරලයි. අනික ගොවිතැන් කරන අය වැඩියි. රස්සාවල් වුණත් අවටින්ම කරන්න බලන්නේ ගොඩක් දුරට.

නෑදෑයෝ එකිනෙකාට උදව් කරගන්නවා. හරිම එකමුතුයි. ආර්ථික තත්ත්වය හොඳටම අමාරු අයත් ඇති.

ඒත් මොකක් හරි කරලා පිරිමහන් ඉන්නව ඇති. ඕක තමයි ඉතින් මෙහෙ තත්ත්වේ.” අනුරාධපුරයෙන් යාපනයට ඇවිත් ආහාර අලෙවි සැලක සේවය කරන ප්‍රියන්ත යාපනයේ මිනිසුන්ගේ ජීවිත ගැන කීවේ ඒ වගේ කතාවක්. කොහොම වුණත් උතුරු පළාතේ හාල්, පරිප්පු, කහ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු මිලට ඕනෑතරම් මිලදී ගන්න හැකියාව තියෙනවා කියලත්, හාල් කිලෝවක් රුපියල් 70 ත් 100 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකටත් අලෙවි වෙනවා කියලත් ආරංචියක් ලැබුණා.

මම උතුරේදී හොයාගත්තු බොහොමයක් කරුණු කාරණා නැගෙනහිරටත් ඒ විදිහටම වලංගුයි. දකුණේ අපිට තියෙන ප්‍රශ්න උතුරේ සහ නැගෙනහිර මිනිසුන්ට නොදැනෙන්න ප්‍රධානම හේතු ටික තමයි මම මේ කියන්න උත්සාහ කළේ. රටේම තියෙන ප්‍රශ්න යාපනයටත් ත්‍රිකුණාමලයටත් ඒ විදියටම විදියටම බලපානවා. නමුත් මේ ජනතාව ඒ ප්‍රශ්නවලට මුහුණදෙන විදිහේ තමයි වෙනසක් තියෙන්නේ.

කුමාරි ඉරුගල්බංඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More